මට මුලින් සිතුණේ අධිකරණ සටනේ මළගම ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් ලිවිය යුතුය කියාය. එහෙත් රිසානා ඛේදවාචකය ගැන පළමුවෙන් ලිවිය යුතුය කියා පසුව සිතුණේය. රිසානා සිද්ධියද වඩා වෙනස් ආකාරයකට රටේ දේශපාලන ක්රමය සහ සමාජ ක්රමය කුණුවී තිබෙන තරම පෙන්නුම් කරන අවාසනාවන්ත සිද්ධියක් ලෙස සැලකිය හැකිය.
රිසානාගේ ඛේදජනක මරණය භේදයකින් තොරව මහජන මනසේ විශාල කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබුණද එය විදේශ රැකියා වෙළෙඳපොළ ප්රතිපත්තිය නැවත සලකා බලන තැනකට රට තල්ලු කිරීමට හේතුවී තිබෙන බවක් පෙනෙන්නට නැත.
ශ්රී ලංකාවට විදේශ විනිමය ගලා ඒම්වල ප්රධානම ප්රභවය බවට පත්ව තිබෙන්නේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණයන්ය. එය රටට ලැබෙන නිල ආධාරවල ප්රමාණයට වඩා විශාල වන අතර ඍජු විදේශ ආයෝජනයන්ගේ ප්රමාණයට වඩා ද විශාලය. ප්රේෂණ ආදායම සමග සසඳන විට සංචාරක කර්මාන්තයෙන් උපයන විනිමය ආදායමේ ප්රමාණය හුඟාක් පුංචිය. උපයන ශුද්ධ විදේශ විනිමය වටිනාකම අනුව ගත් කල විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්රේෂණ ආදායම මුළු අපනයන වෙළෙඳාමෙන් උපයන ශුද්ධ විදේශ විනිමය ආදායමටත් වඩා වැඩිය. ඒ අර්ථයෙන් විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්රේෂණ ආදායම ශ්රී ලංකා ආර්ථිකයේ අංක 1 ලෙස සැලකිය හැකිය.
ප්රේෂණ ආදායම
විදේශගතවී සිටින ලක්ෂ 30ක් පමණ වන ශ්රී ලාංකිකයන්ගෙන් ලක්ෂ 18ක් විදේශ සේවා නියුක්තිකයන් ලෙස සැලකේ. වසරකට ලක්ෂ දෙකහමාරත් තුනක් අතර සංඛ්යාවක් විදේශීය රැකියා සඳහා විදේශගතවේ. ඔවුන්ගෙන් 1.5%ක් වෘත්තීයවේදීන් වන අතර 2.3%ක් කාර්මිකයන්ය. ලිපිකරුවන් හෝ මැද ගණයේ රැකියා සඳහා යන්නන්ගේ අනුපාතිකය 3.8%කි. පුහුණු ගණයට වැටෙන අයගේ අනුප්රාප්තිකය 25.7%ක් වන විට නුපුහුණු ගණයට වැටෙන අයගේ අනුපාතිකය 66.6%කි. නුපුහුණු ගණයට වැටෙන අයගෙන් 80%ක්ම අයත්වන්නේ ගෘහ සේවිකා ගණයටය. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්යය, කුවේට් හා කටාර් යන රටවලට ගෘහ සේවාකිවන් සපයන ප්රධාන රට බවට පත්ව තිබෙන්නේද ශ්රී ලංකාවය. සෞදි අරාබියේ හා එක්සත් එමීර් රාජ්යයේ ශ්රී ලාංකික සංක්රමණික සේවකයන් සඳහා තිබෙන ඉල්ලුම මුළුමනින්ම පාහේ ගෘහ සේවිකාවන් සඳහා වේයැ”යි කිව හැකිය. සෞදි අරාබියේ පමණක් සේවය කරන ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් සංඛ්යාව ලක්ෂ පහකි.
