බ්රිතාන්ය යටත්විජිත පාලන යුගයේදී රටේ ඇතිවූ මහා වෙනස්කම් ආශ්රයෙන් ලංකාව නවීන රටක් බවට පත්වූ ආකාරය මීට පෙර සැකෙවින් සොයා බලන ලදි. එහිදී සිදුවූ විපර්යාසය ඉතා දැවැන්ත විය. එතෙක් ලංකා ඉතිහාසයේ සිදුවී තිබූ සියලු පෙරළි එකට ගත්තද බ්රිතාන්ය යුගයේදී ඇතිවී තිබූ එම පෙරළිය වඩා විශාල විය. එය මේ දක්වා වන ලංකා ඉතිහාසයේ ඇතිවී තිබෙන විශාලතම පෙරළියවීයැ”යි ද කිව හැකිය.
එහෙත් සිදුවූ එම මහා පෙරළිය තුළ කිසියම් විකෘතියක් සේ ම අසම්පූර්ණභාවයක් ද තිබුණි. තිබුණු වැඩවසම් ක්රමය ධනේශ්වර ක්රමයක් බවට පරිවර්තනය වීම අභ්යන්තර හේතු මත ඇති වූවක් නොවීය. එය බාහිර බලපෑම නිසා සිදුවූ දෙයක් විය. එය පෙරළිය තුළ තිබූ විකෘතිය වීයැ”යි කිව හැකිය. සමාජ වටාපිටාවේ වෙනස්කම් ඇති කරන මහා පෙරළියක් සිදුවී තිබුණද සමාජ චින්තනය ඊට ගැළපෙන තරමකට වෙනස් වී තිබුණේ නැත. එය ඇතිවූ පෙරළියේ අසම්පූර්ණභාවය කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් විය. මිනිසුන් ජීවත් වන බාහිර වටාපිටාව ධනවාදී වී තිබුණද ඊට ගැළපෙන තරමකට මිනිසුන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප වෙනස් වී තිබුණේ නැත. බාහිර පෙනුමෙන් මිනිසුන් ධනවාදී වී තිබුණද සිතුම් පැතුම් ආකල්පවලින් ඔවුන් සිටියේ වැඩවසම් තත්ත්වයකය. ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමයකට මාරුවී තිබුණද ඔවුන්ගේ සිතුම් පැතුම් හා චින්තනය ගැළපුණේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයකට නොව වැඩවසම් රාජාණ්ඩු ක්රමයකටය. එය ශ්රී ලංකාවේ අර්බුදය කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් වන නිසාත් අවශ්ය තරමට සාකච්ඡාවට ලක්ව නැති ප්රශ්නයක් වන නිසාත් එය සැකෙවින් සලකා බැලීම වැදගත්ය.
බටහිර පුනරුදය
අපට එම තත්ත්වය බටහිර ඇතිවු පුනරුදය සමග සැසඳිය හැකිය. ලෝක ඉතිහාසයේ නවීන යුගය ආරම්භවන්නේ බටහිර රටවල ඇතිවන එම පුනරුදයෙනි. එය 14 වැනි සියවසේදී ඇරඹී 17 වැනි සිය වස දක්වා ඉදිරියට ගිය ක්රියාදාමයක් ලෙස සලකනු ලැබේ. ලෝක ඉතිහාසයේ විශාලතම වෙනස්කම් ඇතිවන්නේ එම කාලපරිච්ඡේදයේදීය.
මධ්යකාලීන යුගය අවසන් වී පුනරුද යුගය ඇරඹෙන තැන පිළිබඳව මතභේද පවතී. සමහර විචාරකයන්ට අනුව කොළම්බස් විසින් ඇමරිකාව සොයාගන්නා ලද වර්ෂය වන 1492න් එය ආරම්භ වන බවය. තවත් සමහර විචාරකයන් කියන්නේ මාර්ටින් ලූතර් පල්ලියට චෝදනා ඉදිරිපත් කරන වර්ෂය වන 1520න් එය ආරම්භ වන බවය.
