සිදුවූ විපත දෙස ආපසු හැරි බලමු

January 2, 2005
Publication:
The tsunami that killed some 25,000 Sri Lankans was a natural disaster, but the editorial asks whether the geologists responsible failed in their duty and why the government managed the aftermath so poorly, noting that rescuers reached the wrecked train with over a thousand passengers only after 30 hours.

ශ්‍රී ලාංකිකයින් විසිපන්දහසකගේ පමණ ජීවිත බිලිගත් සිද්ධිදාමය ස්වාභාවික විපතක් ලෙස සැලකිය හැකි වුවත්, ශ්‍රී ලංකාවේ එම විෂය භාර භූ විද්‍යාඥයන් තමන් වෙත පැවරි තිබෙන වගකීම නිසි ආකාරයට ඉටුකරන්නට සමත් වී නම් සිදුවූ මරණ සංඛ්‍යාව 75%කින් පමණ අඩුකර ගැනීමට හැකි වන්නට ඉඩ තිබු බව අපේ මතය යි. කල්තියා තත්ත්වය දැන ගැනීමට අවශ්‍ය තරම් උපකරණ ශ්‍රී ලංකාව සතුව තිබුණ ද ඒ ගැන නිරන්තරයෙන් සෝදිසියෙන් සිටිය යුතු විද්‍යාඥයන් සිය වගකීම පැහැර හැරිම නිසා ජීවිත විනාශය අවම කරගැනීමට තිබුණු හැකියාව ශ්‍රී ලංකාව අහිමි කරගත්තේය.

විපත සිදුවීමෙන් පසුව වුවත් නිසි කළමනාකරණයක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වී ඇති බව ද කිව යුතු ය. විපතට පත්වූවන්ගේ ජීවිත බේරාගැනීමට කඩිනම් හා කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සමත් වී නම් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට තිබුණි.

වගකීමක් නැතිකම, පිළිවෙළක් නැතිකම හා අකාර්යක්ෂමතාව සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය වනුයේ තෙල්වත්තේ සිදුවූ දුම්රීය ඛේදවාචකය යි.

එම දුම්රිය හික්කඩුවේ නවතා ඇති බව හා එහි ගමන් ගත් සියලු මගීන් ආරක්ෂිතව හික්කඩුවේ සිටින බව විද්‍යුත් මාධ්‍ය මගින් රටට කියා සිටියේ ය. එවැනි ප්‍රචාරයකට විද්‍යුත් මාධ්‍ය යොමුවී තිබුණේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විද්‍යුත් මාධ්‍ය අමතා එසේ ප්‍රකාශ කිරීම නිසා ය. එම දුම්රියේ ගමන් ගත් මගීන් ඥාතීන් හා හිතවතුන් කොළඹ දුම්රිය පාලන මැදිරියෙන් කරන ලද විමසීම්වලදි ද පාලන මැදිරියෙන් ලැබී තිබෙන පිළිතුර වී ඇත්තේ දුම්රිය හික්කඩුවේ නවතා තිබෙන බවත් එම දුම්රියේ ගමන් ගත් මගීන් ආරක්ෂිතව හික්කඩුවේ සිටින බවත් ය. ඒ බොරු ප්‍රචාරය නොවන්නට එම දුම්රියේ ගමන් ගත් මගීන්ගේ ඥාති හිතවතුන්ගේ අවධානය එම දුම්රියට කුමක් වී ද යන ප්‍රශ්නය වෙත යොමුවන්නට ඉඩ තිබුණා සේ ම, ඔවුන්ගෙන් එල්ල වන පීඩනය නිසා බලධාරින්ගේ අවධානය එම ප්‍රශ්නය වෙත යොමුවී එම දුම්රියේ හිරවී සිටි විශාල පිරිසකගේ ජීවිත බේරාගත හැකිවන්නට ඉඩ තිබුණි.

