විශ්‍රාම ජීවිතය සැලසුම් කරගැනීම

July 29, 2012
Publication:
Writing as he prepares to retire, Ivan offers readers near retirement age his thoughts on planning the years ahead. He contrasts a retired acquaintance who kept working for the sake of purpose with J.R. Jayewardene, who had nothing to do after leaving office, and recalls how books and routine carried him through the monotony of prison. He urges retirees to keep the mind active through reading and chess, to write down their experiences, to keep an independent income and avoid fraudulent high-interest schemes, and to form cooperatives; he describes his own plans for himself and his wife and an idea for a small village of artists and writers.

මා කර්තෘ ධුරයෙන් විශ්‍රාම යෑමට සූදානම්වෙමින් සිටි කාලයේදී රාවය පාඨකයන්ගෙන් කිසියම් කොටසක් විශ්‍රාමිකයන් හෝ ඒ ආසන්න වයස්වල සිටින අය ලෙස සලකා ඔවුන්ගේ ජීවිතවල ප්‍රයෝජනවත් වියහැකි විශ්‍රාම ජීවිතය සැලසුම් කරගැනීම පිළිබඳව ලිපියක් ලිවිය යුතුයැ”යි අදහස් කරගෙන සිටියද මොන මොන හේතු නිසා හෝ අදහස මේ දක්වා ඉටුකිරීමට හැකිවූයේ නැත.

සැලසුම් කළ හැකි තත්ත්වයක තිබෙන හැම දෙයක්මත් යථාර්ථවාදී ලෙස සැලසුම් කළ හැකි නම් ඒ හැම දෙයකම ඵලදායීතාව ඉහළ දැමිය හැකිය. එය විශ්‍රාම ජීවිතයටද අදාළය. විශ්‍රාමිකයා කියනවිටම මරණයට සමීප, ජීවිතයේ සැඳෑ සමයට එළැඹ තිබෙන්නකු බව අදහස් වේ. මරණයද සැලකිල්ලට ගතයුතු වැදගත් සාධකයකි. නොමැරී ජීවිතය ජයගත් කිසිවකු ඇත්තේ නැත. මා පාසල් වියේදී ගුරුවරයකු, ඔහු රාත්‍රියේ නින්දට යන්නේ මිනී පෙට්ටියක බව අසා එය මාගේ විස්මයට හේතුවිය. මා ඒ ගැන ගුරුවරයාගෙන් කරුණු විමසීමකදී ඔහු ගත් කටටම කීවේ ඇඳ හා මිනී පෙට්ටිය අතර ලොකු වෙනසක් නැති බවය. ඒ ඇති කරගත් පුරුද්ද නිසා ජීවිතයේ හැම දිනකම එක අවස්ථාවකදී හෝ තමා මැරෙන පුද්ගලයකු බව සිහිවන බව ඔහු කියා සිටියේය. එය මා වෙනස් ආකාරයට ජීවිතයට එකතු කරගතිමි. එනම් නින්දට පෙර මා මැරෙන පුද්ගලයකු බව සිහිකර ගැනීමය. ඒ පුරුද්ද මගේ ජීවිතයට විනයක් ලබාදීමට හේතුවීයැ”යි සිතමි. මරණයෙන් පසු කුමක්වන්නේදැ”යි මම නොදනිමි. මම හිතන්නෙ එය සදාකාලික නින්දක් බවය. අප මරණයට බිය නොවිය යුතුය. එය ජීවිතය සමග බැඳුණු අනිවාර්යතාවක් බව අපි තේරුම් ගත යුතුය. විශ්‍රාම යන අයකු වහා මරණයට පත්වන්නේ නැත. සමහරවිට තවත් දීර්ඝ කාලයක් ජීවත්වන්නට සිදුවන්නේය. 55 විශ්‍රාම යායුතු බව තීරණය කරන කාලවල මිනිසකුගේ පරම ආයු කාලය ලෙස සැලකුණේ අවුරුදු 65කි. අද එය අවුරුදු 80ක් හෝ 85ක් විය හැකිය. මැරෙන තෙක් තෘප්තිමත් හා ප්‍රයෝජනවත් ජීවිතයක් ගතකිරීමට හැකි නම් එය ලොකු වාසනාවක් බව අමුතුවෙන් කිවයුතු නැත.

