පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිනිය හා අගමැතිවරයා අතර ඇතිවූ උණුසුම් කතාබහේදි ජනාධිපතිනිය අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පිළිබඳව ද චෝදනා මුඛයෙන් කතා කළ බව වාර්තා විය.
අගමැතිවරයා, අගවිනිසුරුවරයා සමග එක්වී කුමන්ත්රණය කොට 2006 පැවැත්විය යුතු ජනාධිපතිවරණය 2005 ට ගත් බවටත්, සුනාමි අරමුදල් පිළිබඳව අගමැතිවරයාට එරෙහිව ආරම්භ වී තිබූ පරීක්ෂණය යටගසා ගත් බවටත් ඇය චෝදනා කළාය.
ජනාධිපතිවරණය 2005 වසරේ පැවැත්විය යුතු බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කිරිමෙන් පසුවද ජනාධිපතිනිය සිය නීති උපදේශකයින් දෙදෙනෙකු තමා වෙත කැඳවා ඒ ගැන ඔවුන් සමග සාකච්ඡා කර තිබේ. එහිදි ඇය ඔවුන්ට කියා ඇත්තේ තමාට 1999 වසරේ දිවුරුම් දෙන්නට උපදෙස් දුන්නේ ද, ඉන්පසු 2000 වසරේ අප්රසිද්ධියේ දිවුරුම් දෙන්නට උපදෙස් දුන්නේ ද අගවිනිසුරුවරයා බවය.
ඇය ඒ මොහොතේ ඔවුන් සමග කතා කර ඇත්තේ කෝපය හා වේදනාව මුසුවූ හැගීම්බර ස්වරූපයකිනි. ඒ අවස්ථාවේ ඇගේ නෙත්වල කඳුළු පිරී තිබුණු බව ද කියනු ලැබේ.
තමා අගවිනිසුරුගෙන් ලැබුණු උපදෙස් නිසා 2006 වසරේදි විශ්රාම යාමට සූදානමින් සිටි බවත්, ඒ අගවිනිසුරු විසින්ම තමා බලාපොරොත්තු විරහිත අවස්ථාවක 2005දි විශ්රාම යාමට සැලැස්සූ බවත් ඇය ඔවුන්ට ප්රකාශ කර තිබේ.
ජනාධිපතිනිය ඔවුන්ට කියා තිබෙන ආකාරයට 1999 වසරේදි දිවුරුම් දුන්නේ ද ඉන්පසු ඊළග වසරේදි අප්රසිද්ධයේ දිවුරුම් දුන්නේ ද අගවිනිසුරුගේ උපදෙස් මත නම්, ඇය ඒ අගවිනිසුරුවරයාගෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු වසර පිළිබඳව අර්ථකතනයක් ඉල්ලා සිටියේ කෙසේද?
ජනාධිපතිනිය ද සිය පාලන කාලය තුළ නීතියට හා සම්ප්රදායන්ට පටහැනිව උපරිම ලෙස අගවිනිසුරුවරයාගෙන් අයුතු ප්රයෝජන ගත්තේය. එසේ අගවිනිසුරුගෙන් ලබාගන්නා අයුතු ප්රයෝජන වෙනුවෙන් ඇය අගවිනිසුරුව කොන්දේසි විරහිතව ආරක්ෂා කළාය. අගවිනිසුරුගේ සමහර නීති විරෝධී නින්දාසහගත ක්රියාකාරකම් නීතියට හෝ ඔහු හොබවන තනතුරේ ගෞරවයට එකග නොවන නමුත් අගවිනිසුරුගේ පැවැත්ම, තමාගේ පැවැත්ම සමග එකට ගැට ගැසී ඇති බැවින් ඔහු කොන්දේසි විරහිතව ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ඇය ක්රියා කළාය. ඇය 2006 වසර ගැන දැඩි විශ්වාසයක් ඇති කරගෙන තිබුණේද අවසාන විග්රහයේදි ජනාධිපතිවරණය පැවැත්විය යුතු වසර තීරණය කරන්නේ අගවිනිසුරුවරයා වන නිසා ඔහු එය තමන්ගේ වාසියට හේතුවන ලෙස තීන්දු කරන බවට තිබූ දැඩි විශ්වාසය නිසාය.
