ජේ.ආර්.ගෙන් ඉගෙන ගැනීම

January 20, 2013
Publication:
Ivan argues that the government won the battle over the Chief Justice at a ruinous cost, leaving constitutional interpretation and the writ jurisdiction hollow. He faults the judges and lawyers for fighting like a political party, recalls the Supreme Court's refusal to hear his own challenge to Sarath N. Silva's appointment, and draws a close parallel between Mahinda Rajapaksa's removal of Shirani Bandaranayake and J.R. Jayewardene's stripping of Sirimavo Bandaranaike's civic rights, warning that Jayewardene's drive for unchangeable power ended in Black July, two insurrections and his own humiliation.

ආණ්ඩුව අධිකරණ අර්බුදයේදී තමන් අරමුණු කළ වැඩසටහන එක දශයමයකින්වත් වෙනස් කිරීමකින් තොරව තර්කානුකූල අවසානයක් කරා ගෙන ගියේය. ඒ සඳහා ඉදිරිපත් වූ ආයාචනා, උපදේශන, විරෝධතා පමණක් නොව අධිකරණ තීන්දු හා නියෝග පවා ගණන් නොගත්තේය. ආරම්භක වටයේදී රටේ මහනාහිමිවරුන් සිව් නමක් දෝෂාභියෝගය ගැන නැවත සලකා බැලීමක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඉන්පසු සර්ව ආගමික සමුළුවේ නියෝජිත පිරිසක්ද ඒ සමාන ඉල්ලීමක් කරන ලදි. සාමාන්‍යයෙන් මෙවැනි දේවල්වලට මැදිහත් නොවන ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඉහළම තත්ත්වයක් හෙබවූ විනිසුරු වීරමන්ත්‍රීද දෝෂාභියෝග වැඩපිළිවෙළ නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටියේය. නීතිඥ සංගම් ව්‍යාපාරයද නැවත නැවතත් එවැනි ඉල්ලීමක් කරන ලදි. අන්තර්ජාතික නීතිඥ සංගමය, අන්තර්ජාතික ජූරි සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමය වැනි ජාත්‍යන්තර ආයතන ගණනාවක්ද දෝෂාභියෝග වැඩපිළිවෙළ ගැන නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය වැනි ආයතනද, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව වැනි රටවල්ද දිගින් දිගටම සිය විරෝධය පළකරන ලදමුත් ඒ කිසිම විවේචනයක් හෝ විරෝධයක් ආණ්ඩුවේ ස්ථාවරය සුළු වශයෙන් හෝ වෙනස් කිරීමක් ඇති කිරීමට හේතුවූයේ නැත. නීතිඥයන් ඉතා බලවත් ලෙස සිය විරෝධය පළ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරනයද උපදේශාත්මක ඉල්ලීම් කරන තැනකින් ආරම්භ කොට තීන්දු හා නියෝග දෙන තැනකට ගියද ඒ කිසිවකට දෝෂාභියෝග ක්‍රියාවලිය නැවැත්වීමට හෝ වෙනස් කිරීමට හැකිවූයේ නැත.

අධිකරණ අර්බුදය

ආණ්ඩුව තමන්ගේ ප්‍රතිරූපයට බරපතළ හානි ඇතිකර ගනිමින් කෙටිකාලීන අර්ථයෙන් අධිකරණ සටන ජයගත්තේය. දේශීය වශයෙන් සේ ම අන්තර්ජාතික වශයෙන් ආණ්ඩුව ඇති කරගත් හානියේ තරම ඉතා විශාල වීයැයි කිව හැකිය. එය අනාගතය කෙරෙහි ඇති කරන බලපෑම 82 ජනමතවිචාරණය ඇති කළ බලපෑම තරම්ම විනාශකාරී හා බිහිසුණු විය හැකිය. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබුණු බලය අර්ථ විරහිත දෙයක් බවට පත්කර තිබෙන අතර රාජ්‍ය පාලන ආයතනයකින් අසාධාරණයකට බඳුන් වූ පුද්ගලයකුට රිට් ආඥාවක් මගින් සහන ලබාගැනීමට තිබුණු හිමිකමද අර්ථවිරහිත දෙයක් බවට පත් කර තිබේ. මින් මතු නීතියේ පාලනය ලෙස සැලකෙනු ඇත්තේ ආණ්ඩුවට අභිමත පාලනයකි. හිතුවක්කාරී ක්‍රියකාරකම් පාලනය කිරීමේ බලයක් මින් මතු අධිකරණයට නැත. පාර්ලිමේන්තුවට මෙන් අධිකරණයටද විධායකයේ රබර් මුද්‍රාවක් මෙන් ක්‍රියාකිරීමට සිදුවනු ඇත.