නිමල් ශාන්ත

විශ්‍රාම ජීවිතය සැලසුම් කරගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී සැලකිල්ලට ගත යුතුව තිබෙන එක් කෝණයකට අදාළව එක්තරා අපූරු පුද්ගලයෙකුගෙන් ඉගෙන ගත් පාඩමක් මෙසේය. ඔහුගේ නම නිමල් ශාන්ත විය යුතුය. ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලයක් දරා විශ්‍රාම ගිය පුද්ගලයෙකි. විශ්‍රාම ගැනීමෙන් පසුත් ඔහු සොච්චම් වැටුපකට රාජ්‍ය නොවන සංවිධානයක පිරිස් භාර ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. ඔහුට ඒ වනවිට (මීට අවුරුදු 25කට පෙර) ලැබුණු වැටුප රුපියල් 3000කට වැඩි නොවීය. වැඩට පැමිණියේද හොඳට හැඳ පැළඳගෙනය. ඔහු වැඩ කළ ආයතනයේ සේවකයන්ද ඔහුව ප්‍රිය කළේය. ඔහුට ප්‍රියජනක බිරිඳක්ද උසස් අධ්‍යාපනයේ යෙදෙන ගැහැනු දරුවකුද සිටියේය. ඔහු ජීවත් වූ නිවසද ඉතාමත් පිළිවෙළකට පවත්වාගෙන යන බවක් පෙනෙන්නට තිබුණි. හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙමින් තිබියදීත් මෙම පුද්ගලයා මෙතරම් අඩු වැටුපකට රක්ෂාවක් කරන්නේ ඇයිද යන්න ඔහු පිළිබඳව මට විසඳාගත යුතුව තිබුණු ලොකු ප්‍රහේළිකාවක් විය.

ඒ ගැන මා ඔහුගෙන් කරුණු විමසූ විට ඔහු මට කීවේ පඩිය බලාගෙන නොව කිසියම් වැඩක නිරතවීමට අවශ්‍ය නිසා එසේ කරන බවය. ලැබෙන විශ්‍රාම වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් වුවත් ගෙදර ජීවත් වන තැනකට ගියහොත් දිනපතා රැවුල බෑමේ, පිළිවෙළකට ඇඳුම් ඇඳීමේ පුරුද්දෙන් ඉවත් වී ජරාජීර්ණ තත්ත්වයකට පත්විය හැකි බවත් ඒ තත්ත්වය වළකා ගැනීම සඳහා තමන් එසේ කරන බව ඔහු කීවේය. ඔහුගේ විශ්‍රාමික ජීවිත දර්ශනය පරිපූර්ණ නැතත් විශ්‍රාම ජීවිතය තුළ තිබිය යුතු වැදගත් දර්ශකයක් ඔහු අපට ඉදිරිපත් කරන්නේයැ”යි කිව හැකිය. එනම් වැඩ කරන කාලයේ පවත්වාගෙන ගිය හොඳ ජීවිත පුරුදු විශ්‍රාම කාලයේදීත් පවත්වාගෙන යායුතු බවය. එසේ නොවෙතොත් බාහිර පෙනුමෙන් ජරාජීර්ණවීමට එය හේතුවන බවය.

ජේආර් ජයවර්ධන

ඊට අදාළ තවත් කෝණයක් සඳහා දැක්විය හැකි නිදර්ශනයක් මෙසේය. මා නිදර්ශනය කොට ගන්නේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය. විශ්‍රාම යෑමෙන් පසු ඔහු ගත කරන ලද පීඩාකාරී ජීවිතය ගැන මට අසන්නට ලැබුණේ ඔහුගේ මුණුපුරකුගේ බිරියකිනි.

ජනාධිපති ජයවර්ධන බලයට පත්වූයේ වයස අවුරුදු 71දීය. ඔහු ධුර කාල දෙකක් හෙවත් අවුරුදු 11ක් ජනාධිපති ධුරයේ රැඳී සිටියේය. විශ්‍රාම යන විට ඔහුගේ වයස අවුරුදු 82කි. ව්‍යවස්ථාවට ධුර කාල දෙකක් ඇතුළත් කරන විට සමහරවිට ඊට වැඩි කාලයක් තමන්ට ජීවත්වන්නට හැකි නොවනු ඇතැ”යි ඔහු කල්පනා කළා විය හැකිය. දෙවැනි ධුර කාලය අවසන්වීමට ආසන්න වන විට ඔහු තුන්වැනි ධුර කාලයක් ගැනද සිහින දැක්කේය. තමන් මැරෙන තෙක්ම පාලන බලයේ සිටිය යුතුයැ”යි ඔහු කල්පනා කළා විය යුතුය.

