මහා භාරකාර තනතුර හොබවන සරත් සෙනෙවිරත්න“රාවයේ” හෙළිදරව් කිරිම් ගණනාවකට බඳුන් වූ පුද්ගලයෙකි. “රාවයේ” මතය අනුව මහා භාරකාර තනතුර ඉතා බලවත් හා ගරු කටයුතු තනතුරක් වුවත්, ඒ තනතුර හොබවන සරත් සෙනෙවිරත්න අංක එකේ තක්කඩියෙක් හෙවත් පල් හොරෙකි.
පසුගිය ඉරිදා “දිවයින” පුවත්පත ද (2003 සැප්. 07) “මහා භාරකාර දෙපාර්තමේන්තුව ආක්රමණය කර බුදු දහම වැනසීමේ කුමන්ත්රණය” යන තේමාව යටතේ මහා භාරකාරයා පිළිබඳව එක් පිටුවක ලිපියක්, පත්තරයක වැදගත්ම පිටු දෙකෙන් එකක් ලෙස සැලකෙන කර්තෘ වාක්ය පළ කෙරෙන පිටුව සමග ඇති අනෙක් පිටුවේ පළකර තිබුණි. එම ලිපිය ලියා තිබුණේ මනෝජ් අබේදිර යන නමිනි. ඒ ලිපියට ලබාදි තිබුණු වැදගත්කම අනුව ලිපියේ පළවෙන අදහස් කර්තෘ අදහස හා පුවත්පතේ නිල අදහස ලෙස ද සැලකිය හැකිය.
“රාවය” අංක එකේ හොර තක්කඩියෙකු ලෙස විග්රහ කරන, මහා භාරකාර ධුරය හොබවන පුද්ගලයා “දිවයින” පුවත්පත චිත්රවත් කර තිබුණේ බෞද්ධයින්ට සිටින ආගමික අර්ථයෙන් ඉතාම වැදගත් හා ගරු කටයුතු පුද්ගලයෙකු ලෙසය. මහා භාරකාර සෙනෙවිරත්නට පහරදිමේ වැඩපිළිවෙළ විග්රහ කර තිබුණේ බෞද්ධ විරෝධී ක්රිස්තියානි ආක්රමණකාරි වැඩපිළිවෙළක් ලෙසය. මේ ලිපියේ කොතැනකවත් “රාවයේ” නම සඳහන් නොවූවත් එය අනියම් ආකාරයකින් කියන්නට උත්සාහ දරා තිබුණේ “රාවය” ක්රිස්තියානි පල්ලියේ හස්තයක් බවයි. ක්රිස්තියානි පල්ලියේ වුවමනාව මත මේ ගරු කටයුතු සැදැහවත් බෞද්ධයාට බොරු චෝදනා මත පිහිටා “රාවය” පහර දෙන බවය.
“දිවයින” පුවත්පත ආගමික පුවත්පතක් දැයි අපි නොදනිමු. ආගමික පුවත්පතක් නම් එය ආගමානුකූලව ක්රියාකරන සැදැහැවත් පුවත්පතක් විය යුතුය. එහෙත් “රාවය” කිසිම ආගමකට අයත් නැති අනාගමික පුවත්පතකි. එය කිසියම් ආගමික විශ්වාසයක් මත පදනම් වී එය සමාජය දෙස හෝ සමාජයේ සිදුවන දේවල් දෙස බලන්නේ නැත. එසේම එය ආගම් සමග රණ්ඩුවට යන හෝ ආගමික විශ්වාසයන්ට එරෙහිව යන පුවත්පතක් ද වන්නේ නැත.
එය බලවත් තනතුරු දරන පුද්ගලයින් වැරදි කරන අවස්ථාවලදි ඔවුන් හෙළිදරව් කරන්නේ හෝ ඔවුන් විවේචනය කරන්නේ ආගමික පදනමක් මත පිහිටා හෝ ආගමික කෝණයකින් නොවේ. “රාවයේ” හෙළිදරව් කිරිම්වලට ලක්වූ හා දැඩි විවේචනයන්ට ලක්වූ අය විවිධ ආගම්වලට අයත්ය. ආගම අනුව නම් මහා භාරකාරයා බෞද්ධයෙකි. අගවිනිසුරුවරයා ද බෞද්ධයෙකි. මහේස්ත්රාත් ලෙනින් රත්නායක ද බෞද්ධයෙකි. “රාවයේ” දැඩි විවේචනයන්ට ලක්වූ අන්ය ආගම්වලට අයත් අය ද සිටිති. හිටපු දුම්රිය සාමාන්යාධිකාරී වැක් සිල්වා කතෝලිකයෙකි. සඳරේඛා දූෂණ සිද්ධියේදි “රාවයේ” දැඩි විවේචනයට ලක්වූ විශ්රාමලත් පොලිස් අධිකාරී එල්ස්ටර් පෙරේරා ද කතෝලිකයෙකි. සමහර පන්සල්වල භික්ෂූන් වහන්සේලා “රාවයේ” විවේචනයට ලක්ව තිබෙනවා සේම, ක්රිස්තියානි පල්ලි හා කන්යාරාමවල පූජකවරු හා පූජකවරියන් ද “රාවයේ” විවේචනයට ලක්වී තිබේ. සඳරේඛා සිද්ධියේදි සඳරේඛාට රැකවරණය ලබාදෙමින් එල්ස්ටර් පෙරේරාගේ ආරක්ෂාව වෙනුවෙන් අභූත කතාවක් ඉදිරියට ගැනීම පිණිස ක්රියාකළ එම කන්යාරාමය බාරව ක්රියාකළ ප්රධාන පූජකවරිය ද “රාවයේ” දැඩි විවේචනයට හේතුවිය.