ඇගේ අනුග්රහය නොලැබිණි නම්, මෙම පුද්ගලයාට මෙම ගරු කටයුතු ධුරයට පත්වීමේ හැකියාවක් නො තිබුණි. ඔහු නීතිපති ධුරයේ සිටියදි ඔහුට එරෙහිව එල්ල වී තිබුණු දූෂණ චෝදනා පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණය පරික්ෂණයක් ආරම්භ කර තිබූ අතර, ජනාධිපතිනිය ඔහු අගවිනිසුරු ධුරයට පත් කළේ ඔහුට එරෙහිව ආරම්භ කර තිබූ එම පරීක්ෂණය ද නොසලකාය. එම හිතුවක්කාරි පත්කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර නියෝජිතයා (ඩාටෝ පරම්කුමාරස්වාමි මහතා) හඬ නගා විරෝධය පළ කළත්, ජනාධිපතිනිය එම විරෝධය තුට්ටුවකටවත් මායිම් කළේ නැත.
ඉන්පසු අද දක්වා විටින් විට ශ්රේෂ්ඨාධිකරණයේ සිදුවූ නීති විරෝධී හා සම්ප්රදාය විරෝධී ක්රියාකාරකම් අමුතුවෙන් විස්තර කළ යුතු නැත.
තම කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙනයෑම සඳහාත්, තමන්ගේ ආරක්ෂාව සඳහාත් ශ්රේෂ්ඨාධිකරණය තමන්ට පක්ෂපාතව ක්රියාකරන තත්ත්වයක තබා ගැනීම අත්යාවශ්ය බව ජනාධිපතිනිය දැන සිටියාය. සරත් නන්ද සිල්වා මහතා ඒ අරමුණ වෙනුවෙන් තෝරාගත් පුද්ගලයා විය. ජනාධිපතිනිය අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගෙන් නීති විරෝධී අයුතු ප්රයෝජන ලබාගන්නා තත්ත්වයක් තුළ අගවිනිසුරු ද තමන්ට ජනාධිපතිනියගෙන් ලැබෙන ආරක්ෂාව සලකා පිස්සු නැටුවේය. අධිකරණයට තිබුණු විශ්වාසය හා ගෞරවය නැති කොට එය කුණු ගඳගහන තත්ත්වයකට පත් කළේය. අගවිනිසුරු කොතරම් වැරදි කළ ද තමාගේ ආරක්ෂාව සඳහා ජනාධිපතිනිය ඔහු කොන්දේසි විරහිතව ආරක්ෂා කළාය. අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝග දෙකේදිම ඔහු ආරක්ෂා කරනවා හැර ඔහුට එරෙහිව යාමේ හැකියාවක් ජනාධිපතිනියට නොතිබුණි. අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝග දෙකේදිම එම දෝෂාභියෝග යටපත් කිරීමට ජනාධිපතිනිය ද උපරිම ලෙස බලය පාවිච්චි කරන ප්රතිපත්තියක් අනුගමනය කළාය.
දියවන්නාඔය සිද්ධියේ දී එනම් අගවිනිසුරුවරයා රාත්රී කාලයේ නවතා තිබෙන වාහනයක කාන්තාවක් සමග අඩ නිරුවතින් සිටිය දී පොලිස් සෝදිසියට ලක්වී ඇතැයි කියන කතාව පොලිස්පතිවරයා මගින් පළමුවෙන්ම අසන්නට ලැබුණේ ජනාධිපතිනියටය. පොලිස්පතිවරයා එම කතාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ ඉන් පසුවය.
