සරත් සිල්වා ගැන වැඩිදුරටත්

December 29, 2013
Publication:
Ceylon Today did not print his reply uncut as promised, Ivan says, and the media that now present Sarath N. Silva as a saviour include owners who won judgments from him when he needed their support. Silva, once slated as the common opposition candidate, still poses as a reformer. Ivan contrasts Justice Mark Fernando's rulings, which forced the only free and fair election since 1977, with Silva's court, which turned away election petitioners. Four of six UN Human Rights Committee findings against Sri Lanka concern Silva's judgments, among them S.B. Dissanayake's and Tony Fernando's, jailed for contempt after petitioning a bench Silva himself led.

මම පසුගිය කලාපයෙන් මව්බිම හා සිලෝන් ටුඩේ යන පුවත්පත් දෙක ඔස්සේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පළකර තිබූ අදහස් විවේචනයට ලක්කරමින් ප්‍රතිවිවේචනයක් ලියන ලද්දේ මා සම්බන්ධයෙන් පළකර තිබූ අදහස් පිළිබඳව සිලෝන් ටුඩේ පුවත්පත විසින් මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගෙන තිබියදීය. මා එසේ කරන ලද්දේ එය ඔවුන් විසින් පළ කළත් නැතත් ඒ ගැන මාගේ අදහස් රාවය මගින් පළකළ යුතුයැ”යි කියන අදහසේ පිහිටාය. කොහොමටත් මෙම පුවත්පත දෙකම එකම ආයතනයකින් පළකෙරෙන පුවත් පත්වීම හේතු කොටගෙන හා හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව රටට විශාල විනාශයක් කරන ලද පුද්ගලයකු සාධාරණ ලෙස ප්‍රශ්න කිරීමකට ලක් නොකොට ගැලවුම්කාර වේෂයක් ආරෝපණය කිරීමට හේතුවන ආකාරයට කර තිබීම යන කාරණා මා ඇති කරගෙන තිබූ විචිකිච්ඡාව කෙරෙහි බලපෑවේය. ඊට අතිරේකව සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබෙන්නේ මව්බිම පුවත්පතවීම හා සිලෝන් ටුඩේ පුවත්පතේ පළවූයේ මව්බිම පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාවේ සාරාංශයක් පමණක් වීම හා එසේ තිබියදී මාගෙන් ප්‍රතිචාරයක් මව්බිම පුවත්පත විසින් ලබාගන්නවා වෙනුවට සිලෝන් ටුඩේ පුවත්පත විසින් ලබාගැනීම යන කාරණාද මා තුළ ඇතිව තිබූ එම විචිකිච්ඡාව කෙරෙහි බලපා තිබුණි.

එම සම්මුඛ සාකච්ඡාවේදී සරත් නන්ද සිල්වා මා පිළිබඳව පළකරන ලද අදහස් පිළිබඳව මාගේ ප්‍රතිචාරය සඳහා වන සම්මුඛ සාකච්ඡාවක් සිලෝන් ටුඩේ පුවත්පත ඉල්ලා සිටි විට එම සාකච්ඡාවෙන් පළවන දර්ශනයට මා එකඟ නොවන නිසා හා එම සම්මුඛ සාකච්ඡාවෙන් සිදුකර තිබෙන්නේ මහා විනාශයක් සිදුකළ පුද්ගලයකුට ගැලවුම්කාරයකුගේ පෙනුම ලබාදීම බව ප්‍රකාශ කරමින් මා ඒ ආකාරයෙන් කෙරෙන සංවාදයක කොටස්කරුවකුවීමට කැමති නැති බව කීවෙමි. මා පළකරන ලද දෝෂාරෝපණයකට ඇහුම්කන් දුන් ජනමාධ්‍යවේදියා ඔහු පසුව පළ කළ ආකාරයට පුවත්පතේ කතුවරයාට ඒ බව දැනුම්දීමෙන් පසු මගෙන් ලබාගන්නා සම්මුඛ සාකච්ඡාව කිසිදු විකෘති කිරීමකින් තොරව හා කපා කෙටීමකින් තොරව පළකරන බවට කතුවරයා පොරොන්දු වූ බව දැනුම්දීමෙන් පසුව සම්මුඛ සාකච්ඡාවක් ලබාදීමට මම එකඟවීමි. මේ වගේ දූෂිත පුද්ගලයන් හෙළිදරව් කිරීම තම යුතුකමක් බවද සම්මුඛ සාකච්ඡාව පවත්වන ලද අතරවාරයේදී සම්මුඛ සාකච්ඡාව ලබාගන්නා ලද ජනමාධ්‍යවේදියා ගාම්භීර ස්වරයකින් ප්‍රකාශ කළ බවද මට මතකය. සම්මුඛ සාකච්ඡාව මාගෙන් ලබාගත් පුද්ගලයා සාකච්ඡාව අවසානයේදී මගෙන් සමුගත්තේද මා එහිදී පළකරන ලද අදහස් කිසිදු කප්පාදුවකින් තොරව පළ කරන බවටද සහතිකවෙමිනි. එහෙත් එය එසේ සිදු නොවීය. එය එසේ වූයේ ඇයිද යන්නද මම නොදනිමි.

