මා ලිවීම සඳහා ගත කරන කාලයෙන් කිසියම් කාලයක් ගතකරන්නට සිදුවී තිබෙන්නේ විවේචනයන්ට පිළිතුරුදීම සඳහාය. එය හැමවිටම ප්රියජනක දෙයක් නොවූවත් කිසියම් විශේෂ මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයකට සිය මතයේ ආරක්ෂාව සඳහා එසේ කරන්නට සිදුවන්නේය.
පසුගිය සතියේ සිය කැමැත්තෙන් පිටුවහලේ සිටින උවිඳු කුරුකුලසූරිය මා ඇමති ඩව් ගුණසේකර සමග කරන ලද සාකච්ඡාවක් ගැන ඔහුගේ වෙබ් අඩවියේ ලොකු වාර්තාවක් පළ කොට තිබුණි. මම ඇමති ඩිව් ගුණසේකර සමග දීර්ඝ ලෙස දේශපාලන අදහස් හුවමාරුවක යෙදුණු බව සත්යයකි. එම සාකච්ඡාව සිදුකරන ලද්දේ අප දෙදෙනාම දන්නා හඳුනන පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි විල්ලා වික්රමසිංහගේ නිවසේදීය. අප දෙදෙනා අතර විල්ලා වික්රමසිංහගේ නිවසේ සාකච්ඡාවක් සිදුවූ බව සත්යයක් වුවත් උවිඳු වාර්තා කර තිබුණේ සාකච්ඡාවට අදාළ සත්ය කරුණු නොව මවන ලද කරුණුය.
වාර්තාකරණයේ දුගී බව
උවිඳු වාර්තාකර තිබෙන ආකාරයට මෙම සාකච්ඡාවට අදාළ තොරතුරු ඔහු ලබාගෙන ඇත්තේ විල්ලා වික්රමසිංහගේ මිත්රයෙකුගෙනි. තුන්වැන්නකුගෙන් ලබාගන්නා තොරතුරු මත වාර්තාකරණයකට ප්රවේශවීම වැරදි නැතත්, එහිදී වාර්තාකරුට වැදගත්වන්නේ එහි සිදුවූ දේශපාලන කතාබහ නම් එම සාකච්ඡාවට සහභාගි වූ තිදෙනාටම කතා කොට තොරතුරු තහවුරු කරගත යුතුව තිබුණි. ඔහු තොරතුරු ලබාගත්තේ විල්ලා වික්රමසිංහගේ මිත්රයෙකුගෙන් නම් විල්ලාගේ දුරකතන අංකය ලබාගැනීමේ අපහසුවක් තිබිය නොහැකිය. ඔහු විල්ලා වික්රමසිංහට හෝ ඩිව් ගුණසේකරට කතා නොකළේය. මට කතා කළ ද ඒ මගින් තොරතුරු තහවුරු කරගැනීමක් සිදු නොවීය. අවසානයේ ඔහු ලොකු පුවතක් බවට පත් කළේ සාකච්ඡාවට සහභාගි වූ කිසිවකුගෙන් තොරතුරු තහවුරු කරගැනීමෙන් තොරව සාකච්ඡාවට සහභාගි නොවූ තුන්වැනි පුද්ගලයකුගෙන් ලබාගත් තොරතුරු මතය.
ඒ ගැන උවිඳු මට කතා කරන විට මා ගමන් ගනිමින් සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේය. මා බෝපත්තලාවේ සිට ගාල්ල බලා එමින් සිටි අතර ගමන් ගැනීමට සිදුවී තිබුණේ විදුලි කෙටීම් මැද සිදුවන ඝන වැස්සක් මැද්දේය. මාගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම විදේශ ඇමතුමක් බව පෙනුණු නිසා විදුලි කෙටීම් නොසලකා එයට සවන් දුන්නෙමි. කතා කළේ උවිඳුය. මා ඇමති ඩව් ගුණසේකර සමග රාත්රී භෝජනයක් සහිත සාකච්ඡාවකට සහභාගි වීදැ”යිඔහු විමසූ විට එය සත්ය බව ප්රකාශ කොට විදුලි කොටන නිසා ඒ ගැන වැඩි විස්තර කීමේ හැකියාවක් නැති බව කියා ඇමතුම විසන්ධි කළෙමි. ඔහුගේ වාර්තාකරණය පළකිරීමට එය ප්රමාණවත්යැ”යි ඔහු සිතුවා විය යුතුය.