වාර්ගිකත්වය අනුව රටේ ජනගහනයෙන් බහුතරයක් සිංහලයින්ය. ඒ නිසා විවේචනයට ලක්වන්නන්ගෙන් වැඩි පිරිසක් සිංහලයින් වීම ස්වාභාවිකය. ඒ කරුණු මත පදනම් වී “රාවය” සිංහල විරෝධී පුවත්පතක් ලෙස විග්රහ කළ නොහැකිය. ආගම අනුව ජනගහනයෙන් බහුතරයක් බෞද්ධ ද, කුලය අනුව ගොවිගම ද වේ. ඒ අර්ථයෙන් විවේචනයට ලක්වන පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් ආගම අනුව බෞද්ධ ද, කුලය අනුව ගොවිගම ද විය හැකිය.
බෞද්ධ ආගමට එරෙහිව ක්රියාත්මක වන ක්රිස්තියානි හා අන්ය ආගමික සංවිධාන රටේ ඇති බව අපි ප්රතික්ෂේප නොකරමු. ආර්ථික බලය මත පදනම් වී දුප්පත් ජනයා සිය ආගම්වලට හරවා ගන්නා ව්යාපාරයක් ද රටේ පවතී. එය හොඳ හෝ හරි දෙයක් ලෙස අපි නොසලකමු.
මේ සියල්ලටම අතිරේකව ගරු කටයුතු හෝ බලවත් තනතුරුවල සිටින ඇතැම් පුද්ගලයින් තක්කඩින් බව හෙළිදරව් කරන අවස්ථාවලදි ඒ තක්කඩින් රැකීම වෙනුවෙන් පෑන හසුරුවන, ඒ මගින් විවිධ ඵල ප්රයෝජන ලබන ජනමාධ්යවේදින් සේ ම ජනමාධ්ය ආයතන ද රටේ තිබෙන්නේය.
මේ රට මේ තරම්ම කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටීම කෙරෙහි බලපා තිබෙන එක් ප්රධාන හේතුවක් වී තිබෙන්නේ ද එයයි. මහජනයා බලයට පත් කරන ආණ්ඩුවල ක්රියාකාරිත්වයේ හොඳ නරක හා රාජ්ය නිලධාරින්ගේ ක්රියාකාරිත්වයන්ගේ හොඳ නරක මහජනයාට දැනුම් දිමේ වගකීම පැවරි තිබෙන්නේ ජනමාධ්යවලට හා ජනමාධ්යවේදින්ටය. ඉතා දියුණු රටවලදි පමණක් නොව, අසල්වැසි ඉන්දියාවේ පවා කිසියම් ජනමාධ්යයක් විසින් බලවත් වරදක් පිළිබඳව කරන හෙළිදරව්වකදි අනෙක් ජනමාධ්යය ද ඊට එකතු වී වරද කරන පුද්ගලයාට එරෙහිව සාමූහිකව ක්රියාකරන තත්ත්වයක් පවතී.
එහෙත් අපේ රටේ ක්රියාත්මක වන ජනමාධ්ය සංස්කෘතිය ඊට වෙනස්ය. කිසියම් ජනමාධ්යයක් බලවත් වරදක් හෙළිදරව් කරන අවස්ථාවකදි සමහර ජනමාධ්ය, ඒක අපේ දෙයක් නොවේය. කියන හැගීමකින් නිහඬව බලා සිටින විට, තවත් සමහර ජනමාධ්ය වරද කළ පුද්ගලයා ආරක්ෂා කිරීම පිණිස ක්රියාකරන්නේය. “දිවයින” පුවත්පත සිටින්නේ ද මෙම ප්රවණතාවයේ බව කණගාටුවෙන් වුව ද කිව යුතුය.
දුම්රිය සාමාන්යාධිකාරී වැක් සිල්වා පිළිබඳ ආරාවුලේදි ද “දිවයින” පෙනී සිටියේ වැක් සිල්වාගේ ආරක්ෂාව වෙනුවෙනි.
ලෙනින් රත්නායක සිද්ධියේදි “දිවයින” පුවත්පත එම තක්කඩි ස්ත්රී දූෂක මහේස්ත්රාත්වරයා ආරක්ෂා කිරීමට උත්සාහ කළේ ද ඔහු ඉතාමත් භක්තිමත් බෞද්ධ විනිශ්චයකාරවරයෙකු වේය යන තේමාව මුල් කරගෙනය.