2012 වසරේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ ආදායම ඩොලර් මිලියන හයකි. සමස්ත අපනයන වෙළෙඳාමෙන් (ඇඟලුම්, තේ, පොල්, රබර්, කුළු බඩු ඇතුළු) එම වසරේ උපයන ලද ආදායමේ වටිනාකම ඩොලර් බිලියන 10කි.උපයන ලද ශුද්ධ විදේශ විනිමය වටිනාකම් අනුව බලන විට මුළු අපනයන වෙළෙඳාමෙන් උපයන ලද ආදායම අබිබවා ආර්ථිකයේ අංක එකට බවට පත්ව තිබෙන්නේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණවලින් උපයන ආදායමය. ඔවුන්ගේ ප්රේෂණවලින් ශ්රී ලංකාවේ ආර්ථිකයට ලැබී තිබෙන ශක්තිය අතිවිශාලය. මෙම ප්රේෂණ නිසා විදේශ විනිමය හිඟය සහ විනිමය අනුපාතිකය මත වන පීඩනය ලිහිල් කිරීමටත්, ගෙවීම් ශේෂ තත්ත්වය වැඩි දියුණු කිරීමත් උපකාරී වේ. ඒ නිසා රටට ණය ලබාගැනීමට තිබෙන හැකියාව සහ ජාත්යන්තර ප්රාග්ධන වෙළෙඳපොළ සඳහා වන ප්රවේශයන් වර්ධනය කිරීමටද හේතුවී තිබේ. සාමාන්යයෙන් ආර්ථිකය වර්ධනය වන අවස්ථාවලදී ප්රාග්ධන ගලා ඒම් ඉහළ යනමුත් ආර්ථික වර්ධනය පහත බසින අවස්ථාවලදී ප්රාග්ධන ගලා ඒම් පහත බසී. එහෙත් විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්රේෂණ රටේ ආර්ථික වර්ධනය පහත බසින අවස්ථාවලදී පවා ඉහළ යන නැඹුරුවක් පෙන්නුම් කරයි. මෙම ප්රේෂණ ගෙවුම් තුලනයේ උච්චාවචනයන් සමනය කිරීමට උපකාරී වන අතර රටේ දුප්පත්කමේ බර සැහැල්ලු කිරීමට සේ ම ආදායම් ව්යාප්තියේ සාධාරණ තත්ත්වයක් ඇති කිරීම කෙරෙහිද වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන්නේයැ”යි කිව හැකිය.
කුඩම්මාගේ සැලකිල්ල
විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ගලා එන ප්රේෂණ ශ්රී ලංකා ආර්ථිකයේ වැදගත්ම ලීවරය මේයැයි කිව හැකි වුවද ඔවුන් ඉටුකරමින් තිබෙන එම කාර්යභාරය වෙනුවෙන් රට ඔවුන් කෙරෙහි දක්වන සැලකිල්ල යහපත් තත්ත්වයක නොපවතී. විදේශ විනිමය ආදායම් උපයන අන් හැම අංශයක් කෙරෙහිම රජ සැලකිලි දක්වන ප්රතිපත්තියක් ක්රියාත්මක වේ. විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහාත් සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය සඳහාත් කරන වියදමේ ප්රමාණය දැවැන්තය. ඒ සඳහා දෙනු ලබන සානුබලයන්ගේ ප්රමාණයද විශාලය. අපනයනය සඳහා නිෂ්පාදනය කරන්නන්ට ලබාදී තිබෙන සැලකිල්ලේ ප්රමාණයද විශාලය. එහෙත් විදේශ විනිමය උපයාදීමේදී ඒ සියලුදෙනාට වඩා විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටින විදේශීය සේවා නියුක්තිකයන්ට රට සලකන්නේ හිඟන්නන්ට සලකන ආකාරයටත් වඩා පහත් ආකාරයකටය.
මෙම අසරණ මිනිසුන් විදේශ රැකියාවකට යන්නට පෙර ඔවුන්ගේ සුබ සාධනය හා රක්ෂණය සඳහායි කියමින් රුපියල් 12,000 සිට 20,000 දක්වා වන මුදලක් ආණ්ඩුව අය කරගනු ලැබේ. ඒ මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසරකට උපයන ආදායම රුපියල් මිලියන 3000ක් පමණ වේ. එය ඔවුන් මත පටවා තිබෙන අතිරේක බරක් වන අතර ඒ අරමුදල් ඔවුන්ගේ ආරක්ෂාව හෝ සුබ සාධනය වෙනුවෙන් ප්රශස්ත ලෙස වැය කෙරෙන බවක්ද පෙනෙන්නට නැත. විනිමය ආදායම් උපයාදීමේදී ඔවුන් රටට ලබාදී තිබෙන දායකත්වයේ ප්රමාණය අනුව බලනව විට එම ගාස්තුව ඔවුන්ගෙන් ලබාගත යුතු නැත. එය රජය විසින් දැරිය යුතුව තිබෙන වියදමකි. ගමන් බලපත්ර ක්රමයද රජය ආදායම් උපයන වැදගත් මාර්ගයක් බවට පත්කොටගෙන තිබේ. හැම පිටවීමක්ම රටට විදේශ විනිමය උපයා දෙන වැදගත් මූලාශ්රයක් ලෙස ක්රියා කරයි නම් වැදගත් කොට සැලකියයුත්තේ ඒ මගින් ලැබෙන ආදායම මිස ගමන් බලපත්රවලින් ලබාගත හැකි ආදායම විය නොහැකිය. ගමන් බලපත්ර ගාස්තුව ඉහළ මට්ටමක තැබීමෙන් සිදුවී තිබෙන්නේ විදේශ රැකියා සඳහා යන දුප්පතුන් මත අතිරේක බරක් පැටවීමය.