අගවිනිසුරුවරිය තනතුරින් පහකරන ලද ආකාරය ඉතාමත් සාහසික සේ ම අශීලාචාරය. අගවිනිසුරුවරියගේ එඩිතරකම සදා සැමරෙනු ඇතත් ඇයට හෝ ඇය වෙනුවෙන් සටන මෙහෙයවූවන්ට එම සටන සඳහා ශක්තිමත් ඉදිරි දැක්මක් හෝ හොඳ උපාය මාර්ගික වැඩපිළිවෙළක් තිබුණු බවක් පෙනෙන්නට නැත. සමාජ ආශ්‍රයෙන් බැහැරව සිටිය යුතු වෘත්තියක නිරත අධිකරණ නායකයකු හෝ විනිශ්චයකාරවරයකු මෙවැනි ආරාවුලකදී සටන් කළයුතු ආකාරය පැහැදිලි කිරීම සරල හෝ පහසු නැත. එහෙත් එහිදී විනිශ්චයකාරවරයා හෝ විනිශ්චයකාරවරිය දේශපාලන පක්ෂයක් හෝ වෘත්තීය සමිති ව්‍යාපාරයක් සටන් කරන ආකාරයට සටන් කිරීම වැරදිය. එවැනි සටනකදී දේශපාලන පක්ෂවල හා බහුජන සංවිධානවල සහාය ප්‍රතික්ෂේප කළයුතු නැතත් ඒවා සමග අනන්‍යවීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වේයැ”යි කිව හැකිය. විනිශ්චයකාරවරුන් කරන සටන එක පෙරමුණකත්, ඊට සහාය පළකිරීම සඳහා දේශපාලන පක්ෂ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කරන සටන් තවත් පෙරමුණකත් තබාගැනීමට වග බලාගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණේයැ”යි කිව හැකිය. ප්‍රදර්ශනාත්මකව ආගමික නායකයන් හමුවන්නට ගොස් ආශිර්වාද ලබාගැනීමේ පිළිවෙතක්ද විනිසුරුවරයෙකුට ගැළපෙන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුදෙනා නොවේ නම් විශාල බහුතරයක් එකට එකතු වී එක පොදියක් ලෙස ක්‍රියාකරන තත්ත්වයක තබාගැනීමට සමත් වී නම් මේ අරගලයෙන් ලැබෙන ප්‍රතිඵලය කිසියම් ප්‍රමාණයකට හෝ මීට වෙනස් වන්නට ඉඩ තිබුණි. පාර්ලිමේන්තුවට අදාළව දෙනු ලබන තීන්දුවක් බරපතළ තීන්දුවක් ලෙස සලකා එය තිදෙනකුගේ විනිසුරු මඬුල්ලකින් වෙනුවට එය වඩා විශාල පස්දෙනෙකු හෝ හත්දෙනෙකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් විසින් දෙනු ලබන තීන්දුවක් බවට පත්වී නම් එම තීන්දුව විසින් ඇති කරන බලපෑම මීට වඩා විශාල වන්නට ඉඩ තිබුණි.

