දැන් පවතින තත්ත්වය

January 9, 2005
Publication:
A numbered twenty-point programme for the country after the tsunami: facing the challenge with a practical vision, an all-party government for two years, restarting peace talks with interim administration for the North-East that the Muslims can accept, rebuilding ten symbolic towns, reorganising the state, a higher court to settle disputes, and a new constitution before elections.

1. සුනාමි ආපදාව රටේ පැවති අවුල්සහගත තත්ත්වය දෙගුණ තෙගුණ කිරීමට හේතුවී තිබේ. අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ යුද්ධය විසින් ඇති කළ සමස්ත හානියට සමාන හානියක් එක පැයකටත් අඩු කාලයක් තුළ සිදුවිය. එතෙක් උතුරු නැගෙනහිරට පමණක් සීමාවූ විශාල දේපළ හානි හා අනාථභාවය දකුණට ද පොදු ලක්ෂණයක් බවට පත්විය.

2. එල්ටීටීඊයට එරෙහිව ආණ්ඩුවට හෝ ආණ්ඩුවට එරෙහිව එල්ටීටීඊයට ක්‍රියාකළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. විපක්ෂයට එරෙහිව ආණ්ඩු පක්ෂය ද, ආණ්ඩු පක්ෂයට එරෙහිව විරුද්ධ පක්ෂය ද, ක්‍රියාවට නැංවීමට ඇති කරගෙන තිබූ සැලසුම් ද ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. සියලු දේශපාලන පක්ෂ දැන් සිටින්නේ හිරවූ තැනකය.

3. ජනතාව සිටින්නේද අසරණව අන්දමන්දභාවයට පත් තැනකය. මහජනතාව හා දේශපාල පක්ෂ අතර තිබුණු බැඳීම් ලිහිල් වී තිබෙන අතර, පක්ෂ මත අනුව මහජනයා මෙහෙයවීමට දේශපාලන පක්ෂවලට තිබූ හැකියාව ද බොහෝ දුරට බිඳ වැටී තිබේ. සිදුවූ විපත බෙදිම් තුළ සිටි සියලු දෙනා කෙරෙහි බලපා තිබෙන තත්ත්වයක් ඉදිරියේ සමාජය තුළ වර්ග හා ආගම් අනුව තිබුණු බෙදිම් ද ලිහිල් කිරීමට හේතුවී තිබේ.

4. මියගියවුන් පිළිබඳ ප්‍රශ්නයටත් වඩා පුපුරණ සුළු ප්‍රශ්න ඇති කිරීමට හේතුවනු ඇත්තේ උන්හිටි තැන් අහිමිව අනාථභාවයට පත්ව සිටින්නන් පිළිබඳ ප්‍රශ්නයයි. සහනාධාරවලින් පමණක් ඔවුන් තෘප්තිමත් කළ නොහැකිය. එහෙත් ඉන් ඔබ්බට යන දර්ශනයක් ආණ්ඩුව හෝ විරුද්ධ පක්ෂවලට තිබෙන බවක් පෙනෙන්නට නැත. අඩුම වශයෙන් ලැබෙන සහනාධාර ටිකවත් විධිමත්ව හා සාධාරණව බෙදාහැරෙන ක්‍රමයක් ඇති කරගැනීමටවත් රජය සමත් වී නැත. රාජ්‍ය තිබෙන්නේ ද වැහැරුණු තත්ත්වයකය.

අභියෝගයට මුහුණදිම

5. නිසි දර්ශනයක් සහිත ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඇතොත්, ඇතිවී තිබෙන විපත රටේ යහපතට හේතුවන මහා පරිවර්තනයකට මුල පිරිමක් ලබාදෙන ගතික සාධකයක් බවට පත්කර ගත හැකිය.