රටට විදේශ විනිමය උපයා දෙන මෙම වැදගත් ප්රභවය ප්රශස්ත ලෙස කළමනාකරණය කිරීමට කවර ආණ්ඩුවක්වත් සමත් වී ඇතැයි කිව නොහැකිය. චන්ද්රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වී පළමු රාජාසන කතාව ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී එම රාජාසන කතාව තුළ නිසි දර්ශනයක් නැතිකම ගැන මම කොටස් වශයෙන් පළවන දීර්ඝ විචාරයක් ලීවෙමි. විදේශ සේවා නියුක්තිකයන් රටට කරන සේවාවේ තරම පෙන්වාදෙමින් ඔවුන් කරන සේවාවට සරිලන සහන ලබාදීමේ වැදගත්කම පෙන්වා දෙන අතර ගෘහ සේවිකාවන් තොග වශයෙන් පිටරට යවන ප්රතිපත්තියෙන් බැහැර වී පුහුණු සේවකයන් පිටරට යවන ප්රතිපත්තියකට මාරුවීමේ අවශ්යතාව පෙන්වාදීමට උත්සාහ කළෙමි. මා එහිදී තර්ක කළේ ගෘහ සේවිකාවන් 15ක් උපයන ආදායම එක හෙදියකට ඉපැයිය හැකි බවය. කේරළය හෝ පිලිපීනය මෙන් හෙද හෙදියන් සඳහා වන විදේශ රැකියා වෙළෙඳපොළේ ඇති ඉල්ලුමෙන් කිසියම් කොටසක් හිමිකර ගැනීමේ අරමුණ ඇතිව අප ක්රියා කළ යුතුව තිබෙන බව කියා සිටියෙමි.
මොන හේතුවක් නිසා හෝ මා විසින් ලියන ලද එම විචාරය එකල මහ බැංකුවේ ප්රධානියා ලෙස ක්රියා කළ ආචාර්ය ඒ.එස්. ජයවර්ධන විසින් කියවා තිබුණි. ඔහු මට දුරකතනයෙන් කතා කොට එම විචාරයේ එන අදහස් ප්රශස්ත බවද ගෘහ සේවකයන් පිරට යවන ප්රතිපත්තියක් වෙනුවට පුහුණු සේවකයන් පිටරට යවන ප්රතිපත්තියකට මාරුවීමේ වැදගත්කම තමන්ද පිළිගන්නා බවද, එසේම විදේශ සේවා නියුක්තිකයන්ට ඔවුන් රටට කරන සේවය සලකා විශේෂ සහන ලබාදෙන ක්රමයක් ඇති කිරීමේ වැදගත්කමද පිළිගන්නා බවද, ඊළඟ අයවැයේදී ඔවුන්ට විශේෂ සහන ලබාදෙන බවද ඔහු කියා සිටියේය.
විදේශ ගෘහ සේවය
ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවන්නන් සියලුදෙනාම පාහේ දුප්පත් පවුල් පසුබිමක් ඇති අය ලෙස සැලකිය හැකිය. ඔවුන්ගේ අපේක්ෂා ඉතා සරල සේ ම අහිංසකය. කිසියම් කාලෙකට නොදන්නා රටකට ගොස් පරවැඩ කර හෝ දැන් ගත කරන ජීවිතයට වඩා හොඳ ජීවිතයක් ගොඩනගා ගැනීම ඔවුන්ගේ අභිලාෂය වේයැ”යි කිව හැකිය. එහෙත් එය සිදුවන්නේ හිත්පිත් නැති ලොකු වෙළෙඳාමක ස්වරූපයෙනි.
