අගවිනිසුරුවරයා රගපාමින් සිටින්නේ දේශපාලන විජ්ජාකාරයෙකුගේ භූමිකාවය.
ජනාධිපතිවරණය පැවැත්විය යුතු වසර මුල් කොටගත් අර්බුදය අගවිනිසුරුගේම නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. ජනාධිපතිනියට ප්රසිද්ධියේ පළමු දිවුරුම් දිම කරන්නට සිදුවූයේ, බෝම්බ ප්රහාරයකට ලක්වී සිටියදි දිවුරුම් දිමකින් තොරව ඇය මරණයට පත්වුවහොත් නැවත ජනාධිපතිවරණයක් නොපවත්වා පොදු පෙරමුණු ආණ්ඩුවේ වෙනත් කෙනකු ජනාධිපති ධුරයට පත්කිරීමට අවශ්ය අවකාශය ලබාගැනීම සඳහාය. ඒ ක්රියාවලිය පිටුපස සිටි ප්රධාන මොළකාරයින් කිහිපදෙනාගෙන් කෙනෙකු වූයේ ද අගවිනිසුරුවරයාය.
ඉන්පසු ජනාධිපතිනිය ඇගේ අවලංගුවීම වළකා ගැනීම සඳහා ක්රියාවට නගන ලද නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් නීතිගත කිරීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළ පිටුපස සිටි එක් මොළකාරයකු වූයේ ද අගවිනිසුරුවරයාය. එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමින් ජනාධිපතිනියගේ දෙවැනි ධුර කාලය පළමු දිවුරුම් දීම කළ 1999 දෙසැම්බර් 22 වනදායින් ඇරඹී හය වසරකින් අවසන් වන බව කියන වගන්තියක් ද එම ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුළත් සංක්රමණීය විධිවිධානවලට ද ඇතුළත් කරගත්තේය.
ජනාධිපතිනිය පළමු දිව්රුම් දිමෙන් පසුව නැවත 2000 නොවැම්බර් 11 වැනිදා රහසේ දිවුරුම්දි ඇති බව කියන කතාව කරළියට ගැනීමට අගවිනිසුරුවරයාට අවශ්ය වන්නේ ද නව ආණ්ඩුක්රම ව්යවස්ථාව නීතිගත කරවා ගැනීමේ වැඩපිළිවෙළ අසාර්ථක වීමෙන් පසුව ජනාධිපතිනියගේ ධුර කාලය වසරකින් දිර්ඝ කරදිමට අගවිනිසුරුවරයාට අවශ්ය වූ නිසාය.
ලංකාදිප පුවත්පතේ රංජිත් ආනන්ද ජයසිංහ අගවිනිසුරුට සමීප මාධ්යවේදියෙකි. ජනාධිපතිනිය දෙවැනි වරට රහසේ දිවුරුම් දී ඇති පුවත කරළියට ගැනීමට අගවිනිසුරු යොදා ගත්තේ රංජිත් ආනන්ද ජයසිංහය.
රහසේ කරන ලදැයි කියන මෙම දෙවැනි දිවුරුම්දිම පිළිබඳ පුවත පළමුවරට පළවූයේ රහසේ දිවුරුම් දුන්නේ යැයි කියන දිනට වසර තුනකටත් පසුව 2003 දෙසැම්බර් 21 වැනිදා “ඉරිදා ලංකාදිප” පුවත්පතේය. ජනාධිපතිනිය දෙවැනි වරටත් 2002 වසරේ දෙසැම්බර්වලදි අගවිනිසුරුවරයා ඉදිරියේ රහසේ දිවුරුම්දි ඇති බව එම පුවතේ සඳහන් වුවත්, දිවුරුම් දුන් නියමිත දිනය හෝ ඒ අවස්ථාවට සහභාගි වූ අයගේ නම් සඳහන් නොවීය. ඉන්පසු දෙසැම්බර් 28 වැනිදා “සන්ඩේ ටයිම්ස්” පුවත්පත ද එම ප්රවෘත්තියම පළකර තිබුණු අතර, දෙසැම්බර් 29 වැනිදා “ඩේලි මිරර්” පුවත්පත අගවිනිසුරුවරයාගෙන් දෙවැනි දිවුරුම්දිම පිළිබඳ කරන කරුණු විමසීමක් පළකර තිබුණි. “ඩේලි මිරර්” කතුවරයා අගවිනිසුරුයාගේ සමීප ඥාතියෙකි.