පස්සා දොරෙන් සිදුවූ ගනුදෙනු

මා මීට පෙරද විටින් විට ප්‍රකාශ කර ඇති පරිදි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා එම ධුරයේ සිටියදී රටට හා සමාජයට මහා විනාශයක් කරන ලද පුද්ගලයකු වී සිටියදී ඔහු සිදුකර තිබුණු විනාශය ආශ්‍රයෙන් මතුව තිබූ අර්බුදයේදී ඔහුගෙන් විශාල ඵලප්‍රයෝජන ලැබූ බලවත් සුළු පිරිසක්ද රටේ සිටියේය. සමහර දේශපාලන පක්ෂ ඔහු සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන ක්‍රමයක් මගින් එම පක්ෂවලට කීර්තියක් ලබාදීමට හේතුවන නඩු තීන්දු ලබාගතතේය. ඒ විශේෂ අවස්ථාවේදී ඔහු සමග පස්සා දොරෙන් ගනුදෙනු කළ අය අතර සමහර ජනමාධ්‍යවේදීන් සේ ම ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ද සිටියේය. ඒ විශේෂ මොහොතේදී ඔහුට ඒ සියලුදෙනාගේ සහාය අවශ්‍ය වී තිබුණි. එහිදී ඔහු ඔවුන්ට පහසුවෙන් අමතක කළ නොහැකි තරමේ විශේෂ විශාල හා තීරණාත්මක උදව් ලබා දුන්නේය. එසේ ඔහුගෙන් ඒ මොහොතේ විශේෂ හා විශාල ප්‍රමාණයෙන් උදව් ලබාගත්තවුන් අතර අද දක්වාම ඔහු කෙරෙහි ඇති කරගත් කෘතවේදී හැඟීමකින් යුතුව ඔහුට ප්‍රතිඋපකාර දක්වන ක්‍රමයක්ද ක්‍රියාත්මක වන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේයැ”යි කිව හැකිය.

