මහත්මා ගාන්ධිගේ කළු ඇමරිකානු අවතාරය ලෙස සැලකිය හැකි මාටින් ලූතර් කිං “වර්ණ ජනයාගේ උන්නතිය සඳහා වන ජාතික සංගමය” ආරම්භ කිරීමේ අවශ්යතාව වෙනුවෙන් දිවුරුම් දෙන ලද්දේ ඇමරිකානු ශ්රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල ඉදිරියේය. තමාගේ සීයා ද අයත්ව සිටි වහල් ක්රමය අහෝසි කරනවාට ශ්රේෂ්ඨාධිකරණය එරෙහි වූ බවත්, ඒ නිසා ජනාධිපති ඒබ්රහම් ලින්කන්ට ඒ අරමුණ ජයගැනීම සඳහා ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියා අත්අඩංගුවට ගන්නට සිදුවූ බවත්, මාටින් ලූතර් කිං නොදැන සිටියා විය නොහැකිය. එයින් සංකේතාත්මකව පෙන්නුම් කෙරෙන්නේ මාටින් ලූතර් කිංගේ යුගය වන විට ඇමරිකානු ශ්රේෂ්ඨාධිකරණය පීඩිතයන්ගේ සමාජ ප්රතිසංස්කරණ ව්යාපාරවලට ආරක්ෂාව ලබාදෙන ආයතන ක්රමයක් බවට වර්ධනය වී තිබුණු බවය. ඇමරිකානු ශ්රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්රම ව්යවස්ථාව අර්ථ නිරූපණය කරන තැනින් ඔබ්බට යමින් සමාජ ප්රතිසංස්කරණයේ නියමු ආයතනය බවට ද පත්ව තිබේ. එම ලක්ෂණය අඩු වැඩි වශයෙන් ඉන්දියානු ශ්රේෂ්ඨාධිකරණය තුළ ද දැකිය හැකිය.
එහෙත් ඇමරිකානු ශ්රේෂ්ඨාධිකරණය කෙරෙහි මාටින් ලූතර් කිං වෙතින් පළවූ හැගීම ශ්රී ලංකා ශ්රේෂ්ඨාධිකරණය කෙරෙහි වේලුපිල්ලේ ප්රභාකරන් කෙරෙන් පළවීමේ හැකියාවක් නැත. ප්රභාකරන් ඇතුළු හැම දමිළ වාර්ගිකයෙකුටම එය පෙනෙනු ඇත්තේ සිංහල ශ්රේෂ්ඨාධිකරණයක් ලෙසය. බෞද්ධ නොවන ආගමිකයින්ට එය පෙනෙනු ඇත්තේ බෞද්ධ ශ්රේෂ්ඨාධිකරණයක් ලෙසය. පොදු පෙරමුණු නොවන හැම දේශපාලකයෙකුටම එය පෙනෙනු ඇත්තේ පොදු පෙරමුණේ ශ්රේෂ්ඨාධිකරණය ලෙසය.
සාමාන්ය කාලවලදි නෛතික වශයෙන් දේවල් අර්ථ නිරූපණය කිරීමේදි ව්යවස්ථාව මත පදනම් වීම අත්යාවශ්ය වුවත්, ව්යවස්ථා රාමුවෙන් පරිබාහිර කරුණු සලකා බැලීමට සිදුවන විශේෂිත දේවල් ද රටක සිදුවිය හැකිය. සුනාමියෙන් මිනිසුන් හතළිස් දහසකට ආසන්න පිරිසක් මිය ගියහ. එහෙත් ඔවුන්ගේ මළමිනී මිහිදන් කෙරුණේ සාමාන්ය නීතිය යටතේ නොව, ඇතිවූ එම විශේෂ තත්ත්වයට ගැළපෙන ලෙසය. සටන් විරාම ගිවිසුම, සුනාමි සහන මණ්ඩලය යන දේවල් දෙස බැලිය යුත්තේ ද සාමාන්ය රාමුව තුළ නොව ඉන් පිටස්තරවය. රටේ පවත්නා ව්යවස්ථාව තුළ පරස්පර විරෝධී රාජ්ය බල අධිකාරී දෙකක් තිබිය නොහැකිය. නිල ත්රිවිධ හමුදාවට පිටස්තරව තවත් ත්රිවිධ හමුදාවක් තිබිය නොහැකිය. රටේ පවතින අධිකරණ පද්ධතියට පිටස්තරව තවත් අධිකරණ පද්ධතියක් තිබිය නොහැකිය. රටේ නිල දේශසීමාවන්ට අතිරේකව වෙනත් දේශසීමා තිබිය නොහැකිය. ඒ සියල්ල එසේ තිබීම රටේ ව්යවස්ථාවට පටහැනි වුවත්, එය අද රටේ පවතින යථාර්ථය ලෙස සැලකිය හැකිය.