“ඩේලි මිරර්” පුවත්පතට එහිදි අගවිනිසුරුවරයා ප්රකාශ කර තිබුණේ ජනාධිපතිනිය දිවුරුම් දුන්නේ තුවාල ලබා සිටි අවස්ථාවක බවත්, ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබුණේ ජනාධිපතිවරණය අහෝසි කිරීමේ අරමුණින් බවත්, ඇය තේරි පත්වීමෙන් පසුව දින 14 ක් තුළ දිවුරුම් නුදුන්නේ නම්, පදවිය අත්හැරියා ලෙස සැලකිය යුතු තත්ත්වයක් තිබූ නිසා එසේ දිවුරුම් දුන් බවත්ය. ජනාධිපතිවරයෙකු දෙවරක් නො ව දිනපතාම වුවත් දිවුරුම් දිමේ වරදක් නැති බව ද ඔහු ප්රකාශ කර තිබුණි.
දෙවැනි වරටත් රහසේ දිවුරුම් දී ඇතැයි කියන පුවත පිළිබඳව රාවය පළකළ මතය වූයේ එය ජනාධිපතිනියගේ ධුර කාලය වසරකින් දිර්ඝ කිරීම සඳහා නිර්මාණය කරන ලද කතාවක් බවය.
(රාවය එදා (2004 ජනවාරි 04 වැනිදා ඒ ගැන විග්රහ කර තිබුණේ මෙසේය.)
“අනාවරණයවෙමින් තිබෙන තොරතුරු අනුව මෙවැනි කතාවක් නිර්මාණය කිරීමට අවශ්ය වී ඇත්තේ ජනාධිපතිනියගේ පදවි කාලය අවසන් වන්නේ කවදා ද යන්න පිළිබඳව නීති උපදෙස් ලබාගැනීමෙන් පසුවය.
මෙම නීති උපදෙස් ලබාගැනීම සිදුවී තිබෙන්නේ ජනාධිපතිනිය අමාත්යාංශ තුනක් පවරා ගැනීම ආශ්රයෙන් අර්බුදයක් ඇතිවීමත් සමගය. එම නීති උපදෙස් ලබාගෙන ඇත්තේ ජනාධිපතිනියගේ නීති උපදේශක ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මහතාගෙනි.
ජනාධිපතිනිය 1999 දෙසැම්බර් 22 වැනිදා දිවුරුම් දෙනවා වෙනුවට නිසි ලෙස 2000 නොවැම්බර් 11 වැනිදා දිවුරුම් දුන්නේ නම් 2006 නොවැම්බර් 11 වැනිදා දක්වා පදවි කාලය වලංගු බවත්, එහෙත් ජනාධිපතිනිය දිවුරුම් දී ඇත්තේ 1999 දෙසැම්බර් 22 වැනිදා බැවින් පදවි කාලය 2005 දෙසැම්බර් 22 වැනිදායින් අවසන් වන බව එච්.එල්. ද සිල්වා මහතාගේ මතය වී තිබේ.
මෙම නීති උපදේශය ලබාගැනීමෙන් පසුව 2006 අවසානය තෙක් ධුර කාලය තබාගැනීම සඳහා කුමක් කළ හැකි ද යන කාරණය තුන්දෙනෙකුට සීමාවන පිරිසක් අතර සාකච්ඡාවට ලක්වී තිබේ. ජනාධිපතිනිය දෙවැනි වරටත් රහසේ දිවුරුම් දිමක් කර ඇති බව කියන පුවතක් පළකරවා ගැනීම මගින් මෙම තත්ත්වය ජයගත හැකිවනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ. දිවුරුම් දිම් දෙකක් ඇතොත් එයින් කුමක් වලංගු ද යන ප්රශ්නය බේරුම් කරගැනීමට යන්නට සිදුවන්නේ අගවිනිසුරුවරයාගේ පාලනය යටතේ තිබෙන ශ්රේෂ්ඨාධිකරණයටය. (රාවය 2004 ජනවාරි 04)
අවසානයේදි ජනාධිපතිනිය අර්ථ නිරූපණයක් ඉල්ලාගෙන ශ්රේෂ්ඨාධිකරණයට ගියේ ගිවිසගෙන තිබූ පරිදි තම මිත්රයාගෙන් තමන්ට වාසිදායක අර්ථනිරූපණයක් ලබාගැනීමටය. එහෙත් මිත්රයා ඇගේ වාසියට හේතුවන අර්ථ නිරූපණයක් ලබාදෙනවා වෙනුවට ඇගේ බෙල්ල හිරවන තීන්දුවක් ලබා දුන්නේය.