6. එවැනි දර්ශනයක් සහිත වැඩපිළිවෙළක්

i. සමස්ත චිත්‍රය වෙනස් කිරීමට තරම් විශාල එකක් විය යුතුය.

ii. යුද්ධය නිසාද, සුනාමි නිසාද, අනාථභාවයට පත්ව සිටින සියලු දෙනාගේ අනාථභාවය තුරන් කරමින් ඔවුන්ට නැවත අලුත් ජීවිතයක් ලබාදෙන්නක් විය යුතුය.

iii. එය යුද්ධය නිසා හා සුනාමි නිසා බිඳ වැටී තිබෙන අධෝව්‍යුහමය පහසුකම් ද, බිඳ වැටී තිබෙන නගර ද, වඩා නවීන, විධිමත් හා අලංකාර ආකාරයකින් ප්‍රතිනිර්මාණය කෙරෙන අතර, රටේ සමස්ත ආර්ථික ක්‍රියාකාරිත්වයකට නව ජවයක් ලබාදිමට හේතුවන්නක් විය යුතුය.

iv. ගරා වැටෙමින් තිබෙන රාජ්‍යය නැවත නවීන ආකාරයකින් ප්‍රතිසංවිධානය කිරීම එම ප්‍රතිසංස්කරණ වැඩසටහනට ඇතුළත් ප්‍රමුඛ වැදගත්කමක් ඇති අංගයක් විය යුතුය. රාජ්‍යයෙන් බැහැර වී සිටින අය නැවත ඊට එකතු කරගැනීමට හැකි ආකාරයටත් රාජ්‍යයෙන් බැහැරවී නැතත්, එය කෙරෙහි කලකිරි සිටින සියලු දෙනාගේ විශ්වාසයට හේතුවන ආකාරයටත් නවීන අර්ථයෙන් සියලු වාර්ගික, ආගමික හා සංස්කෘතික කණ්ඩායම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හේතුවන ආකාරයටත්, පාලකයින්ට හිතුවක්කාරි ලෙස ක්‍රියාකිරීමට ඉඩ නැති මනා පාලනයක් සහතික කිරීමට හේතුවන ආකාරයටත් පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් ඇති කොට ස්ථාපිත කිරීම එම ප්‍රතිසංවිධානයේ කේන්ද්‍රීය අරමුණ විය යුතුය.

v. සමස්ත වැඩපිළිවෙළේ අවසාන දර්ශනය විය යුත්තේ සාමකාමී, එක්සත්, ප්‍රජාතන්ත්‍රවාදි හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගිමය.

දර්ශනයක් නැති යාන්ත්‍රණයකට දර්ශනයක් දිම

7. ඛේදවාචකය දේශපාලනඥයන් අන්ද මන්ද කිරීමට හේතුවී ඇතත්, ඔවුන්ගේ ආකල්පවල ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවී නැත. ඇතිවී තිබෙන විෂම තත්ත්වය රටේ යහපතට හේතුවන මහා පරිවර්තනයකට මුල පුරන ක්‍රියාදාමයක් බවට හරවා ගැනීමේ ඇත්ත හැකියාවක් ඔවුන්ට නැත. එසේම ඒ සියලු දෙනා දැන් සිටින ස්ථානවලින් වහා ඉවත් කොට ඉදිරි දර්ශනයක් ඇති අලුත් පිරිසක් ඒ තැන්වලට ගැනීමේ හැකියාවක් ද නැත. එම තත්ත්වය ඉදිරියේ මෙම උභතෝකෝටික තත්ත්වය ජයගත යුතුව ඇත්තේ දර්ශනයක් නැති ඔවුන්ට දර්ශනයක් සහිත වැඩපිළිවෙළක් ලබාදෙමින් එම වැඩපිළිවෙළ ඔවුන්ම ලවා ක්‍රියාවට නංවන උපාය මාර්ගික වැඩපිළිවෙළක් ඔස්සේය.