ජනාධිපතිනිය පොලිස්පතිවරයාගෙන් අසන්නට ලැබුණු කතාව රස වින්දා පමණක් නොව, අගවිනිසුරු සමග එම රංගනයේ යෙදුණු කාන්තාව කව්ද යන්න ගැන ද සොයා බැලුවාය. තමන්ගේ සමහර අනුගාමිකයන්ට ද රස කර කර කියා සිටියාය. තමාගේ රාජ්යයේ අධිකරණ නායකයාගේ එම හැසිරිම ජනාධිපතිනියගේ කම්පාවට හේතුවූ බවක් පෙනෙන්නට නැත.
සත්ව ලෝකයට අදාළ සමහර න්යාය ධර්ම සමාජයට ද අදාළය. බල්ලාගේ විනාශය බල්ලාට පෙර දැනගන්නේ උගේ ඇගේ වසාගෙන සිටින කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන්ය. උන් බල්ලා මැරෙන්නට පෙර ඌ මිය යන්නට ආසන්න තත්ත්වයක සිටින බව තේරුම් ගෙන උගේ ඇගෙන් බිමට බැස ලේ උරා බීමේ හැකියාව ඇති වෙනත් සතකුගේ ඇගට ගොඩ වදි.
අගවිනිසුරුවරයා ජනාධිපතිනියගෙන් වෙන්වීම සිදුවී තිබෙන්නේ ද මෙම ධර්මතාවට අනුකූලවය.
සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට තේරි පත්වීමෙන් පසුව ඕමල්පේ සෝභිත හිමියන්ගේ නඩු තීන්දුව දක්වා ම අවුරුදු 06කට ආසන්න කාලයක් කොන්දේසි විරහිතව ජනාධිපතිනිය ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කළේය. ඒ අරමුණ වෙනුවෙන් සමස්ත අධිකරණ ක්රමයම අවුල් ජාලාවක් බවට පත් කළේය. මොනම අගවිනිසුරුවරයෙකුවත් කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි තරම් වැරදි කරමින් සමස්ත අධිකරණ ක්රමයම ගඳ ගහන තැනකට ගෙනාවේය. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිස් අයිතිවාසිකම් චප්ප කරන පිළිවෙතක පිහිටා ක්රියා කළේය. ඒ මගින් ඔහු සමාජයේ පිළිකුලට හා වෛරයට හේතුවූ පුද්ගලයකු බවට පත්විය.
තමන්ගේ පැවැත්ම රැඳී ඇත්තේ මහජනතාවගේ හොඳ හිත හෝ ගෞරවය මත නොව, රාජ්ය බලය මත බව ඔහු මුල සිටම දැන සිටියේය. විධායක ජනාධිපතිවරයාගෙන් තමන්ට ආරක්ෂාව ලැබෙන තෙක් තමන් මොනතරම් පිස්සු නැටුවත්, තමන්ට කිසිවක් සිදු නොවන බව ඔහු දැන සිටියේය. එහෙත් ඔහුට ආරක්ෂාව දුන් ජනාධිපතිනියගේ නිල කාලය සදාකාලික නොවන බව හා ඇය තවත් කෙටි කාලයකින් විශ්රාම යෑමට නියමිත බව තේරුම් ගත් විට ඔහු සිය අනාගත ආරක්ෂාව සඳහා ජනාධිපතිනිය අතහැර මහින්ද රාජපක්ෂ මහතා තෝරා ගැනීමට තීරණය කළේය. අලුතෙන් තෝරාගත් දේශපාලන ස්වාමියා සතුටු කිරීම පිණිස පැරණි ස්වාමිදුවගේ පැවැත්ම අවුරුද්දකින් බිලිදෙන පිළිවෙතක් ඔහු අනුගමනය කළේය.