ඔහු වාර්තා කර තිබෙන ආකාරයට එම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායමෙන් විපක්ෂයට එකතු වීමට නියමිතව තිබෙන තත්ත්වයක් ඉදිරියේ එම අර්බුදයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බේරාගැනීමය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එවැනි අර්බුදයකට මුහුණ දී තිබෙන බව පළමුවරට මට අසන්නට ලැබුණේද උවිඳුගේ එම වාර්තාවෙනි. මා එම සාකච්ඡාවේදී විදේශ ඇමති ජී.එල්. පීරිස්ගේ කාර්යභාරය විවේචනයට ලක් කරන ලද බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද විවේචනයට ලක් කරන ලද බවත් ඔහු වාර්තා කර තිබෙන්නේය. ඔහු වාර්තා කර තිබෙන ආකාරය අනුව සියලු ප්රශ්නවලට මුල ගෝඨාභය බව මම එහිදී ප්රකාශ කළේය. ඔහු සිය වාර්තාවේ ශීර්ෂ පාඨයේ ප්රධාන කොටසක් බවට පත් කරගෙන තිබුණේද (“Journalists in Politics – Gotabhaya is the cause of every problem- Victor Ivan) මා එහිදී ගෝඨාභය පිළිබඳව ප්රකාශකළේයැ”යි කියන එම කියමනය.
උවිඳු විටින් විට ගෝඨාභය ගැන ලියන දේවල්වලින් මවා තිබෙන තිබෙන චිත්රය අනුව ගෝඨාභය යනු ශ්රී ලංකාවේ සිටින බිහිසුණුම පුද්ගලයාය. ඔහුගේ උදහසට හේතුවන කිසිම පුද්ගලයකුට ගැලවීමක් නැත. ඔහු කියන දේ ඇත්තක් නම් එවැනි ශීර්ෂ පාඨයක් යෙදූ වාර්තාකරණයක් මගින් ඔහු අපේක්ෂා කළේ කුමක්ද? මාද ගෝඨාභයගේ උදහසට හේතුවූ පුද්ගලයෙකුට බවට පත්කිරීමද? නැත්නම් එවැනි වාර්තාකරණයකින් පසුව මාගේ දණහිස් වෙව්ලන්නට ගෙන මාද ඔහු මෙන් රටින් පලා යන තත්ත්වයකට පත්වනු ඇතැ”යි ඔහු කල්පනා කළ නිසාද?
හැමදාමත් උවිඳු කරන සමහර දේවල් තුළ ගුප්ත බවක් සේ ම ජුගුප්සාජනක බවක් ද තිබුණේය. එහෙත් මෙම මොහොතේ ඒ ගැන කතා කරනවාට වඩා ශ්රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට අදාළ වැදගත් කාරණා දෙකක් ලෙස සලකා ඇමති ඩිව් ගුණසේකර සමග කරන ලද සාකච්ඡාවේ අරමුණ හා අප්රසිද්ධියේ වුවත් විවාදයට හේතුවී තිබෙන “ගෝඨාභය සාධකය” ගැන විග්රහ කිරීම වැදගත්ය.
ඇත්ත කුමක්ද?
රට මුහුණ දී තිබෙන අර්බුදය ගැන මට විශේෂ මතයක් තිබෙන්නේය. එය අප්රසිද්ධ මතයක් නොව ප්රසිද්ධ මතයකි. එය හොඳින් උරගා බැලීමකට ලක්වී තිබෙන මතයක් ලෙස ද සැලකිය හැකිය. විවේචනයන්ට හා විවාදයට ලක්වී ඇතත් කිසිවකුත් ඒ මතය බොරුකර නැති බව මගේ විශ්වාසයයි. රාවයේ 25 වැනි සංවත්සරය යොදා ගැනුණේද එම මතය සංකේතාත්මක ලෙස හා බලවත් ලෙස ප්රකාශ කිරීම සඳහාය. ඒ අදහස යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා දළ වැඩසටහනක් ද තිබුණේයැ”යි කිව හැකිය. ඒ ගැන දළ වැටහීමක් රාවය අධ්යක්ෂ මණ්ඩයට සේ ම කර්තෘ මණ්ඩලයට ද තිබුණේය. දේශපාලනඥයන්ට එම අදහස ඒත්තු ගැන්වීම එහි වැදගත් අංගයක් වූ අතර මහජන මතයක් ඇති කිරීම සඳහා ක්රියාකිරීම එහි තවත් අංගයක් විය.
මෙම අදහසට දේශපාලනඥයන් අතර පිළිගැනීමක් ලබාගැනීම අවශ්ය වූවා සේ ම ඔවුන් එම අදහස පිළිගන්නා තත්ත්වයකට ගෙන ආ හැකිද යන්න දැනගැනීමට මට අවශ්ය වී තිබුණි. ඒ සඳහා කැරෙන අත්හදා බැලීමක් වශයෙන් මා විසින්ම තෝරාගත් දේශපාලනඥයන් ගණනාවක් සමග තනි තනිව සාකච්ඡා කරන තැනකට මම ගියෙමි. ඒ හැම පුද්ගලයෙකු සමග කරන සාකච්ඡාවක් සඳහා ගත කරන ලද කාලය පැය දෙකහමාරක් හෝ ඊට වැඩිවිය. සාකච්ඡා කරන ලද අයගෙන් වැඩි පිරිසක් ආණ්ඩු පක්ෂයටද, සුළු පිරිසක් විරුද්ධ පක්ෂවලටද අයත් විය. ඇමති ඩිව් ගුණසේකර එසේ සාකච්ඡා කරන ලද අයගෙන් එක් අයෙකු විය.