ලෙනින් රත්නායක අතින් දූෂණය වී තිබුණේ ද සිංහල බෞද්ධ කාන්තාවන් දෙදෙනෙකි. ඒ ප්රශ්නයේදි මෙම ස්ත්රී දූෂක මහේස්ත්රාත්වරයා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ කිසිම ජනමාධ්යයක් (“දිවයින” පමණක් නොව, “ලංකාදිප” පුවත්පත, “සිරස” ගුවන් විදුලිය හා “සිරස” රූපවාහිනිය, රූපවාහිනී සංස්ථාව හා ස්වාධීන රූපවාහිනිය) ඇත්තටම මෙම මහේස්ත්රාත්වරයා අතින් ඒ ස්ත්රීන් දෙදෙනා දූෂණයට ලක්වීද යන කරුණවත් නොසොයා දිගින් දිගට ඔහු ආරක්ෂා කරන ප්රතිපත්තියක පිහිටා ක්රියා කළේය. “දිවයින” එදා එම තක්කඩි මහේස්ත්රාත්වරයා වෙනුවෙන් නගන ලද හඬේ ස්වරය දැන් මහා භාරකාරයා වෙනුවෙන් නගන හඬේ ස්වරයට සමානය. “දිවයින” ඔහුගේ චරිතය චිත්රවත් කළේ ද බුදුදහම මත පදනම් වී ක්රියාකරන, හතර පෝයටම සිල්ගන්නා ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙකු ලෙසය.
අවසානයේ ලෙනින් රත්නායකට එරෙහිව “රාවය” දිගින් දිගට එල්ල කරන චෝදනා විභාග කිරීම පිණිස අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රි පුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත්කිරීමට අධිකරණ සේවා කොමිසමට සිදුවිය. ඒ තිදෙනාම සිංහල බෞද්ධ විනිශ්චයකාරවරුන් වනවා පමණක් නොව, දැන් ඔවුන් ඉන්නේ ශ්රේෂ්ඨාධිකරණයේය.
“දිවයින” පුවත්පතට සිංහල බෞද්ධ ධර්මිෂ්ඨ විනිශ්චයකාරවරයෙකු ලෙස පෙනුණු ලෙනින් රත්නායක ගෙන් දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනා ද මෙම ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි දුන්නේය. ස්ත්රී දූෂක මහේස්ත්රාත්වරයා ද සාක්ෂි දුන්නේය. ත්රි පුද්ගල පරික්ෂණ කමිටුව “රාවය” එල්ල කළ චෝදනා හතරටම ලෙනින් රත්නායක වරදකරු කළ පසුව එතෙක් ඔහුට පන්දම් ඇල්ලු අනෙකුත් සියලු ජනමාධ්ය කට පියාගත්තත්, ඉන්පසුත් “දිවයින” පුවත්පත මෙම ස්ත්රී දූෂකයා වෙනුවෙන් පෙනී සිටින්නට උත්සාහ කළේය.
සඳරේඛා සිද්ධියේදි සමහර ජනමාධ්ය හැසුරුණු ආකාරය ද බොහෝ දුරට ඊට සමානය. කන්යාරාමයේ රඳවාගෙන සිටි සඳරේඛා, කන්යාරාමය භාරව ක්රියා කළ කන්යා සහෝදරියකගේ මග පෙන්වීම මත, තමා දූෂණය කළේ එල්ස්ටර් පෙරේරා විසින් නොව, සිය පියා විසින් බවට පාපොච්චාරණයක් කළ අවස්ථාවේදි “ලංකාදිප” පුවත්පත එම පාපොච්චාරණය අළලා මිනිසුන් හඬවන මාදිලියේ දිර්ඝ ලිපියක් පළ කළේය. එම හැගීම්බර උද්වේගකර ලිපියෙන් ජනයාට දෙන ලද පණිවුඩය වූයේ, පුවත්පතක් විසින් වැදගත් හා ප්රයෝජනවත් පුරවැසියකු මරා ගත්තේය යන්නයි.
එහෙත් ඒ පාපොච්චාරණයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳරේඛා එම කන්යාරාමයෙන් ඉවත් කොට ආණ්ඩුවේ ළමා නිවාසයක රඳවා පරීක්ෂණයක් කළේය. පරීක්ෂණය බාරව ක්රියා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහේෂ් පෙරේරා මහතාය. පරීක්ෂණයේ නිගමනය වූයේ කන්යාරාමයේ මව්තුමිය එල්ස්ටර් පෙරේරාගේ බිරිඳට තිබුණු සමීප සම්බන්ධකම් මත එල්ස්ටර් පෙරේරාගේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් කතාවක් හදා එය සඳරේඛා ලවා පාපොච්චාරණයක් ලෙස ඉදිරිපත් කර තිබෙන බවය. ඉන්පසු එය “ලංකාදිපය” වාර්තා කර තිබුණේ ඉතා නොවැදගත් පුංචි පුවතක් ලෙසය.