එහි ආරම්භක තැන කුමක් වුවද පුනරුදයට අදාළ වැදගත්ම ලක්ෂණය වූයේ නිදහස් චින්තනයට හා විද්යාවට දොරටු විවෘතවීමය. යුරෝපයේ මධ්යතන යුගය දේව ධර්මය රජ කළ අන්ධකාර යුගයක් ලෙස සැලකිය හැකිය. පල්ලියේ අදහස්වලට පටහැනි වන අදහස් පළකිරීම මරණ දඬුවමට ලක්විය හැකි දරුණු අපරාධයක් ලෙස සැලකුණි. බර්ට්රම් රසල්ට අනුව විද්යාවේ සිදුවූ බරපතළම ආක්රමණය ලෙස සැලකිය හැක්කේ 1543දී පෝලන්ත ජාතික කෝපනිකස් (1473-1543) විසින් සූර්යයා පෘථවිය වටේ වෙනුවට පෘථිවිය සූර්යයා වටේ ගමන් කරන බව කියන සිද්ධාන්තය ඉදිරිපත් කිරීමය. ඔහු එය සොයාගත්තේ එය පළ කළ වසරට වසර 30කට පෙර වුවද මරණ දඬුවමෙන් බේරී සිටීම සඳහා ඔහු එය ප්රකාශ කරන ලද්දේ මරණ මංචකය ආසන්නයේදීය. ඔහු පළ කළ සිද්ධාන්තය අනුගමනය කළ නිසා ඉතාලි ජාතික බැනෝට (1594-1600) සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය.
ගැලීලියෝ (1564-1642) සැලකෙන්නේ නවීන විද්යාවේ ආරම්භයකයන් අතුරින් ශ්රේෂ්ඨමයා වශයෙනි. ඔහු තාරකා විද්යාඥයෙකු පමණක් නොවූ අතර ගති විද්යාවේ ආරම්භකයාද විය. ත්වරණයෙහි වැදගත්කම පළමුවරට සොයාගන්නා ලද්දේ ඔහුය. ඔහු කෝපනිකස්ගේ සිද්ධාන්තය අනුමත කළේය. එහෙත් පල්ලිය ඊට එරෙහිවීම නිසා සිය ප්රකාශය ඉල්ලා අස්කර ගැනීම නිසා මරණ දඬුවමට ලක් නොවී සිටීමට ඔහු සමත් වුවත් ඒ වෙනුවෙන් මරණය දක්වාම නිවාස අඩස්සියේ ජීවත්වීමට ඔහුට සිදුවිය.
පුනරුදය ආරම්භවන්නේ පාප්වහන්සේගේ ආධිපත්යයට එරෙහිව යුරෝපයේ ඇතිවන සටන්වලිනි. ඒ සමග යුරෝපයේ පැවති රදළ වැඩවසම් ආධිපත්යයද බිඳ වැටෙමින් ධනවාදය ඒ තැන ගනිමින් තිබුණේය. දේව ධර්මයට තිබූ ආධිපත්යය බිඳ වැටී විද්යාවේ ආධිපත්යය ඒ තැන හිමිකර ගන්නේය. රජවරුන්ට තිබූ ආධිපත්යයද ක්රම ක්රමයෙන් බිඳ වැටෙමින් හෝ වෙනස්වෙමින් ප්රජාතන්ත්රවාදී රාජ්යයන් පහළ වන්නට වූහ. බ්රිතාන්යයේ පළමුවැනි චාර්ල්ස් රජුට මැරුම් කන්නට සිදුවෙමින් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය තහවුරු කිරීමට හේතුවන ඉංග්රීසි සිවිල් යුද්ධය (1642-8) ඇතිවන්නේද, ඇමරිකන් විප්ලවය (1758-88) හා ප්රංශ විප්ලවය (1789-99) සිදුවන්නේද මෙම සංක්රමණීය කාලපරිච්ඡේදයේදීය. කෝපනිකස් ආකාශය විශාල කළ ආකාරයටම වස්කෝද ගාමා හා කොළම්බස් ලෝකය විශාල කළේය. බර්ට්රම් රසල් කියා තිබෙන ආකාරයට මෙම පෘථවි ගෝලය මරණින් පසු වෙනත් ලෝකයකට යෑමට තිබෙන දුක්කම්කටොලුවලින් ගහණ වන්දනා ස්ථානයක් ලෙස සලකා ක්රියා කරන පුරුද්ද යුරෝපය අත්හැරියේය. ඒ වෙනුවට විද්යාවට, සෞන්දර්යයට හා