8. ඒ සඳහා දේශපාලන පක්ෂ අතර පවතින තරගය එක්තරා කාලසීමාවකට බලපාන ආකාරයට අත්හිටුවන තත්ත්වයක් ඇති කළ යුතුය. ඇතිවී තිබෙන මහා විනාශය ඉදිරියේ සීමිත කාලයක් සඳහා (වසර දෙකක් සඳහා) සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගන්නා ලෙසත්, එම සර්ව පාක්ෂික ආණ්ඩුව මෙහෙයවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් මණ්ඩලයක් ඇති කරගන්නා ලෙසත් දේශීය වශයෙන් සේ ම ජාත්‍යන්තර වශයෙන් ද ඔවුන්ට බල කරන තත්ත්වයක් ඇති කළ යුතුය. එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිවනවා දකින්නට මෙම විශේෂ මොහොතේදි ජනතාව ද කැමතිය. එවැනි එකතුවක් සඳහා මහජනතාව ලවා දේශපාලන පක්ෂවලට බලපෑම් එල්ල කරන තත්ත්වයක් ද ඇති කළ හැකිය. මහජනතාව කෙරෙන් ඒ සඳහා හඬ නැගීමක් සිදුවේ නම් දේශාපලන පක්ෂ ද එවැනි වැඩපිළිවෙළක් සඳහා එකගවීමේ හැකියාවක් ද පවතී.

සර්ව පාක්ෂික ආණ්ඩුව

10. සර්ව පාක්ෂික ආණ්ඩුවක් යන්නෙන් මෙහිදි අදහස් කරන්නේ ඇතිවී තිබෙන විපතට මුහුණදිම සඳහා එක්තරා සීමිත කාලයක් සඳහා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත ආණ්ඩුවකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් මණ්ඩලයක් ද ඊට අවශ්‍ය උපදෙස් ලබාදිම සඳහා වන දේශීය හා විදේශීය විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් ද තිබිය යුතුය. එසේම ජාතික මෙහෙයුම් මණ්ඩලය යටතේ ක්‍රියා කරන සර්ව පාක්ෂික ඇමති මණ්ඩලයක් ද තිබිය යුතුය. ඇමති මණ්ඩලයේ තනතුරු සාධාරණව බෙදි යන ක්‍රමයක් තිබිය යුතු අතර, පාර්ලිමේන්තු මැතිවරණයේදි ඒ ඒ පක්ෂ ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණයන් අනුව තනතුරු සංඛ්‍යාව බෙදි යා යුතුය.

11. සර්ව පාක්ෂික ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ විය යුත්තේ

i. බිඳ වැටී තිබෙන නගර හා අධෝව්‍යුහමය පහසුකම් නැවත ගොඩනැගීම, නිවාස අහිමි වී සිටින සියලු දෙනාට නිවාස හිමිකර දිම හා රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය පණගැන්වීම.

ii. හා රාජ්‍යය නැවත ප්‍රතිසංවිධානය කිරීමය.

සාම කතා යළි ආරම්භ කිරීම

12. ජාතික මෙහෙයුම් මණ්ඩලයක් ඇති කරගත් වහාම එම මෙහෙයුම් මණ්ඩලය හෝ එහි තෝරාගත් නියෝජිත පිරිසක් කිලිනොච්චියට ගොස් එල්ටීටීඊ නායකයන් මුණගැසී සාකච්ඡා කළ යුතුය.

(i) අන්තර්වාර පාලනයට ඔවුන්ට තිබෙන අයිතිය පිළිගනිමින් මුස්ලිම් ප්‍රදේශවල ජනතාවට ද එකග විය හැකි ක්‍රමයක් ඇති කරගනිමින් අන්තර්වාර පාලනයක් ඇතිකර ගැනීම සඳහා ඔවුන්ට ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.

(ii) කේන්ද්‍රයේ සිදුවන සැලසුම් සකස් කිරීමේ හා තීන්දු ගැනීමේ ක්‍රියාවලියට ඔවුන්ට ද සම්බන්ධ විය හැකි ආකාරයට ඔවුන්ගේ නියෝජිතයෙකු ද ජාතික මෙහෙයුම් මණ්ඩලයට ඇතුළත් කරගත යුතුය.