අනතුරට පත් දුම්රියට ප්‍රවේශ වූයේ පැය 30කට පසුව ය. දහසකට වැඩි මගීන් පිරිසක් රැගත් දුම්රියක් අනතුරට ලක්වී ඇති බව දැන දැන ම ඒ බව නො සලකා ක්‍රියාකරන තත්ත්වයක් රටේ තිබුණේ නම්, එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නො හැකි ය. ඇතිව තිබූ විපත සමස්ත රාජ්‍යය ම අර්බුදයකට තල්ලු කර තිබුණා විය හැකි වුවත්, එවැනි තත්ත්වයක් ඉදිරියේ පවා රාජ්‍යයක් මීට වඩා කාර්යක්ෂම විය යුතු ය.

මරණයට පත් මිනිසුන්ගේ සිරුරු පිළිබඳ කුමක් කළ යුතු ද යන ප්‍රශ්නයේදි ද ආණ්ඩුවට එම විශේෂ තත්ත්වයට ගැළපෙන යහපත් ප්‍රතිපත්තියක් තිබූ බව පෙනෙන්නට නැත.

මෙවැනි දැවැන්ත සිද්ධියක් සිදුවී සාමාන්‍ය මරණයකදි අනුගමනය කරන ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේ හැකියාවක් නැත. සියලු මළ සිරුරු වීඩියෝ ගත කොට හඳුනා නොගත් සිරුරු ඉක්මනින් වළලන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට ඒවා රෝහල්වලට ගොඩගසා ගෙන කුණුවෙන්නට ඉඩ හරින ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. මළ සිරුරු ඉවත් කෙරෙන කාර්යක්ෂම වැඩපිළිවෙළක් ද ආණ්ඩුව සතු නො වී ය. එය මුල් පැය 48 දී ස්වේච්ඡාවෙන් ඉටුකරගත යුතු කාර්යයක් බවට පත්ව තිබුණි. මියගිය අයගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම අවශ්‍ය වූයේ ඇයිද යන්න තේරුම් ගත නො හැකි ය. මරණකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අනාගතයේ මතුවිය හැකි ගැටලු ඇතත් මරණකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගත යුතු බවට ඇති කරගත් පිළිවෙත නිසා මළ සිරුරු භූමිදානය කොට විනාශ කිරීමේ කාර්ය අනවශ්‍ය ලෙස දිග්ගැසුණු ක්‍රියාදාමයක් බවට පත් කළේ ය. ඇඟිලි සලකුණු ලබාගැනීමේ පිළිවෙත තවදුරටත් වලංගු නැති බව තේරුම් ගත්තේ ඇඟිලි සලකුණු ලබාගැනීමේදි ඇඟිලි ගැලවෙන තත්ත්වයක් ඇතිවීමෙන් පසුව ය.

ආපදා කළමනාකරණය සඳහා ගොඩනගා තිබුණු ජනාධිපති කාර්ය සාධක බලකාය වැනි ආයතන මේ විපතේ දී කිසිම වැදගත් භූමිකාවක් රගපෑ බවක් පෙනෙන්නට නො තිබුණි. යුද්ධයට නැති කඩුව කොස් කොටන්නට දැයි කියන්නාක් මෙන් ආපදාවල දී කිසිවක් නො කරන ආපදා කළමනාකරණ ආයතන පවත්වාගෙන යෑමෙන් ඇති ඵලය කුමක් ද?

මෙම විපතේ දී භූ විද්‍යාව විෂය භාර ආයතන ක්‍රමයෙහි වරදක් වී ඇති ද යන්න ආණ්ඩුව සොයා බැලිය යුතු ය. ඔවුන් නොසැලකිලිමත්ව ක්‍රියාකර ඇත්නම් ඔවුන්ට දඬුවම් කළ යුතු ය. දුම්රිය විපත ගැන ද පරීක්ෂණයක් කළ යුතු ය. එම විපත කෙරෙහි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ හෝ එහි නිලධාරීන්ගේ නොසැලකිලිමත් බව බලපා ඇත්නම් ඔවුන්ට ද දඬුවම් කළ යුතු ය. අනෙක් අතට මේ විපතේ දී රාජ්‍යය රඟපෑ භූමිකාව ගැන ද ආපසු හැරි බැලීමක් කළ යුතු ය. අකාර්යක්ෂමතාවන් කෙරෙහි බලපෑ හේතු හා ඒවාට වගකිවයුතු පුද්ගලයන් කවුද යන්න සොයා බැලිය යුතු ය.