ඊළගට අගවිනිසුරුවරයා ආශ්රයෙන් අධිකරණයේදි මතුවූ අර්බුදයේදි ජනමාධ්ය හැසුරුණේ ද ඒ සමාන ආකාරයකට ය. එවැනි අර්බුදයක් මතුවීම ජනමාධ්ය ආයතනවල කණස්සල්ලට හේතුවූයේ නැත. ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මගුල්ය. බොහෝ ජනමාධ්යවල අයිතිකරුවන් මෙම අර්බුදය උපරිම ලෙස සිය වාසියට යොදා ගත්තේය. නඩු හබ ඇති අය අගවිනිසුරුවරයා පුම්බන ප්රතිපත්තියක් ඔස්සේ පස්සා දොරෙන් ගනුදෙනු කරන පිළිවෙතකට ගියේය. සමහර ජනමාධ්යවේදින් ද තමන්ගේ පුද්ගලික ප්රශ්න විසඳ ගැනීමට මේ අවුල උපරිම ලෙස ප්රයෝජනයට ගත්තේය. “දිවයිනේ” බූදල් නඩුව ඇසුණේ ද අගවිනිසුරු ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. අගවිනිසුරුගෙන් උදව් අවශ්ය අයට හිතේ හැටියට උදව් ලබාගත හැකි තත්ත්වයක් එම අර්බුදය ඇති කළේය.
අගවිනිසුරුට අවශ්ය වූයේ ද තවදුරටත් අවශ්ය වී තිබෙන්නේ ද තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කෑගසන්නට සූදානම් පිරිසකි. මේ මොහොතේ තමාට උදව් කරන්නට කැමති හැම කෙනෙකුටම පෙරළා උදව් කරන්නට අගවිනිසුරු ද කැමතිය. මේ පෙරහැරට එකතු වී පස්සා දොරෙන් ගනුදෙනු බේරාගත් හා වරප්රසාද ලබාගත් අය බොහෝය. ඒ පෙරහැරේ නීතිඥයින්ට අතිරේකව සමහර ජනමාධ්ය ආයතනවල අයිතිකරුවන් ද, ජනමාධ්යවේදින් ද සිටින්නේය. තුවාල කුණුවී සැරව ගැලීම ඉහඳ පණුවන්ට හොඳය. ඒවා ඉහඳ පණුවාගේ රස ආහාරය.
“දිවයින”ට මහා සිංහල බෞද්ධ වීරයෙකු ලෙස පෙනෙන මහා භාරකාර සරත් සෙනෙවිරත්න අපට අංක එකේ හොර තක්කඩියෙකු ලෙස පෙනෙන්නේ ඇයි ද යන්න දැන් අපට මෙසේ විග්රහ කළ හැකිය.
ඔහු අධිකරණ සේවයට ආවේ 1987දිය. ඔහු නීති විද්යාලයෙන් ලබාගත් සමාර්ථය ද පරික්ෂාවට ලක්විය යුතු ප්රහේළිකාවකි. ඔහු විනිසුරුවරයෙකු ලෙස ගම්පහ සේවයේ නිරතවී සිටි කාලයේ වටිනා නඩු භාණ්ඩ සොරකම් කළේය. අල්ලස් ගත්තේය. මේ සිද්ධීන් ගැන ලැබුණු පැමිණිලි නිසා එවකට අගවිනිසුරුධුරය හෙබවූ පාලින්ද රණසිංහ මහතාට මේ පුද්ගලයා පිළිබඳව පරික්ෂණයක් පැවැත්වීමට සිදුවිය. මේ පරික්ෂණය භාරව ක්රියා කළේ මේ වනවිට අධිකරණ සේවයෙන් විශ්රාම ගෙන සිටින ලෙස්ලි අබේසේකර මහතාය.
එවකට අධිකරණ සේවා කොමිසමේ ලේකම් වශයෙන් ක්රියා කළේ ලාල් පිරිස්ය. ඔහු ද අංක එකේ තක්කඩියෙකි. ආරක්ෂාව සඳහා සිය රට අතහැර පලාගිය පුද්ගලයෙකි. සරත් සෙනෙවිරත්නට ලාල් පිරිස් සමග සමීප සම්බන්ධයක් තිබුණි. ඔහු පිළිබඳව කර තිබෙන පරීක්ෂණයේ නිගමන ඔහුගේ වාසියට හේතු නොවන නිසා අධිකරණය අතහැර වෙනත් තැනකට පලායන ලෙස ඔහුට උපදෙස් ලැබුණේ ලාල් පිරිස්ගෙනි. ඔහු අධිකරණයෙන් පලවා හරින්නට පෙර අධිකරණය අතහැර, නෙළුම් ගමගේ ආශ්රයෙන් අල්ලස් කොමිසමේ අර්බුදයක් ඇතිවී තිබුණු අවස්ථාවේදි දේශපාලන අනුග්රහය මත අල්ලස් කොමිසමට පැන ගත්තේය. ඉන්පසු මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැන ගත්තේය.
ඔහු නියෝජ්ය මහා භාරකාර තනතුරේ සිටියදිම අයථා ලෙස මුදල් හරිහම්බ කිරීමට සිය නිල බලය යොදාගත්තේය. ඒ සඳහා දැක්විය හැකි කදිම නිදර්ශනයක් සහිත කතාවක් මේ ලිපියේම අන් තැනක පළ කර තිබේ.
මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු ධනය අතිවිශාලය. ඉන් බොහොමයක් ජීවතුන් අතර සිටින පුද්ගලයන්ගේ ධනය නොව, මියගිය පුද්ගලයන් විසින් සමාජ සේවා කටයුතුවලට පාවිච්චි කිරිමේ අරමුණ ඇතිව දෙපාර්තමේන්තුවට පවරා දෙන ලද ධනය වේ. මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ තිබෙන භාර ගණන 750කි. බූදල් ගණන 200කි.
මේ භාර හා බූදල්වල තිබෙන ධනය අතිවිශාල වන අතර, සමරකෝන් බූදලය සතු තැන්පත් ධනය පමණක් රුපියල් ලක්ෂ 1350කි. මේ බූදල්වලට අතිරේකව විදේශ සේවයේ යෙදි සිටියදි මියයන අය වෙනුවෙන් ගෙවන වන්දි මුදල් ලැබෙන්නේ ද මහා භාරකාර දෙපාර්තමේන්තුවටය. එක වර්ෂයකට වන්දි වශයෙන් ලැබෙන මුදල් ප්රමාණය පමණක් ලක්ෂ 200කටත් අධිකය. වන්දි මුදල් සඳහා හිමිකරුවන් ඉදිරිපත් වන තෙක් බැංකුවක තැන්පත් කොට ඒවා ආරක්ෂා කිරිමේ වගකීම පැවරි ඇත්තේ ද මහා භාරකාර දෙපාර්තමේන්තුවටය.
මහා භාරකාරයා තමන් යටතේ තිබෙන මෙම අනුන්ගේ ධනය අයථා ලෙස පරිහරණය කරමින් සිටිනවා පමණක් නොව, තෝරාගත් ඇමතිවරුන් කිහිපදෙනෙකුට දෙපාර්තමේන්තුවෙන් කප්පම් ගෙවන ප්රතිපත්තියක් අනුගමනය කරයි. ඒ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් වන අවස්ථාවලදි තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහාය. මහා භාරකාර දෙපාර්තමේන්තුව එවැනි දේශපාලකයින්ට හිතේ හැටියට සිය දේශපාලන කටයුතු සඳහා ආධාර ලබාගත හැකි නිධානයකි. ඒ වෙනුවෙන් ඔවුන් කළ යුතුව තිබෙන එකම දේ මහා භාරකාරයාට එරෙහිව ප්රශ්න ඇතිවන අවස්ථාවලදි ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීම පමණය. ඒ කාර්ය වෙනුවෙන් පමණක් දේශපාලකයෙකුට ඔහුගෙන් ලබාගත හැකි කප්පමේ ප්රමාණය ද අතිවිශාලය.
මහා භාරකාරයා අනුන්ගේ මුදල් ධනය උලාකන අංක එකේ හොර තක්කඩියෙකු බව සනාථ කිරීම සඳහා අපට දැක්විය හැකි සරල නිදර්ශන කිහිපයක් මෙසේය.
ඔහු එකවිට නිල රථ හතරක් පරිහරණය කරයි.
ඒවායේ අංක මෙසේය. 65-0763 දරන පැජරෝ රථය. 13-1571 දරන බෙන්ස් රථය (මෙය හිටපු අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා මහතා නිල උත්සව කටයුතු සඳහා පාවිච්චි කළ බෙන්ස් රථයයි.) 64-3490 දරන පැජරෝ රථය හා 32-5240 දරන පැජරෝ රථය.
මේ වාහන නඩත්තුව සඳහා කර තිබෙන වියදම් පුදුම උපදවන සුළුය.
අංක 65-0763 දරන පැජරෝ රථයට අදාළව 2000 ජූනි 29 වැනිදා සිට 2000 සැප්තැම්බර් 25 වැනිදා දක්වා ඔහු මාස තුනක කාලයක් වෙනුවෙන් කර තිබෙන වියදම් මෙසේය.
ජූලි 28-ටයර් 05ක් දැමීම සඳහා
වියදම රු. 58,000.00
අගෝස්තු 11-වායුසමීකරණය
අලුත්වැඩියා කිරීම සඳහා
වියදම රු. 78,500.00
සැප්. 25-අලුත්වැඩියා කිරීම සඳහා
වියදම රු. 16,700.00
එම වාහනය සඳහා මාස 3ක නඩත්තු වියදම (ඉන්ධන වියදම් හැර ) රුපියල් 325095කි.
ජූනි 29 වැනිදා ටයර් දැමූ වාහනයට ජූලි 28 වැනිදා තවත් ටයර් 05ක් දමා තිබේ. මුලින් දැමූ සියලු ටයර් ගෙවෙන්නට ගතවී තිබෙන කාලය දින 30කටත් අඩුය. වාහනයක වායුසමීකරණයක් අලුත්වැඩියා කිරීමට යා හැකි උපරිම වියදම රු. 15,000කි. එහෙත් වායුසමීකරණය අලුත්වැඩියා කිරීම සඳහා පමණක් වැය කර තිබෙන මුදල රු. 78,000කි. ඒ මුදලින් අලුත්ම වායුසමීකරණ එකක් නොව දෙකක්ම සවිකළ හැකිය. මේ වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇත්තේ ද මහා භාරකාරයාය. ඒවාට මුදල් ලබාගෙන ඇත්තේ ද මහා භාරකාරයාය.