රටේ තිබුණු අධිකරණ ක්‍රමය මුළුමනින් විනාශ කළ පුද්ගලයකුට ඔහු විසින් එම මහා විනාශය සිදුකරන කාලයේදීම ඔහුගෙන් අයථා ලෙස උපකාර ලැබූ රටේ ප්‍රබලයන් පිරිසක් ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුට නැවත ප්‍රබල තත්ත්වයක් ලබාදීමට දක්වන අනුග්‍රහයද රටේ තිබෙන අවුල උග්‍ර කිරීමට බලපා තිබෙන වැදගත් අතිරේක සාධකයක් ලෙස ක්‍රියාකරමින් තිබෙන බව දැකිය හැකිය. සරත් ෆොන්සේකා කරළියට එන්නට පෙර රට ගලවාගැනීමේ භූමිකාව රඟපෑම සඳහා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරියට එන්නට නියමිතව සිටියේ සරත් නන්ද සිල්වාය. සරත් ෆොන්සේකා පොදු අපෙක්ෂකයා ලෙස කරළියට ඒම නිසා එම සිහිනය බිඳ වැටුණි. එහෙත් ඒ නිසා ඔහුට ලැබී තිබුණු වැදගත්කම මුළුමනින් බිඳ වැටුණේ නැත. සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණයෙන් පසුව නව ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමේ වගකීම පැවරී තිබුණු ප්‍රධාන පුද්ගලයා ඔහුය. තාමත් ඔහුගේ හොල්මන මුළුමනින් වියැකී නැත. තාමත් ඔහු පුම්බන ජනමාධ්‍ය හරහා ඔහු කියන්නේ රට වෙනුවෙන් ඉටු කරන්නට වැදගත් කාර්යභාරයක් තමන්ට තිබෙන බවය. රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම රට ඉදිරියේ තිබෙන හා ප්‍රමුඛ හා වැදගත්ම කාර්යභාරය බවත් ඒ වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකිරීම තම අපේක්ෂාව බවත් ඔහු ගාම්භීර සේ ම ධාර්මික ස්වරයකින් එම ජනමාධ්‍ය ඔස්සේ පුන පුනා රටට කියනු ලබයි. මෙම අර්බුදය තුළ ගැලවුම්කාරයකු වශයෙන් ඔහුට ලැබී තිබෙන හෝ ලබාදී තිබෙන වැදගත්කමේ තරම රට මුහුණ දී තිබෙන අර්බුදයේ තරම හා එහි නියම ස්වභාවය විකාරරූපී ස්වරූපයකින් පිළිබිඹු කරන්නේයැ”යි කිව හැකිය.

සරත් සිල්වාට ලැබෙන වැදගත්කම

මට සරත් නන්ද සිල්වා වැදගත් වනුයේ ඔහු අගවිනිසුරු ධුරයේ සිටියදී ඔහුගේ දූෂිත ආධිපත්‍යයට එරෙහිව කරන අරගලයක මා ප්‍රධාන කොටස්කරුවකු වීම නිසා නොවේ. රටේ තිබෙන දූෂිත දේශපාලන ක්‍රමය කුණුවී තිබෙන තරම හොඳින්ම පිළිබිඹු කරන ලද පුද්ගලයා ඔහු වීම නිසාය. මා මේ රටේ තිබෙන දූෂිත දේශපාලන ක්‍රමයේ දැති රෝද කැරකෙන ආකාරය වැඩියෙන්ම තේරුම්ගත්තේ ඔහු පිළිබඳව කරන සොයා බැලීම් ආශ්‍රයෙනි. අන් සියලු දේට වඩා යහපාලනයක් සඳහා අධිකරණය වැදගත්ය. කොතරම් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණද රටේ තිබෙන අධිකරණ ක්‍රමය දූෂිත නම් රටේ යහපාලනයක් තිබිය නොහැකිය. අනෙක් අතට රටේ තිබෙන්නේ නරකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුවත් රටේ හොඳ අධිකරණයක් තිබේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නරක වුවත් කිසියම් විශාල ප්‍රමාණයකට පාලනය කළ හැකිය. ආචාර්ය මාර්ක් ප්‍රනාන්දු සැලකිය යුත්තේ මේ ධර්මතාව වඩාත් හොඳින් ක්‍රියාවෙන් පෙන්නුම් කළ විනිසුරුවරයා වශයෙනි.

