ආරක්ෂක ලේකම් කෝපයට පත් කළ ෆේ‍රඩ්රිකා ජෑන්ස්ගේ කරුණු විමසීම

July 15, 2012
Publication:
Ivan defends Sunday Leader editor Frederica Jansz, whose paper published her telephone conversation with Defence Secretary Gotabaya Rajapaksa about a puppy flown from Zurich on SriLankan Airlines. He describes how the Secretary answered calmly at first, then turned to abuse and threats, using obscene language and calling her a journalist who eats filth, when she asked about a pilot unqualified to fly the aircraft. Jansz, he argues, was doing her job properly by putting a story of public interest to the person concerned before publishing it, and the Secretary's conduct was unworthy of his office.

සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆේ‍රඩ්රිකා ජෑන්ස් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග කරන ලද දුරකතන සංවාදයක් ආශ්‍රයෙන් එම පුවත්පතේ පළවූ වාර්තාව ජනමාධ්‍යවේදීන්ගේද, ජනමාධ්‍ය විෂය හදාරන්නන්ගේ හා එම විෂය උගන්වන්නන්ගේද විශේෂ අවධාරණයට යොමුවිය යුතුව තිබෙන වාර්තාකරණයක් ලෙස සැලකිය හැකිය. ෆේ‍රඩ්රිකා ජෑන්ස් විවාදයට ලක්ව සිටින පුවත්පත් කතුවරියක වනවා සේම ගෝඨාභය රාජපක්ෂද දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවාදයට ලක්ව සිටින රාජ්‍ය නිලධාරියකු ලෙස සැලකිය හැකිය.

ෆේ‍රඩ්රිකාට ආරක්ෂක ලේකම්ට දුරකතනයෙන් කතා කරන්නට අවශ්‍ය වී තිබෙන්නේ ආරක්ෂක ලේකම්වරයා ස්විට්සර්ලන්තයේ සිට ගුවනින් ගෙන්වා ගැනීමට නියමිත බලු පැටවකු නිසා එයාර් ලංකා සමාගමට ගුවන් නියමුවා සමග ගුවන් යානයද වෙනස් කරන්නට සිදුවී ඇති බව අසන්නට ලැබුණු කතාවක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ පැත්තෙන් කරුණු දැනගැනීම සඳහාය. ගුවනින් රැගෙන ඒමට නියමිත එම බලුපැටියා නිසා ජනාධිපති රාජපක්ෂ පවුලට ඥාති සම්බන්ධයක් ඇති ගුවන් නියමුවකු (ගුවන් නියමුවා අතිනත ගැනීමට නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරයාගේ සහෝදරියගේ දුවක සමගය.) යොදා ගන්නට එයාර් ලංකා සමාගමේ පාලන අධිකාරියට සිදුවන අතර සුරිච් බලා යන A 340 වර්ගයේ ගුවන් යානාවක් පැදවීමට එම ගුවන් නියමුවාට සුදුසුකම් නොතිබීම නිසා A 340 වර්ගයේ වෙනුවට A 330 වර්ගයේ පොඩි ගුවන් යානාවක් යෙදීමට තීරණය කිරීමටද පාලන අධිකාරියට සිදුවේ. පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට පොඩි ගුවන් යානාවක් යෙදවීමට පාලන අධිකාරියට තීරණය කරන්නට සිදුවී තිබෙන්නේ ගුවන් නියමුවන්ගේ සංසදයෙන් පළවී තිබූ විරෝධයක් නිසාය. ඒ නිසා ඇතිවී තිබෙන තවත් අතිරේක ප්‍රශ්නයක් වී ඇත්තේ කුඩා ගුවන් යානාවක් යොදාගැනීම නිසා ගෙනයන මගීන් සංඛ්‍යාව 56 දනෙකුගෙන් අඩු කරන්නට වී තිබීමය. එවිට එය සමාගමට අලාභයක් ඇති කරන දෙයක් බවට පත්වේ.

ෆේ‍රඩ්රිකා ආරක්ෂක ලේකම්වරයාගෙන් මුලින්ම විමසා සිටින්නේ සූරිච්වලින් ගෙන එන්න නියමිත බලු පැටියා ගැනය. එම ප්‍රශ්නයට ආරක්ෂක ලේකම්වරයා සන්සුන්ව හා සාධාරණව පිළිතුරු දී තිබෙන බවද පෙනේ. බලු පැටියකු ගෙන එන්න සූදානම් කර තිබෙන කතාව සත්‍ය බවත් ඒ සඳහා කාර්ගෝ ගාස්තු ගෙවන්නේ නම් බලු පැටියකු නොව අලියකු වුවත් තමාට ගෙන ඒමේ අයිතිය තිබෙන බවත් බලුපැටියා ගෙන එන්නේ තමාගේ බිරිඳට බවත් ඒ සඳහා තමන්ට හැම අයිතියක්ම තිබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා ඇයට දෙන ලද පිළිතුරු වී තිබේ.