64-3490 දරන 2 වැනි වාහනයට 2000 මාර්තු 30 සිට 2000 සැප්. 29 වැනිදා දක්වා වැය කර තිබෙන නඩත්තු වියදම් මෙසේය. රුපියල් 1,912,500.00කට එම වාහනය අලුතෙන්ම මිලදි ගෙන ඇත්තේ 2000 මාර්තු 30 වැනිදාය. වවුචර අංක 3694 අනුව (දිනය පැහැදිලි නැත.) එම වාහනයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කර තිබෙන වියදම රුපියල් 75,000කි. වවුචර අංක 3730 යටතේ (නැවත දිනය පැහැදිලි නැත.) අලුත්වැඩියා කටයුතු සඳහා කර තිබෙන වියදම රු. 7700කි. ඉන්පසු මාර්තු 30 වැනිදා අලුතෙන් මිලදි ගත් රථයට ජූනි 12 වැනිදා අලුත් ටයර් 05ක් සවිකරයි. (මහා භාරකාරයා පදවන රථවල ටයර් ගෙවෙන්නේ අව් රශ්මියට චොක්ලට් දියවෙන තරම් වේගයකිනි.) ඒ සඳහා වැයකර තිබෙන වියදම රු. 62,425.00කි. ඉන්පසු මාර්තුවලදි අලුතෙන් මිලදි ගත් වාහනය එම වසරේම සැප්. 29 වැනිදා විශාල අලුත්වැඩියාවක් කරයි. ඒ වෙනුවෙන් වැය කර තිබෙන මුදල රුපියල් 338,101.87කි. (වවුචර් අංක 3913) ඒ අනුව මාර්තු 30 වැනිදා අලුතෙන් මිලදි ගත් එම රථය වෙනුවෙන් සැප්. 29 වැනිදා දක්වා වන මාස 06 සඳහා නඩත්තු වියදම (ඉන්ධන ගාස්තු නැතිව) රුපියල් 493,226.87කි.
මහා භාරකාරයා පරිහරණය කරන තුන්වැනි රථය වන අංක 13-1571 දරන, හිටපු අගවිනිසුරු උත්සව සඳහා පරිහරණය කරන ලද බෙන්ස් රථය සඳහා මාස 04ක කාලයක් තුළ කර තිබෙන වියදම මෙසේය.
2000 ජූනි 13 වැනි දින එම බෙන්ස් රථය අලුත්වැඩියා කිරීම සඳහා වැය කර තිබෙන මුදල රුපියල් 311,153.62කි. සාමාන්යයෙන් හොඳ බෙන්ස් රථයක ලොකු අලුත්වැඩියාවක් සඳහා බෙන්ස් සමාගමට මිස එහෙ මෙහෙ තිබෙන ගරාජයකට දෙන්නේ නැත. එහෙත් මහා භාරකාරයා මේ අලුත්වැඩියාවන් කරගෙන තිබෙන්නේ බෙන්ස් සමාගමෙන් නොව, කොහේදෝ තිබෙන ගරාජයකිනි. ඉන්පසු එම වසරේම ඔක්තෝබර් 19 වැනි දින එම රථයට අලුත් ඩීසල් එන්ජිමක් තැබීම පිණිස කර තිබෙන වියදම රුපියල් 352,314.00කි. සාමාන්යයෙන් බෙන්ස් රථයක් හදන්නේ මුළු ජීවිත කාලයක්ම පාවිච්චි කරන්නටය. අනෙක් අතට අලුත් බෙන්ස් ඩීසල් එන්ජිමක් එහෙ මෙහෙ තිබෙන ගරාජ් වලින් මිලදි ගත නොහැකිය. ඊළග කාරණය වන්නේ එවැනි මිලකට අලුත් බෙන්ස් එන්ජිමක් මිලදි ගත හැකිද යන්නයි. ඊළග කාරණය පැරණි බෙන්ස් එංජිමට කුමක් කළේද යන්නයි.
මේ ගරු කටයුතු තනතුරේ සිටින මිනිසාගේ නීච තත්ත්වය සනාථ කරන තවත් උදාහරණයක් මෙසේය. ඔහුගේ දියණියන් දෙදෙනාම අධ්යාපනය ලබන්නේ කොළඹ විශාකා විද්යාලයේය.
මහා භාරකාර අරමුදලේ තිබෙන ධනයෙන් විශාකා විද්යාලයට කර තිබෙන වියදම් මෙසේය.
විදුහල්පතිනියට තායිවානයේ
නාට්ය උලෙළකට සහභාගිවීම සඳහා
(14.12.2000) රු. 15,000.00
විදුහලට අවශ්ය උපකරණ සඳහා
(17.02.2000) රු. 58,684.00
විදුහලට අවශ්ය පිගන් කෝප්ප සඳහා
(17.02.200) රු. 48,812.12
විදුහලට අවශ්ය උපකරණ සඳහා
(17.02.2000) රු. 35,000.00
ඔහුගේ නීචභාවය සඳහා මෙහි දක්වන අවසන් නිදර්ශනය මෙසේය.