එක් අවස්ථාවකදී ජනාධිපතිනිය ඡන්ද පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් සභා කිහිපයක ඡන්දය පැවැත්වීම හදිසි නීතිය යටතේ කල් තබන ලදි. ඊට එරෙහිව කිසියම් පුරවැසියකු අධිකරණය ඉදිරියට ගියේය. ඡන්ද පැවැත්වීමට බැරිතරමේ බරපතළ තත්ත්වයක් එම පළාත්වල හෝ රටේ නොපත්නා බවත් ඉතාමත් බිහිසුණු තත්ත්වයක් රටේ පැවති අවස්ථාවල පවා ඡන්ද පවත්වා තිබෙන බවත් ඒ නිසා හදිසි නීතිය යටතේ ඡන්ද කල්දැමීම සඳහා ජනාධිපති විසින් දී තිබෙන නියෝග නීතියට පටහැනි බවත් ඔහු තර්කානුකූලව අධිකරණයට පෙන්වා දුන්නේය. මාර්ක් ප්‍රනාන්දු ජනාධිපතිනියගේ ඡන්ද කල්ගැනීමේ නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කරමින් එම පළාත් සභා දෙකේ ඡන්ද පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කළේය. ඉනුත් පසු පළාත් සභා මැතිවරණ කිහිපයක් මුව විට තිබෙන අවස්ථාවකදී තවත් පුරවැසියන් දෙදෙනකු අධිකරනය ඉදිරියට යමින් වයඹ පැවති ඡන්ද කොල්ලය නිදර්ශනයට ගනිමින් මැතිවරණ පැවැත්වීමට නියමිත පළාත් සභාවලද ඒ හා සමාන තත්ත්වයක් ඇතිවිය හැකි බව ප්‍රකාශ කරමින් ඒ මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමට ආසන්න තත්ත්වයක තිබෙන බවට තර්ක කළේය. ඒ අවස්ථාවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා ඓතිහාසික වැදගත්කමක් ඇති තීන්දුවක් දෙනු ලැබීය. ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය අදහස් පළකිරීමේ නිදහසින් වෙන්කළ නොහැකි එකට යාවී තිබෙන දෙයක් බව අධිකරණය විසින් ප්‍රකාශ කරන ලද්දේ එහිදීය. ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය පිළිබඳව ඊට සමාන අර්ථකථනයක් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඊට පෙර ලබාදී තිබුණි. මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා ආදර්ශයට ගත් බව පෙනෙන්නේ එම නඩු තීන්දුවය. අධිකරණය මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්පතිවරයා අධිකරණය ඉදිරියට කැඳවා නිදහස් හා සාධාරණ ඡන්දයක් සහතික කිරීමට හේතුවන වැඩපිළිවෙළක් සංවිධානය කොට එය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඒ දෙදෙනාගෙන් ඉල්ලා සිටියේය. 1977න් පසුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවති එකම අවස්ථාව එය ලෙස සැලකිය හැකිය. මීට පෙර ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට ප්‍රසිද්ධියේ කෙරෙන දෙයක් බවට පත්ව තිබුණේය. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මැතිවරණවලදී මැතිවරණ කටයුතු සඳහා රජයේ නිලධාරීන් හා සම්පත් යොදා ගැනීමද වැළැක්විය නොහැකි සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණේය. ඒ කිසිවෙක් මැතිවරණ කොමසාරිස්වරයා දෙන නියෝග තුට්ටුවකටවත් ගණන් නොගත්තේය. එහෙත් එම මැතිවරණයේදී පමණක් චිත්‍රය මුළුමනින් වෙනස් විය. නීතියට පටහැනිව ක්‍රියාකළහොත් එය අධිකරණයට එරෙහිව කරන ලද අපහාසයක් ලෙස සලකා තමන්ට දඬුවම් කරනු ඇතැ”යි කියන බිය නිසා වෙනදා නීතිය තුට්ටුවකුටවත් ගණන් නොගෙන හිතුවක්කාරී ලෙස ක්‍රියාකළ සියලුදෙනා නීතියට අනුකූලව ක්‍රියාකරන තත්ත්වයකට තල්ලු විය. එය යහපාලනයක් සඳහා අධිකරණයට තිබෙන බලමහිමය අධිකරණය විසින් ඉතා බලවත් ලෙස පෙන්නුම් කළ අවස්ථාවක් විය.

සරත් නන්ද සිල්වා විසින් ආපස්සට හරවන ලද්දේ අධිකරණය ගමන් ගනිමින් තිබූ එම ඉදිරිගාමී මාවතය. ඔහු අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුද මැතිවරණවලදී විවිධ පුරවැසියන් නිදහස් හා සාධාරණ තත්ත්වයක් දිනාගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගියේය. ඔවුන්ට ආපසු එන්නට සිදුවූයේ හිස් අතිනි. එවැනි සමහර අයට එරෙහිව අවවාද කෙරුණු අවස්ථාද තිබුණි. කරු ජයසූරියද මැතිවරණයකදී ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව අධිකරණය ඉදිරියට ගියේය. පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරුණේ මැතිවරණය පැවැත්වීමට නියමිත දිනයෙන් පසු දිනකය. එය නීති උල්ලංඝනය කරන්නන්ට ආණ්ඩු පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් බිය නැතිව නීති උල්ලංඝනය කිරීමට දෙන ලද ප්‍රබල සංඥාවක් විය. මේ ආකාරයට කිසියම් ප්‍රමාණයක ඉදිරිගාමී තත්ත්වයක තිබූ අධිකරණය ආණ්ඩු පක්ෂයේ දේශපාලන අතකොලුවක් බවට පත් කළේ සරත් නන්ද සිල්වාය. සරත් නන්ද සිල්වා පුම්බන්නට වලිකන ජනමාධ්‍ය ජනතාවට වසන් කරන්නට යන්නේද එම ඉතිහාසයයි.