මෙම අර්බුදයේදි නීතිය අකුරටම පිළිපැදිම අවශ්ය නම්, කළයුතුව තිබෙන එකම දේ ප්රති රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටින දමිළ ජාතික ව්යාපාරය අනුකම්පා විරහිතව අතුගා දැමීමය. අපට සමහරවිට අපගේ කැමැත්තට පටහැනිව ඔවුන් සමග සාකච්ඡා මගින් ප්රශ්න විසඳගන්නා තැනකට යන්නට සිදුවී තිබෙන්නේ ද ඔවුන් අනුකම්පා විරහිතව මර්දනය කිරීමට දරන ලද ප්රයත්නයන් අසාර්ථකවීම නිසාය.
දෙමළ ජාතික ව්යාපාර තමන් යටතේ තිබෙන ප්රදේශ අතහැර, තමන් අත තිබෙන ආයුධ බිම තබා ශ්රී ලංකා රාජ්යයේ සුජාතභාවය පිළිගැනීමට සූදානම් නැත. අපට ඔවුන් මුළුමනින් පරාජය කිරීමේ හැකියාවක් නැතිවා සේ ම, ඔවුන්ට ද අප මුළුමනින් පරාජය කිරීමේ හැකියාවක් නැත. පොදු එකගතාවක් සඳහා සාකච්ඡා කරන තැනකට දෙපාර්ශ්වයම තල්ලු වී සිටින්නේ එම යථාර්ථය තුළය.
එහෙත් එම සමස්ත යථාර්ථය නීතියට සේ ම පවතින ව්යවස්ථාවට ද පටහැනිය.
මහත්මා ගාන්ධි, ප්රභාකරන් මෙන් ආයුධ අතට ගත්තේ නැතත්, ඔහු ද සිය අරමුණු වෙනුවෙන් නීති උල්ලඝනය කළේය. විනය ගරුක ලෙස නීති උල්ලංඝනය කරන ලෙස ඔහු සිය අනුගාමිකයන් ද පොළඹවාලීය. ඉංග්රීසි නීතිය අනුව ගාන්ධිගේ ක්රියාකාරකම් නීතියට පටහැනි වුවත් ගාන්ධි සමග සම්මුතියක් ඇති කරගැනීම සඳහා ඉංග්රීසි ආණ්ඩුව ගාන්ධි සමග සාකච්ඡා කළේය.
නෙල්සන් මැන්ඩෙලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගාන්ධිවාදියෙකු නොවීය. අප්රිකානු ජාතික කොංග්රසය සිය නිදහස් අරගලය සඳහා අවිහිංසාවාදි සටන් ක්රම උපයෝගී කරගත්තා සේ ම, ආයුධ සන්නද්ධ ගරිල්ලා සටන් ක්රම ද භාවිතා කළේය. මැන්ඩෙලා සමග කෙරුණු ගනුදෙනුව ද ව්යවස්ථානුකූල වී යැයි කිව නොහැකිය. මැන්ඩෙලාගේ ව්යාපාරය සාම සාකච්ඡා ඔස්සේ ඇති කරගන්නා ලද සංක්රමණීය ව්යවස්ථාව යටතේ මැතිවරණය පවත්වන තෙක් තමන් වෙත තිබූ ආයුධ බාර නුදුන්නේය.