මහා භාරකාරයා මහා භාරකාර දෙපාර්තමේන්තුව සතුව තිබූ ලක්ෂ 1312ක් ප්රමුඛ බැංකුවේ තැන්පත් කොට ප්රමුඛ බැංකුවෙන් රුපියල් 1914525ක අල්ලසක් ලබාගත්තේය. එම තැන්පත් මුදලින් කොටසක් සමරකෝන් බූදලයට අයත් රෙජිලේල් වත්ත විකිණීමෙන් ලබාගත් මුදල්ය. තවත් ලක්ෂ 181ක් දළදා මාළිගාවේ මුදල්ය. මහා භාරකාරයාගේ මේ තක්කඩිකම ගැන කරුණු දැනගැනීමට “දිවයින”ට අවශ්ය නම්, නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් සී.ආර්. ද සිල්වා මහතාට කතා කළ හැකිය. හැකි නම් ඒ ගැන පරික්ෂණය මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරික්ෂක අම්පාවිල මහතාට කතා කළ හැකිය.
සමරකෝන් භාරයේ එක් අරමුණක් වනුයේ දෑවැදි මුදල් නැති දුප්පත් ගැහැණු ළමුන්ට විවාහ වන අවස්ථාවලදි දෑවැදි මුදල් ලබාදිමය. එම ලක්ෂ 950 ස්ථිර තැන්පතුවක දැමී නම් ඉන් ලැබෙන පොලියෙන් පමණක් වසරකට දුප්පත් තරුණයන් 950කට රුපියල් 10,000ක මුදලක් දෑවැදි මුදල් වශයෙන් ලබාදිය හැකිය.
“දිවයින” සිය ලිපියෙන් අධිකරණ සේවා කොමිසම මගින් වැඩතහනමකට ලක් කොට සිටි දූෂිත පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි නියෝජ්ය මහා භාරකාර එෆ්.ආර්. ප්රනාන්දුපුල්ලේ ගැන මහා භාරකාරයාට පහර දෙන පුවත්පත් කතා නොකරන්නේ ඇයිද යන ප්රශ්නය ද විමසා තිබුණි. “දිවයින”ට එය අලුත් කතාවක් විය හැකි වුවත්, අපි ඒ ගැන ලියා ඇත්තේ මීට වසර කිහිපයකට ඉහතදිය. දූෂණ චෝදනා මත වැඩ තහනම් කළ අධිකරණ නිලධාරියකු නියෝජ්ය මහා භාරකාර ධුරයට එන්නට ලැබුණේ කෙසේද යන්න දැනගත යුතුව ඇත්තේ “දිවයිනේ” අතිජාත මිත්රයා වී සිටින සරත් නන්ද සිල්වා ගෙන්මය.
තක්කඩින් රකින ජනමාධ්ය සම්ප්රදායක් ඇති රටකට සුගතියක් තිබිය හැක්කේ කෙසේද?
රාවය කර්තෘ
ජූනි 26 වැනි දින –
අලුත්වැඩියා කිරීම සඳහා
වියදම රු. 120,195.75
මේ නඩුවේ තුන්වැනි විත්තිකාරයා මහා භාරකාරයාය. 2 වැනි විත්තිකරු නීතිඥයකු වන අතර, ඔහු මහා භාරකාරයාගේ මස්සිනාය. ගම්පහ දිසා අධිකරණයේ පවරා ඇති මේ නඩුවේ (අංක 3685/SPC) පැමිණිලිකරු කොළඹ නගරයේ ව්යාපාරිකයෙකි.
ගම්පහ දිසා අධිකරණයේදිය එම්.ආර්. යෝගරත්නම්, මෙතොදිස්ත මධ්යම ගොඩනැගිල්ල, 253/ඒ/1/6 ගාලුපාර,කොළඹ -03
නඩු අංකය: 3685/ SPC පැමිණිලිකරු එදිරිව 1. ආර්.එම්.පී. ධර්මවර්ධන නීතිඥ, පමුණුවත්ත, මීරිගම.
2. දුවමළලගම පිය විසුද්ධි තෙර, හෙවත් ළමා හේවගේ පියල් ශාන්ත අංක 169, ගාලුපාර, දෙහිවල, දැනට පදිංචිය සුභද්රරාමය,
කොග්ගල.3. එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න, මභා භාරකාර දෙපාර්තමේන්තුව, අංක 2, බුලර්ස් පටුමග, කොළඹ 07.
විත්තිකරුවෝ
1998 ක් වූ දෙසැම්බර් මස 14 වැනි දිනදිය
ඉහත නම සඳහන් පැමිණිලිකරු සිය නීතිඥ ආර්.එම්. ඉමිතියාස් මහතා මගින් පෙනී සිටිමින් සිය පැමිණිල්ලෙන් ප්රකාශ කර සිටින වග නම්:-
1. 1 වෙනි විත්තිකරු පදිංචිව සිටින්නේ මෙම අධිකරණයේ බල සීමාව තුළ වන අතර, මින් මතුවට විස්තර කෙරෙන නඩු නිමිත්ත හට ගන්නේ මෙම අධිකරණයේ බල සීමාව තුළ වන මීරීගම පමුණුවත්තේ හා කොළඹදිය.