අධිකරණ ක්‍රමයට ලැබෙන වැදගත්කම

දේශපාලන ක්‍රමය හෙවත් විධායක ජනාධිපති ක්‍රමය පරාජය කළ යුතුව තිබෙන ප්‍රධාන පොදු සතුරා බවට පත්වන තත්ත්වයක් ඇතිවෙමින් තිබීම ගැන සතුටු විය හැකිය. එහෙත් එම විවාදය තාමත් තිබෙන්නේ මතුපිටින් අතපතගාන තත්ත්වයකය. එහි ගැඹුරු හරය සලකා බලන තත්ත්වයකට තවමත් රට යොමුවී නැත. ඇති කරන්නට යන ඕනෑම වෙනසකදී වෙනස් කිරීමට ඉතාමත් අමාරු සංකීර්ණ දේ වනු ඇත්තේද අධිකරණයයි. එය උපරිම මට්ටමෙන් දූෂණයෙන් කුණුවූ ආයතන ක්‍රමයක තත්ත්වයට පත්ව තිබෙන්නේයැ”යි කිව හැකිය. ඒ තත්ත්වයෙහි ඵලදායක හා ගැඹුරු වෙනසක් ඇතිකර ගන්නේ කෙසේද යන ප්‍රශ්නය බැරෑරුම් ලෙස සාකච්ඡාවට ලක් කරන තත්ත්වයක් තවමත් මතුවී නැත. දූෂණයෙන් කුණුවී තිබෙන අධිකරණ ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති නොකරන කවර වෙනසකටවත් අර්ථවත් වෙනසක් වීමේ හැකියාවක් නැත. ඇති කෙරෙන එම වෙනසේ මහ මොළකාරයන් ලෙස ක්‍රියාකරන්නට යන්නේ සරත් සිල්වා වැනි අන්ත දූෂිත පුද්ගලයන් නම් වෙනසක් ඇතිවනවාට වඩා වෙනසක් ඇති නොවී තිබීම යහපත්ය. එවිට විය හැක්කේ මජර ගලන තරමට කුණුවී තිබෙන අන්තර්ගතය එහි මතුපිටින් අයිසින්වලින් ලස්සන කිරීමක් පමණය.

අධිකරණ ප්‍රතිසංස්කරණයකදී මුහුණ දෙන්නට සිදුවන බරපතළම ප්‍රශ්නය වනුයේ අධිකරණයේ විනිශ්චයකාරවරුන් අතර ඇතිවී තිබෙන බුද්ධිමය හා සදාචාරමය පරිහානිය ජයගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. ඒ සඳහා වන අධ්‍යාශයක් හෝ පුරෝගාමී ශක්තියක් ඇති අය ඉහළ නිලතල දරන්නන් අතර සිටින්නේද යන්න ප්‍රශ්නයකි. අධිකරණය විසින් සිය ඉතිහාසය තුළ ලබාදී තිබෙන සමහර වැදගත් තීන්දු නීතියට පටහැනිවනවා පමණක් නොව ඉතාමත් පසුගාමී හා ප්‍රතිගාමී වන බවද කිව යුතුය. පක්ෂ මාරුව සඳහා ලබාදී තිබෙන තීන්දු ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයක් පමණය.