ආයුධ සන්නද්ධ අරගලයක් මගින් වෙනම රාජ්යයක් දිනාගැනීම සඳහා සටන් කරන ප්රභාකරන් සමග පමණක් නොව, ආයුධ සන්නද්ධ අරගලයක් මගින් රාජ්ය බලය අල්ලා ගැනීම සඳහා සටන් කළ විජේවීර සමග ද ශ්රී ලංකා ආණ්ඩුව නීතියට හා ව්යවස්ථාවට පටහැනි එවැනි ගනුදෙනුවල යෙදුණේය. 1988 ජනාධිපතිවරණයට පෙර ජවිපෙ, ශ්රීලනිපය හා වෙනත් පක්ෂ ගණනාවක් සමග එක්සත් පෙරමුණක් සඳහා සාකච්ඡා කෙරෙමින් පැවති අවස්ථාවේදි ජනාධිපතිවරණයට තමන්ගේ සහභාගිත්වය අවශ්ය නම් සම්පූර්ණ කළයුතු කොන්දේසි ගණනාවක් ජවිපෙ විසින් බණ්ඩාරනායක මැතිනිය මගින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වෙත දැනුම් දුන්නේය. ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කිරීමේ කොන්දේසිය හැර අනෙකුත් සියලු කොන්දේසි සම්පූර්ණ කිරීමට තමන් එකග බව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සිරිමා බණ්ඩාරනායක මැතිනිය මගින් ජවිපෙට දැනුම් දුන්නේය. ඒ වන විට ජවිපෙ සිටියේ ආයුධ අත ඇතිව සිය විරුද්ධවාදින් ඝාතනය කරන තැනකය. ඉන්පසු ප්රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව 1989 ජවිපෙට හොඳ හිත පෙන්වන මාර්ගයක් වශයෙන් අත්අඩංගුවේ සිටි ජවිපෙ සියලු සිරකරුවන් මුදාහැරියේය. ඒ සියල්ල පවතින නීතියට සේ ම ව්යවස්ථාවට ද පටහැනි වී යැයි කිව හැකිය.
මෙවැනි ගැටුම් නිරාකරණය කරගත් හැම රටක්ම ඒවා නිරාකරණය කරගෙන ඇත්තේ නීතියේ හෝ ව්යවස්ථාවේ වහලුන් ලෙස ක්රියාකිරිමෙන් නොව, එම සම්මත රාමු ඉක්මවා ක්රියාකිරිමෙනි. සුනාමි සහන මණ්ඩල ගිවිසුමට එරෙහිව ජවිපෙ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මහතා ශ්රී ලංකාවේ ස්වාධිපත්යය ගැන ඉතාම වැදගත් හා අලංකාර තර්ක ඉදිරිපත් කළේය. මේ මහා ආරාවුලට හේතුවී තිබෙන්නේ ද ප්රභාකරන්ගේ ව්යාපාරය ශ්රී ලංකා රාජ්යයේ ස්වාධිපත්යය පිළිගැනීම නොව පිළිනොගැනීමය. එච්.එල්. ද සිල්වා මහතා කතා කරන ස්වාධිපත්යය ඉතිරි වී ඇත්තේ ද ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මිස රටේ නොවේ. රටේ තිබෙන්නේ ඉරි තැලී ගිය බිඳී ගිය රාජ්යයකි. ශ්රී ලංකා රාජ්යයේ ස්වාධිපත්යය ආරක්ෂා කර ගැනීමට අවශ්ය වී නම් අතුරු තහනමක් ලබාගත යුතුව තිබුණේ සුනාමි ගිවිසුමට එරෙහිව නොව ප්රභාකරන්ගේ රාජ්යයට එරෙහිවය.
මෙම අතුරු තහනමෙන් දමිළ ජනයාට ලැබෙන ඇගවීම වනුයේ සිංහල රාජ්ය ප්රතිසංස්කරණයකට අධිකරණයෙන් ඉඩක් නොලැබෙන බවය. අධිකරණය ද රාජ්යයේ සිංහල ආධිපත්යය සමග එකට ගැට ගැසී තිබෙන බවය. මෙය පළමු ඇගවීම නොවනවා සේ ම අවසාන ඇගවීම ද විය නොහැකිය. එච්.එල්. ද සිල්වා අවධාරණය කළේ අකුරටම ව්යවස්ථාවට අනුකූලව ක්රියාකිරීමේ අවශ්යතාව ගැනය. එහෙත් සිංහල රාජ්යය දමිළ ජනයාගේ අයිතිවාසිකම් ව්යවස්ථාවට පටහැනිව යටපත් කරන ලද අවස්ථාවලදි අධිකරණය සිංහල රාජ්යයේ එම හිතුවක්කාරි ක්රියාකාරකම් ආරක්ෂා කළා මිස ව්යවස්ථාවට අනුකූලව දෙමළ ජනතාව ආරක්ෂා කළේ නැත. ඩී.ඇස්. සේනානායක ආණ්ඩුව වතුකරයේ දෙමළ ජනයාගේ ප්රජා අයිතිය අහිමි කළේය. ඉන්පසු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සිංහල පමණක් නීතිය නීතිගත කරන ලද්දේ ද සෝල්බරි ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුළත් 29 වැනි වගන්තිය අනුව සුළු ජාතීන් පීඩාවට පත් කරන නීති සම්පාදනය නීති විරෝධී කර තිබියදිය.
දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පවරන ලද පළමු නඩුව ලෙස සැලකිය හැක්කේ පුරවැසි නීතිවලට එරෙහිව කෑගල්ලේ ගෝවින්දන් සෙල්ලප්පා නායර් කොඩකන් පිල්ලේ කෑගල්ල දිස්ත්රික්ක උසාවියේ පවරන ලද නඩුවයි. ඔහු සිය නම මැතිවරණ ලේඛනයට ඇතුළත් කරන ලෙස ඉල්ලා කෑගලු දිස්ත්රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස් වෙත ඉදිරිපත් කරන ලද අයදුම්පතක් ඔහු පුරවැසියෙකු නොවේය යන පදනම මත සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්රතික්ෂේප කිරීමේ සිද්ධියක් මත එම සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි. පැමිණිලිකරු වෙනුවෙන් එස්. නඩේසන් පෙනී සිටින විට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේ නීතිපති සර් ඇලන් රොස්ය. පනවා තිබෙන පුරවැසි නීති ආණ්ඩුක්රම ව්යවස්ථාවේ එන 29 වැනි වගන්තියට පටහැනි බව කෑගල්ල දිස්ත්රික් උසාවියේ තීරණය වූ අතර, නීතිපති එම තීන්දුවට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදුව පුරවැසි නීති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි නොවන බව ප්රකාශ කරමින් ශ්රේෂ්ඨාධිකරණය දිස්ත්රික් උසාවි තීන්දුව නිෂ්ප්රභා කළේය.
දමිළ ජාතිකයන්ගේ අයිතිවාසිකම් සඳහා නෛතික තලයේ සිදුවූ ඊළග අරගලය වූයේ සිංහල නොවන රජයේ සේවකයන් සඳහා ක්රියාත්මක වූ සිංහල ප්රවීණතා කඩඉම් ප්රතිපත්තියට එරෙහිව චෙල්ලයියා කෝඩේෂ්වරන් පවරන ලද නඩුවයි. සිංහල භාෂා ජනතා කඩඉම සම්පූර්ණ නොකිරීමට හේතුවක් කරගනිමින් තමන්ට හිමි රුපියල් 10 වාර්ෂික වැටුප් වර්ධකය කපා හැරීමට එරෙහිව ඔහු ආණ්ඩුවට එරෙහිව කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පවරන ලද නඩුව විභාග කළ ඕ.එල්.ඩී. කේරස්ටර් (Krester) විනිසුරුවරයාගේ තීන්දුව වූයේ සිංහල රාජ්ය භාෂා නීතිය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 29 වැනි වගන්තියට පටහැනි බවය. ආණ්ඩුව එම තීන්දුවට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර, ශ්රේෂ්ඨාධිකරණය දිසා අධිකරණය මතු කළ ව්යවස්ථාමය ප්රශ්නය නොසලකා රජයේ සේවකයෙකුට වැටුප් ප්රශ්නයක් මත රජයට එරෙහිව නඩු පැවරිය නොහැකි බව ප්රකාශ කරමින් දිසා අධිකරණය දෙන ලද තීන්දුව නිෂ්ප්රභා කළේය.
සුනාමි සහන මණ්ඩලයට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය දෙන ලද අතුරු තහනම ශ්රී ලංකාවේ දමිළ ජාතිකයන් දකිනු ඇත්තේ තමන්ගේ සාධාරණ අයිතිවාසිකම්වලට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තුන්වැනි ඓතිහාසික තීන්දුව ලෙසය.
මෙම ඓතිහාසික නඩුවේ කටයුතු සිදුවී තිබෙන ආකාරය තුළ ද ගුප්තභාවයක් පවතී.
