නීතිඥ සංගමයේ නිලවරණ ප්රතිඵල රටට කියා දෙන වැදගත් පාඩම් ගණනාවක් ම ඇත්තේ ය. එය නීතිඥයන්ට පමණක් සීමා වූ ඡන්දයක් වුවත්, එය මහ ඡන්දයක් තරම් වැදගත් මැතිවරණයක් වී යැයි කිව හැකි ය.
වර්තමාන ශ්රී ලංකාවේ දේශපාලන ගමන් මග තීරණය කරන කේන්ද්රස්ථානය වී තිබුණේ මහජනතාව, කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව නො ව, ශ්රේෂ්ඨාධිකරණයයි. විධායක ජනාධිපතිනිය ප්රධාන කොට රට පාලනය කළේ කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ සහාය ඇති ව නො ව, අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ සහාය ඇතිව ය. අධිකරණය, විධායක ජනාධිපතිවරයාට හිතුවක්කාරි ලෙස ක්රියාකිරීමට අවශ්ය බලය ලබාදෙන බල උල්පත ලෙස ක්රියා කළේ යැයි ද කිව හැකි ය.
ශ්රේෂ්ඨාධිකරණය, සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව දූෂණ චෝදනා මත පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබූ අවස්ථාවක, ඒ බවවත් නො සලකා, ජනාධිපතිනිය ඔහු අගවිනිසුරු ධුරයට ගෙනාවේ ශ්රේෂ්ඨාධිකරණය පාලනය කිරීමේ අවශ්යතාව සලකා ය. එතැන් පටන් ඔහු දක්ෂ ලෙස, එතෙක් යුක්තිය පසිඳලන ආයතනයක් ලෙස පැවති ශ්රේෂ්ඨාධිකරණය විධායක ජනාධිපතිනියගේ අවශ්යතාවන් වෙනුවෙන් ක්රියාකරන දේශපාලන ආයතනයක් බවට පරිවර්තනය කළේ ය. ඒ ක්රියාවලියේ දී අධිකරණ නිලධාරින් විශාල පිරිසක් අධිකරණයෙන් පලවා හරින ලද අතර, තවත් විශාල පිරිසක් නිහඬ කෙරිණි. පීඩනය ඉවසිය නොහැකි සමහර විනිසුරුවරු අධිකරණයෙන් ඉවත්ව ගිය හ. විනිසුරු මාක් ප්රනාන්දු මහතා විශ්රාම යෑමට නියමිත වයස සම්පූර්ණ වීමට පෙර විශ්රාම ගිය අතර, මහාධිකරණ විනිසුරු සමිත් සිල්වා වැනි තවත් පිරිසක් අධිකරණ සේවයට ආයුබෝවන් කී හ.
අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ අධිකරණ පාලනය එක්තරා ආකාරයක මාෆියා පන්නයේ පාලනයක් වී යැයි කිව හැකි ය. ආචාර්ය රංජිත් අමරසිංහ මහතා විශ්රාම යෑමෙන් පසුව නීති කොමිසම ඔහු වෙනුවෙන් පවත්වන ලද භෝජන සංග්රහයක දී ශ්රේෂ්ඨාධිකරණයේ සිදුවෙමින් පැවති වැරදි ඉදිරීයේ නිශ්ශබ්දව බලා සිටියේ ඇයි ද කියා එහි සිටියකු විනිසුරු අමරසිංහ මහතාගෙන් ප්රශ්න කළේ ය. අමරසිංහ මහතා ඊට දෙන ලද පිළිතුර වූයේ “මරණ බිය නිසා” එසේ කරන්නට සිදුවූ බව ය. මරණ බිය බලපා තිබුණේ විනිසුරු අමරසිංහ මහතාට පමණක් ද? මරණ බිය නිසා තවත් කොපමණ විනිසුරුවරුන් පිරිසක් නිශ්ශබ්දව බලා සිටින තත්ත්වයකට පත්ව සිටී ද? අධිකරණ නායකයාට අන්ත දූෂිත පොලිස් නිලධාරින්, පාතාල ලෝකයේ නමගිය අපරාධකරුවන් සමග තිබෙන සම්බන්ධකම් විනිසුරුවරුන්ට රහසක් විය නො හැකි ය. ඉන්පසු සී. විග්නේෂ්වරම් විනිසුරුතුමා ශ්රේෂ්ඨාධිකරණයේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය රටට කියා දුන්නේ ය.
අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවල ස්වභාවය අනුව ඔහු වැනි දූෂිත පුද්ගලයෙකුට එම ගරු කටයුතු තනතුරෙහි රැඳී සිටීමට හැකිවීමෙන් පෙනී යන්නේ සමස්ත දේශපාලන ක්රමය කුණුවී තිබෙන තරම ය. ඔහු දියවන්නා ඔය සිද්ධියෙන් මුළු අධිකරණය ම ගඳ ගැස්සුවේ ය. එහෙත් ඒ ගඳ ජනාධිපතිනියට දැනුණේ නැත. විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට දැනුණේ ද නැත. ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශ මහතා හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂ නායකයින්ට දැනුණේ ද නැත. රටේ දේශපාලන නායකයින්ට නහයවල් ලබාදෙන්නේ කෙසේ ද?
අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට මේ සියලු දේවල් කරන්නට පුළුවන්කම ලැබී තිබුණේ නීතිඥ සංගමයෙන් ලැබී තිබුණු ආධාරය නිසා ය. ඔහු දක්ෂ ලෙස නීතීඥ සංගමය පාලනය කළා පමණක් නො ව, එය සිය මාෆියාවේ අනුයුක්ත කොටසක් බවට ද පත් කරගෙන තිබුණේ ය.
අගවිනිසුරු කරන බරපතළ වැරදිවලදි අගවිනිසුරු ඍජු ලෙස හෝ අනියම් ලෙස ආරක්ෂා කරන පිළිවෙතක් එම සංගමය අනුගමනය කළේ ය. පාර්ලිමේන්තුවට එරෙහිව දෙන ලද වාරණ නියෝගයට ආධාර කළේ ය. විනිසුරුවරුන් අධිකරණයෙන් පලවා හරින ක්රියාපිළිවෙතට ආධාර කළේ ය. ටෝනිට එක් අවුරුදු සිරදඬුවමක් පැනවීම හෝ එස්.බී. දිසානායකට අවුරුදු දෙකක සිරදඬුවමක් පැනවීම නීතීඥ සංගමයට ප්රශ්නයක් වූයේ නැත. දියවන්නා ඔය සිද්ධිය ද ඔවුන්ට ප්රශ්නයක් වූයේ නැත. මන්ත්රීකම අහිමි නොවන ලෙස පක්ෂ මාරු කිරීමට අයිතිය ලබාදෙන අධිකරණ තීන්දු ද ඔවුන්ට ප්රශ්නයක් වූයේ නැත.
අවසානයේ දී ජනාධිපති නීතිඥ ඩෙස්මන් ප්රනාන්දු මහතා තරග බිමට ආවේ අගවිනිසුරුගේ විශ්වාසදායක සගයා නිතරගයෙන් තේරි පත්වන්නට සිහින මවමින් සිටි අවස්ථාවකදි ය. අගවිනිසුරු මාෆියාව රාජ්ය බලයේ ද සහාය ඇතිව ප්රතිවාදියා පරාජය කිරීමට උපරිම ශක්තිය යොදා ක්රියා කළේ ය. ඒ සඳහා ආණ්ඩුවේ ජනමාධ්ය උපරිම ලෙස සහාය දුන්නේ ය. ආණ්ඩු පක්ෂයේ පමණක් නො ව, එක්සත් ජාතික පක්ෂයේ ද නාමධාරි ජනාධිපති නීතිඥයන්ගේ ආධාර ලැබුණේ ද අගවිනිසුරුගේ පාර්ශ්වයට ය. ගෝෂාව හා අලංකාරය තිබුණේ ද ඒ පැත්තේ ය. එහෙත් නීතිඥ ප්රජාවගෙන් වැඩි පිරිසක් නිහඬව ඩෙස්මන්ට ඡන්දය දී ඔහු ජයග්රාහකයා බවට පත් කළේ ය. එය නීතිඥ ප්රජාව අතර අගවිනිසුරු පිළිබඳව පැවති ජනමත විචාරණයකට සමාන ය. අගවිනිසුරු එම ජනමත විචාරණයෙන් පරාද ය. අවසානයේ දී නීතිඥ ප්රජාව වෘත්තියේ ගෞරවය පිණිසත්, අධිකරණයේ ස්වාධීනත්වය පිණිසත් නිහඬව සිය හඬ නැගී ය.