සරත් නන්ද සිල්වා අධිකරණයේ තමන්ගේ පාලන කාලය තුළ තමන් දෙන ලද තීන්දු ගැනද මෙම සම්මුඛ සාකච්ඡාවේදී මහා උජාරුවකින් කතා කර තිබුණි. ඔහු පුම්බන්නට හදන ජනමාධ්‍ය එහිදී මුළුමනින් අමතක කර තිබෙන වැදගත් කාරණයක් වනුයේ ජිනීවාහි මානව හිමිකම් කමිටුව විසින් විමර්ශනය කොට ලංකාවට එරෙහිව දෙන ලද තීරණ හයෙන් හතරක්ම සරත් නන්ද සිල්වාගේ අධිකරණ තීන්දුවලට එරෙහිව දෙන ලද තීරණයන් වන බවය.

ඔහු එස්.බී. දිසානායකගේ නඩුව ගැන පුරාජේරු ස්වරයකින් කතා කර තිබුණි. ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළ ජනමාධ්‍යවේදියා අමතක කරන ලද කරුණක් වනුයේ එස්.බී. දිසානායකට අදාළව ඔහු විසින් දෙන ලද නඩු තීන්දුවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඓතිහාසික වැදගත්කමක් ඇති නඩු තීන්දුවක් ලබාදී තිබෙන බවය. ඒ නඩු තීන්දුව පමණක් නොව ටෝනි එම්මානුවෙල්ට උසාවි අපහාස නීතිය යටතේ ඔහුට සිරදඬුවමක් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන්ද එම මානව හිමිකම් කමිටුව ලබාදී තිබෙන තීන්දු උසාවි අපහාස නීතිය ලංකාවේ ක්‍රියාත්මක වන හිතුවක්කාරී හා නීති විරෝධී ස්වභාවය පෙන්නුම් කරන්නක් ලෙස සැලකිය හැකිය. සරත් නන්ද සිල්වා මෙම සම්මුඛ සාකච්ඡාවේදී නරක විනිසුරුවරුන්ට එරෙහිව තමන් පවත්වාගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය ගැනද පුරාජේරු කතා කර තිබුණි. මා දන්නා තරමින් අධිකරණයේ සිටි නරකම විනිසුරුවරයා සරත් නන්ද සිල්වාය. ඔහු තමන්ගේ නඩු තමන්ම අසා තීන්දු දුන්නේය. දේශපාලන පක්ෂ සතුටුකිරීම සඳහා ඔවුන්ට නඩු නිමිති හදාදී ඒ සඳහා වන පෙත්සම් සකස් කළ යුතු ආකාරයද කියාදී ඒ පෙත්සම් තමන් ඉදිරියේ විභාගයට ගෙන එම දේශපාලන පක්ෂවල කීර්තියට හේතුවන නඩු තීන්දු ලබා දුන්නේය. නඩු කියන්නන් අතර ඔහුගේ සිත්ගත් කාන්තාවන් සිටින අවස්ථාවලදී එවැනි සමහර කාන්තාවන් ලිංගික වශයෙන් අපහරණය කොට ඒ වෙනුවෙන් ගෙවන වන්දියක් වශයෙන් ඔවුන්ට වාසිදායක නඩු තීන්දු ලබා දුන්නේය. ඔහු තමන්ට තිබෙන අධිකරණ බලය තමන් නොකැමති අයගෙන් පළිගැනීමට හා පීඩාවට පත්කිරීමට යොදා ගත්තේය. ඔහු එක් අවස්ථාවකදී සැකයට හේතුවී සිටි රූපවාහිනී ආයතනයක හිමිකරුවකුට රජය විසින් තහනම් කොට තිබූ එම ආයතනය වෙනත් ගැනුම්කරුවකුට විකිණීමට ඉඩදී ඒ වෙනුවෙන් ඔහුගෙන් තමන් සඳහා රූපවාහිනී නාලිකාවක් ලබාගත්තේය. එවැනි අධම තත්ත්වයකලා සැලකිය හැකි අධිකරණ නායකයකු විනිශ්චයකරුවන්ගේ විනය ගැන කතා කරන විට අප සිනාසිය යුත්තේ කවර මුඛයෙන්දැ”යි ඔහු අපට කියා දිය යුතුය.