බලුපැටියකු ගෙන්වා ගැනීමට ආරක්ෂක ලේකම්වරයාට තිබෙන අයිතිය තමා ප්‍රශ්න නොකරන බවත්, එම ගුවන් ගමන සඳහා විශේෂ ගුවන් නියමුවකු පත්කර තිබෙන බව තමන්ට දැනගන්නට ලැබුණු බව ඇය කී විට එයද සත්‍යයක් බවත් තමා දන්නා හඳුනන ගුවන් හමුදාවේ හිටපු මිත්‍රයන් එහි වැඩ කරන බවත් එවැනි අය තමන්ට උදව් කරන්නට ඉදිරිපත් වන බවත් ආරක්ෂක ලේකම්වරයා කියා තිබේ.

ආරක්ෂක ලේකම්වරයා කෝපයෙන් අදහස් පළකරන තැනකට යන්නේ මේ ගුවන් නියමුවා A 340 වර්ගයේ ගුවන් යානාවක් පැදවීමට සුදුසුකම් නැති නියමුවකු වීම නිසා පොඩි ගුවන් යානාවක් යොදාගැනීමට ගෙන තිබෙන තීරණය ප්‍රශ්න කිරීමේදීය.

ඒ සමග ආරක්ෂක ලේකම්වරයා කෝපයට පත්වී ඔහු උසුලන තනතුරට නොගැළපෙන කිසිසේත්ම ශිෂ්ටසම්පන්න නොවන පහත් ආකාරයකින් ඇයට බැන වැදී ඇය අපහාසයට ලක්කිරීමෙන්ද නොනැවතී ඇයට තර්ජනය කරන තැනකටද යොමුවී තිබේ.

මේ සංවාදයේදී ආරක්ෂක ලේකම්වරයා පාවිච්චි කර තිබෙන භාෂාව පහත්ය. ග්‍රාම්‍යය. Fucking යන යෙදුම අවස්ථා ගණනාවක පාවිච්චි කර තිබෙන අතර ඔහු ඇය හඳුන්වා තිබෙන්නේ අසූචි කන ජනමාධ්‍යවේදිනියක ලෙසය. ඔහු තවදුරටත් කියා තිබෙන්නේ ඇයගේ ගණයෙහිලා සැලකිය හැකි ජනමාධ්‍යවේදීන් සැලකියයුත්තේ අසූචි කන ඌරන් ලෙස බවය. එක වචනයක් හෝ ලියා තිබුණහොත් නඩු පවරන බවට ප්‍රකාශ කර තිබෙන අතර එසේ ප්‍රකාශ කිරීම මගින් තමන්ට තර්ජනය කරන්නේදැ”යි ඇය විමසූ විට ආරක්ෂක ලේකම්වරයා කෝපයෙන් ඊට දෙන ලද පිළිතුර වී තිබෙන්නේ ඔව් එක වචනයක් හෝ ලියා තිබුණොත් අපි බලාගමුයි කියන පිළිතුරය.

මෙම සංවාදයේදී ෆේ‍රඩ්රිකා තමන්ට එල්ල වන බැණ වැදීම් අපහාස කිරීම් හා තර්ජනය කිරීම් මධ්‍යයේ නොබියව හා සන්සුන්ව විෂය රාමුවට ගැළපෙන ලෙස සිය කරුණු විමසීම ඉදිරියට ගෙනයෑමට දරා තිබෙන උත්සාහය ප්‍රශංසනීය උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

මෙය ආරක්ෂක ලේකම්වරයාගේ ලෝකය වැරදි ලෙස ආක්‍රමණය කළ අවස්ථාවක් ලෙස සැලකිය නොහැකිය. ඇය අතට පත්ව තිබුණේ මහජන උනන්දුවට හේතුවන කතාවකි. ඇය එය ඒකපාක්ෂිකව පළ නොකොට ආරක්ෂක ලේකම්වරයාගෙන්ද ඒ ගැන කරුණු විමසීමක් කළාය. ආරක්ෂක ලේකම්වරයා දක්වන ලද ගොරහැඩි ප්‍රතිචාරය සාමාන්‍ය කතාවකට ලැබෙන වටිනාකමට වැඩි අලුත් වටිනාකමක් එම කතාවට ලබාදීමට හේතුවිය.

ආරක්ෂක ලේකම්වරයා රටේ ජනාධිපතිගේ සහෝදරයාය. ඔහු එල්ටීටීඊය පරාජය කරන යුද්ධයේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයකු වන අතර මහජනයා ඔහු පළමු පෙළේ වීරයකු ලෙසද සලකන ලදි. ඒ සියල්ල එසේ තිබියදීත් ඔහු රාජ්‍ය නිලධාරියකු වන අතර ඔහු ෆේ‍රඩ්රිකාට ප්‍රතිචාර දක්වා තිබෙන ආකාරය පහත්ය. වෙනත් රටක නම් මෙවැනි හැසිරීමක් රාජ්‍ය නිලධාරියකු තනතුරින් ඉවත් කරන්නට තරම් ප්‍රමාණවත්ය. මෙම ශෛලිය යුද හමුදා සේවයට සමහරවිට හොඳ විය හැකි වුවත් සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ශීලාචාර සමාජයකට හොඳ නැත. අසීලාචාරය. මේ රටේ ජීවත්වන්නේ නිදහස් පුරවැසියන් මිස කාගේවත් ප්‍රවේණිදාසයන් නොවන බව මෙවැනි අය තේරුම් ගන්න යන්නේ කවදාද?