වික්රමයට බර තබා ක්රියාකරන ලෝකයක් බවට පෙරළිණ. ගෘහ නිර්මාණ ශිල්පයේද, චිත්ර කලාවේද, සංහිත කලාවේ, නාට්යයේ හා සාහිත්යයේද අතිවිශාල දියුණුවක් ඒ කාලපරිච්ඡේදය තුළ සිදුවිය. ඒ අංශ සඳහා මහා පුරුෂයන් වැඩි ගණනක් බිහිවන්නේද ඒ කාලපරිච්ඡේදයේදීය. ගුරුත්වාකර්ෂණය ඇතුළු වැදගත් විද්යාත්මක සොයා ගැනීම් ගණනාවක් සොයාගනු ලැබූ අයිසැක් නිව්ටන් (1642-1727) පුනරුද යුගයේ බිහිවන ශ්රේෂ්ඨම විද්යාඥයා ලෙස සැලකේ. විද්යාවේ නව සොයාගැනීම් ගෞරවය හා පිළිගැනීම ලබාදෙන අහිංසක දෙයක් ලෙස සැලකුණා මිස මරණ බිය ඇති කරන දෙයක් ලෙස ක්රියා නොකළේය. විද්යාවේ ආධිපත්යය පාලනය පිළිබඳ දෙයක් නොවී බුද්ධිය පිළිබඳ දෙයක් වීම නිසා එය ආගමික ආධිපත්යයට වඩා වෙනස් දෙයක් විය. එය පිළිනොගන්නවුන් වෙත දඬුවම් පැමිණවීමක් සිදු නොවීය. අනෙක් අතට එය ආගම් මෙන් ස්වකීය තීරණ නියත හෝ සදාකාලිකව වෙනස් නොවන දෙයක් ලෙසද නොසැලකීය.
නූතන රාජ්යය
යුරෝපයේ ඇතිවූ මෙම මහා වෙනස්කම් දේශපාලනය හා දර්ශනවාදය කෙරෙහිද බලපෑවේය. එය මේ අංශ දෙකේම නිදහස් වාදයක් ඇති කිරීමට හේතුවිය. දිගින් දිගට පැවති ආගමික යුද්ධවලින් හෙම්බත්වී සිටීම හේතු කොටගෙන නිදහස්වාදය ආගමික සහජීවනයන් වෙනුවෙන් පෙනී සිටියේය. එය ආගමික ගැටුම් මෝඩ දෙයක් ලෙස සැලකීය. එය වාණිජ කටයුතු හා කර්මාන්ත අගේ කොට සැලකූ අතර දේශපාලනයේදී උරුමයෙන් තේරී පත්වන රාජාණ්ඩු ක්රමයක් වෙනුවට මහජනයා තෝරාපත් කරගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයකට පක්ෂපාත විය. අදහස් පළකිරීමේ නිදහස අගය කළේය. මිනිස් අයිතිවාසිකම්වලට ගරු කළේය. දේපළ අයිතිවාසිකම්වලටද ඉමහත් ගෞරවයක් දැක්වීය. සියලුදෙනාම එක සමානව උපදින බව පිළිගත්තේය. වර්ගභේදය පිළිකුල් කළ අතර ආගම රාජ්යයෙන් පරිබාහිරව තිබිය යුතු දෙයක් ලෙස සලකන ලදි. දේශපාලන බලයේ උල්පත ලෙස සලකන ලද්දේ මහජනයාය.
නූතන ධනේශ්වර රාජ්ය එකවර තනා බිහිකරන ලද දෙයක් නොවීය. එය විශාල වාද විවාවද හා සමාජ අරගල මැද්දේ විකාශනය වූ ක්රියාවලියක් විය. ධනේශ්වර ප්රජාතන්ත්රවාදී රාජ්යයන් තුළ තිබිය යුතු මූලික ලක්ෂණ පිළිබඳව දේශපාලන තලයේ මහා විවාද ඇතිවිය.
හොබ්ස් (1588-1679) ගේ රාජ්යය තුළ මහජනයාට තිබුණේ ඉතාමත් අවැදගත් තැනකි. එහි පරම බලය තිබුණේ පාලකයාටය. හොබ්ස්ටද සම්මුතියක් තිබුණි. එය පාලකයාට අවනතවීමට වැසියන් විසින් එකිනෙකා අතර ඇතිකර ගන්නා ලද ගිවිසුමකි. හොබ්ස්ගේ රාජ්යයේ පාලකයා අසහාය වෙයි. ඔහුගේ වචන නීතිය වේ. පාලන බලය යළි උදාකර ගැනීමේ අයිතියක් මහජනයාට නැත.