ටෝනි එම්මානුවෙල්

ඔහුගේ බිහිසුණු හා අධම ගණයෙහිලා සැලකිය හැකි නඩු තීන්දු අතර ඔහුගේ අගතිගාමී හා අධම ස්වභාවය උපරිම මට්ටමකින් පෙන්නුම් කරන නඩු තීන්දුව ටෝනි එම්මානුවෙල් සම්බන්ධයෙන් දී තිබෙන නඩු තීන්දුව ලෙස සැලකිය හැකිය. ටෝනි ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයෙකි. ඔහු කලක් පෞද්ගලික ආයතනයක සේවය කොට එම ආයතනය සමග ඇති කරගත් ආරාවුලක් මත එම ආයතනයට එරෙහිව කම්කරු උසාවියේ නඩු කී පුද්ගලයෙකි. තමාගේ නඩුවට අදාළ උසාවි වාර්තා ලබාගැනීමට අවශ්‍ය වී ඒ සඳහා දරන ලද උත්සාහයන් ගණනාවක් අසාර්ථකවීමෙන් පසු ඒ ගැන අධිකරණ සේවා කොමිසමට ලිඛිතව පැමිණිලි කරමින් එම නඩු වාර්තා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදෙන ලෙස ඉල්ලා සිටියේය. ඔහු එක වරක් නොව කිහිප වරක්ම අධිකරණ සේවා කොමිසමට ඒ ගැන ලීවේය. කිසිදු සාධාරණ පිළිතුරක් ලබාගැනීමට නොහැකි වූ කල ඔහු අධිකරණ සේවා කොමිසමේ සභාපති (අගවිනිසුරු සරත් එන්. සිල්වා) හා එහි අනෙකුත් සමාජිකයන් දෙදෙනා (ඔවුන්ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වූහ.) වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. ඒ නඩුව නඩුවේ වගඋත්තරකරුවකු වූ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ අසන්නට නියම කර තිබෙන බව දැනගන්නට ලැබුණු විට ඔහු මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණ සේවා කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් තම පෙත්සමේ වගඋත්තරකරුවන් වන නිසා කොමිසමේ සාමාජිකයන් ඇතුළත් නොවන විනිශ්චය මණ්ඩලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ කිසිවක් නොසැලකූ සරත් නන්ද සිල්වා ඒ නඩුව තමන්ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන ටෝනි අධිකරණයට අපහාස කළේයැ”යි තීන්දු කොට ඔහුට එක් අවුරුදු සිරදඬුවමක් නියම කළේය. ටෝනිගේ නඩුව වෙනුවෙන් නීතිඥයන් පෙනී නොසිටියේය. නඩුව කතා කළේ ඔහුමය. අවසානයේ ගෙදර යන්න බලාගෙන අධිකරණය ඉදිරියට පැමිණි ටෝනිට පෙත්සම් විභාගය අවසන්වීමෙන් පසු හිරේ යන්නට සිදුවිය. ටෝනිගේ ප්‍රශ්නය ඉන් අවසන් වූයේය. ඔහු කරන ලද ඊනියා වරද වෙනුවෙන් ඔහුට දෙවැනි දඬුවමක්ද විඳින්නට සිදුවූයේය. හිරගෙදර ගිය වහාම බන්ධනාගාර නිලධාරීන් ඔහුට ඔහුගේ අතපය කැඩෙන තෙක් පහර දුන්නේය. ඒ නිසා ඔහුට දීර්ඝ කලක් රෝහල් ගතවී ප්‍රතිකාර ගන්නට සිදුවූ අතර මෙම දූෂ්ට ක්‍රියාදාමයේ බරපතළකම කොතරම් විශාලවීද කියනවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිඥයන් විනිසුරුවරුන් පිළිබඳ විෂය භාර ප්‍රධාන නිලධාරියා ලෙස සැලකිය හැකි ඩාටෝ පරම්කුමාරස්වාමි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ටෝනි බලන්නට ශ්‍රී ලංකාවට ආවේය. ඔහු ආපසු ලංකාවෙන් යන්නට පෙර ටාජ් සමුද්‍ර හෝටලයේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වන ලද අතර ටෝනි සම්බන්ධයෙන් අගවිනිසුරු සරත් නන්ද සිල්වා අනුගමනය කර තිබෙන අගතිගාමී ප්‍රතිපත්තිය විවේචනයට ලක්කරමින් ටෝනි නිදහස් කරගැනීම සඳහා නැවත අධිකරණය වෙත ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස නීතිඥ සංගමයෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. ලංකාවේ නීතිඥ සංගමයද මෙම සාහසික සිද්ධියේදී ඇස් වසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළා මිස ටෝනිට සිදුකර තිබුණු අසාධාරණය ගැන එකම වචනයක්වත් කතා නොකළේය.