ඩිව් ගුණසේකර පිළිබඳව කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වශයෙන් හා ආණ්ඩුවේ කොටස්කරුවකු වශයෙන් වෙනත් පක්ෂවලට විවිධ විවේචන තිබෙනවා විය හැකිය. ඔහු වර්තමාන නීති සම්පාදකයන් අතර සිටින පළපුරුදු හා ගෞරවයට හේතුවූ පුද්ගලයෙකි. එහිදී කැරුණු සාකච්ඡාව කිසිවකු ආරක්ෂා කිරීම හෝ පෙරළා දැමීමක් ගැන කැරුණු සාකච්ඡාවක් නොවීය. එහිදී සාකච්ඡාවට ලක්වූයේ ඇතිවී තිබෙන අර්බුදය ගැන හා එය රටේ යහපතට හා ගෞරවයට හේතුවන ලෙස විසඳා ගැනීමට තෝරාගත හැකි මාර්ග ගැනය.
සිදුකරන ලද ඒ හැම සාකච්ඡාවකම හරය මෙසේ වීයැ”යි කිව හැකිය. ඇතිවී තිබෙන අර්බුදය නව ශ්රී ලංකාවක් ප්රතිනිර්මාණය කරගැනීම සඳහා යොදා ගත යුතුය. වර්ගාන්තර අර්බුදයට පමණක් සීමා නොවී වර්ගාන්තර අර්බුදය හා දූෂිත දේශපාලන ක්රමය යන ප්රශ්න දෙකම එකට ගෙන ඊට විසඳුමක් ලබාදෙන තැනකට යායුතුය. ඒ සඳහා වන ක්රියාදාමය ආණ්ඩු පක්ෂයට පමණක් සීමා කළ දෙයක් නොවිය යුතුය. කිසිවකුත් බැහැර නොකොට සියලු දේශපාලන පක්ෂ සේ ම මහජනයා ද එම ක්රියාදාමයේ පංගුකාරයන් බවට පත් කරගත යුතුය. ඒ මගින් නව රාජ්යයක්ද, නව ආණ්ඩු ක්රමයක් හා ශ්රී ලාංකික ජාතියක් ද ගොඩනගන ක්රියාමාර්ගයක් තුළ සියලුදෙනාගේ ගෞරවයට හේතුවන නව ශ්රී ලංකාවක් ප්රතිනිර්මාණය කරගත යුතුය.
මේ සියලු දේශපාලනඥයන්ට වැඩ කරන්නට සිදුවී තිබෙන්නේ තිබෙන දූෂිත දේශපාලන ක්රමයට අනුගතවී වුවද එම දූෂිත දේශපාලන ක්රමය අනුමත නොකරන මූලික වෙනසක් ඇතිවනවා දකින්නට කැමති පිරිසක් ද ඔවුන් අතර සිටින්නේය. ඒ සමග වර්ගාන්තර අර්බුදයට සාධාරණ විසඳුමක් ලබාදිය යුතුයි කියන අදහස දරන විශාල පිරිසක් ද මේ දේශපාලනඥයන් අතර සිටින්නේය. ඒ නිසා ජාතික ප්රතිසංවිධාන වැඩසටහනකට දේශපාලන තලයේ පොදු පිළිගැනීමක් ලබාගැනීම දුෂ්කර නොවේය යන්න මගේ මතයයි. එවැනි වැඩසටහනක් වඩා ප්රයෝජනවත්වන්නේ මහජනයාට නිසා, එවැන්නකට මහජන පිළිගැනීමක් ලබාගැනීමද දුෂ්කර නැත.
එවැනි වැඩසටහනක කර්තෘ කාරකයා විය යුත්තේ කවුද යන ප්රශ්නය සලකා බලන්නට පෙර මෙවැනි අර්බුදයක් ඇතිවී තිබෙන්නේ ඇයිද යන ප්රශ්න නැවත කෙටියෙන් සලකා බැලීම වැදගත්ය.
