ජවිපෙ මල්ලිලා හා අගවිනිසුරු

July 10, 2005
Publication:
The Chief Justice took up the JVP's and the Hela Urumaya's fundamental rights petitions against the tsunami management structure filed on 5 July. A second note, 'S.B. cries for freedom', finds S.B. Dissanayake in the Merchant ward expecting release at any moment and blaming Bribery Commission Director-General Piyasena Ranasinghe for his troubles.

පශ්චාත් සුනාමි මෙහෙයුම් කළමනාකරණ ආයතනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගෙන, එම පෙත්සම් වැඩිදුර විභාගයට ගැනීමට අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින් 06 වැනිදා තීරණය කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ජූලි 05 වැනිදාය. ජේ.වී.පී. පෙත්සම් භාරදි ඇත්තේ එදින සවස දෙකෙන් පසුවය.

මෙවැනි නඩුවකදි පැමිණිලිකරුවන් මූලික විභාගය සඳහා විකල්ප දින තුනක් ඉල්ලා සිටින අතර, ඊට පසු දිනයේම එවැනි පෙත්සමක් විභාගයට ගැනෙන්නේ ම නැති තරම්ය. අගවිනිසුරුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නට නියමිතව තිබු දෝෂාභියෝගයට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සම විභාගයට ගැනුණේ ද මීට සමාන ආකාරයකටය. එනම් පෙර දින ගොනුකළ පෙත්සමක් පසු දින විභාගයට ගැනිණ.

පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට එන්නට පෙර ජනතා විමුක්ති පෙරමුණ අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නට යන බවට විවිධ කතා රටේ පැතිර තිබුණු අතර, ඒ ගැන පුවත්පත් කිහිපයක් ද වාර්තා කර තිබුණි. විමල් වීරවංශගේ ඉල්ලීමක් අනුව වීරකැටියේ මල්නැලිගොඩ සද්ධානන්ද නායක ස්ථවීරයන් වහන්සේ අගවිනිසුරුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාව අළලා ඒ මහතා වෙත ලිඛිත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ ජූලි 01 වැනිදාය. එජාප අගවිනිසුරුට එරෙහිව පළමු දෝෂාභියෝගය ඉදිරිපත් කර තිබුණේ ද ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතවය.

සමහරවිට ජවිපෙ අගවිනිසුරුට එරෙහිව තමන් ඉදිරිපත් කරන්නට යන දෝෂාභියෝගයක් ගැන සිය විවිධ කතා පතුරුවා හරින්නට ඇත්තේ පෙත්සම්වලට පෙර අගවිනිසුරුට යම් ඇගවීමක් ලබාදිම සඳහා විය හැකිය. තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නට යන පිරිසකගේ නඩුවක් අගවිනිසුරුතුමා ඉදිරියේ විභාගයට ගැනීම උචිත නැතත් එවැනි දේ නිතර නිතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවනු දැකිය හැකිය. අවසානයේ “මගේ සහයෝගයත් ජවිපෙ මල්ලිලාටයි” කියන්නට අගවිනිසුරු මෙම නඩුව අවස්ථාවක් කරගත් බව පෙනේ. අවසානයේ කොතරම් චෝදනා තිබුණත් “අපේ අගවිනිසුරු නරක නැතැයි” ජවිපෙ මල්ලිලාට ද සිතෙන්නට ඇත.

නිදහසට හඬන එස්.බී.

උසාවි අපහාස චෝදනා යටතේ සිර දඬුවම් ලබා කොළඹ මර්චන්ට් වාට්ටුවේ හිරබත් කමින් සිටින එස්.බී. දිසානායක මහතා තමා කොයි මොහොතක හෝ නිදහස් කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් යුතුව ජීවත් වන බව අසන්නට ලැබේ. ඔහු පසුගිය සිකුරාදා තමන් එදින නිදහස් කරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි අතර, ඒ බව සිය සමීප හිතවතුන්ට ද ප්‍රකාශ කර තිබුණි.

එස්.බී. වෙනුවෙන් මිලින්ද මොරගොඩ මහතා ජනාධිපතිනිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙන අතර, ඊට අතිරේකව ඔහුට නැවත මන්ත්‍රීකම ද ලබාගත හැකි ආකාරයට විශේෂ ජනාධිපති සමාවක් ලබා දෙන බවට අගවිනිසුරුවරයා ද සහතික වී ඇති බව කියනු ලැබේ.