රට ගොඩ නැගීම

13. සංකේතාත්මක වැදගත්කමක් ඇති නගර 10ක් තෝරාගෙන (මුස්ලිම් ප්‍රදේශයක් සඳහා එක් නගරයක්ද, වතුකරයේ දෙමළ ජනතාව සඳහා තවත් නගරයක් ද, වාර්ගික මිශ්‍රණයක් සහිත ප්‍රදේශ සඳහා නගර දෙකක් ද -කොළඹ හා ත්‍රිකුණාමලය-දෙමළ ප්‍රදේශ සඳහා නගර තුනක් ද, සිංහල ප්‍රදේශ සඳහා නගර තුනක්ද) එම නගර නැවත ගොඩනැගීම් හෝ ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර කිරීමට විශේෂ උනන්දුවක් දක්වන රටවල් 10කට බාරදිය යුතුය. ඒ මගින් ඔවුන් ශ්‍රී ලංකාවට කරන සත්කාරය වෙනුවෙන් එම රටවල ආයෝජකයන්ට හා සංචාරකයන්ට විශේෂ වරප්‍රසාද ලබාදෙන ප්‍රතිපත්තියක් ඇති කළ යුතුය.

14. යුද්ධයෙන් ද සුනාමි රළ තරංගවලින් ද උන්හිටි තැන් අහිමි වී අනාථභාවයට පත්ව සිටින සියලු දෙනාට හොඳ නිවාස ලබාදිමට හැකිවන ආකාරයට තට්ටු නිවාස සංකීර්ණ 50ක් ඉදිකරන විශාල ව්‍යාපෘති 50ක් ආරම්භ කළ යුතුය.

15. නගර අධෝව්‍යුහමය පහසුකම් හා නිවාස ඉදිකිරිම් ක්‍රියාවලියට ආණ්ඩුවේ හා එල්ටීටීඊ හමුදා ද විපතට පත් ජනයා ද සහභාගි කරගත යුතුය. ඒ ක්‍රියාවලිය රටේ විරැකියාව තුරන් කරන, පෞද්ගලික අංශය ශක්තිමත් කරමින් රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට වේගවත් වර්ධනයක් ලබාදෙන ක්‍රියාවලියක් බවට පත්කර ගත යුතුය.

රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම

16. ආර්ථිකය ගොඩනැගීමෙන් පමණක් රට ගොඩ දැමිය නොහැකිය. ඒ සඳහා ගරා වැටෙන තත්ත්වයකට පත්ව ඇති රාජ්‍යය ද නැවත ප්‍රතිසංවිධානය කළ යුතුය.

එහි ප්‍රධාන අරමුණ විය යුත්තේ

i. රාජ්‍යයෙන් බැහැර වී සිටින සියලු දෙනා නැවත ඊට එකතු කරගැනීම හා රාජ්‍යයෙන් වෙන්වී නැතත් ඒ ගැන අතෘප්තියෙන් සිටින ජනයා තෘප්තිමත් තත්ත්වයකට ගැනීම.

ii. ස්වයං තීරණ අයිතිය, නිදහස හා ජාතික ස්වාධිපත්‍යය තහවුරු කිරීම.

iii. රාජ්‍යයේ මූලධර්ම පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල කිරීම.

iv. රාජ්‍යයේ පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම.

v. හිතුවක්කාරි පාලනයකට ඉඩ නොතබා තීන්දු ගැනීමේ ක්‍රියාවලියට මහජනයාට සහභාගිවීමට වැඩි ඉක් ලබාදෙමින් රාජ්‍ය මහජනයාට වග කියන තත්ත්වයක් සහතික කිරීම.