දැන් ජනාධිපතිනියට සිදුවී තිබෙන්නේ එස්.බී. දිසානායකට සිදුවී තිබෙන දේමය. එස්.බී.ට අගවිනිසුරු සමග ඇති කරගත් එකගතා ගිවිසුමක් තිබුණි. එම එකගතා ගිවිසුම කෙරෙහි විශ්වාසය තබා අගවිනිසුරුට අභියෝග කිරීමේ පිළිවෙත අතහැර ඔහු අගවිනිසුරුගෙන් සමාව ගත්තේය. අවසානයේ ඔහුට ඔහු බලාපොරොත්තු වූ ආකාරයට වෙනස්ව අත්හිටවූ සිරදඬුවමක් වෙනුවට අවුරුදු දෙකක සිරදඬුවමක් නියම විය.
ජනාධිපතිනියට ද අගවිනිසුරු සමග එකගතා ගිවිසුමක් තිබුණි. සෝභිත හිමිගේ තීන්දුව තෙක්ම දෙපාර්ශ්වයම එකගතා ගිවිසුම අකුරටම පිළිපැද්දේය. ඒ නිසා ජනාධිපතිනිය ද අවිශ්වාසයකින් තොරව 2006 කෙරෙහි විශ්වාසය තබා ක්රියා කළාය. අවසානයේ අගවිනිසුරුවරයා ඊළග ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සමග එකගතා ගිවිසුමක් ඇති කරගැනීම නිසා ජනාධිපතිනියට 2006 සඳහා ඇති කරගෙන තිබූ සුන්දර සිහිනය අත්හැරිමට සිදුවිය.
අගවිනිසුරුට ජනාධිපතිනිය සමග තිබුණු සම්බන්ධයට වැඩි ඈතට දිව ගිය සම්බන්ධයක් මහින්ද රාජපක්ෂ මහතා සමග තිබුණි. මහින්ද රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේ මල් කුමාරයාට සිටියේ ද දැන් අගවිනිසුරුගෙන් ඈත්ව සිටින ඔහුගේ පුතාය. විවාහ මංගල්යයට සරත් නන්ද සිල්වා මහතා හා ඔහුගේ බිරිඳ මනෝරානි මහත්මිය ද සහභාගි වූහ. එකල ඒ පවුල් දෙක සමීප ඇසුරක් තිබූ පවුල් දෙකක් විය. අගවිනිසුරුවරයා ජනාධිපතිනියට සමීපවීමත් සමග දෙදෙනා අතර තිබූ මිත්රත්වයේ දුරස්ත බවක් ඇති වුවද මිත්රත්වය බිඳ වැටීමක් සිදුවූයේ නැත.
අගවිනිසුරුවරයා මුහුණ දී සිටියේ සිය පැවැත්ම පිළිබඳ අභියෝගයකටය. විශ්රාම යාමට නියමිතව සිටින ජනාධිපතිනිය ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරනවාට වඩා ඊළග ජනාධිපති අපේක්ෂකයා වී සිටින තම පැරණි මිතුරාට සමීප වීම දිර්ඝකාලීන අර්ථයෙන් වාසිදායක වනු ඇතැයි ඔහු කල්පනා කළ බව පෙනේ. මහින්ද රාජපක්ෂ මහතාට සහාය පිණිස ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය බලමුළු ගන්වන ව්යාපාරයක නිරත වීමට ද ඔහු අමතක නොකළේය. හෙළ උරුමයේ සමහර භික්ෂූන් වහන්සේලා සමග සමීප සම්බන්ධයක් තිබුණ ද හෙළ උරුමයට අගවිනිසුරු සමග නොමනාපයක් ද තිබුණේය. හෙළ උරුමයෙන් ආණ්ඩුවට එකතු වූ භික්ෂූන් වහන්සේ පිළිබඳ ප්රශ්නයේදි අගවිනිසුරුවරයා ජනාධිපතිනියට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කිරීම එම නොමනාපය කෙරෙහි බලපා තිබුණු ප්රධාන හේතුව විය. දියවන්නාඔය සිද්ධියේදි අගවිනිසුරුවරයාට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට හෙළ උරුමය තීරණය කර තිබුණු අතර, අවසානයේදි ඒ පිළිබඳ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් ඉල්ලා එජාප ඉදිරිපත් කළ යෝජනාවට එල්ලාවල මේධානන්ද හිමියන් ද අත්සන් කර තිබුණි. එහෙත් අගවිනිසුරුවරයාට ඕමල්පේ සෝභිත හිමියන් සමග සමීප මිත්රත්වයක් තිබුණි. ඕමල්පේ සෝභිත හිමියන්ගේ හා තවත් භික්ෂූන් වහන්සේලාගේ ද ආධාර ඇතිව මේධානන්ද හිමියන්ගේ අත්සන ඉවත් කරවා ගැනීමට අගවිනිසුරු සමත් විය.