මෙම ආරාවුලේදී විනිසුරු ප්‍රජාව පමණක් නොව නීතිඥ ප්‍රජාවද සිටියේ හොඳ සටනක් දියහැකි ශක්තිමත් තැනක නොව, දුර්වල තැනකය. අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය පිළිබඳ විෂය ඒ දෙපිරිසේම ඇඟට හොඳින් කාවැදී තිබුණු විෂයයක් නොවීය. අධිකරණ ස්වාධීනත්වය සඳහා බලවත් ලෙස පෙනී සිටින සාම්ප්‍රදායයක් මීට පෙර ඔවුන් අතර නොතිබුණි. අධිකරණයේ ස්වාධීනත්වයට හෝ ගෞරවයට අදාළව මීට පෙර බරපතළ ගැටලු ඇතිවූ අවස්ථාවලදී විනිසුරුවරුන් හා නීතිඥයන් සටන් කර නැත. සමාජ යුතුකම් හා වගකීම් පිළිබඳවද මේ දෙපිරිසේ සංකල්පීය දැනුම පිළිගත හැකි උසස් මට්ටමක නොතිබුණි. සදාචාරාත්මක අර්ථයෙන් වෘත්තීය පවිත්‍රතාවද උසස් තත්ත්වයක නොතිබුණි. මෙවැනි ආරාවුල් සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදී තිබුණු පූර්වාදර්ශයන්ද ඉදිරිගාමී තත්ත්වයක නොතිබුණි.

නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් කෙරුණු අවස්ථාවේදී එම පත්වීම අවලංගු කරන ලෙස ඉල්ලා මා හා තවත් දෙදෙනකු විසින් ඉදිරිපත් කරන අයිතිවාසිකම් පෙත්සම් තුන සම්බන්ධයෙන් පස් පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් දෙන ලද තීන්දුව ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්කිරීමට එරෙහිව එවැනි නඩු පැවරීමක් කිරීමට අවශ්‍ය වූයේ එම පත්කිරීම සිදුකරන අවස්ථාවේදී නීතිපතිගේ දූෂිත පැවැත්මට අදාළව මා විසින් හා රසායන ඉංජිනේරුවකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි දෙකක් මත ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් අරඹා එය ඉදිරියට ගෙනයමින් තිබුණු අවස්ථාවකදී එම පරීක්ෂණයේ වගඋත්තරකරු ජනාධිපතිනිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා ලෙස පත්කිරීම නිසාය.

එම පත්කිරීම හා ඊට එරෙහිව පැවති නඩුව අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සංවිධානවලද මහත් උනන්දුවට හේතුවී තිබුණු අතර ඒ සඳහා පැවති නඩුව විමර්ශනය කිරීම සඳහා අන්තර්ජාතික නීතිඥ සංගමය කේරළ ප්‍රාන්තයේ විශ්‍රාමලත් අගවිනිසුරුවරයෙකු විමර්ශන නිලධාරියකු ලෙස මෙහි එවා තිබුණි.

මෙම නඩුවේ විනිසුරු මඬුල්ල පත්කිරීමේ බලය තිබුණේ මෙම නඩුවේ ප්‍රධාන වගඋත්තරකාරයාව සිටි අගවිනිසුරු සරත් නන්ද සිල්වාට වන නිසා විනිශ්චය මණ්ඩලය පත්කිරීම පිළිබඳව සැකයක් ඇති නොවීම පිණිස හා මෙම නඩුවට ලැබෙන වැදගත්කම සලකා ජේ‍යෂ්ඨත්වයේ අනුපිළිවෙළින් ඉහළ සිට පහළට වන ආකාරයේ පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ලබාදෙන ලෙස මාගේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති රංජිත් අබේසූරිය මහතා ඉල්ලීමක් කළේය. අගවිනිසුරු ඊට අපූරු විසඳුමක් ලබා දුන්නේය. එය නම් ජේ‍යෂ්ඨත්වයේ පහළ සිට ඉහළට බලපාන ආකාරයට පස් පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කිරීමය. ආචාර්ය මාර්ක් ප්‍රනාන්දු, ආචාර්ය රංජිත් අමරසිංහ, ආචාර්ය රංජිත් ධීරරත්න වැනි පළපුරුදුව හා ජේ‍යෂ්ඨතම විනිසුරුවරුන් ඇතුළත් නොවන විනිසුරු මඬුල්ලක් ලබාදීම අගවිනිසුරුගේ උපාය මාර්ගය විය. විනිසුරු මඬුල්ල පත්කර තිබුණු ආකාරයට විරෝධය පළ කළ විට ඊට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන ලද ප්‍රතිචාරය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුන් එක සමාන බවය. ජේ‍යෂ්ඨත්වය හෝ කනිෂ්ඨත්වය ඔවුන්ට ලැබෙන වැදගත්කම වෙනස් නොකරන බවය. (මේ නඩුවේ මුල් කොටස පිළිබඳව අන්තර්ජාතික නීතිඥ සංගමය සිය නිරීක්ෂණය ප්‍රකාශ කර තිබෙන අතර ඒවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානයට යොමුවී නැත.)