ජවිපෙ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ දිනට දින කිහිපයකට පෙර අගවිනිසුරුවරයා පිළිබඳ අපූරු පුවතක් ජවිපෙ විසින්ම පුවත්පත්වල පළකර තිබුණි. එම පුවතින් කියැවුණේ ජවිපෙ අගවිනිසුරුවරයාට එරෙහිව දියවන්නාඔය අපචාර සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු පරික්ෂණයක් ඉල්ලන්නට තීන්දු කර තිබෙන බවය. එය නඩුවට පෙර අගවිනිසුරුවරයා වෙත අනියම් ලෙස කරන ලද අනතුරු ඇගවීමක් වී යැයි කිව හැකිය.
ජවිපෙ දක්වන විශේෂ අනුග්රහයක් වශයෙන් දෝ මෙම පෙත්සම් ලියාපදිංචි කළ දිනට පසු දිනම පෙත්සම් විභාගයට ගැනුණේය. එය මූලික අයිතිවාසිකම් පෙත්සම් විෂයෙහි සාමාන්යයෙන් සිදු නොවන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
පසුදින නඩුව ඇසුණු උසාවි ශාලාවට ජවිපෙ මන්ත්රීවරුන් 39 දෙනාම පැමිණ සිටියෝය. ඔවුන් අසුන් ගෙන සිටි අසුන්වලට ඉදිරියෙන් නීතිඥයින් හිටගෙන සිටීම නිසා ඔවුන්ට හා විනිශ්චය මණ්ඩලයට එකිනෙකාගේ මුහුණු පෙනෙන තත්ත්වයක් නොතිබුණි. පෙත්සම්කරුවන්ට විනිශ්චය මණ්ඩලය පෙනෙන්නට තිබිය යුතුයැයි ප්රකාශ කරමින් අගවිනිසුරුවරයා ජවිපෙ මන්ත්රීවරුන් ඉදිරියේ හිටගෙන සිටි නීතිඥයන් එම ස්ථානයෙන් ඉවත් කළේය.
ජවිපෙ මුස්ලිම් මන්ත්රීවරිය උසාවි ශාලාවට පැමිණියේ විභාගය ආරම්භ වීමෙන් පසුවය. සියලු අසුන් පිරි තිබුණෙන් ඇයට වාඩිවීමට අසුනක් නොවීය. ඇයට වාඩිවීමට අසුනක් ලබාදෙන ලෙස අගවිනිසුරුවරයා ඉල්ලා සිටියත්, කිසිවෙක් තමන් වාඩිවී සිටි අසුන ඇයට ලබා නොදිම නිසා උසාවි සේවකයෙකු ලවා ඇයට අසුනක් ගෙන්වා දිමට අගවිනිසුරුවරයාට සිදුවිය.
ශාලාවේ සිටි අය අතර විශේෂ අමුත්තියක් ද සිටියාය. ඒ අගවිනිසුරුගේ දියවන්නාඔය රංගනයට සම්බන්ධ කාන්තාවය. පළමු දින විභාගය අවසන් වීමෙන් පසු ජවිපෙ මුස්ලිම් මන්ත්රීවරිය ආපසු ගිය බව කියන්නේ ඇගේ රියේය.
අතුරු තහනම පනවන ලද දිනයේ ද ඇය උසාවි ශාලාවට පැමිණ සිටියාය. අතුරු තහනම ප්රකාශ කිරිමෙන් පසුව ඇය ජවිපෙ මන්ත්රී කණ්ඩායමට මැදිවී උද්යෝගිමත් ලෙස අදහස් හුවමාරු කරගනිමින් සිටින ආකාරයක් ද පෙනෙන්නට තිබුණි.
අගවිනිසුරුගේ දියවන්නා ඔය රංගනයට සම්බන්ධ මෙම කාන්තාව බොහොමයක් දේශපාලන ගනුදෙනුවලදි අගවිනිසුරුගේ අතරමැදියා ලෙස ක්රියාකොට තිබේ. එස්.බී. දිසානායක පිළිබඳ ප්රශ්නයේදි මෙන් රෝහිත බෝගොල්ලාගම පිළිබඳ ප්රශ්නයේදි ද ඇය අගවිනිසුරුගේ අතරමැදියකු ලෙස ක්රියා කළාය. අවසානයේදි ඇය ජවිපෙ සමග කරන ගනුදෙනුවේදි ද අගවිනිසුරුගේ අතරමැදියකු ලෙස ක්රියාකර තිබෙන බව පෙනේ.