රටේ පැවති ජේවීපී කැරැල්ල හා ප්‍රේමදාස අගමැතිවරයාගෙන් එල්ල වූ විරෝධතා වැනි හේතු නිසා ඔහු ධුර කාල දෙක අවසන්වීමෙන් පසු විශ්‍රාම ගත්තේය. විශ්‍රාම ගන්නා තෙක්ම ඔහු කාර්යබහුල පුද්ගලයෙකු විය. ඔහු දිනපතා පත්තර බලන්නට පුරුදු වී සිටියේ ආහාර මේසයේදීය. ඔහු සමහර දේශපාලකයන්ට සමීප උසස් නිලධාරීන්ට උපදෙස් දුන්නේද උදේ ආහාර මේසයේදීය. හැම දිනකම ඔහු ආහාර ගත්තේ තවත් කිහිපදෙනකු සමගය. එහෙත් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ආහාර ගත්තේ තනිවම බවත් ඒ නිසා වෙනදා මෙන් උද්යෝගයෙන් පුවත්පත් බැලුවේ නැති බවත් සාමාන්‍යයෙන් උදේ ආහාර ගත්තේද ඕනෑවට එපාවටත් බවත් සමහරවිට ඔහු ආහාර මේසයේ ඉඳිමින් බොහෝවේලා කල්පනා කරමින් කාලය ගෙවූ බවත් එම දර්ශනය ශෝකජනක හැඟීමක් තමන් තුළ ඇති කළ බවත් ඇය කීවාය.

ඇත්ත වශයෙන්ම විශ්‍රාම ගැනීමෙන් පසු ජේආර් ජයවර්ධනට කරන්නට දෙයක් නොතිබුණේය. වෙනදා හැම වැදගත් උත්සවයකම ප්‍රධාන ආරාධිතයා වූයේ ඔහු වුවද විශ්‍රාම යෑමෙන් පසු ඔහුට උත්සව කටයුතු සඳහා වුවද ආරාධනා ලැබී ඇත්තේ කලාතුරකිනි. ඒ නිසා උචිත අනුචිතභාවය නොසලකා ඉඳහිට ලැබෙන ඕනෑම ආරාධනාවක් භාරගන්නා තත්ත්වයකට පත්වූ බවද ඇය කීවාය.

රාජකීය ආසියාතික සංගමයට සම්බන්ධ පුද්ගලයකුගෙන් අසන්නට ලැබුණු කතාවක් මෙසේය. ජනාධිපති ජයවර්ධන විශ්‍රාම යෑමෙන් පසු රාජකීය ආසියාතික සංගමයේ ප්‍රසිද්ධ දේශනයක් පැවති දිනයක ඔහු ඊට සවන් දෙන්නට රැස්වීම් ශාලාවට පැමිණියේය. ඔහු හිටපු ජනාධිපතිවරයා නිසා ඔහුට කරන ගෞරවයක් වශයෙන් සංවිධායකයෝ ඔහු වේදිකාවට ගෙන ගොස් එහි අසුන් ගැන්නුවේය. ඉන්පසු ඔහු එහි පැවැත්වෙන හැම දේශනයකටම එන්නට වීම නිසා එය ඔවුන්ට කරදරයක් වී වේදිකාවේ අසුන් ගන්වන පිළිවෙත අත්හරින ලද බවත් ඉන්පසු දේශනවලට සහභාගිවීමේ පුරුද්ද ජයවර්ධන ජනාධිපතිවරයා විසින්ම අත්හරින ලද බවත් ඔහු කීවේය.

විශ්‍රාම යෑමෙන් පසු ජයවර්ධන ජනාධිපතිවරයාට කරන්නට දෙයක් නොතිබීම ඔහු මුහුණ දුන් අර්බුදය ලෙස සැලකිය හැකිය. එහෙත් ඔහුට ඒ කෙටි කාලය සඳහා වුවත් සැලැස්මක් තිබුණේ නම් මරණය තෙක්ම උද්යෝගිමත් හා තෘප්තිමත් ජීවිතයක් ගතකරන්නට හැකිවන්නට ඉඩ තිබුණි. සමහරවිට ඔහුගේ පාලන කාලය දෙස අවංකව ආපසු හැරී බලන පොතක් ලියන තැනකට ගියේ නම් එය ඔහුගේ මානසික සංතුෂ්ටියට හේතුවන දෙයක් වන්නට ඉඩ තිබුණා සේ ම ඒ නිසා මහජනයාගේ උනන්දුවට හේතුවන පොතක් බිහිවන්නට ද ඉඩ තිබුණි. ඔහුට කළහැකි ප්‍රයෝජනවත් වෙනත් දේද තිබුණේය.

විශ්‍රාම යනවා යන්නෙහි තේරුම ක්‍රියාකාරී ජීවිතයෙන් ඈත්වී මරණය තෙක් වැඩ කිරීමකින් තොරව සැහැල්ලු හා අලස ජීවිතයක් ගතකිරීම විය නොහැකිය. විශ්‍රාම ගිය වහාම මරණය ළඟාවන්නේ නැත. සමහරවිට අවුරුදු තව අවුරුදු බොහෝ ගණනක් ජීවත්විය යුතුය. සමහරවිට ඒ කාලය ඔහුගේ ළමා කාලයටත් වඩා වැඩිවිය හැකිය. ඒ කාලය ඵලදායී කාර්යභාරයකින් තොරව ජීවත් වන්නට ගියහොත් ඒ පුද්ගලයාගේ ජීවිතය කාලකණ්ණිවීම නොවැළැක්විය හැකිය. ඒ කාලය තුළ කාර්යබහුල, ඵලදායී හා තෘප්තිමත් ජීවිතයක් සඳහා දළ සැලැස්මක් හැම විශ්‍රාමිකයකුටම තිබිය යුතුය.