මැතිවරණයකට යෑම

17. සර්ව පාක්ෂික ආණ්ඩුව දෙවසරක කාලය තුළ බිඳ වැටී තිබෙන ආර්ථිකය නැවත ගොඩනැගිය යුතුය. රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා අවශ්‍ය මූලධර්ම හඳුනාගෙන ඒ සඳහා වන පොදු එකගතාවක් ඇති කරගත යුතුය. ඒ කාලය තුළ මැතිවරණ ක්‍රමය ද ප්‍රතිසංස්කරණය කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනයන් ද සම්පූර්ණ කළ යුතුය. අවුරුදු දෙකක කාලය සම්පූර්ණ වීමෙන් පසුව නව මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණයකට යා හැකිය. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කොට එය ක්‍රියාවට නගන තෙක් තවත් අවුරුදු 04ක් හෝ 05ක කාලයක් සඳහා මැතිවරණයෙන් පසුව ද සර්වපාක්ෂික ආණ්ඩුවක් තිබිය යුතුය. වෙන් වෙන්ව තරග කළ හැකි වුවත්නැවත සීමිත කාලයක් සඳහා එක්ව ආණ්ඩු කළයුතු බව ඉන් අදහස් වේ.

ආරාවුල් බේරුම් කරගැනීම සඳහා ඉහළ අධිකරණයක් ඇතිකර ගැනීම

18. රාජ්‍ය නැවත ප්‍රතිසංවිධානය කිරීමේදි ඇතිවන ආරාවුල් විසඳීම සඳහාත්, ඒ සඳහා සකස් කෙරෙන නිීති කෙටුම්පත් විමර්ශනය කිරීම සඳහාත් මහජනයාගේ විශ්වාසයට හෝ ගෞරවයට හේතුවන අධිකරණයක් තිබිය යුතුය. පවතින ශ්‍රේෂ්ඨාධිකරණය ඉමහත් විවාදයට හේතුවී තිබෙන තත්ත්වයක් තුළ ඒ කාර්ය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් සිට ක්‍රියාකරන අධිකරණ ආයතනයක් ඇති කළ හැකිය. ඊට සියලු දෙනාගේ විශ්වාසය හා ගෞරවයට හේතුවූ නිපුණ පුද්ගලයින් (වීරමන්ත්‍රී, එච්.එල්. ද සිල්වා, රාජා වනසුන්දර, පාලින්ද රණසිංහ, මාක් ප්‍රනාන්දු වැනි) පත් කළ හැකිය. දේශපාලන ප්‍රතිසංස්කරණවලට අදාළ කෙටුම්පත් පුනරික්ෂණය කිරීමේ වගකීම භාර දෙනවාට අතිරේකව පවතින අධිකරණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ඉදිරීපත් කිරීමේ වගකීම ද එම ආයතනයටම භාර කළ හැකිය.

ව්‍යවස්ථා සම්පාදනය

19. මැතිවරණයෙන් වැඩි බලයක් ලැබෙන පක්ෂයේ නායකයාට රාජ්‍ය නායකත්වය හිමිවිය යුතු අතර, ව්‍යවස්ථාදායකට තේරි පත්වන සියලු පක්ෂ තවදුරටත් සීමිත කාලයක් සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් ලෙස ක්‍රියාකළ යුතුය. එම ආණ්ඩුවේ බලතල තනතුරු බෙදියෑම ද ඒ ඒ පක්ෂවලට ලැබුණු ඡන්ද ප්‍රමාණයන් අනුව සිදුවිය යුතුය.

20. එකගතාවක් ඇති කරගත් මූලධර්ම මත සර්ව පාක්ෂික ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කොට එය සම්මත කරගත යුතුය. ඉන්පසු එම ආණ්ඩු ක්‍රමය යටතේ ඇති කරන පළාත් හෝ ප්‍රාන්ත ඒකක සඳහා ද මැතිවරණ පැවැත්විය යුතුය.