ගෘහ සේවය සඳහා කාන්තාවන් පොළඹවා ගැනීම සඳහා විශාල දීමනාවක් ගෙවන ක්රමයක් ක්රියාත්මක වේ. මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් ලබාගැනීමට අවශ්ය පුද්ගලයකුට ඒ වෙනුවෙන් ඒ රටේ ක්රියාත්මක වන ඒජන්සිකරුවන්ට විශාල මුදලක් ගෙවන්නට සිදුවේ. එය ඇමරිකන් ඩොලර් 7500කට සමාන මුදලකි. ඒ මුදලින් ඒ රටේ අලුත් මෝටර් රථයක් මිලදී ගත හැකිය. එහි සිටින ඒජන්සිකරුවන් එක් ගෘහ සේවිකාවක් සොයාදීම වෙනුවෙන් ඇමරිකන් ඩොලර් 4000ක් තරම් වන මුදලක් මෙහි ඒජන්සිකරුවන්ට ගෙවනු ලැබේ. ඊට ගෘහ සේවිකාවන් සොයාදෙන තැරැව්කරුවාට ගෙවන රුපියල් 200,000 සිට 300,000 දක්වා වන මිලද ගුවන් ටිකට්පත් වියදම හා වෙනත් වියදම්ද ඒජන්සිකරුවාගේ කොමිස් මුදලද ඇතුළත්ය. මේ වෙළෙඳාමේදී බොහෝ විට තැරැව්කරුවාට ගෙවන රුපියල් ලක්ෂ දෙකේ හෝ තුනේ මුදල ලබාගන්නේ එතෙර යවනු ලබන කාන්තාවගේ ස්වාමිපුරුෂයා, මව පියා හෝ සහෝදරයාය.
ගෘහ සේවිකාවක් ලෙස පිටරට යෑමට අවශ්ය අවයම වයස් සීමාවන් තිබෙනවා සේ ම උපරිම වයස් සීමාවන්ද තිබෙන්නේය. අවම වයසට වඩා අඩු වයසක් ඇති අයගේ වයස වැඩි කිරීම මගින් හා උපරිම වයස් සීමාව ඉක්මවූ අයගේ වයස අඩු කිරීම මගින් ගැළපෙන වයස් මට්ටමක් සහතික කිරීම සඳහා ඊට අදාළ සියලු නිල ලේඛන වෙනස් කරන සංවිධානාත්මක ව්යාපාරයක් රටේ ක්රියාත්මක වේ. ඊට ඒජන්සිකරුවන් පමණක් නොව ආණ්ඩුවේ උප්පැන්න සහතික නිකුත් කරන ආයතනයද, ගමන් බලපත්ර නිකුත් කරන ආයතනද වෛද්ය සහතික ලබාදෙන වෛද්යවරුන්ද සම්බන්ධය. රිසානා අවශ්ය අවම වයස සම්පූර්ණ නොකළ ළමාවියේ කෙනෙකු වුවද ඇය විදේශ ගතවූයේ 18 විය සම්පූර්ණ කළ කාන්තාවක් ලෙසය. ඇයගේ ගමන් බලපත්රය, උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා වෛද්ය සහතිකය නිකුත් කර තිබුණේ ඒජන්සිකරුවා නොව ආණ්ඩුවේ බලය ලත් ආයතන විසිනි. ඇය විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පුහුණුවක්ද ලබාගෙන තිබුණි. ඇයට දඬුවම් කරන ලද රටේ යුක්තිය පසිඳන ලද ආයතන ක්රමයේ හොඳ නරක කුමක් වුවද අවසාන විග්රහයේදී කුඩා ළමයෙකු වූ ඇය වැඩිහිටියකු බවට පත්කර තිබුණේ ශ්රී ලංකා ආණ්ඩුව විසිනි. අපේ රටේ දේශපාලන ක්රමය හා ඒ යටතේ ක්රියාත්මක වන ආයතන ක්රමය කුණුවී තිබෙන තරම ඒ ආශ්රයෙන් තේරුම්ගත හැකිය.