සිරගෙය

සිරගෙයි සිටියදී මා එවැනි උභතෝකෝටික තත්ත්වයකට මුහුණ දුන්නෙමි. එහි හැම දවසක්ම පෙර දවසට සමානය. ජීවත්වන්නට සිදුවී තිබුණේ එකම පිරිසක් සමගය. ඔවුන්ට කියන්නට තිබෙන දේවල් කියා අවසන්වීමෙන් පසු ඒ කතා නැවත නැවත කීවේය. බන්ධනාගාර නිලධාරීන් ලෙස අප අතරට ආවේද එකම පිරිසකි. සිරගෙදර බිත්ති අහස මේ සියල්ල හැමදාම පෙනුණේ බොහෝ දුරට එකම විදියකටය. එම ඒකාකාරී බව ලැබෙන ආහාරවලටද පොදු විය. නිදහස් වන දිනය කවදාදැ”යි නොදැන සිටියෙමි. එම නිසරු පීඩාකාරි හා විනාශකාරී ජීවිතෙන් අත්මිදෙන ක්‍රමයක් සොයාගැනීමට නොහැකි වෙතොත් සියදිවි නසාගන්නා තැනකට යන්නට සිදුවනු ඇතැ”යි මම කල්පනා කළෙමි. එම තත්ත්වයෙන් අත්මිදීමට ක්‍රමයක් සොයාගැනීමට මට අවශ්‍ය වූ අතර, මා ඒ සඳහා නිරතවීම සඳහා ක්ෂේත්‍ර තුනක් තෝරා ගත්තෙමි. ඒ පොත් කියවීම, ලිවීම හා චෙස් ඇදීමය. එක ක්ෂේත්‍රයක් වෙනුවට ක්ෂේත්‍ර තුනක් තෝරාගත්තේ සුළු කාලයකට හෝ එක දෙයක් එපා වූ විට තවත් දේකට මාරුවීමට තිබෙන හැකියාව සලකාය. විටෙක පොත් කියවූවෙමි. තවත් විටෙක ලීවෙමි. ඒ දෙකම එපාවූ අවස්ථාවල චෙස් ගැටලු විසඳන්නට උත්සාහ කළෙමි.

පොත් කියවීමේ පුරුද්ද මාගේ දැනුම පුළුල් කළේය. සිරගෙදර ඒකාකාරී ජීවිතයෙන් ඈත්වී වෙනත් ලස්සන ලෝකවලට යමින් මගේ දැනුම හා රසඥතාව වර්ධනය කරගැනීමට මට ඒ නිසා හැකිවිය. ලිවීමට ඇබ්බැහිවීම නිසා ඔළුවේ ගොඩගසාගෙන තිබෙන අදහස් විධිමත් ලෙස හා ක්‍රමානුකූලව පෙළගැස්වීමේ හැකියාව මට ලැබුණි. කරුණු සියුම් හා තර්කානුකූලව සලකා බැලීමේ හැකියාව මට ලැබෙන්න ඇත්තේ චෙස්වලිනි. කෙටියෙන් කියතොත් ඒ නිසා මට සිරගෙදර පැවති පීඩාකාරී හා ඒකාකාරී ජීවිතය ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනිමින් එහි ගතකළ ජීවිතය ආත්ම තෘප්තියෙන් යුතු ජීවිතයක් බවට පත්කර ගැනීමට හැකිවිය. ඒ උරුමය මගේ අනාගත ජීවිතය කෙරෙහිද යහපත් ලෙස බලපෑවේය. මා හිරගෙදර සිටියදී පොත් දෙකක් ලීවෙමි. ලිපි සිය ගණනක් ලියන්නට ඇත.