එස්.බී. හිරේ යැව්වේ ද අගවිනිසුරුමය. ඔහු තමන්ට එරෙහිව ඉදිරිපත් වී තිබුණු උසාවි අපහාස චෝදනාවට මුහුණ දිම සඳහා අගවිනිසුරු අසීරු තත්ත්වයකට පත් කරන සූදානම් වෙමින් සිටියදි අගවිනිසුරුගෙන්ම ලැබුණු පොරොන්දුවක් මත ඔහුට එරෙහිව සටන් කරන පිළිවෙත අතහැරියේය. අගවිනිසුරුට ඒ අවස්ථාවේදි එස්.බී. ගේ සහාය අවශ්‍ය වූයේ දියවන්නා ඔය අපවාදය යටපත් කරගැනීම අවශ්‍ය වූ නිසාය. අනෙක් අතට එස්.බී.ට ද දඬුවම් නොලබා නඩුවෙන් නිදහස් වීමට අවශ්‍ය වී තිබුණේය. පොරොන්දු වී තිබූ පරිදි වරද පිළිගත් එස්.බී. ගෙදර යවනවා වෙනුවට අගවිනිසුරු ඔහු හිරේ යැව්වේය. සියලු කරුණු හෙළිදරව් කරමින් එම තීන්දුවට එරෙහිව නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට එස්.බී.ට අවශ්‍ය වී තිබුණත්, ඔහුගේ නඩුව භාරගැනීමට සුදුසු නීතිඥයෙකු සොයාගැනීමට ඔහු අසමත් විය.

දැන් නැවත එස්.බී.ට බලාපොරොත්තු ඇතිකර ගන්නට සිදුවී තිබෙන්නේ ද තමාට සිර දඬුවම් පැමිණ වූ අගවිනිසුරු කෙරෙහිමය. ජනාධිපතිනිය මගින් නිදහස ලබා දෙන බවට අතරමැදියන් මගින් ලබාදෙන පොරොන්දු නිසා ඒ කෙරෙහි විශ්වාසය තබා ක්‍රියාකරන තැනකට එස්.බී. තල්ලු වී සිටී.

එස්.බී.ට එරෙහිව අල්ලස් චෝදනා යටතේ නඩු පැවරෙන්නේ ද ඔහු හිරේ විලංගුවේ වැටී සිටියදිය. දැන් උසාවිය ඉදිරීයේ හෙළිදරව් වෙමින් තිබෙන සාක්ෂි අනුව පෙනී යන්නේ එස්.බී. ගේ වාසියට හේතුවන සමහර කරුණු යටපත් කොට ඔහු අමාරුවේ දැමීමේ අරමුණින්ම මෙම නඩුව සකස් කර තිබෙන බවය.

එම වැඩපිළිවෙළ පිටුපස සිටින ප්‍රධාන පුද්ගලයා ලෙස එස්.බී. හඳුනාගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියසේන රණසිංහ මහතාය. එස්.බී. ලා චන්ද්‍රිකා සමග සූරියකන්ද සමූහ මිනීවළවල් හාරන්නට ගිය අවස්ථාවේදි එහි පැවති මහේස්ත්‍රාත් පරික්ෂණය සඳහා මහේස්ත්‍රාත්වරයා ලෙස ක්‍රියාකළේ පියසේන රණසිංහ මහතාය. 94 පොදු පෙරමුණ ජයගැනීමෙන් පසුව රණසිංහ මහතාට මීගමුව උසාවියට එන්නට අවශ්‍ය වී ඔහු ඒ සඳහා අවශ්‍ය අනුග්‍රහය ලබාගෙන ඇත්තේ ද එස්.බී. ගෙන්ය. සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට ගෙන එන ක්‍රියාවලිය කෙරෙහි ද එස්.බී. බලවත් ලෙස බලපා තිබුණි. අවසානයේදි එස්.බී.ට පළමු වටයේදි අගවිනිසුරුගෙන් ද දෙවැනි වටයේදි පියසේන රණසිංහ මහතාගෙන් ද පහර කන්නට සිදුවී තිබෙන බව පෙනේ. එය දෛවයේ සරදමක් ලෙස සැලකිය හැකිය.