රොමෙන්ටික්කරණය
රිසානාගේ අනුවේදනීය කතාව අපේ රටේ ජනමාධ්ය විසින් වෙනත් අනුවේදනීය සිද්ධීන් සේ ම රොමෙන්ටික්කරණයකට ලක් කර තිබෙන බව දැකිය හැකිය. ජනමාධ්ය ලබාදී තිබෙන අර්ථකථනය අනුව ඉතාමත් දුප්පත් පවුලක වැඩිමහල් දරුවා වූ රිසානා විදේශ ගතවූයේ සිය දුප්පත් දෙමාපියන් හා පවුලේ බාල සහෝදර සහෝදරියන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහාය. නැතිනම් ඔවුන් සියලුදෙනාට විමුක්තිය අත්පත් කරදීම සඳහාය. එහෙත් ඇත්තටම සිදුවන්නට ඇත්තේ එය නොව ඊට වෙනස් දෙයකි. බොහෝවිට ඇය ඒ ගමන යන්නට ඇත්තේ සිය කැමැත්තෙන් නොව බලකිරීම නිසාය. එල්ල වූ බලකිරීමම ඇයට ඊට එකඟවන්නට සිදුවුණා විය යුතුය. අන්ත දුප්පත්කම හෝ නූගත්කම නිසා හෝ තම වැඩිමහල් දියණිය එකවිට මුලදී ලැබෙන ලොකු මුදලක් සඳහා ඇගේ පියා හෝ දෙමාපියන් දෙදෙනා විසින්ම ඇය විකුණා තිබෙනවා මිස එම දැරිය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ගෘහ සේවිකාවක් ලෙස එතෙර යැව්වා විය නොහැකිය. ඇය අතින් එහිදී අපරාධයක් සිදුවී ඇත්නම් ඒ කෙරෙහිද ඇගේ එම විශේෂිත මානසික තත්ත්වය බලපෑවා විය යුතුය.
ගහලයන් ලවා ඇගේ ගෙල සිඳනු ලැබූ ඒ රටේ අධිකරණයද ශ්රී ලංකා ආණ්ඩුව විසින් නිකුත් කර තිබුණු ඇගේ ගමන් බලපත්රයේ එන තොරතුරු අනුව සිතන්නට ඇත්තේ ඇය බාලවයස්කාරියක් ලෙස නොව බාලවයස්කාර පෙනුමක් ඇති වැඩිහිටි කාන්තාවක් ලෙසය. ශ්රී ලංකා ආණ්ඩුවද බරපතළ මැදිහත්වීමකට නොයන්නට ඇත්තේ මේ වෙළෙඳාම යටතේ වැඩිහිටි කාන්තාවක් ලෙස බාලවයස්කාරයන් පිටරට යැවීම අසාමාන්ය දෙයක් නොවන නිසාත් ලොකුවට මැදිහත්වන තැනට ගියේ නම් වැඩිහිටි කාන්තාවක් ලෙස බාලවයස්කාරයන් යැවීමේ වරදේ ලොකුම චූදිතයා බවට ශ්රී ලංකා ආණ්ඩුව පත්වන්නට ඉඩ තිබුණ නිසාත් විය හැකිය.
මේ ඛේදවාචකයෙන් පසුත් ගෘහ සේවිකාවන් මැදපෙරදිග රටවලට යවන ප්රතිපත්තිය අත්හරින්නට ශ්රී ලංකාවට නොහැකි වූයේද එය ශ්රී ලංකාවේ ලොකුම ආදායම් මාර්ගය වී තිබෙන නිසා පමණක් නොව එම ප්රභවය මත සමස්ත ආර්ථිකයේ ඇති පරාධීනභාවය නිසාය. දැන් ශ්රී ලංකාව නිල වශයෙන් පෙනී සිටින්නේ ආසියාවේ ආශ්චර්යය ලෙසිනි. එහෙත් එලෙස පෙනී සිටින රට ප්රධාන කොට යැපෙන්නේ පිටරට යවන ගෘහ සේවිකාවන්ගෙන් ලැබෙන ප්රේෂණවලිනි. මෙය මනා ගැළපීමක් නැති පරස්පර විරෝධී අන්ත දෙකක් ලෙස සැලකිය හැකිය.
අපි විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණවලින් ප්රධාන කොට යැපෙන රටක් බවට පත්ව තිබීම ගැන ලැජ්ජා විය යුතු නැත. එහෙත් ඒ ලැබෙන ආදායමෙන් වැඩිම පංගුව ගෘහ සේවිකාවන්ගෙන් ලැබීම ගැන අප ලැජ්ජා විය යුතුය. එම විසම තත්ත්වය වෙනස් කරගැනීමට හැකියාව තිබියදී මෙතෙක් එසේ නොකිරීම ගැනද අප ලැජ්ජා විය යුතුය.