මෙම නඩුවට අදාළව දෙන ලද අවසාන තීන්දුව වූයේ ජනාධිපතිවරයෙකු පත් කළ විනිශ්චයකාරවරයෙකු තනතුරෙන් ඉවත් කිරීමේ බලයක් අධිකරණයට නැති බවත් එම බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණක් බවත්ය. ඒ මගින් ඕනෑම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමේ අසීමිත බලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට ලබාදී තිබෙන අතර නොමනා පත්කිරීමක් බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ මගින් අත්හැර තිබේයැ”යිද කිව හැකිය. ඉතාම වැදගත් දේ එම තීන්දුව දෙන ලද විනිසුරු මඬුල්ලට ශිරාණි බණ්ඩාරනායක මහත්මියද ඇතුළත්වීමය. ඒ මගින් ඇය ඇගේ අනාගතයට බලපාන තීන්දුවක් ලබාදී ඇතැයි කිව හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය දෝෂාභියෝග පරීක්ෂණ ක්‍රියාදාමය නීති විරෝධී කළේය. අභියාචනාධිකරණය ඇයට එරෙහිව දෙන ලද තීන්දුව නිෂ්ප්‍රභ කළේය. ආණ්ඩුව නව අගවිනිසුරුවරයෙකුපත් කළේ පැරණි අගවිනිසුරු නීතිමය වශයෙන් වලංගු තත්ත්වයක සිටින අවස්ථාවකදීය. එම තීන්දු දෙක අනුව නව අගවිනිසුරුවරයෙකු පත්කිරීම වලංගු විය නොහැකිය. එහෙත් සරත් නන්ද සිල්වාට අදාළව ඇයද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් මගින් ලබාදී තිබෙන තීන්දුව නිසා නව පත්වීම අවලංගු කරන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරියට යෑමේ හැකියාවක් ඇයට නැත. වෙනත් අයට අටවන උගුල් අටවන්නා කෙරෙහිද බලපෑ හැකිය. මේ ධර්මතාව ජනාධිපතිවරයා කෙරෙහි පවා බලපෑ හැකිය. බලය අහිමි වූ අවස්ථාවක රිට් ආඥාවන්ගේ රැකවරණය ජනාධිපතිවරයාට පවා අවශ්‍ය විය හැකිය. රිට් ආඥාවන්ට තිබෙන බලමහිමය අවලංගු කිරීමෙන් තමන් විසින් කර තිබෙන හානියේ තරම ජනාධිපතිවරයා වුවත් හරියටම තේරුම් යනු ඇත්තේ එවැනි අවස්ථාවකදීය.