ටෝනිට දඬුවම් කරන ලැබූ අස්ථාවේදී එම නඩු තීන්දුව ගැන මම කතුවැකියක් ලීවා මට මතකය. එය මාගේ පැවැත්ම පරදුවට තබා ලියන ලද බිහිසුණු කතුවැකියක් වීයැ”යි කිව හැකිය. මා ඉන් කියා සිටියේ රටේ නීතියක් තිබෙනවා නම් හිරේ යැවිය යුත්තේ අගවිනිසුරුවයා මිස ටෝනි නොවන බවය.

ටෝනිගේ ඛේදවාචකය ඉන් අවසන්වන්නේ නැත. ඔහු සිරදඬුවම් සම්පූර්ණ කොට නිදහස් ලෝකයට එකතුවීමෙන් දින කිහිපයකට පසුව වෑන් රථයකින් පැමිණි සාහසික පිරිසක් ඔහු පැහැරගෙන යෑමට දරන ලද උත්සාහයකින් බේරී පලායෑමට ඔහු සමත් විය. ඒ නිසා ඇතිවූ කම්පනය ඔහුගේ සමස්ත ජීවිතය කෙරෙහිම බලපෑවේය. ටෝනිට ආරක්ෂාව ලබාදී ඒ ගැන වාර්තා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එම සිද්ධියෙන් පසුව ලංකා ආණ්ඩුවට දැනුම් දෙනු ලැබූවත් ජනාධිපතිනිය අතින් ඒ සඳහා වන ඵලදායි කිසිවක් සිදු නොවීය. මරණ බියෙන් තැතිගෙන සිටි ටෝනි කිසියම් කලක් ලංකාවේ සැඟවී සිට ආරක්ෂාව සඳහා හොංකොංවලට පලා ගොස් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම නිසා කැනඩාවේ දේශපාලන රැකවරණ ලබාගත්තේය.

අදත් ඔහුගේ බිරිඳ හා දරුවන් ජීවත්වන්නේ කැනඩාවේය. ඉඳහිට ඔහුගේ බිරිඳද තවත් සමහර අවස්ථාවලදී ටෝනිද මට දුරකතනයෙන් කතා කරයි. ඒ සිද්ධි දාමයෙන් ඔහු තුළ ඇතිවී තිබෙන බිය තවමත් මුළුමනින් පහවී නැත. ඔහු සදාකාලික මානසික රෝගියකුගේ තත්ත්වයට පත්ව ඇතැ”යි කිව හැකිය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ටෝනිගේ පෙත්සම විභාගයට ගෙන සරත් නන්ද සිල්වාගේ නඩු තීන්දුව අභියෝගයට ලක් කෙරෙන තීන්දුවක් ලබාදෙමින් ටෝනිට සිරදඬුවම් පමුණුවන ලද නඩු තීන්දුව මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බැවින් ඔහුට සාධාරණ වන්දියක් ගෙවන ලෙස නියම කරමින් ලංකාවේ භාවිත කරන උසාවි අපහාස නීතිය මානව හිමිකම් උල්ලංඝනයන්ට ඉඩ නොලැබෙන පරිදි සංශෝධනය කොට එය මානව හිමිකම් කොමිසම වෙත වාර්තා කරන ලෙස ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෝෂදර්ශනයට ලක්වීම ආරම්භවන්නේ එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද්ධය අවසන්වීමෙන් පසුව නොව එය සරත් නන්ද සිල්වාගේ අධිකරණ පාලන කාලයේ සිටම ඔහුගේ අගතිගාමී නඩු තීන්දු මුල් කොටගෙන ඇතිව තිබෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

(අවසන් කොටස ලබන සතියේ)