එහෙත් නිදහස්වාදී න්යායවාදීන් රාජ්ය පිළිබඳ ප්රශ්නය සලකා බලන ලද ආකාරය ඊට මුළුමනින් වෙනස්ය. ධනේශ්වර රාජ්යය පිළිබඳව ලිබරල්වාදී න්යාය වාදයක් ඇති කොට පෝෂණය කළ දාර්ශනිකයන් හෝ දේශපාලන න්යායවාදීන් ලෙස සැලකෙන්නේ ජෝන් ලොක් (1636-1704) චාල්ස් ලුවිස් මොන්ටෙස්කියූ (1689-1755) හා ජොන් ස්ටුවර්ට් මිල් (1806-1873) ය.
මේ අය අතරින් භාග්යවන්තයා ලෙස සැලකෙන්නේ දාර්ශනික නිදහස්වාදයේ ආරම්භකයා ලෙස සැලකෙන ලොක්ය. ඔහු තමන් ජීවත් වූ කාලයේදීම තමන් ජීවත් වූ රට කෙරෙහි පමණක් නොව, ඊටත් වැඩියෙන් ඇමරිකන් විප්ලවය හා ප්රංශ විප්ලවය කෙරෙහි බලපෑවේය. ප්රංශයේ ඔහුගේ ප්රකාශකයා වූයේ වොල්ටෙයාර්ය.
ජොන් ලොක් ඇතුළු ඔහුගේ අනුප්රාප්තික න්යායවාදීන්ගේ මතය අනුව පාලකයා හා පාලිතයා අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම රාජ්ය බලයේ පදනම ලෙස ක්රියා කරයි. ආණ්ඩුවට තිබෙන බලය සීමාසහිතය. එය මහජනයා සිය කැමැත්ත තුළින් පවරන ලද බලතලවලට සීමාවිය යුතුය. රාජ්ය නිරාගමික විය යුතුය. එසේම එය ආර්ථික හෝ සමාජ ක්ෂේත්ර පාලනය කරන තැනකට නොයා යුතුය. රාජ්යයේ ව්යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල කේන්ද්රගතවීමට ඉඩ නොලැබෙන ලෙස වෙන්කර තැබිය යුතුය.
රාජ්ය පිළිබඳ මෙම අදහස් වර්තමානයේ විප්ලවකාරී ලෙස නොපෙනෙනු ඇතත් ඒ යුගයේ හැටියට ඒවා ඉතාමත් විප්ලවකාරී විය. මේ කාලයේ සමාජයේ ඇතිවූ ගැටුම්, මහා වෙනස්කම්, ඉදිරිපත්වූ නව න්යාය වාද, ඒවා ගැනවූ පළමු පොත්පත් හා වාද විවාද ඇතිවෙමින් තිබූ එම මහා පරිවර්තනයට භාජනයවෙමින් සිටි ජන සමාජයේ සිතුම් පැතුම් හා ආකල්ප වෙනස් කරමින් ඔවුන් නවීන ලෙස සිතන පතන ජනතාවක් බවට පත් කළේය. එය සමාජයේ ඇතිවූ මහා වෙනස්කම්වලට අනුරූපීව සිදුවූ මහා චින්තන විප්ලවයක් ලෙස සැලකිය හැකි අතර එය සමාජයේ සිතුම් පැතුම් කෙරෙහි පමණක් නොව, විද්යාව, කලාව, දර්ශනවාදය හා දේශපාලනය කෙරෙහි ද බලපෑවේය. එම චින්තනයේ විප්ලවය සමාජය පැරණි වැඩවසම් ආකල්ප හා සිතුම් පැතුම්වලින් ඉවත් කොට නවීන ලෙස සිතන මතන සමාජයක් බවට පත් කළේය.
ඉන්දියාවේ චින්තන විප්ලවය
එහෙත් බ්රිතාන්ය යටත්විජිත පාලන යුගයේදී ලංකාවේ මහා වෙනස්කම් ඇති වුවද ඊට අනුරූපී චින්තන විප්ලවයක් මෙහි සිදු නොවීය. ඉන්දියාවේ ඇතිවූ විපර්යාසයද ලංකාවේ ඇතිවූ විපර්යාසයට සමානය. එහිද ධනේශ්වර ක්රමය ඇතිවී තිබුණේ අභ්යන්තර හේතුවල ඵලයක් ලෙස නොව බාහිර බලපෑම්වල ඵලයක් වශයෙනි. ඒ නිසා ඉන්දියාවේ සමාජ චින්තනයේ ඇතිව තිබූ මහා හිඩැස අප මෙන් නොව ඉන්දියානු නායකයන් ඉතාමත් නිර්මාණශීලී ආකාරයකට සම්පූර්ණ කිරීමට සමත් විය.