තරුණ පරපුරේ සිහිනය
ලොකු උගත්කමක් නැති ගැටවරයන් පවා අද උනන්දුවක් දක්වන්නේ ලොකුවට සල්ලි උපයාගත හැකි රැකියා ගැනය. වර්තමාන තරුණ පරපුරේ එම විශේෂ මානසිකත්වය කෙරෙහි ඔවුන්ගේ හිතමිතුරන්ගේ දන්නා හඳුනන අය ඉතාලිය, කොරියාව වැනි රටවලට ගොස් උපයන ඉහළ ආදායම් හා ඔවුන් ගතකරන වියදම් අධික ජේත්තුකාර ජීවිත බලපා තිබෙනවා විය යුතුය.
රාවයේ දැන් වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ පුරවාගත නොහැකි එක ඇබෑර්තුවක් තිබෙන්නේය. ඒ ක්ෂේත්ර නිලධාරියකු සඳහා. ඔහුට නියමිත වැටුප් ලංකාවේ වැටුප් මට්ටම් අනුව ගත්විට නරක තත්ත්වයක නොපවතී. ඔහු කළයුත්තේ ඔහුට ලබාදෙන මෝටර් සයිකලයෙන් ඔහුට නියම කරන ප්රදේශවල නියම කරන ලද කාර්යයන් කිරීම හා සොයා බැලීමය. ඒ රාජකාරියේදී ඔහුට කෑම්බීම් හා ඉඳුම් හිටුම් ගාස්තුද ගෙවනු ලැබේ. එහෙත් එම ඇබෑර්තුව පුරවා ගැනීම නම් ඉතාමත්ම දුෂ්කරය.
මීට පෙර එම තනතුරේ වැඩ කළ තරුණයාද ගතින් ජීවත්වූයේ ලංකාවේ වුවද සිතින් ජීවත් වූයේ කොරියාවේය. ඔහු තාවකාලික ලෙස රාවයේ වැඩ කළද සිය කොරියන් සිහිනය අත්නොහළේය. අවසානයේ ඔහුගේ සිහිනය සැබෑවී ඔහු රාවය අත්හැර කොරියාවට ගියේය. ඔහුට ලොකු උගත්කමක් නොතිබුණද දන් ඔහුට ලැබෙන වැටුප, කෑම්බීම් හා ඉඳුම් හිටුම්ද ලබාදී රුපියල් ලක්ෂයකටත් වඩා වැඩිය. ඔහුට රාවයේ රැකියාව ලැබුණු පසු කොරියන් සිහිනය අත්හැරියේ නම් ඔහුගේ අනාගත ජීවිතය දුක්ඛිත වන්නට ඉඩ තිබුණි. එම තරුණයා ලොකු උගත්කමක් නැති ග්රාමීය තරුණ පරපුරේ අභිලාෂයන් සංකේතවත් කරන්නෙකු ලෙස සැලකිය හැකිය. හැත්තෑ ගණන්වල තරුණ පරපුර සිහින දැක්කේ සමාජවාදී විප්ලවයක් ගැනය. දෙමළ තරුණයන් නම් වෙනම දෙමළ රාජ්යයක් ගැනය. අද භේදයකින් තොරව ඒ සියලුදෙනාගේම සිහිනය වී ඇත්තේ ලොකුවට මුදල් උපයාගත හැකි විදේශ රටකට පැනගොස් මෙහි නොකරන ඕනෑම පරවැඩක් කර හෝ ලොකුවට මුදල් උපයා ගැනීමය.
ඔවුන්ගේ එම සිහිනය නරක සිහිනයක්යැයි මම නොසිතමි. ඔවුන්ගේ එම සිහිනය සැබෑ කරදීමේ වගකීම කරට ගතයුත්තේ ආණ්ඩුවය. ඒ මගින් ගෘහ සේවිකාවන් රට පටවා මුදල් උපයන තත්ත්වයෙන් රට ඉවත් කොට පුහුණු සේවකයන් පිටරටවලට යවා මුදල් උපයන රටක් බවට පත්කළ හැකිය. ලංකාව දියුණු රටක් බවට පත්වනු ඇත්තේද එවිටය.
