ආණ්ඩුක්‍රමයේ වෙනසක් සඳහා පොදු එකගතාවක්

November 21, 2004
Publication:
Aid pledged at Tokyo depends on peace talks, and the alliance's first budget has been drawn up without the usual IMF support. The editorial warns against playing with the basic law by a bare majority and argues that reform of the executive presidency should come through consensus, which would also bring a more civilised relationship between the parties.

ටෝකියෝ ආධාර සමුළුවෙන් අනුමත වී ඇති ආධාර අවශ්‍ය නම්, සාම කතාවලට යා යුතු බව ජාත්‍යන්තර ප්‍රජාවගේ මතය වී තිබේ. සාම කතා ආරම්භ කිරීමට තමන් සූදානම් බව ආණ්ඩුවේ නායිකාව පුන පුනා ප්‍රකාශ කරමින් තිබුණ ද, සාම කතා ආරම්භ කිරීමට ආණ්ඩුව තුළ තිබිය යුතු පොදු එකගතාව ඇතිකර ගැනීමට ආණ්ඩුව තවමත් සමත් වී නැත. එල්ටීටීඊය කියන්නේ සාම කතා ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව එක හඬින් කතා කරන තත්ත්වයකට පැමිණිය යුතු බව ය. සාම කතාවලට එරෙහිව ජේවීපීය නගන හඬේ සැර බාලවීමක් ඇති බව පෙනෙතත්, අන්තර් පාලන යෝජනා පිළිබඳව එම පක්ෂය දරන දැඩි ස්ථාවරයේ මූලික වෙනසක් ඇතිවී තිබෙන බවක් පෙනෙන්නට නැත. සාම කතා ආරම්භ කරන්නේ නම්, ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහාය දෙන බවට එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර ඇතත්, ජනතා විමුක්ති පෙරමුණේ සහාය අතහැර එක්සත් ජාතික පක්ෂයේ සහාය ඇතිව ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් ද ආණ්ඩුවට නැත.

සන්ධාන ආණ්ඩුවට සිය මංගල අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නට සිදුවී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අයවැයට සාමාන්‍යයෙන් ලැබෙන ආධාර නැතිව ය. එය ස්වශක්තිය මත පිහිටා ඉදිරීපත් කරන අයවැයක් ලෙස ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇතත්, එය මහජනතාව මත බදු බර පටවන අයවැයක් බවට පත්වනු නො වැළැක්විය හැකි ය. ආර්ථිකයේ පවත්නා මෙම අස්ථාවරභාවය රටේ ජීවන බර වර්ධනය කිරීමට හේතුවී තිබේ. උපාධිධාරින් විශාල පිරිසකට දිමනා ලැබෙන ආකාරයේ හෝ අපි රැකියා දුන්නෙමුයි කියන්නට ආණ්ඩුවට හැකියාවක් ඇතත්, ඔවුන්ට ලබාදෙමින් තිබෙන පුහුණුවේ ඵලදායී බවක් ඇති බවක් නම් පෙනෙන්නට නැත.

ඉදිරියේ පෙනෙන අවුල් සහගත තත්ත්වය කෙරෙහි රටේ ආර්ථික ප්‍රශ්න, සාම කතා ආරම්භ කිරීමට ඇති නො හැකියාව පිළිබඳ ප්‍රශ්නය පමණක් නො ව, ජනාධිපතිනිය තමා අවලංගුවීම වළකා ගැනීම සඳහා ක්‍රමය වෙනස් කරගැනීමට දරන උත්සාහයන් ද බලපානු ඇති බව පෙනෙන්නට තිබේ.

රටේ මූලික නීතිය සමග සෙල්ලම් කරන්නට යෑම භයානක ය. ව්‍යවස්ථාවක් වෙනස් කළ යුතු නම්, එය කළයුත්තේ පොදු එකගතාවකින් යුතුවය. පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් ව්‍යවස්ථාව වෙනස් කරන සම්ප්‍රදායක් ඇති කළහොත් එය ඉතාමත් නරක පූර්වාදර්ශයක් වනු නො අනුමාන ය.

ජනවාර්ගික ප්‍රශ්නයට පිළිගත හැකි විසඳුමක් ඇති කර ගන්නා තෙක් ක්‍රමය මුළුමනින් වෙනස් කරන තැනකට යනවාට වඩා දැන් පවතින විධායක ජනාධිපති ක්‍රමයේ අයහපත් අංග ඉවත් කරන ප්‍රතිසංස්කරණ සඳහා පොදු එකගතාවක් ඇතිකර ගැනීම මගින් ගැටුමක් ඇතිවන තත්ත්වයක් ඇතිවීම වැළකිය හැකි ය.

විධායක ජනාධිපති ක්‍රමය තුළ විධායක ජනාධිපතිවරයාට හිතුවක්කාරි ලෙස ක්‍රියාකිරීමට ලැබී තිබෙන බලය ඉවත් කළ හැකි ය. ඒ සඳහා මුක්තිය ඉවත් කළ හැකි අතර, පාර්ලිමේන්තුවේ නිල කාලය එක් වසරක් සම්පූර්ණවීමෙන් පසුව හිතුවක්කාරි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ඉවත් කළ හැකිවා සේ ම, කැබිනට් මණ්ඩලය පත් කිරීමේ බලය ජනාධිපතිගෙන් ඉවත් කොට එය අගමැති විසින් තීරණය කළ යුතු දෙයක් බවට පත් කළ හැකි ය. මේ සියලු දේට අතිරේක වශයෙන් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කර තිබෙන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ශක්තිමත් කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කළ හැකි ය. මේ සියලු වෙනස්කම් ඇති කරන අතර, අවශ්‍ය නම් ජනාධිපතිනියට නැවත තරග කළ හැකි තත්ත්වයක් ද ලබාදිය හැකිය.

එවැනි ප්‍රතිසංස්කරණ මගින් ආණ්ඩු ක්‍රමය වඩා ශිෂ්ටසම්පන්න තත්ත්වයකට ගෙන ආ හැකි අතර, දේශපාලන පක්ෂ අතර, සංහිඳියාවකින් ක්‍රියා කරන තත්ත්වයක් ද ඇති කළ හැකි ය.