අගවිනිසුරුවරයා එතෙක් තමන්ගේ බෙල්ල බේරාගැනීම සඳහා ආරක්ෂාව ලබාගත් ජනාධිපතිනියගේ බෙල්ල හිරකිරීම සඳහා ක්රියාවට නගන ලද වැඩසටහන ද ඉතාමත් තීක්ෂණ වැඩසටහනක් වී යැයි කිව හැකිය.
මැතිවරණ කොමසාරිස්වරයා පළමු දිවුරුම් දිම මත පිහිටා 2005 අවසානයේදි ජනාධිපතිවරණය පවත්වන්නට යන බව තේරුම් ගත් ජනාධිපතිනිය මැතිවරණ කොමසාරිස්වරයා හිරකිරීම සඳහා අර්ථ නිරූපණයක් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ අගෝස්තු 2 වැනිදාය. අගවිනිසුරුවරයාගේ සමීප හිතවතකු ලෙස සැලකිය හැකි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් 2005 ජනාධිපතිවරණය සඳහා වන සිය මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළේ, ජනාධිපතිනිය අර්ථනිරූපණයක් ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට ගිය දිනට පසු දිනය. එය ජනාධිපතිනියගේ අර්ථනිරූපණය යටපත් කිරීමට අගවිනිසුරුවරයා විසින් ම ගසන ලද සූක්ෂ්ම ගැටයක් ලෙස සැලකිය හැකිය. නඩුවක් තිබෙන අවස්ථාවක ඊට බලපාන ආකාරයට අර්ථනිරූපණයක් දිමේ හැකියාවක් නැත.
සෝභිත හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉතා ඉක්මනින් එනම්, පෙත්සම ඉදිරිපත් කළ දිනට දින දෙකකට පසුව විභාගයට ගැනිණි. සෝභිත හිමිගේ පෙත්සමේ වගඋත්තරකරු කර තිබුණේ මැතිවරණ කොමසාරිස්වරයාය. ජනාධිපතිවරණය 2005 වසර අවසානයේ පැවැත්විය යුතු වුවත්, මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරණය 2006 අවසානයේ පවත්වන්නට යන බව ප්රකාශ කරමින් ජනාධිපතිවරණය 2005 වසර අවසානයේ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන ලෙස සෝභිත හිමියන් සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණි. මැතිවරණ කොමසාරිස්වරයා 2005 වසරේ ජනාධිපතිවරණය නොපවත්වා 2006 වසරේ පවත්වන්නට යන බව තහවුරු කරන පිළිගත හැකි කරුණු කිසිවක් එම පෙත්සමට ඇතුළත් නොවීය.
සාමාන්යයෙන් විය යුතුව තිබුණේ තමන් 2005 වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වීමට ක්රියාකරමින් සිටින බව මැතිවරණ කොමසාරිස්වරයා ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දිමෙන් පසු නඩුව එතනින් අවසන් කිරීමය. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයමින් තීන්දු දිමේ ක්රියාවලිය මහා සංදර්ශනයක් බවට පත්කර ගැනීමය. එහෙත් එම නඩු තීන්දුව නිසා තවදුරටත් බලයේ රැඳී සිටීමට දරන ප්රයත්නය මුළුමණින් අත්හරින්නට ජනාධිපතිනියට සිදුවිය.
මේ ප්රශ්නයේදි අර්ථ නිරූපණයක් අවශ්ය තත්ත්වයක් නිර්මාණය කර තිබුණේ අගවිනිසුරුවරයාය. ආරම්භයේ දී එහි සැගවුණු අරමුණ වී තිබුණේ ජනාධිපතිනියගේ කාලය අවුරුද්දකින් දිර්ඝ කර දිමය. එහෙත් පසුව රටේ ඇතිවූ තත්ත්වයන් යටතේ ජනාධිපතිනිය ආරක්ෂා කරන්නට යෑමෙන් තමා වඩා විශාල අර්බුදයකට තල්ලු වී යනු ඇති බව තේරුම් ගත් අගවිනිසුරුවරයා 2005 ජනාධිපතිවරණයක් ගැන උනන්දුවක් දක්වන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ සංතෝෂයට හේතුවන ලෙස ජනාධිපතිනියගේ බෙල්ල හිරවන තීන්දුවක් ලබා දුන්නේය. අවසානයෙදි අර්බුදයේ නිර්මාපකයාම අර්බුදය විසඳ දෙන ගැලවුම්කරුවා බවට ද පත්වූයේය.