හිටපු අගවිනිසුරුවරයා ඉවත් කරන ලද්දේ විසම පැවැත්ම නිසා නම් ඒ වෙනුවට අගවිනිසුරු ධුරයට පත් කර තිබෙන පුද්ගලයාට එරෙහිවද විසම පැවැත්මක් පිළිබඳ චෝදනා එල්ල වී තිබෙන බව අමතක කළ නොහැකිය. චෝදනාවල ඇත්ත නැත්ත කුමක් වුවත් මොහාන් පීරිස් මහතාට එරෙහිව සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදී පළමුවෙන්ම පැමිණිලි කර ඇත්තේ එවකට රේගුවේ සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාය. අනෙක් පැමිණිල්ල ඉදිරිපත් වී තිබෙන්නේ නඩුවක ස්වරූපයෙනි. එය කොළඹ ඩොක්යාර්ඩ් සමාගමට අදාළ නඩුවකි. එම අයිතිවාසිකම් පෙත්සමේ ප්‍රධාන වගඋත්තරකරු බවට පත්ව සිටින්නේ නව අගවිනිසුරු ධුරයට පත්ව සිටින මොහාන් පීරිස් මහතාය. මෙම අර්බුදයේදී යූ හැරවුමක් ගත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ආණ්ඩුවට ආධාර කරන පිළිවෙතක පිහිටා ක්‍රියාකරමින් තමන් කැමති කෙනෙකු අගවිනිසුරු ධුරයට ගෙන නැවත අධිකරණය අනියම් ලෙස මෙහෙයවන තත්ත්වයක් දිනාගැනීමට උත්සාහ කළේය. ජනාධිපතිවරයා මෙම අර්බුදයේදී හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පාවිච්චියට ගත්තද ඔහු අටවන්නට ගිය උගුලට අහුනූණේය. අසුවී නම් ඇතිවිය හැකි ප්‍රතිඵල වඩා විනාශකාරී වන්නට ඉඩ තිබුණි.

දෝෂාභියෝගය සඳහා පැවති ඡන්ද විමසීමේදී පුද්ගලයන් සිව්දෙනකු (ඩිව්, තිස්ස, ගජධීර හා රජීව්) ඡන්දයදීමෙන් වැළකී සිටියේය. විරුද්ධ පක්ෂයට විරුද්ධ ඡන්දය දීම පහසුය. එහෙත් ආණ්ඩු පක්ෂයක සිටින කෙනකුට එසේ කිරීම ඉතා දුෂ්කරය. ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් සමාව දිය නොහැකි තරම් බරපතළ හා සාහසික වරදක් වුවද එදා ආණ්ඩු පක්ෂය තුළ හෘදය සාක්ෂියක් ඇති කිසිදු පුද්ගලයෙකු නොසිටියේය. ඒ අර්ථයෙන් මේ ආණ්ඩුව තුළ හෘදය සාක්ෂිය ඇති පුද්ගලයන් සිව්දෙනෙකු හෝ සිටීම ගැන අපි සතුටු විය හැකිය. ඔවුන් ගෞරවයට පාත්‍රවිය යුතුය. එහිදී සිය දිවි නසාගත් පුද්ගලයා බවට පත්වූයේ වාසුය.

සිරිමා බණ්ඩාරනායක හා ශිරාණි බණ්ඩාරනායක

අවසාන විග්‍රහයේදී මහින්ද රාජපක්ෂ තවත් දුෂ්කර කඩුල්ලක් ජයගත්තේය. එය ආණ්ඩුව හිමිකරගත් ලොකු ජයග්‍රහණයක් ලෙස පෙනී යා හැකි වුවත් එය අනාගතය කෙරෙහි ඇති කරන බලපෑම ඉතාමත් විනාශකාරී විය හැකිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කඩුලු පනිමින් සිටින ආකාරයෙත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කඩුලු පනින ලද ආකාරයෙත් අතර අපූරු සමානත්වයක් තිබෙන බවද කිව යුතුය.

ජේ.ආර්. ජයවර්ධන සිරිමා බණ්ඩාරනායක සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය හා මහින්ද රාජපක්ෂ ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය අතරද අපූරු සමානතාවක් තිබෙන්නේයැ”යි කිව හැකිය.