විශ්‍රාමිකයන්ටද සිය විශ්‍රාම ජීවිතය සැලසුම් කරගැනීම මගින් ඔවුන්ගේ ජීවිත ප්‍රයෝජනවත්, අර්ථවත් හා තෘප්තිමත් ජීවිත බවට පත්කර ගත හැකිය. භයානකම දේ ඵලදායී කාර්යභාරය තීරණ නොවී කල්පනා කරමින් හෝ ඕපාදූප කතා කරමින් දිවි ගෙවන තත්ත්වයකට පත්වීමය. විශ්‍රාමිකයෙකු විශ්‍රාම යන්නට පෙර ගතකරන ලද කාර්ය බහුල ජීවිතයට සමාන ජීවිතයක් පවත්වාගෙන යායුතුය. ඔහුට යෙදෙන්නට කාලසටහනක් සහිත ස්ථිර වැඩ ප්‍රමාණයක් තිබිය යුතුය. රැකියාවක නිරත වන කාලයේදී මෙන් ඔහු වේලාවට අවදි විය යුතුය. රැවුල බාන්නේ නම් හැමදාමත් එසේ කළ යුතුය. පිරිසිදුව හා මදින ලද ඇඳුම් ඇඳිය යුතුය. වැඩට ගිය කාලයේ ජීවිතය හා විශ්‍රාම කාලයේ ජීවිතය අතර බාහිර පෙනුමෙන් ලොකු වෙනසක් පෙනෙන්නට නොතැබිය යුතුය.

සමහරු පින් රැස් කළයුතු කාලය ලෙස සලකන්නේ විශ්‍රාම කාලයයි. මා හිතන්නේ පින් රැස් කළ හැකි දෙයක් හෝ අනුමෝදන් කළහැකි දෙයක් නොවන බවය. පිං පිණිස යහපත් දෙයක් කරන්නේ, ඊට වැඩි දෙයක් ආපසු ලබාගැනීමේ අරමුණින් නම් එය සැලකිය හැක්කේ ආත්මාර්ථකාමී ගනුදෙනුවක් ලෙසය. කිසියම් විශ්‍රාමිකයෙකු ඔහු විශ්‍රාම ජීවිතයට පෙර ගත කළ ජීවිතය අයහපත් නම් ඒ ගැන අවංක ලෙස කනගාටුවෙමින් විශ්‍රාම ජීවිතයේදී හෝ එය යහපත් කරගැනීම සඳහා ක්‍රියාකිරීම යහපත්ය. විශ්‍රාමිකයන් මරණය සැලකිල්ලට ගත යුතුව තිබෙන වැදගත් කරුණක් වුවත් ඔහු මරණය ගැන බයෙන් හා තැවෙමින් ජීවත් විය යුතු නැත. මැරෙන තෙක් යහපත්, ඵලදායී හා ආත්ම සංතුෂ්ටියට හේතුවන ක්‍රියාකාරී ජීවිතයක් පවත්වාගෙන යෑම වැදගත්ය. මරණයට සන්සුන්ව හා ආත්ම විශ්වාසයකින් මුහුණදීමේ හැකියාව ලැබෙන්නේ එවිටය.

පොත් කියවීම

ඵලදායී වෙනත් දේවල් කරන අතර පොත් කියවීමට යොමුවීමෙන්ද ජීවිතය රසවත් සේ ම අර්ථවත්ද කරගත හැකිය. වැදගත්ම දේ මොළයේ ක්‍රියාකාරීත්වය උපරිම තත්ත්වයක තබාගැනීමය. මිනිසා අන් සතුන්ගෙන් වෙනස්වන්නේ මොළය නිසාය. කරුණු සලකා බැලීමේ හැකියාව සේ ම නිර්මාණශීලී ලෙස ක්‍රියාකිරීමේ හැකියාව මිනිසාට ලැබී ඇත්තේ මොළය නිසාය. මිනිසාට පමණක් දීර්ඝ ළමා ජීවිතයක් ලැබී තිබෙන්නේද මොළය නිසාය. මොළයට තිබෙන ශක්‍යතාවන්ගෙන් 10%ක්වත් තවමත් මිනිසා ප්‍රයෝජනයට ගෙන නැත. ශරීරයට ව්‍යායාම් අවශ්‍ය සේ ම මොළයටද ව්‍යායාම් අවශ්‍යය. ශරීර සෞඛ්‍ය කෙරෙහි මොළයද බලපායි. නිරෝගීභාවය සියලු සම්පත් අතර තිබෙන වටිනාම සම්පත ලෙස සැලකිය හැකිය. කොතරම් ධනය හා බලය තිබුණද ඔහු නිරෝගී නොවේ නම් විවිධ ලෙඩ දුක්වලින් පීඩා විඳින්නේ නම් ඒ ධනයෙන් හා බලයෙන් ඇති වැඩක් නැත. ජීවිතයේ ක්‍රියාකාරී බව හා නිරෝගි බව අතර තිබෙන අන්තර් සම්බන්ධය