අර්බුදයේ පසුබිම
වැඩවසම් සමාජ-ආර්ථික හා දේශපාලන පසුබිමක පැවති ලංකාව නවීන රටක් බවට පරිවර්තනය වීම ආරම්භ වන්නේ බ්රිතාන්ය පාලන යුගයේදීය. ධනේශ්වර සමාජ-ආර්ථික ක්රමය සේ ම, ජාතික රාජ්ය ක්රමය හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමය බ්රිතාන්ය යටත්විජිත වාදයෙන් අපට උරුම වූ යහපත් හා ඉදිරිගාමී දායාදයක් ලෙස සැලකිය හැකිය. ජාතික රාජ්ය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා එක්සත් ජාතියක් තනාගැනීම අවශ්ය වූවා සේ ම ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇතිකර ගැනීමද අත්යවශ්ය විය. එහෙත් නිදහසේදී හෝ ඉන්පසුව ජාතික රාජ්ය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා අවශ්ය කරන එක්සත් ජාතියක් තනා ගැනීමක් හෝ ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා අවශ්ය ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කරගැනීමක් හෝ සිදු නොවීය. එහි ප්රතිඵලයක් වශයෙන් රාජ්යයේ සුජානකභාවය පිළිනොගන්නා සමාජ දේශපාලන කණ්ඩායම් ඇතිවී රාජ්ය බලය අල්ලා ගැනීමේ අරමුණින් හෝ වෙනම රාජ්යයක් දිනාගැනීමේ අරමුණින් කැරෙන ප්රචණ්ඩ නැගිටීම් ඇති කළේය. එම තත්ත්වය පෙරළා විශාල ලෙස ලේ වැගිරෙන තත්ත්වයක් රටේ ඇතිවිය. ඒ ලේ වැගිරීම් ජාතික රාජ්යයේ පදනම දුර්වල කොට අන්තර්වර්ග, කුල හා ආගම් අතර සම්බන්ධතා විකෘති කරමින් ආණ්ඩු ක්රමයද විකෘති කළේය.
ලංකාව නිදහස ලබාගත්තේ එක ලේ බිඳුවකුදු නොසෙල්වාය. එහෙත් නිදහස ලබා ගෙවී ඇති වසර 64න් අවසන් වසර 30ම ලංකාව ජීවත් වී තිබෙන්නේ ලේ මත්තේය. ප්රචණ්ඩ කැරලි පැවති තාක් සමාජ ක්රමයේ හා දේශපාලන ක්රමයේ ඇතිවී තිබුණු විකෘතීන් නිවැරදි කැරෙන ප්රතිසංවිධාන වැඩසටහනකට ඉඩක් නොතිබුණි. එවැන්නකට ජනතා අවධානය දිනාගැනීමේ හැකියාවක් ද නොතිබුණි. ජනතාවගේ ප්රධාන අවධානය එදිනෙදා සිදුවන ත්රස්තවාදී ක්රියා වෙත යොමුවී තිබීම නිසා ක්රමයේ තිබෙන ආරාවුල දැකීමේ හැකියාවක් ද ඔවුන්ට නොතිබුණි. එවැනි ප්රතිසංවිධාන වැඩසටහනක් සඳහා අවස්ථාව උදාවී තිබෙන්නේ ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් අනතුරුව තවදුරටත් ඉතිරි වී තිබූ එල්ටීටීඊ කැරැල්ල ද අවසාන වශයෙන් පරාජය කිරීමෙන් පසුවය. ඒ සමග ක්රමය නිරුවත්වීමක්ද සිදුවී තිබෙන්නේයැ”යි කිව හැකිය. දැන් ජනතාවට ක්රමයේ තිබෙන අවුල්සහගත බව හොඳින් පෙනෙන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේය. එල්ටීටීඊ කැරැල්ල පරාජය කිරීමත් සමග සමාජ ක්රමයේ හා දේශපාලන ක්රමයේ වර්ධනයවෙමින් තිබූ ගරා හැලීම් හා විකෘතීන් උච්චතම තත්ත්වයට වර්ධනය වී ගැඹුරට දිව යන මූලික ප්රතිසංවිධානයකින් තොරව රටට එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තැනක රට හිරවන තත්ත්වයක් ඇතිවූයේය. එහි බාහිර බලපෑම් නිසා පමණක් නොව, අභ්යන්තර හේතු නිසා ඇතිවූ විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
ප්රතිසංවිධානයේ කර්තෘ කාරකයා
එවැනි ප්රතිසංවිධාන වැඩසටහනක කර්තෘ කාරකයා විය යුත්තේ කව්ද යන ප්රශ්නය දැන් අපට කතා කළ හැකිය. මාගේ මතය අනුව එය සිදුවිය යුත්තේ නීති සම්පාදකයන් අතිනි. ඒ සඳහා රාජ්ය නායකයාගේ හා ආණ්ඩු පක්ෂයේ අනුමැතිය අත්යවශ්යය. විරුද්ධ පක්ෂවල අනුමැතිය හා සහභාගිත්වයද අත්යවශ්යය. ඊට අතිරේකව මහජනයාගේ ක්රියාකාරී සහභාගීත්වයද අත්යවශ්ය කොන්දේසියකි.
හරි ඉදිරි දැක්මක් නැති, අවංකකමක් නැති ස්ථිරසාර ප්රතිපත්තියක් නැති දූෂිත ආණ්ඩුවකට මෙවැනි ප්රතිසංවිධාන වැඩපිළිවෙළක නායක කාර්යභාරය ඉටු කළහැක්කේ කෙසේද යන ප්රශ්නය මතු කළ හැකිය.
ඊට දිය හැකි සාධාරණ පිළිතුරක් තිබේද? මෙම දූෂිත දේශපාලන ක්රමය තුළ මෙතෙක් පහළ වූ සියලු නායකයන් හා ආණ්ඩු අඩු වැඩි වශයෙන් දූෂිතවීයැ”යි කිව හැකිය. ඒ සියලුදෙනාගේ අවංකකමේද බරපතළ සීමා තිබුණි. ඉදිරි දර්ශනයක් පිළිබඳ කාරණාවලදීද බරපතළ සීමාකම් තිබුණේය. ඊළඟට ඇතිවන ආණ්ඩු පෙරළියකදී හෝ එවැනි පරමාදර්ශී නායකයන් හෝ පරමාදර්ශී පාලනයක් ඇතිවනු ඇතැ”යි සිතිය නොහැකිය. රටේ පවත්නා යථා තත්ත්වය එය නම් පරමාදර්ශී නායකයන් පහළ වෙන තෙක් බලා සිටීමේ තේරුමක් තිබේද?
සමාජ-දේශපාලන පරිවර්තන කාර්යයකදී අවංක හා පරමාදර්ශී නායකයන් සිටින්නේ නම් ඉතා වැදගත්ය. එහෙත් හැම පරිවර්තනයකදීම එය එසේම සිදුවන්නේද නැත. ඒ සඳහා දැක්විය හැකි ළඟම හා හොඳම උදාහරණය දකුණු අප්රිකාවය. දකුණු අප්රිකාවේ එක පාර්ශ්වයකට මැන්ඩෙලා කෙනකු සිටි බව සැබෑය. එහෙත් එම පරිවර්තන කාර්යයට නායකත්වය දුන් අය අතර කල්ලන් සුදු අලුගෝසුවන් ලෙස සැලකූ අය සේ ම සුද්දන් කළු අලුගෝසුවන් ලෙස සැලකූ අයද සිටියේය. එහිදී මැන්ඩෙලාගේ පරිවර්තන ප්රවේශය දෙස සැකයෙන් බලන පිරිසක් ද දකුණු අප්රිකානු කොංග්රසය තුළ සිටියේය. ඔවුන් විප්ලවය ලෙස හඳුනාගෙන තිබුණේ සුද්දන්ගේ ආධිපත්යය පරාජය කොට ඒ මත කල්ලන්ගේ ආධිපත්යයක් ඇති කිරීමය. එහෙත් මැන්ඩෙලා ක්රියාවට නගමින් තිබුණේ ප්රතිපක්ෂය පරාජය කරන ක්රියාමාර්ගයක් නොව කිසිවකුත් පරාජය නොකොට සියලු පාර්ශ්වයන් ජයග්රාහකයන් බවට පත් කරන ක්රියාමාර්ගයකි. එහිදීත් සම්මුතිවාදී වැඩසටහනකට එකඟත්වයක් ඇති කරගනිමින් එය ක්රියාවට නගමින් තිබෙන අතරතුරෙදිත් දෙපාර්ශ්වය අතින්ම පැහැර ගැනීම් හා මනුෂ්ය ඝාතනද සිදුවිය.
ඉතිහාසයේ විප්ලවකාරී වටාපිටාවක් තුළ බිහිවූ දැවැන්ත නායකයන් ලෙස සැලකිය හැකි ඉංග්රීසි විප්ලවයේ ක්රොම්වෙල් (1599-1658), ප්රංශ විප්ලවයේ රොබෙස්පියර් (1758-1794) හා නැපෝලියන් (1769-1821) අතිවිශේෂ දක්ෂතාවන්ගෙන් යුතු නායකයන් ලෙස සැලකිය හැකි වුවද අවංකභාවයෙන් පිරුණු හා මනා ඉදිරි දර්ශනයක් තිබුණු නායකයන් ලෙස සැලකිය නොහැකිය. ඔවුන් කැපී පෙනෙන්නේ අවංකභාවය හෝ ඉදිරි දර්ශනයක් තිබීම නිසා නොව, ඇතිවී තිබුණු විප්ලවකාරී වටාපිටාව තුළ අසීමිත ධෛර්යයකින් හා ආත්ම විශ්වාසයකින් ක්රියාකිරීමට සමත්වීමත් මුහුණ දෙන්නට සිදුවන දුෂ්කර අවස්ථාවලදී හරි තීන්දු ගැනීමට දක්වන ලද සමත්කමත් නිසාය. ලෙනින් හා මාඕ සේතුං විප්ලවකාරී වටාපිටාවකින් මතුවූ දක්ෂ හා තීක්ෂණ නායකයන් දෙදෙනෙක් විය. දේශපාලන පරමාර්ථවලදී ලෙනින් තුළ අවංකභාවයක් තිබුණද අන් කාරණාවලදී ලෙනින් සේ ම මාඕ සේතුංද පරමාදර්ශී නායකයන් ලෙස සැලකිය නොහැකිය.
පරමාදර්ශී නායකයන් පහළ වන තෙක් අපි බලා සිටිමු නම් රට පහසුවෙන් ගොඩගත නොහැකි මහා විනාශයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය. නායකයන්ගේ අපිරිසිදුකම නොසලකා පරිවර්තනයක් සඳහා උදාවී තිබෙන මෙම විශේෂ අවස්ථාව ප්රශස්ත ලෙස ප්රයෝජනයට ගැනීමට අපි උත්සාහ කළ යුතුය.
“ගෝඨා” සාධකය
ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී යුද සේවයෙන් ඉවත් වී ඇමරිකාවට ගොස් එහි ජීවත් වූ ගෝඨාභය රාජපක්ෂ ලංකාවට ගෙන්වා ගත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. ඒ එල්ටීටීඊයට එරෙහිව කැරෙන යුද්ධයේ කටයුතු සම්බන්ධීකරණය සඳහා ඔහුට ගෝඨාභයගේ සහය අත්යවශ්ය වූ නිසාය. ගෝඨාභය ඇමරිකාවේ තමන්ට තිබුණු දේපළ ද විකුණා දමා ලංකාවට ආවේ සිය සහෝදරයාගේ ඉල්ලීම පරිදි ඔහු අපේක්ෂා කළ වගකීම ඉටුකිරීම සඳහාය.
එල්ටීටීඊයට එරෙහිව කැරුණු යුද්ධයේදී ඔහු අසමසම කාර්යභාරයක් ඉටු කළේයැ”යි කිව හැකිය. යුද්ධයේ දර්ශනය සේ ම ඒ සඳහා යොදාගත් සංවිධාන වැඩපිළිවෙළ ද ඔහුගේයැ”යි කිව හැකිය. යුද්ධයේ ජයග්රහණය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කළ පුද්ගලයා ලෙස සැලකිය හැකි ජෙනරාල් සරත් ෆොන්සේකා කරළියට ගෙනාවේද ඔහුය. මීට පෙර සමහර ජනාධිපතිවරුන් සේ ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත්කරනවාට කැමති නොවීය. එම අකමැත්ත නැති කොට එම තත්ත්වය ෆොන්සේකාට ලබාදෙන ලද්දේ ගෝඨාභය විසිනි. යුද්ධයේ ජයග්රහණය සඳහා ෆොන්සේකා අත්යවශ්ය කොන්දේසියක් බව ගෝඨාභය ඒ වනවිටත් තේරුම් ගෙන තිබුණි. ත්රිවිධ හමුදාව අතර පැවති භේද ඉවත් කොට අන්යනෝය අවබෝධයෙන් යුතුව එකට වැඩ කරන තැනකට ගෙනාවේය. යුද්ධය තුළ ගෝඨාභය රඟපාමින් තිබූ විශේෂ භූමිකාව නිසා ජනාධිපතිවරයාද දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව යුද කටයුතු ඉදිරියට ගෙනයෑමට ඉඩ ලබා දුන් අතර ආරක්ෂක හමුදාවන්ට අවශ්ය සියලු සම්පත් නොමසුරුව ලබාදෙන ප්රතිපත්තියක් අනුගමනය කළේය. යුද්ධයට නායකත්වය දුන් සියලු දෙනා සිය යුතුකම් හා වගකීම් මැනවින් ඉටු කිරීම හේතු කොටගෙන යුදමය වශයෙන් පරාජය කළ නොහැකි ව්යාපාරයක් ලෙස සැලකුණු එල්ටීටීඊය අවසන් වශයෙන් පරාජය කිරීමට ආරක්ෂක හමුදා සමත් විය.
යුද්ධයකින් ලබන ජයග්රහණයකින් පමණක් සාමය උදාවන්නේ නැත. යුද්ධය සිදුවී තිබුණේ බාහිර සතුරකු සමග නොව අභ්යන්තර සතුරකු සමගය. පරාජිත ප්රතිපක්ෂයද රටේ ජනතාවගේම කොටසක් විය. යුද්ධ ජයග්රහණයෙන් උද්දාම වූ පිරිසක් රටේ සිටියා සේ ම එය ජයග්රහණය පීඩාකාරී ලෙස බලපෑ පිරිසක්ද රටේ සිටියේය. විශාල පිරිසකට උන්හිටි තැන් අහිමිව තිබුණේය. ඔවුන්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත් කළ යුතුව තිබුණේය. යුද්ධය කරන ලද ප්රදේශවල යටිතල පහසුකම් විනාශ වී තිබුණි. ඒවාද යථා තත්ත්වයට පත් කළ යුතුව තිබුණේය. යුද්ධය දෙමළ ජනතාවගේ හදවත් තුවාල කොට තිබුණේය. ඒ තුවාල පැසවන්නට පෙර සුවකළ යුතුව තිබුණේය. අධි ආරක්ෂක කලාපය සඳහා දෙමළ ජනතාවගේ ඉඩම් පවරාගෙන තිබුණි. ඒවා නැවත ඔවුන්ට පවරා දිය යුතුව තිබුණේය. යුද්ධ කාලයේ පවත්වාගෙන ගිය යුදමය වටාපිටාව යළි සාමාන්ය තත්ත්වයට ගෙනා යුතුව තිබුණේය.
යුද්ධයට අදාළව කුමන විවේචන තිබුණද ආරක්ෂක හමුදා එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධය ප්රශස්ත හා ආදර්ශමත් තත්ත්වයක තිබුණේය. කිසිම සීමාන්තික ක්රියාවක් සිදු නොවූ බව ඉන් අදහස්වන්නේ නැත. යුද්ධය කරන්නට සිදුවී තිබුණු සංකීර්ණ ස්වභාවය හා යුද්ධයේ පරිමාවේ විශාලත්වය සමග සලකන විට සිදුවී තිබෙන සීමාන්තික ක්රියාවල පරිමාව විශාල නැත. විශේෂයෙන්ම සාමාන්ය ජනතාවගෙන් පළිගන්නා ක්රියාමාර්ග ක්රියාත්මක වූ බවක් පෙනෙන්නට නැත.
ඒ සියල්ල ප්රශස්ත තත්ත්වයක තිබුණද යුද්ධයෙන් පසු සිදු නොවිය යුතු සමහර අවලස්සන දේවල් සිදුවීම වැළැක්වීමට සමත්වූයේ නැතැ”යි කිව හැකිය. නොකඩවා සිදුවූ පැහැර ගෙනයෑම් ඒ වැරදි අතර පෙනෙන්නට තිබුණ ලොකුම වරද ලෙස සැලකිය හැකිය.
මීට පෙර උතුරේදී පෙරටුගාමී පක්ෂයේ ආධාරකරුවන් දෙදෙනකු පැහැර ගන්නා ලදි. ඉන්පසු එම පක්ෂයේම ප්රධාන නායකයකු හා නායිකාවක වන කුමාර් මහත්තයා හා දිමුතු ආටිගල පැහැර ගනු ලැබීය. වෙනත් විවිධ පැහැර ගැනීම්ද විටින් විට වාර්තා විය.
ඕනෑම පක්ෂයකට උතුරු නැගෙනහිර ප්රදේශවලට ගොස් දේශපාලනය කිරීමේ අයිතිය තිබිය යුතුය. උතුරේ සාමාන්ය දෙමළ ජනතාවට පමණක් නොව, පුනරුත්ථාපනය කොට නිදහස් කොට තිබෙන එල්ටීටීඊ පැරණි ආධාරකරුවන්ටද තමන් කැමති දේශපාලන පක්ෂයක් තෝරාගැනීමේ හා එම පක්ෂයට වැඩකිරීමේ අයිතිය තිබිය යුතුය. ඉඩ නොදිය යුත්තේ ආයුධ සන්නද්ධ ව්යාපාර ගොඩනැගීම වැනි නීති විරෝධී දේවලට පමණය.
මත්ද්රව්ය ජාවාරම්කරුවන් හා දරුණු අපරාධකරුවන්ට එරෙහිව කැරුණු මෙහෙයුම් පවා නීතියට අනුකූල නැත. මත්ද්රව්ය ජාවාරම්කරුවන්ගෙන් හා අපරාධකරුවන්ගෙන් සමාජ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී තිබෙන බවද සැබෑවකි. ඔවුන්ට එරෙහිව නීතිය කාර්යක්ෂම ලෙස ක්රියාත්මක නොවන තත්ත්වයක් රටේ පවතින බව සැබෑවකි. මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට හා දරුණු අපරාධකරුවන්ට එරෙහිව හොඳින් නීතිය ක්රියාත්මක වන තත්ත්වයක් නොපවතී නම් ඉන් පෙනෙන්නේ නීතිය ක්රියාත්මක කිරීමේ හා නීතිය පසිඳලීමේ අංශවල ඇති පරිහානියේ තරමය. එවැනි තත්ත්වයක් ඉදිරියේ විය යුතුව තිබෙන්නේ නීතියට පටහැනිව ක්රියාකිරීම නොව පරිහානියට පත්ව තිබෙන එම ආයතන ප්රතිසංවිධානය කිරීම සඳහා ක්රියාකරන අතර, එතෙක්, එවැනි අපරාධකරුවන්ට අදාළ පරීක්ෂණ මෙහෙයවීමේ හා නඩු පැවරීමේ වගකීම විශේෂ පොලිස් ඒකකයකට හා එවැනි නඩු ඇසීමේ වගකීම විශේෂ අධිකරණයකට භාරදීමය. රටේ ආයතන ක්රමයේ ඇතිවී තිබෙන පරිහානිය ගැන ආරක්ෂක ලේකම්වරයාට විශාල අවබෝධයක් ඇතැ”යි සිතිය හැකිය. ඔහුගේ විෂය පථය යටතට වැටෙන සමහර ප්රශ්නවලට සාමාන්ය ක්රමයට වෙනස් විසඳුම් දෙන්න යන්නේ ඒ නිසාය. එහෙත් වියයුතු හරි දේ නීතිය නොසලකා ක්රියාකිරීම නොව කුණුවී තිබෙන ආයතන ක්රමය ඒ තත්ත්වයෙන් මුදාගන්නා ක්රියාමාර්ගයක් වෙත යොමුවීමය.
අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, එල්ටීටීඊ සැකකරුවන් පුනරුත්ථාපනය කොට නැවත නිදහස් කිරීම වැනි අංශවලදී ආරක්ෂක ලේකම්වරයා ඉතා යහපත් හා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇතත්, ඔහුගේ විෂය පථය යටතට වැටෙන තවත් සමහර අංශවලදී සිදුවී තිබෙන සමහර අශෝභන ක්රියා ඔහු යුද්ධයෙන් හිමි කරගෙන තිබෙන ගෞරවය අහිමි කිරීමට හේතුවී තිබෙනවා පමණක් නොව, ඔහුගේ සහෝදරයාගේ ආණ්ඩුවට පමණක් නොව රටටද අවලස්සණ පෙනුමක්ද ලබාදීමට හේතුවී තිබේ.
යුද්ධය අවසන් කිරීමෙන් පසු ජනාධිපති යුද්ධයේ ජයග්රහණය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා ඔහු දැරූ නිලයෙන් ඉවත් කළේය. ඔහු අත්අඩංගුවේ තබාගැනීම යුක්තිසහගත නැතත්, ඒ අවස්ථාවේදී ඔහු තනතුරෙන් ඉවත් කිරීම යහපත් තීරණයක් ලෙස සැලකිය හැකිය. එසේ නොවී නම් රටේ තත්ත්වය මීටත් වඩා නරක් වන්නට ඉඩ තිබුණි. ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිගේ සහෝදරයා නොවී නම්, ඔහුටද සරත් ෆොන්සේකාට සිදුවූ දේ සිදුවන්නට ඉඩ තිබුණි. එහෙත් සිය සහෝදරයා ලංකාවට ගෙන්වා ගත්තේ ජනාධිපතිය. එහිදී ඔහු සිය ජීවිතය පරදුවට තබා තමන් වෙත පවරන ලද කාර්යභාරය ප්රශස්ත ලෙස ඉටු කළේය. එම බැඳීම නිසා සිය සහෝදරයා කරන හොඳ නරක ඕනෑම දෙයක් ඉදිරියේ නිශ්ශබ්දව බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කිරීමට ජනාධිපතිවරයාට සිදුවී තිබෙන බව පෙනේ. මෙම තත්ත්වය තේරුම් ගැනීමේ හැකියාව ආරක්ෂක ලේකම්ට තිබිය යුතුය. ඔහු බුද්ධිමත් සේම විශේෂ දක්ෂතා ද ඇති පුද්ගලයෙකි. එක්කෝ ඔහු යුද්ධයේදී පවත්වාගෙන ගිය දැඩි ප්රතිපත්තියෙන් ඉවත්වී සාමයට ගැළපෙන ලිහිල් ප්රතිපත්තියකට මාරුවිය යුතුය. නැත්නම් පැරණි භූමිකාවෙන් ඉවත් වී අලුත් භූමිකාවක් රඟපාන්නකු බවට පත්විය යුතුය. නැතහොත් තමන් හිමි කරගත් සියලු දේ අහිමි කරගන්නා පුද්ගලයකුගේ තත්ත්වයට ඔහු ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.