සිරිමා බණ්ඩාරනායකගේ පාලන කාලය තුළදී සිදුවූ වැරදි සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමට එරෙහිව සිරිමා බණ්ඩාරනායක අභියාචනාධිකරණයෙන් ලබාගත් නියෝගය මේ ආකාරයටම නොවූවත් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් නිෂ්ප්‍රභ කළේය. ඉන්පසු ජනාධිපති කොමිසමේ තීන්දුවට එරෙහිව ආඥාවක් ලබාගැනීමද සිරිමා බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේදී ඇගේ නඩුව ලැයිස්තු ගතකර තිබියදීත් එය විභාගයට ගන්නට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් මගින් ඇගේ ප්‍රජා අයිතිය අහිමි කොට ඇය පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරියාය. ජනාධිපති ජයවර්ධන එදා විරුද්ධ පක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක පලවා හරින ලද ආකාරයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙදා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පලවා හරින ලද ආකාරයෙත් අපූරු සමානතාවක් තිබෙන්නා සේ ම ඒ මගින් දෙනු ලැබූ පණිවුඩ දෙකේද සමානත්වයක් තිබෙන්නේයැ”යි කිව හැකිය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට තමන්ට ලැබුණු බලය, වෙනස් නොවන, වෙනස් කළ නොහැකි, බලයක් බවට පත්කර ගැනීම සඳහා වන ඉදිරි දැක්මක් සේ ම ඉදිරි සැලැස්මක්ද තිබුණි. සිරිමා බණ්ඩාරනායකගේ පලවා හැරීම ඒ ඉදිරි වැඩපිළිවෙළට ඇතුළත්ව තිබූ වැදගත් අංගයක් විය. තමන්ට අභියෝගයක්වීමට ශක්තියක් තිබූ එකම නායිකාව දේශපාලන දර්ශනයන් ඉවත් කොට විරුද්ධ පක්ෂය බෙලහීන කොට ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනමතවිචාරණයක් මගින් හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර හයකින් දීර්ඝ කොටගෙන ජයග්‍රාහී ලෙස ඉදිරියට යෑම ඔහුගේ අභිලාෂය වීයැ”යි කිව හැකිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද ධුර කාල දෙකක් සඳහා පැවති සීමාවද, දේශපාලන බලයට තිබුණු තවත් සමහර සම්බාධකද 18 වැනි සංශෝධනයෙන් ඉවත් කරගත්තේය. අධිකරණය අකීකරු බව පෙනෙන්නට වූ විට කීකරු අධිකරණයක් ඇතිකර ගැනීම සඳහා අගවිනිසුරුවරිය පලවා හැර තමන්ට කීකරුව ක්‍රියාකරන නව අගවිනිසුරුවරයෙකු පත්කර ගත්තේය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට තිබුණා සේ ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටද වෙනස් නොවන වෙනස් කළ නොහැකි බලයක් සඳහා වන වැඩපිළිවෙළක් තිබෙන බව පැහැදිලිය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට ඔහුගේ සිහිනය ඔහු අපේක්ෂා කළ ආකාරයට සැබෑ කරගත නොහැකි විය. ඔහු නොවෙනස්වන බලයක් ඇතිකර ගැනීම සඳහා ක්‍රියාවට නගන ලද සාහසික ප්‍රතිපත්ති රට කෙරෙහි පමණක් නොව ඔහු කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑවේය.