ප්‍රධාන කොට මොළයෙන් වැඩ කළ පුද්ගලයෙකු විශ්‍රාම ගැනීමෙන් පසු මොළේ ක්‍රියාකාරීත්වය විශාල ප්‍රමාණයකට අඩු කළහොත් ඔහු ඉක්මනින් අබල දුබල බවට පත් රෝගියකු බවට පත්විය හැකිය. අකුරුවලට වඩා රූප බලවත්ය. රූප තේරුම් ගැනීම පහසුය. එහෙත් මොළයේ ක්‍රියාකාරීත්වයට වඩා වැදගත්වන්නේ අකුරු හා සංඛ්‍යාය. මොළය වැඩි උනන්දුවක් දක්වන්නේ අතිසරල දේවලට නොව සංකීර්ණ දේවලටය. එය තොරතුරු රැස් කරන ගබඩාවක් ලෙසට වඩා තොරතුරු විශ්ලේෂණය කරන යාන්ත්‍රණයක් ලෙස පරිහරණය කළ යුතුය. පොත් කියවීම වැදගත්වන්නේ ඒ නිසාය. සරල රූප ඔස්සේ වෙනුවට අකුරු කියවීම ඔස්සේ දෙයක් තේරුම් ගන්නට උත්සාහ කරන විට අකුරු වචන බවටත් වචන වාක්‍ය බවටත්, වාක්‍ය ඡේද බවටත් පත්කරවීමේ වඩා සංකීර්ණ ක්‍රියාදාමයක් ඔස්සේ එහෙත් ඉතා වේගයෙන් මොළය අවශ්‍ය රූප රාමු තනා දෙයි. රූපවාහිනිය දෙස බලා සිටිනවාට වඩා පොතේ කියවීමෙන් මොළය වර්ධනය කරගත හැකිය. ඒ මගින් ඕනෑම නීරස ජීවිතයක් රසවත් කරගත හැකිය. ජීවිත අවබෝධය ගැඹුරු කරගන්නවාට අතිරේකව රසඥතාව වර්ධනය කරගත හැකිය. පොත් කියවන්නෙකු ගෙදර සිටින විට ඔහු හෝ ඇයගේ එම පුරුද්ද ගෙදර සිටින වෙනත් අය කෙරෙහිද බලපායි.

මාගේ පොත් එකතුව මගේ මවගේ ජීවිතය කෙරෙහිද බලපෑවේය. ඇයද කියවීමට ඇබ්බැහි වූ කෙනකුගේ තත්ත්වයට පත්විය. ඇයටද පොතක් කියවීමෙන් පසු ඒ ගැන කියන්නට තමන්ගේ අදහස්ද තිබුණි. ඇයගේ වයෝවෘද්ධ ජීවිතය මගේ පොත් විසින් රසවත් කළේයැ”යි සිතමි. මාගේ පොත් එකතුව මාගේ බිරිඳ හා දරුවන්ද කියවන්නන් බවට පත් කළේය. මගේ දරුවන් ළමා කාලයේදී ඔවුන් මාගේ පොත්වලට හානි කරයිද යන කුතුහලයක් මට තිබුණි. එහෙත් පුදුමයට මෙන් ඔවුන් ඔවුන්ගේ ළදරු කාලයේදී මාගේ පොත්වලට කිසිදු හානියක් නොකළේය. ඔවුන් පුංචි කාලයේදී ඔවුන්ගේ රුචිකත්වය වර්ධනය කිරීමට හේතුවන ඔවුන්ගේ මනසට ගැළපෙන හොඳ පොත්පත් මම ඔවුන්ට ලබා දුන්නෙමි. පුංචි කාලයේදී ඔවුන්ටද කුඩා පුස්තකාලයක් තිබුණේය. තරමක් ලොකු වනවිට ඔවුන්ද මගේ පුස්තකාලය ප්‍රයෝජනයට ගන්නා තැනකට ආවේය.

මාගේ චෙස් පුරුද්ද මම ඔවුන්ටද උරුම කළෙමි. මව පියා හා දරුවන් යන සියලුදෙනා ගෙදර චෙස් සෙල්ලම් කළ කාලයක් තිබුණි. ඔවුන් හැමදෙනාටම හොඳින් චෙස් ගැසීමේ හැකියාව තිබුණි. චෙස් ඔවුන්ටද ඉවසීම, මානසික ඒකාග්‍රතාව හා තර්කානුකූලව කරුණු සලකා බලන්නට තිබෙන හැකියාව වර්ධනය කළේය. චෙස් ඔවුන්ගේ අධ්‍යාපන හැකියාවන්ද පෝෂණය කළේය. අවසානයේ මගේ පුතා ලංකාවේ චෙස් ශූරතාව හිමිකර ගත්තේය. ඔහු පළමුවරට ජාතික ශූරතාව හිමි කරගත්තේ වැඩිහිටි වියේදී නොව පාසල් වියේදීය. ඔහු විදේශ ගතවන තෙක් වසර ගණනක් එම ශූරතාව රැකගැනීමටද සමත් විය.