එය පහසුවෙන් සැබෑ කළහැකි සිහිනයක් වුවද ඒ සඳහා වන යථාර්ථවාදී දර්ශනයක් මීට පෙර තිබුණු ආණ්ඩුවලට නොතිබුණා සේ ම මේ ආණ්ඩුවටද තිබෙන බවක් පෙනෙන්නට නැත. ලොකුවට මුදල් උපයා ගැනීම සඳහා දියුණු රටකට පැනගත යුතුයි කියා සිහින දකින තරුණයන් ලොකු අධ්යාපනයක් ඇති අය නොවෙති. ඔවුන් විදේශ රටකට ගොස් ඕනෑම වැඩක් කරන්නට සූදානම්ය. ඔවුන්ට අවශ්ය තත්ත්වය නොව මුදල්ය. ජීවිත පරදුවට තබා බෝට්ටුවලින් යන ගමනට පවා වැය කරන මිල විශාලය. සමහරවිට රුපියල් ලක්ෂ 15ක් 20ක් තරම් මුදලක් ඒ සඳහා වැය කරනු ලැබේ. ආණ්ඩුවට අවශ්ය නම් ඔවුන්ගේ සිහිනය ලොකු වියදමකින් තොරව ඉටුකරදීමේ ඇත්ත හැකියාවක් තිබෙන්නේය.
තරුණ පරපුරේ සිහිනය සැබෑ කිරීම
විදේශ රැකියාවලදී අද ලෝකයේ වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ විශේෂ ගණයේ හෝ වෘත්තීයවේදීන් ගණයෙහිලා සැලකෙන අයට නොව පුහුණු කාර්මිකයන්ට හා තාක්ෂණඥයන්ටය. වඩුවන්ට, පෙදරේරුවන්ට, පින්තාරුකරුවන්ට, පෑස්සුම්කරුවන්ට, විදුලි කාර්මිකයන්ට තිබෙන ඉල්ලුම විශාලය. ඔවුන්ට ගෙවන වැටුපද ඉතා විශාලය. ඔවුන් වෘත්තීය පුහුණුවක් ලැබූ අය විය යුතුවා සේ ම ඒ පුහුණුව සඳහා ජාත්යන්තර වශයෙන් පිළිගන්නා සහතිකයක්ද ඔවුන්ට තිබිය යුතුය. ඒ සමග ඔවුන් යන්නට අපේක්ෂා කරන රටේ භාෂා දැනුම පිළිබඳවද ඒ රටවල් පිළිගන්නා සහතිකයක් ඔවුන්ට තිබිය යුතුය. ඔවුන් සඳහා රජයට කළහැකි ලොකුම දේ වනුයේ “අප වෙත එන්න, ලොකු පඩියකට දියුණු රටකට අපි ඔබ පිටත්කර යවමු”යි කියන සහතිකය ඔවුන්ට ලබාදීමය.
ඒ මගින් පාසල් අධ්යාපනය අතරමග අත්හැර යන්නට අදාළව රටේ පවතින දැවෙන ප්රශ්නයකටද විසඳුම් ලබාදිය හැකිය. ශ්රී ලංකාවේ පාසල් අධ්යාපනයට එකතු වී සිටින අයගේ අනුපාතිකය ඉතා ඉහළ වුවද, පාසල් අධ්යාපනය අතරමග අත්හැර යන්නන්ගේ අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී. වසරකට පාසල් අධ්යාපනයට එකතු වන්නන්ගේ ප්රමාණය 400,000කි. සා. පෙළ සම්පූර්ණ කිරීමෙන් තොරව වසරකට පාසල් අධ්යාපනය අතහැර යන්නන්ගේ සංඛ්යාව 80,000කි. සාමාන්ය පෙළ විභාගයේදීද අසමත්වන්නන්ගේ අනුපාතිකය 50%ක තරම් ඉහළ මට්ටමක පවතී. ශ්රී ලංකාව සිය අධ්යාපන ප්රතිපත්තියේදී පූර්ණ අවධානය යොමුකර තිබෙන්නේ අධ්යාපනයට එකතුවන සියලුදෙනා කෙරෙහි නොව සමත්වන්නන් සුළු පිරිස කෙරෙහිය. පාසල් අධ්යාපනය අතරමග අත්හැර යන්නන් මුළුමනින් නොසලකා හරින ප්රතිපත්තියක් ක්රියාත්මකවේයැ”යි කිව හැකිය.