ජනාධිපතිවරණයට පෙර ජවිපෙ සමග සමීප සම්බන්ධයක් ඇති කරගන්නා අතර, හෙළ උරුමය තමා සමග තිබුණු හිත් අමනාපකම් ද නැති කරගනිමින් මෙම ව්යාපාර දෙක මහින්ද රාජපක්ෂ මහතාට ආධාර කරන තත්ත්වයකට ගැනීම සඳහා අගවිනිසුරුවරයා පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළේය.
සුනාමි සහන මණ්ඩලයට එරෙහිව ජවිපෙ පවරන ලද නඩුවේදි ජවිපෙ සංතෝෂයට හේතුවන තීන්දුවක් දිමෙන් නොනැවතී ජවිපෙ නායකත්වය සමග ළග සම්බන්ධයක් ද ඇති කරගත්තේ ය. ඒ නඩුවේ කීර්තිය ජවිපෙට ලබා දී ජවිපෙ සතුටු කරන අතර, හෙළ උරුමයට ද සංතෝෂවීමට නඩුවක් නිර්මාණය කොට දී එම නඩුවේ තීන්දුව ද ඔවුන්ගේ වාසියට හේතුවන ලෙස ලබා දුන්නේය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරිමෙන් පසුව 2006 තෙක් බලා නොසිට ඉක්මන් ජනාධිපතිවරණයක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තුළ උනන්දුවක් ඇතිවීම ස්වාභාවිකය. අගවිනිසුරුවරයා එම අභිලාෂය සම්පූර්ණ කර දුන්නේ හෙළ උරුමයේ කීර්තියට හේතුවන නඩුවක් නිර්මාණය කෙරෙන ආකාරයටය.
ජනාධිපතිනිය ජනාධිපතිවරණය පැවැත්විය යුතු වර්ෂය පිළිබව අර්ථ විවරණයක් ඉල්ලා සිටි විට එවැනි අර්ථ විවරණයකට ඉඩක් නැති තත්ත්වයක් ඇති කිරීම පිණිස මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරියට ගත්තේය. නඩුවක් තිබෙන විට නඩුවට බලපාන අර්ථ විවරණයක් දිමේ හැකියාවක් අධිකරණයට තිබිය නොහැකිය. මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් සම්පූර්ණ කෙරුණේ එම අවශ්යතාවයි. තමා 2006 නොව 2005 ජනාධිපතිවරණය පවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්රකාශ කිරිමෙන් පසු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඉන් අවසන් කිරීමේ හැකියාවක් තිබුණත්, ජනාධිපතිනියට වෙනත් ආකාරයකින් හෝ අභියෝග කරන්නට ඉඩක් නොතබා නඩුව අවසන් කිරීමට අවශ්ය වූ නිසා එය තර්කානුකූල අවසානයක් කරාම ඉදිරියට ගෙන ගියේය. අවසානයේ කිසිවක්ම කළ නොහැකි ලෙස අගවිනිසුරුවරයා සිය පැරණි ස්වාමිදුවට ඇණ ගැසුවේය. දැන් ජනාධිපතිනියට කෙඳිරිගානවා හැරෙන්නට කරන්නට ඊට වැඩි දෙයක් ඉතිරි වී නැත. ඊළගට අගවිනිසුරුවරයාගේ පැවැත්ම රැඳී ඇත්තේ ද මහින්ද රාජපක්ෂ මහතා මතය.