චෙස් විශ්‍රාමිකයන්ටද විශ්‍රාම ජීවිතය රසවත් කරගැනීම සඳහා තෝරාගත හැකි ක්‍රීඩාවකි. ජේආර් ජයවර්ධන චෙස් ඉගෙන ගෙන ඇත්තේ වයස අවුරුදු 62දීය. සීයා හෝ ආච්චි චෙස් ක්‍රීඩා කරන්නේ නම් ගෙදර මුණුබුරන් හා මිනිබිරියන්ද චෙස් ක්‍රීඩාවට යොමුවනු නොඅනුමානය. රටක් වශයෙන් අපි ගණිත විෂයේදී දුර්වලය. චෙස් ගණිතයට ආශාවත් ඇති කොට ඒ හැකියාව වර්ධනය කරයි. එය සංස්ලේෂණ හා විශ්ලේෂණ හැකියාවන්ද වර්ධනය කරයි. මානසික ඒකාග්‍රතාවද වර්ධනය කරයි.

වයස ප්‍රශ්නයක්ද?

විශ්‍රාමිකයන් අතර ඉතාමත් සුවිශේෂී අත්දැකීම් ඇති පුද්ගලයන් සිටිය හැකිය. ඔවුන් එම අත්දැකීම් ලියන තැනකට යන්නේ නම් ඔවුන් අතරින් හොඳ ලේඛකයන් පිරිසක් ඇතිවිය හැකිය. නිර්මාණශීලී හැකියාවක් සඳහා විශේෂ වයසක් හෝ කාලයක් තිබේද යන ගැන විස්තරාත්මකව කරුණු සොයා බලන පොතක් මට කියවන්නටලැබණි. ඔහු එම අධ්‍යයනය කර තිබුණේ ලෝකයේ විවිධ අංශවල කැපී පෙනෙන තත්ත්වයක් හිමි කරගත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් යොදා ගනිමිනි. සමහරෙක් තම නිර්මාණශීලී හැකියාවන් පෙන්වා තිබෙන්නේ ළමා කාලයේදීය. තවත් සමහරකුගේ ළමා කාලය ඉතා අසාර්ථකය. ඔවුන් සිය නිර්මාණශීලී කුසලතා පෙන්නුම් කර ඇත්තේ මැදිවියේදී හෝ සමහරවිට මහලු වියෙදීය. එයින් පෙනෙන්නේ උනන්දුවක් ඇති නම් නිර්මාණශීලී කාර්යයන් සඳහා වයස වැදගත් නොවන බවය. ටෝල්ස්ටෝයි බයිසිකල් පදින්නට ඉගෙන ගෙන ඇත්තේ වයස අවුරුදු හැට ගණන්වලදීය. ලංකාවේ බිහිවූ හොඳ විචාරකයකු ලෙස සැලකිය හැකි රෙජී සිරිවර්ධන පරිගණකයෙන් වැඩ කරන තැනකට ගොස් ඇත්තේ වයස අවුරුදු 70දීය. මාර්ටින් වික්‍රමසිංහ විරාගය ලීවේද 70 වැනි වියේදීය.

මට මාගේ සැඳෑ සමය ගැන සේ ම මාගේ බිරිඳගේ සැඳෑ සමය ගැනද දළ සැලැස්මක් තිබුණි. එය බිරිඳ හා දරුවන් සමගද සාකච්ඡා කර ඇත්තෙමි. එයට අනුව දරුවන් විවාහ වූ පසු ඔවුහු දෙමාපියන්ගෙන් වෙන්ව ස්වාධීනව ජීවත් විය යුතුය. දෙමාපියන් වයසට ගිය කාලයේදී මුළුමනින් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයක නොසිටිය යුතුය. අවම තත්ත්වයක ජීවිතයක් පවත්වාගෙන යා හැකි ආර්ථික තත්ත්වයක් දෙමාපියන්ටද තිබිය යුතුය. මාගේ විශ්‍රාම ජීවිතය උපරිම ක්‍රියාකාරී තත්ත්වයක තබාගැනීමට අවශ්‍ය වැඩ මට තිබෙන්නේය. කියවීමෙන් හා ලිවීමෙන් මාගේ කාලය තෘප්තිමත්ව ගත කළ හැකිය. මගේ බිරිඳටද ඇගේ උනන්දුවට හේතුවන විවිධ දේවල් තිබෙන්නේය. ඇය පොත් කියවීමට කැමතිය. මල් වවන්න කැමතිය. මැහුම් ගෙතුම්වලටද කැමතිය. සූප ශාස්ත්‍රයටද කැමතිය. එය මමද කැමති විෂයකි. මා මගේ අංශවල ක්‍රියාන්විත ජීවිතයක් ගතකළ යුතු අතර ඇය ඇගේ අංශවල ක්‍රියාන්විත ජීවිතයක් ගත කළ යුතුය. බිරිඳ දැනට අන්තර්ජාලයෙන් විවිධ මෝස්තර ලබාගනිමින් මැහුම් ගෙතුම් කිසියම් විශාල ප්‍රමාණයක් කර ඇත්තේය. එය ලස්සන හොඳ එකතුවක් ලෙසද සැලකිය හැකිය. පොත් කියවීමේ පුරුද්දද අතනෑර ඉදිරියට ගෙනයමින් තිබේ. මා ගෙනන නවකතා පොත් පළමුවෙන් කියවන්නේ ඇයය. ඒවා අතර තිබෙන කියවිය යුතුම පොත් මොනවාදැ”යි මා දැනගන්නේද ඇයගෙනි. සූප ශාස්ත්‍රය ගැනද අපි විවිධ අත්හදා බැලීම් කර ඇත්තෙමු. සමහරවිට ඒ විෂය ගැන අප දෙදෙනාට එකතු වී හොඳ පොතක් ලිවිය හැකිය.