අතරමැද අධ්යාපනය අතහැර යන අයට වෘත්තීය පුහුණුවක් ලැබීම අනිවාර්ය කරන නීති ඇති කළ හැකිය. වෘත්තීය පුහුණුව සඳහා ගොඩනගා තිබෙන ආයතන පද්ධතිය ප්රයෝජනයට ගනිමින් තිබෙන්නේ එක්තරා ප්රමාණයකට මිස පූර්ණ වශයෙන් නොවේ. පාසල් අතරමග අතහැර යන්නන්ට වෘත්තීය පුහුණුවක් ලැබීම අනිවාර්ය කිරීම මගින් වෘත්තීය පුහුණුව සඳහා පවත්වාගෙන යන ආයතන පූර්ණ වශයෙන් ප්රයෝජනයට ගන්නා තත්ත්වයක් ඇති කළ හැකිය.
සමහර ක්ෂේත්රයන් සඳහා වෘත්තීය පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුන් විදේශ රටකට යැවීමේ වගකීමද ආණ්ඩුව තමන් වෙත භාරගන්නේ නම් වෘත්තීය පුහුණුව තරුණ පරපුරේ මහත් ආකර්ෂණයට හේතුවන ක්රියාදාමයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. යුද්ධයක් නැති මේ කාලයේදී ආරක්ෂක හමුදාවන්ටද හමුදාවේ සිටින තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් ලබාදෙන වැඩසටහන් ඇරඹිය හැකිය. එවිට විරැකියාවන් පිළිබඳ බියකින් තොරව අවශ්ය නම් ඔවුන්ට හමුදා සේවය අත්හැර යා හැකිය.
යුරෝපයේ ශක්තිමත්ම රට බවට පත්ව තිබෙන්නේ ජර්මනියයි. ජර්මනිය ඇමරිකාවට වෙනස්ව අධ්යාපනයේදී කාර්මික හා තාක්ෂණ පුහුණුවට බර තබන ප්රතිපත්තියක් අනුගමනය කළේය. එය ඔවුන්ගේ ශක්තිය කෙරෙහි බලපෑ ප්රධාන සාධකයක් ලෙස බලපෑවේය. රත්මලානේ ජර්මන් කාර්මික අභ්යාස විද්යාලයෙන් පුහුණුවක් ලැබූ කිසිවකුට රක්ෂා ප්රශ්නයක් නැත. ඔවුන් වැඩි පිරිසක් ජීවත්වන්නේ විදේශ රටවලය. ඔවුන් උපයන ආදායම්ද ඉහළම මට්ටමක පවතී. අපේ වෘත්තීය පුහුණු ආයතන ආදර්ශයට ගතයුත්තේද එම ආයතනයයි. ශ්රී ලංකාවද පාසල් අධ්යාපනය අතරමග අත්හරින්නට වෘත්තීය පුහුණුව අනිවාර්ය කැරෙන ප්රතිපත්තියකට මාරුවෙමින් හා වෘත්තීය පුහුණුව ලැබූ අය විදේශ රටවල සේවයට යවන ප්රතිපත්තියකට මාරුවේ නම් ගෘහ සේවිකාවන් පිටරට යවන ප්රතිපත්තියෙන් ඉවත්වීමේ හැකියාවද රටට ලැබෙනු ඇත්තේය.
අවසාන වශයෙන් කිවයුතු දේ වනුයේ කෙනකුගේ උප්පැන්න සහතික හා මරණ සහතික වෙනස් කිරීමේ හැකියාවක් රටක තිබේ නම් ව්යාජ ලෙස හැඳුනුම්පත් හෝ ගමන් බලපත්ර ලබාගැනීමේ හැකියාවක් තිබේ නම් එය සැලකියයුත්තේ රටක තිබිය හැකි ඉතාමත් නරක තත්ත්වයක් ලෙසය. ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ හිටපු ප්රධානියකුගේ අනුදැනුම මත එල්ටීටීඊයට අවශ්ය වූ විට හැඳුනුම්පත් නිකුත් කැරෙන ක්රමයක් ක්රියාත්මක වී ඇති බව සොයාගන්නා ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. ඒ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ රටේ දේශපාලන ක්රමය පමණක් නොව ආයතන ක්රමයද කුණුවී තිබෙන තරමය.