ජේ.ආර්.ගේ දුක් ප්‍රාප්තිය

විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි නොකළේ නම් හා දූෂිත ජනමතවිචාරණයකින් හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර නොගත්තේ නම් 83 කළු ජූලිය ඇති නොවන්නට ඉඩ තිබුණා සේ ම දෙවැනි ජේවීපී කැරැල්ලක් හා එල්ටීටීඊ කැරැල්ලක්ද ඇති නොවන්නට ඉඩ තිබුණි. ජනමතවිචාරණයක් වෙනුවෙට මහා මැතිවරණයක් පැවත්වී නම් ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු නියෝජනය විශාල ලෙස ඉහළ යන්නට ඉඩ තිබුණා සේ ම ජවි පෙරමුණටද, සාම්ප්‍රදායික වමේ පක්ෂවලටද කිසියම් නියෝජනයක් ලැබෙන්නට ඉඩ තිබුණේය. උතුරේද සටන්කාමී තරුණ ව්‍යාපාරවලට සම්බන්ධ කිසියම් පිරිසකට පාර්ලිමේන්තුවේ කිසියම් නියෝජනයක් ලැබෙන්නට ඉඩ තිබුණේය. එහෙත් එසේ නොකොට තම බලය ස්ථාපිත කරගැනීම සඳහා අනුගමනය කළ හිතුවක්කාරී වත්පිළිවෙත් රටේ මිනී කඳු ගොඩගසන තත්ත්වයක් ඇති කළේය.

ඒ වෙනුවෙන් රටට පමණක් නොව එම විනාශයේ නිර්මාපකයා ලෙස සැලකිය හැකි ජනාධිපති ජයවර්ධනටද දැවැන්ත වන්දියක් ගෙවන්නට සිදුවූවේය. ඔහු මරා දැමුවේ නැතත් ඔහුට පෙනෙන ලෙස සංකේත වැදගත්කමක් ඇති ඔහුගේ ඥාතීන්, සමීප දේශපාලනඥයන්, විශ්වාසදායක නිලධාරීන් විශාල පිරිසක් මරා දැම්මේය. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ අවස්ථාවේදී එතුමන්ට විඳින්නට සිදුවූ දුක් වේදනාවන්ට වැඩි දුක් වේදනාවක් ඒ අවස්ථාවේදී ජීවතුන් අතර සිටි ජනාධිපති ජයවර්ධන විඳින්නට ඇති බවට සැකයක් නැත. ක්‍රිස්තුස් වහන්සේට ඒ දුක විඳින්නට සිදුවූයේ ජනයා පාපයෙන් මුදාගැනීම සඳහාය. එහෙත් ජනාධිපති ජයවර්ධනට ඒ දුක විඳින්නට සිදුවූයේ තමන්ට ලැබී තිබුණු අතිවිශාල බලය නොවෙනස් බලයක් බවට පත්කර ගැනීම සඳහා ක්‍රියාවට නගන ලද අමනෝඥ ප්‍රතිපත්තිය නිසාය. ඔහුගේ පක්ෂයේ පුරෝගාමී හැකියාවක් තිබූ තරුණ නායකයන් විශාල පිරිසකගේ ජීවිත ඔහු විසින්ම නිර්මාණය කළ ගිලටීනය විසින් ඔහු බලා සිටියදීම බිලි ගත්තේය. ඔහු තමන්ට ලැබුණු ආණ්ඩු බලය බලහත්කාරයෙන් සදාකාලික කරගන්නට ගොස් එම පක්ෂය නැත්තටම නැති කළේය. නිදහසින් පසු එතෙක් රට බිහිකර තිබූ ප්‍රතාපවත්ම නායකයා අවසානයේ ඉන්දියාව ඉදිරියේ බයාදු ලෙස දණින් වැටී හඬා වැළපෙන තත්ත්වයකට පත්වීම එම රංගනයේ උත්ප්‍රාසජනකම අවස්ථාව වීයැයි කිව හැකිය.

ජේ.ආර්. ජයවර්ධන කරන ලද වැරැද්ද තවත් කෙනෙකු නොකළ යුතුය. ඒ වැරැද්ද කිරීමට තවත් කෙනෙකුට ඉඩ නොදිය යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ මොහොතේදී ජනාධිපති ජයවර්ධනගෙන් උගත යුතුව තිබෙන වැදගත්ම පාඩම වන්නේද එයයි. පාලක පක්ෂයට මහජනයාගෙන් ලැබෙන තාවකාලික බලයක් වෙනස් නොවන, වෙනස් කළ නොහැකි බලයක් බවට පත්කරන්නට දරන උත්සාහයක් මහජනයා කෙරෙහි පමණක් නොව ඒ පාලකයා කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑ හැකිය.