නව සමාජ ව්‍යාපාරයක් සඳහා කතිකාවතක්

December 25, 2005
Publication:
Does Sri Lanka need a new social and political movement, and what vision and form should it take? Ivan reports on a discussion on the 17th that brought together artists, professionals and others across ideology, class, religion and language, and on the 'Prayatna' initiative, arguing that a country that never fought for its freedom never united its divided people.

ලංකාවට නව සමාජ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය වී තිබේද? එවැනි ව්‍යාපාරයක දැක්ම හා සංවිධාන හැඩතල කුමන ස්වරූපයක් ගත යුතු ද? මෙම මූලික ප්‍රශ්න අළලා ඉතාම වැදගත් සාකච්ඡාවක් පසුගිය 17 වැනිදා කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනයේ වටමේස ශාලාවේදි පවත්වනු ලැබීය. මෙම සාකච්ඡාවට තෝරාගත් 70 දෙනෙකු පමණ පිරිසක් සහභාගි විය.

සාකච්ඡාවට සහභාගි වූ අයගේ එකතුව දෘෂ්ටිමය වශයෙන් ද, පන්ති වර්ග, ආගම් හා භාෂා වශයෙන් ද රටේ පවතින බහු විවිධත්වය නියෝජනය කළ මිශ්‍රණයක් වී යැයි කිව හැකිය. එහි කලාකරුවෝ සිටියහ. වෘත්තීයවේදිහු සිටියහ. මතධාරීහු සිටියහ. නව පරපුරේ වෘත්තීය සමිති නායකයෝ සිටියහ. ව්‍යාපාරිකයෝ ද සිටියහ.

රැස්ව සිටි අය අතර, සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව ගැන කල්තියා ඇති කරගත් පොදු එකගතාවක් තිබුණි. එහිදි ප්‍රධාන කොට සාකච්ඡාවට ලක්වූයේ තාවකාලික සංවිධාන මණ්ඩලයක් මගින් කෙටුම් පත් කර තිබූ “ප්‍රයත්න” ලෙස නම් කර තිබූ එම සමාජ ව්‍යාපාරයේ ප්‍රකාශනයයි.

එම කෙටුම්පත ලියා තිබුණේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක තත්ත්වයකට පත්ව තිබේය යන ආස්ථානයේ පිහිටාය. ශ්‍රී ලංකාවේ අසමත්භාවය කෙරෙහි බලපා තිබෙන ඓතිහාසික හේතු විග්‍රහ කර තිබුණේ ඉන්දියාව ආශ්‍රය කොටගෙනය.

ඉන්දියාව නිදහස දිනාගැනීම සඳහා සාමකාමී හා අවිහිංසාවාදි ආකාරයකින් වුවත්, ඉතා බලවත් දේශපාලන අරගලයක නිරත වූයේය. ඉන්දියාව නිදහස දිනාගන්නා ලද්දේ එම අරගලයේ ප්‍රතිඵලයක් වශයෙනි.

හිරු නොබසින අධිරාජ්‍ය ලෙස සැලකුණු ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් නිදහස දිනාගැනීම සඳහා වර්ගය, කුලය, ආගම, භාෂාව වැනි බෙදිම් නොසලකා ඉන්දියාවේ සියලු ජනයා එකට ඒකරාශී කෙරෙන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමට ඉන්දියානු නිදහස් සටන මෙහෙයවූ ගාන්ධි වැනි නායකයින්ට සිදුවූයේය. ඒ සඳහා සියලු වර්ග වලට හා ආගම් වලට සමාන අයිතිවාසිකම් සහතික කරන ප්‍රතිපත්තියක් ද, කුල භේදය වැනි පසුගාමී සමාජ සංවිධානවලට එරෙහිව නැගී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ද සිදුවූයේය. ඉන්දියානු නිදහස් අරගලය එක් අතකට ඉන්දියාවට නිදහස දිනාගැනීමට කෙරෙන අරගලයක් වනවාට අතිරේකව නව ඉන්දියානු ජාතියක් තනන හා සමාජ මනසේ තිබු වැඩවසම් මළකඩ කඩා නව රටක් ලෙස නැගී සිටීමට අවශ්‍ය නව ජාතික දෘෂ්ටියක් තනා දෙන ව්‍යාපාරයක් ද වූයේය. දෘෂ්ටිමය වශයෙන් එය ඇති කළ වටපිටාව වැඩවසම් දේශපාලන ක්‍රමයක සිට ධනේශ්වර දේශපාලන ක්‍රමයට පරිවර්තනය වීමට අවශ්‍ය ශක්තිමත් පසුබිමක් ඇති කර දුන්නේය.

ශ්‍රී ලංකාව නිදහස දිනාගැනීම සඳහා බලවත් සමාජ-දේශපාලන අරගලයක නිරත නොවීම නිසාම වර්ගය අනුව, ආගම අනුව, කතා කරන භාෂාව අනුව හා කුල අනුව බෙදි සිටි ජනයා එකට ඒකරාශී කිරීමේ අවශ්‍යතාවක් ද ඇති නොවීය.

ඒ නිසා ඉංග්‍රීසි යුගය තුළ ගොඩනැගී තිබුණු ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය ඒකාග්‍ර ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගා ගැනීමට ද ශ්‍රී ලංකාව අසමත් විය. කුලභේදයට එරෙහිව නැගී සිටීමට අවශ්‍ය නොවූ නිසාම කුල ක්‍රමය තුළ ගොඩනැගී තිබුණු වෙනස්කම් තුනී කරගැනීමක් ද සිදු නොවීය. වැඩවසම් දේශපාලන ක්‍රමයක සිට ධනේශ්වර දේශපාලන ක්‍රමයට මාරුවීමේදි සමාජ මනසේ විය යුතු වෙනස්කම් (වැඩවසම් මළකඩ ඉවත් කිරීම) ඇති කරගැනීමට ද අසමත් විය.

මේ නිසා ඉංග්‍රීසීන්ගෙන් ලැබුණු ධනේශ්වර දේශපාලන ක්‍රමය ප්‍රයෝජනයට ගැනුණේ වැඩවසම් දේශපාලන ක්‍රමය ප්‍රයෝජනයට ගැනුණු ආකාරයටමය. රාජ්‍ය පාලකයා තෝරා ගැනුණේ මහජන ඡන්දයෙන් වුවත් මහජන ඡන්දයෙන් බලයට පත්වන රාජ්‍ය පාලකයා රට පාලනය කළේ ඒකාධිපති වැඩවසම් රජකු සේය. බහු පක්ෂ ක්‍රමයක් ගොඩනැගී තිබුණ ද ඒවාහි අභ්‍යන්තර සංවිධාන ව්‍යුහය ප්‍රජාතන්ත්‍රවාදි නොවීය. පක්ෂ අතර බල තරගය බලය ලබාගැනීම මගින් පොදු සම්පත් කොල්ලකෑම සඳහා කෙරෙන රුදුරු තරගයකට වැඩි දෙයක් නොවීය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන අංශ අතර තිබිය යුතු සංවරණය හා තුලනය පවත්වාගෙන යාමට රාජ්‍ය පාලකයන් අසමත් වූ අතර, ආයතන ක්‍රමය වෙළාගනිමින් තිබූ දේශපාලනකරණය හා දූෂණය සමස්ත ආයතන ක්‍රමය පරිහානියට පත් කොට ගරා හැලෙන තත්ත්වයකට පත් කළේය. ප්‍රතිලාභ බෙදාගැනීමේදි හැමවිටම වැඩි වාසි සැලසුණේ බහුතර වර්ගයට, බහුතර ආගමට හා බහුතර කුලයටය. එම තත්ත්වය සුළු වාර්ගික, සුළු ආගමික හා සුළු කුලවලට අයත් ජනයා අතර අසහනයක් ඇති කිරීමට හේතුවී එම අසහනය තවදුරටත් වර්ධනයවීමේ ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම හෝ වෙනම රාජ්‍යයක් ඇති කරගැනීම සඳහා සන්නද්ධ ගැටුම් ඇතිවන තත්ත්වයක් නිර්මාණය කළේය. රාජ්‍ය හා රාජ්‍ය විරෝධී කණ්ඩායම් අතර ඇතිවූ එම සන්නද්ධ ගැටුම් රාජ්‍ය කැබලි කොට දේශපාලන ක්‍රමයේ ගරා හැලීම වේගවත් කොට අවසානයේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබේ.

මෙම න්‍යායික ප්‍රවේශය පිළිගන්නේ නම් ශ්‍රී ලංකා රාජ්‍ය අලුතෙන් ප්‍රතිනිර්මාණය කරනවා හැර ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවක් නැත. දැන් ශ්‍රී ලංකාව සිටින්නේ ඒ සීමාව ඉක්මවා ගිය තැනකය. එවැනි විශාල ඉලක්කයක් සඳහා සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීම සරල හා පහසු විය නොහැකිය. එවැනි දුෂ්කර ඉලක්කයක් සපුරාගත හැකිවනු ඇත්තේ සමාජ චිත්ත පරිමණ්ඩලයේ මහා වෙනසක් ඇති කිරීමට තරම් ප්‍රබල සමාජ දේශපාලන ව්‍යාපාරයක් මතු කරගැනීමට සමත් වේ නම් පමණය.

ඔවුන් අරමුණු කරගෙන සිටින්නේ බලය ලබාගැනීමේ අරමුණින් ක්‍රියා කරන දේශපාලන ව්‍යාපාරයක් නොව, චින්තන විප්ලවයක් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයකි. අන්‍යයන් වෙනස් කිරීමට පෙර තමා වෙනස්වීමේ අවශ්‍යතාව එය අවධාරණය කරයි. ශ්‍රී ලංකා දේශපාලනයේ පවත්නා වෛරය, ප්‍රචණ්ඩත්වය, අශිෂ්ටත්වය, අයුක්තිය, ආගමික වසංගතය හා කුල භේදය වැනි නපුරු හා නරක ලක්ෂණ එය සලකන්නේ සමාජ සත්තාවේම පිළිබිඹුවක් ලෙසය. අන්‍යයන් වෙනස් කිරීමට පෙර තමන් වෙනස් වන ලෙස එය ඉල්ලා සිටින්නේ ඒ නිසාය.

මහත්මා ගාන්ධිගේ ව්‍යාපාරයට සටන් කරන්නට පෙනෙන බාහිර සතුරකු සිටියේය. එහෙත් මේ ව්‍යාපාරයට සිය චින්තන විප්ලවය කරළියට ගැනීමට සිදුවී ඇත්තේ බාහිර සතුරකු නැතිවය. එය ඔවුන්ගේ අරමුණ දුෂ්කර කරන තවත් වැදගත් හේතුවකි.

මෙය දිර්ඝ කාලයකට පසුව රටේ ඇරඹී තිබෙන වැදගත් දේශපාලන සංවාදයක් ලෙස සැලකිය හැකිය. “ප්‍රයත්න” ගැන තොරතුරු දැනගැනීමට හෝ එම ව්‍යාපාරයේ ප්‍රකාශන ලබාගැනීමට අවශ්‍ය නම් mail: prayatna@gmail.com යන විද්‍යුත් ලිපිනයට හෝ “ප්‍රයත්න”, 19/4, ස්වර්ණ පාර, කොළඹ 06 යන ලිපිනයට ඔවුන් ඇමතිය හැකිය.