ඔවුන් ඉන්දියාව නිදහස් කරගැනීමේ අරගලය සමාජ ක්රියාකාරීත්වය මගින් දිනාගත යුතු දෙයක් බවට පත් කළේය. එම සමාජ ක්රියාකාරීත්වය නිදහස දිනාගැනීමේ අරමුණට සීමා නොකොට, නිදහස් අරගලය ඉන්දියානු සමාජය මහා චින්තන විප්ලවයකට යොමු කරන සක්රීය ක්රියාදාමයක් බවට පත්කර ගත්තේය. ඒ මගින් ඉන්දියානු සමාජය තමන්ට හුරු පුරුදු වැඩවසම් ආකාරයට සිතන මතන සමාජයක් වෙනුවට ඇතිව තිබුණු හා ඇතිවෙමින් තිබුණු මහා වෙනස්කම්වලට ගැළපෙන ලෙස නවීන ලෙස සිතන මතන සමාජයක් බවට පත් කළේය.
කුලභේදය ඉන්දියාවේ ඉදිරි ගමනට තිබූ ලොකු සම්බාධකයක් විය. එය සමාජ ඒකාග්රතාව වැළකීමෙන් නොනැවතී රටේ භෞතික දියුණුවද වළකන සාධකයක් ලෙස ක්රියාකරමින් තිබුණේය. බටහිර රටවලට පෙර සමහර විද්යාත්මක සොයාගැනීම් ඉන්දියාව විසින් සිදුකර තිබුණද ඒවා ඉන්දියාවේ දියුණුව පිණිස යොදා ගැනීමට නොහැකි වී තිබුණේ එහි පැවති දැඩි කුලභේදය නිසාය. මහත්මා ගාන්ධි බුදුන්වහන්සේගෙන් පසුව හින්දු කුල ක්රමයට තිබෙන නිල පිළිගැනීම නැති කිරීම සඳහා බලවත් ලෙස ක්රියා කළ පුද්ගලයා ලෙස සැලකිය හැකිය. ඔහුගේ මගපෙන්වීම යටතේ ඉන්දියානු ජාතික කොංග්රසය කුලභේදයට තිබෙන නිල පිළිගැනීම අහෝසි කිරීම සඳහා දුෂ්කර හා දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය. ඒ සමග එය ආගම් භේදයට හා වර්ග භේදයට එරෙහිවද විශාල දෘෂ්ටිමය අරගලයක නිරත වූවේය. ඒ මගින් එක්සත් ජාතියක් ඇති කර ගැනීමට අවශ්ය ශක්තිමත් පදනමක් ගොඩ නැගුවේය.
කොංග්රසය ප්රජාතන්ත්රවාදී අදහස් හා ආයතනක්රම ජනතාව අතර ප්රචලිත කළේය. එය සර්වජන බලය මත පදනම්වූ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයක් වෙනුවෙන් පෙනී සිටියේය. එවැනි ආණ්ඩුක්රමයන් සඳහා ජනතාව පුරුදු පුහුණු කළේය. ඉන්දියානු ජාතික කොංග්රසය ගොඩනගා තිබුණේද ප්රජාතන්ත්රවාදී සංවිධාන මූලධර්ම මත පාර්ලිමේන්තුවක ආකෘතියකටය. කොංග්රසයට හැම වැදගත් තීන්දුවක්ම ගනු ලැබුවේ හොඳින් වාද විවාද කොට විවෘත ඡන්ද විමසීමකට යොමු කිරීමෙනි.
නිදර්ශනයක් වශයෙන් අසහයෝගිතා ව්යාපාරයක් ආරම්භ කිරීම සඳහා 1920 කල්කටාවේ පැවති නියෝජිත සම්මේලනයට ගාන්ධි ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 1886ක් ලැබෙන විට විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්යාව 884කි. 1929දී ලාහෝර්වල පැවති සම්මේලනයට ආණ්ඩුකාරයා ගමන් ගත් දුම්රියට විප්ලවකාරී ත්රස්තවාදී කණ්ඩායමක් එල්ල කළ බෝම්බ ප්රහාරය හෙළා දකිමින් ගාන්ධි ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 942ක් ලැබෙන විට විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්යාව 794කි. ඉන්දියාවේ පිටවී යනුයි කියන ව්යාපාරය ආරම්භය කිරීම සඳහා ඉදිරිපත්වූ යෝජනාවට එරෙහිව සම්මේලනය නියෝජනය කළ කොමියුනිස්ට් නියෝජිතයන් 13 දෙනාම ඡන්දය පාවිච්චි කළේය. එම තීරණාත්මක මොහොතේදී කොමියුනිස්ට්වාදීන් ගනු ලැබූ එම තීරණය ගාන්ධි හෙළා දකිනවා වෙනුවට ජනප්රිය මතයට එරෙහිව නැගී සිටීමට ඔවුන්ට තිබුණු අධිෂ්ඨානය ගැන ඔවුන් ප්රශංසාවට ලක් කළේය.
ඉන්දියානු කොංග්රස් ව්යාපාරය අදහස් පළකිරීමේ නිදහස ඇතුළු සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින සංවිධානයක් ලෙස ක්රියා කළේය. එයට නේරු විසින් කෙටුම්පත් කරන ලදුව 1931 කරච්චි සම්මේලනයේදී සම්මත කරගන්නා ලද මානව අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියක් තිබුණි. ඉන්දියානු ආණ්ඩුක්රම ව්යවස්ථාවට පසුව ඇතුළත් කරන ලද්දේ එම ප්රඥප්තියට ඇතුළත්ව තිබූ අයිතිවාසිකම්ය. ඒ සමග ස්ත්රී අයිතිවාසිකම් පිළිබඳව ද තමන්ගේම වන ප්රඥප්තියක් ද තිබුණි.
කොංග්රසය එක නිල දෘෂ්ටියකට සීමා නොවූ දෘෂ්ටීන් ගණනාවක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ගණනාවකගේ එකතුවකින් යුතු සංවිධානයක් විය. ඒ තුළ කොමියුනිස්ට්වාදීන් ද, සමාජවාදීන්ද, අරාජිකවාදීන් හා ලිබරල්වාදීන්ද, මධ්යස්ථවාදීන් හා අන්තවාදීන් ද සිටියේය. කොංග්රසය වමට බර ව්යාපාරයක් ලෙස පැවතියද කිසිවිටෙක මාක්ස්වාදී හෝ සමාජවාදී ව්යාපාරයක් බවට පත්නුවේය. එසේම එය එක පන්තියකට සීමා නොවූ බහුපන්තික ව්යාපාරයක් විය. ඒ තුළ ගොවීන් සේ ම ඉඩම් හිමියන්ද, කම්කරුවන් සේ ම ධනපතියන්ද, කුලවතුන් සේ ම කුල පීඩිතයන්ද සිටියේය.
එයට ඉන්දියාවේ ඈත ඉතිහාසය ගැන සේ ම, යටත්විජිතවාදය හා එහි හොඳ නරක ගැනද, ගොඩ නගන්නට යන නව ඉන්දියාවේ ස්වභාවය ගැනද සාරගර්භ විශ්ලේෂණයක් තිබුණේය. එය අපේක්ෂා කළේ ස්වාධිපත්යය බලය මහජනයාට ලැබෙන බහුවාර්ගික, බහු ආගමික, ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයක් සහිත අනාගාමික රාජ්යයකි.
අවසාන විග්රහයේදී ඉන්දියානු කොංග්රසයට සිය නිදහස් අරගල ව්යාපාරය තුළ බ්රිතාන්යයන් විසින් ඇති කරනු ලද ධනේශ්වර පරිවර්තනය සමග ඉදිරියට යෑමට අවශ්ය කරන නවීන සිතුම් පැතුම් හා ආකල්ප ඇති දැවැන්ත චින්තන විප්ලවයකට හසුකරනු ලැබූ සමාජයක් ඇති කරගැනීමට සමත් විය.
ලංකාවේ චින්තනයේ දුගීභාවය
එහෙත් ලංකාවේ අපි බන්දේසියක තබා තෑගි වශයෙන් ලබාගත් නිදහසත් සමග ඉදිරියට යන්නට උත්සාහ කළේ ඇතිව තිබූ ධනේශ්වර පරිවර්තනයට ගැළපෙන නවීන චින්තනයක් සහිත සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරවය.
අපි දියුණු වාරි ශිෂ්ටාචාරයකට හිමිකම් කී ජනතාවක් ලෙස සැලකිය හැකිය. එම ශිෂ්ටාචාරය ක්රි.ව. 1275 පමණ වන තෙක් පැවතුණු අතර ඒ කාලයේදී එම ශිෂ්ටාචාරයට අනුරූපී කිසියම් දියුණු චින්තනයක් අපට තිබුණා විය යුතුය. ඒ දියුණුව කෙරෙහි නිදහස් චින්තනයට අනුබල දෙන දහමක් ලෙස සැලකිය හැකි බුද්ධාගමද බලපෑවා විය යුතුය. එකල සංස්කෘතියේ බලවත්ම අංගය ලෙස තිබුණේ වැව්ය. වාරි ඉංජිනේරු ශිල්පයේදී පැරැන්නන් පෙන්වා තිබෙන හැකියාවන්, වර්තමාන වාරි ඉංජිනේරුවන් පවා මවිතයට පත් කරන්නේයැ”යි කිව හැකිය. ඒ සමග ඔවුන් ඇති කර තිබෙන විහාර, ප්රතිමා හා සීගිරිය වැනි නිර්මාණ දියුණු චින්තනයක් නොතිබුණු ජනතාවට ඇති කරගත හැකියැ”යි කිව නොහැකිය. එහෙත් වාරි ශිෂ්ටාචාරයේ හද බිම වශයෙන් පැවති රජරට අර්බුදයට පත්වීම හා සිංහල රාජධානිය එම කලාපයෙන් ඉවතට තල්ලු වී යන හේතු නිසා ශිෂ්ටාචාරයේ පදනම බිඳ වැටී එම ශිෂ්ටාචාරය පරිහානිය කරා යන තැනකට තල්ලු වූ බව පෙනේ. ඒ පිරිහීම චින්තනය කෙරෙහිද බලපෑවා විය යුතුය. එම තත්ත්වය ප්රමාණවත් තරමින් අධ්යයනයට හෝ විමර්ශනයට ලක්ව නැති පැත්තක් ලෙස සැලකිය හැකිය. ඉන්පසු ඇතිවන පරාධීනත්වය කෙරෙහිද එම පිරිහීම බලපා ඇති බව පෙනේ. පරාධීන තත්ත්වයක පැවති කාලපරිච්ඡේදය දීර්ඝකාලීන එකක් වූ අතර ඉන්පසු ජාතික හා ආගමික බලවේගයන් නැතිව තිබූ ගෞරවය හා ආත්මාභිමානය නැවත හිමිකර ගැනීම සඳහා තමන්ගේම වන චින්තනයක් පෙන්නුම් කෙරෙන ආකාරයට නැගී සිටීමට උත්සාහ දරන්නේ 19 වැනි ශත වර්ෂයේ අවසානයේදී රටේ පැවති ක්රිස්තියානි ආගමික ආධිපත්යයට එරෙහිව නැගී සිටින ව්යාපාරයක් වශයෙනි. එය ධනේශ්වර ක්රමයේ මහා වෙනස්කම්වලට රට යොමුවී තිබූ කාලපරිච්ඡේදයක් විය.
ඒ කාලයේ බෞද්ධ හා හින්දු ආගමික වේශයකින් මතුවන දේශීය ආගම්වල පුනර්ජීවන ව්යාපාර එම යටත්විජිත යුගය තුළ සමාජ චින්තනය කෙරෙහි බලපෑ පළමු සමාජ ව්යාපාරය ලෙස සැලකිය හැකිය. එහිදී මතුවන මුස්ලිම් පුනර්ජීවන ව්යාපාරය මෙහිදී සැලකිල්ලට නොගන්නේ එය බෞද්ධ හා හින්දු ව්යාපාර මෙන් ක්රිස්තියානිකරණයට එරෙහිව සටන් කරන තැනකට ගිය ව්යාපාරයක් නොවන නිසාය. ඉන්දියාවේ ඇතිවූ ආගමික පුනර්ජීවන ව්යාපාර සමග සසඳන විට ලංකාවේ බෞද්ධ හා හින්දු පුනර්ජීවන ව්යාපාරය පටු තැනක හිරවී තිබූ ව්යාපාරයක් ලෙස සැලකිය හැකිය.
බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් බලවත් ලෙස සටන් කළ දේශීය බෞද්ධ නායකයන් සිටියදී බෞද්ධ පුනර්ජීවන ව්යාපාරයේ නායකත්වයට පත් කරගනු ලබන්නේ විදේශිකයකු වූ හෙන්රි ස්ටීල් ඕල්කට්ය. එම ව්යාපාරයේ නායකත්වය විදේශිකයකු අතට පත්කිරීම කෙරෙහි බලපෑ ප්රධාන හේතුව ලෙස ක්රියා කළේ ගිහි පැවිදි බෞද්ධ නායකයන් අතර පැවති කුලභේදයයි. ආරම්භයේදී කුලභේදයට එරෙහිව බලවත් ලෙස නැගී සිටි දහමක් ඒ වන විට කුලභේදයේ ග්රහණයට හසුවී තිබූ තරම ඉන් පෙන්නුම් කරයි. බෞද්ධ පුනර්ජීවනය කෙරෙහි පවා කුලභේදය බලපා තිබුණි. ශාසනයට අදාළව ඒ පසුබිමේ සිදුවූ වැදගත්ම දෙයක් වූයේ උපසම්පදාවේදී ගොවිගම කුලය ඇති කරගෙන තිබූ ඒකාධිකාරයට එරෙහිව වෙනත් කුල මත පදනම් වූ නව නිකායක් ඇතිකර ගනිමින් එම නිකායන්ටද උපසම්පදාව විවෘත කරගැනීමය. බෞද්ධ පුනර්ජීවන ව්යාපාරයේ ගාමක බලවේගය ලෙස ක්රියා කළේද ගොවිගම නොවන බෞද්ධයන්ය. ගොවිගම සහභාගිත්වය නාමමාත්රික තත්ත්වයක පැවතුණි. උතුරේ මතුවූ හින්දු පුනර්ජීවන ව්යාපාරය කෙරෙහි ද කුලභේදය, ඊට වෙනස් ආකාරයකින් බලපෑවේය. හින්දු පුනර්ජීවන ව්යාපාරයේ ගාමක බලය ලෙස ක්රියා කළේ වෙල්ලාලයින්ය. වෙල්ලාල නොවන කුලවල සහභාගිත්වය නාමමාත්රික තත්ත්වයක පැවතුණි.
මේ කාලයේ මතුවන ආගමික පුනර්ජීවන ව්යාපාර කිසිදු ඓතිහාසික වැදගත්කමක් ඇති කාර්යභාරයක් නොකළ බවක්, ඉන් අදහස්වන්නේ නැත. චින්තනයේ පටුත්වයක් තිබියදීත් එය රටේ පැවති ක්රිස්තියානිකරණ ක්රියාදාමයට එරෙහිව දේශීය ආගම් නැගී සිටි බලවත් අවස්ථාවක් වනවා සේ ම දෘෂ්ටිමය තලයේ ක්රිස්තියානි ආගම් හිමි කරගෙන තිබූ බලවත් තත්ත්වය නැති කොට යටපත් කර තිබූ දේශීය ආගම් නැවත තමන්ට හිමි බලය හිමි කරගත් අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. එහෙත් ඉන්දියාවේ ආගමික පුනර්ජීවන ව්යාපාර සමග සසඳන විට අපේ ආගමික පුනර්ජීවන ව්යාපාර තිබුණේ ඉතා පසුගාමී තැනකය.
ඉන්දියාවේ ආගමික පුනර්ජීවන ව්යාපාරය තමන්ගේ ආගම්වලට බාහිරෙන් එල්ල වී තිබුණු තර්ජනයන්ට පමණක් සීමා නොවූයේය. ඒවා තමන්ගේ ආගම්වල අභ්යන්තරයන් දෙස ද විවේචනාත්මකව බලන තැනකට ගියේය. නිදර්ශනයක් වශයෙන් බෙංගාලයේ හින්දු පුනර්ජීවන ව්යාපාරයේ ප්රධාන නායකයා ලෙස ක්රියාකළ රාජරායි මොහාන් රායි (1775-1853) හින්දු කුල ක්රමය, ළමා විවාහ, දෑවැද්ද, පති පූජාව වැනි පැවතුම් ගැන බලවත් ලෙස විවේචනය කළේය. අපේ බෞද්ධ හෝ හින්දු පුනර්ජීවන ව්යාපාර තුළ දක්නට නොතිබුණු ලක්ෂණයද එය විය. ඒවා බාහිර වශයෙන් එල්ල වූ තර්ජනයන්ට පමණක් සීමාවූ අභ්යන්තර විවේචනයනට නොගිය ව්යාපාර ලෙස සැලකිය හැකිය. එයද අපේ චින්තනයේ පටු බව පෙන්නුම් කළ වැදගත් අවස්ථාවක් විය.
(අවසන් කොටස ලබන කලාපයේ)