විශ්‍රාමිකයන්ට ඔවුන්ගේම ස්වාධීන ආර්ථිකයක් තිබීම වැදගත්ය. යමක්කමක් තිබෙන දෙමාපියන් පවා තමන්ගේ විශ්‍රාම ජීවිතය සඳහා කිසිවක් තබා නොගෙන තමන්ට තිබෙන සියල්ල දරුවන්ට දී ඉන්පසු දරුවන්ගෙන් අපේක්ෂා කරන තරමේ සැලකිල්ලක් නොලැබෙන විට දරුවන්ට එරෙහිව ආඩපාලි කියන අවස්ථා කොතෙකුත් දැකිය හැකිය. දරුවන් කෙරෙහි නිර්ලෝභීවීම යහපත් ගුණයකි. එහෙත් දෙමාපියන් මුළුමනින් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයක සිටීම හොඳ නැත. පුළුවන්කමක් ඇතොත් ස්වාධීනව ජීවත් විය හැකි ආර්ථික තත්ත්වයක් ඇති කරගත යුතුය.

විශ්‍රාමිකයන් තමන්ට තිබෙන ඉතිරි කිරීම් වැඩි පොලියක් ලබාගැනීම සඳහා බොරුකාර ආයතනවල තැන්පත් කිරීම මගින් අමාරුවේ වැටෙන අවස්ථා බහුලව දැකිය හැකිය. සක්විතිගේ ව්‍යාපාරය සේ ම කොතලාවලගේ ව්‍යාපාරයද විශ්‍රාමිකයන් විශාල පිරිසකගේ ජීවිත අඳුරු කළේය. විශ්‍රාමිකයන් සිය ඉතිරි කිරීම් ස්ථිර තැන්පතුවල තැන්පත් කරන්නේ නම් වැඩියෙන්ම සැලකිල්ලට ගතයුත්තේ වැඩිම පොලියක් දෙන්නේ කව්ද යන්න නොව මුදල් තැන්පත් කරන ආයතනය ස්ථිරසාර ආයතනයක්ද නැද්ද යන්න ගැනය.

විශ්‍රාමිකයන්ට සමූපාකාර ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම මගින් ඔවුන්ගේ හිත සුව පිණිස පමණක් නොව අනාගතයේ විශ්‍රාම යන අයගේද හිත සුව පිණිස ක්‍රියාකරන ඔවුන්ට විශේෂ පහසුකම් ලබාගත හැකි ආයතන ක්‍රමයක් ඇති කළ හැකිය.

මා මීට කලකට පෙර කලාකරුවන් හා ලේඛකයන් කිහිපදෙනකුගෙන් විශ්‍රාම කාලය ගතකිරීම සඳහා එකට එකතු වී පුංචි ජනපදයක් හදන්න එකතුවන්න කැමතිදැ”යි විමසුවෙමි. එය පුංචි කබානා පන්නයේ නිවාස 15කින් හෝ විස්සකින් සමන්විත වනු ඇත. පොදු අවන්හලක් පුස්තකාලයක්ද තිබෙනු ඇත. එම ජනපදයට එකතු කරගන්නේ එකට ජීවත්විය හැකි රුචි අරුචිකම් ඇති තෝරාගත් පිරිසක් පමණය. මා කතා කළ හැම කෙනෙක්ම එය ලස්සන අදහසක් බව පිළිගත්තේය. එය කිසියම් පිරිසකට එකට එකතු වී ප්‍රායෝගිකව ක්‍රියාවට නැගිය හැකි අදහසක් ලෙස සැලකිය හැකිය. සමහරවිට ලොකු ඉඩමක් ඇති විශ්‍රාමිකයකුට එය මුදල් උපයා ගතහැකි මාර්ගයක් බවටද පත්කර ගත හැකිය.