2. පැමිණිලිකරු කොළඹ 03 මෙතෝදිස්ත මධ්යම ගොඩනැගිල්ලේ පිහිටි “බ්ලු ලයින් සින්ඩිකේට්” යන ව්යාපාර නාමය යටතේ යතුරු පැදි අමතර කොටස් හා උපාංග ආනයනය කිරිමේ හා බෙදාහැරිමේ යෙදි සිටින ව්යාපාරිකයෙකි.
3. 1 වෙනි විත්තිකරු නීතිඥවරයෙකු හා ප්රසිද්ධ නොතාරිස්වරයෙකු ද වන අතර තම නොතාරිස් කාර්යාලය මීරිගම පමුණුවත්තේ සිය නිවසේ පවත්වාගෙන යයි.
4. 2 වෙනි විත්තිකරු මෙම නඩුකරයට අදාළ කාලය තුළදි දෙහිවල ගාලුපාරේ අංක 100 දරන ස්ථානයේ පිහිටි දාර්ශනිකාරාමයේ විහාරවාසී භික්ෂුවක්ව සිට දැනට වාර්තා වන අන්දමට සිවුරු හැර ඇත.
5. 3 වෙනි විත්තිකරු මෙම නඩුකරයට අදාළ කාලය තුළදි මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නියෝජ්ය භාරකාරවරයා වශයෙන් සිට ඇත්තේය.
6. පැමිණිලිකරු කොළඹ 10 ජයන්ත වීරසේකර මාවතේ තිබුණු තම ව්යාපාරික ස්ථානය බාර දි තිබුණෙන් තමන්ගේ ව්යාපාරය වන යතුරුපැදි අමතර කොටස් හා උපාංග ආනයනය කොට බෙදාහැරිම කරගෙන යාමට කොළඹ නගරය තුළ හෝ ඊට ආසන්නයේ ස්ථානයක් 1996 නොවැම්බර් මස මුලදි පමණ සොයමින් සිටියේය.
7. 1996 නොවැම්බර් මස මුල් වකවානුවේදි පැමිණිලිකරු වෙත පැමිණ ඉඩම් තැරැව්කරුවන් වන ප්රසන්න පෙරේරා හා එදිරිසිංහ ආරච්චිගේ ජයසිරි යන අය, දෙහිවල ගාලුපාරේ අංක 169 දරන ස්ථානයේ පර්චස් 25ක් විකිණීමට තිබෙන බවත් එම ස්ථානයේම පිහිටි දාර්ශනිකාරාමය පන්සලේ භික්ෂුවක වන 2 වැනි විත්තිකරුට එම ඉඩම් හිමි බවත් කියමින්, එය මිලයට ගෙනදිමට තමන්ගේ සේවය ලබාදිය හැකි බව ප්රකාශ කර සිටියෝය.
8. 1996 නොවැම්බර් මස 3 වෙනි සතියේදි පමණ එකී ප්රසන්න පෙරේරා හා එදිරිසිංහ ආරච්චිගේ ජයසිරි යන අය විසින් පැමිණිලිකරුව 2 වෙනි විත්තිකරු වෙත ගෙන යන ලදුව 2 වෙනි විත්තිකරු විසින් දෙහිවල ගාලු පාරේ අංක 169 දරන එකී ඉඩම පන්සලේ දේපලක් නොවන බවත්, එකී ඉඩම තමාට අයිති බවත් පැමිණිලිකරුට තහවුරු කොට එකී ඉඩමෙන් පර්චස් 25ක ප්රමාණයක් රුපියල් මිලියන 5කට විකිණීමට තමන්, සූදානම් බවත් පැමිණිලිකරුට පවසනු ලැබීය.
9. 2 වෙනි විත්තිකරු තවදුරටත් පැමිණිලිකරුට දන්වා සිටියේ එවකට නියෝජ්ය මහා භාරකරු වශයෙන් සිටි 3 වෙනි විත්තිකරු මුණගැසී, විකිණීමට යෝජිත එකී ඉඩම පන්සලේ ඉඩමක් නොවන බවත් එය 2 වෙනි විත්තිකරුට අයිති ඉඩමක් බවත් පැමිණිලිකරුට ස්ථිර කරවා ගත හැකි බවය.
10. ඒ වකවානුවේදිම දෙහිවල ගාලුපාරේ අංක 169 දරන එකී පරිශ්රය බලයලත් මිනින්දෝරු ගාමිණී බී. දොඩම්වල විසින් මැන බලනු ලැබ එකී ඉඩමේ පර්චස් 14.79ක ප්රමාණයක් වැඩිපුර තිබෙන බවත් එය ප්රසර්පණයක් බවත් වාර්තා කළේය.
11. 1996 දෙසැම්බර් මස 1 වෙනි සතියේදි පමණ පැමිණිලිකරු 3 වෙනි විත්තිකරුව මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ඔහුගේ කාර්යාලයේදි හමුවී එම ඉඩම් පිළිබඳව ඔහුගෙන් විමසා බලන ලදුව එකී ඉඩම් 2 වෙනි විත්තිකරුට අයිති හෙයින් පැමිණිලිකරුට එකී ඉඩමේ වැඩිපුර තිබෙන පර්චස් 14.79ක ප්රමාණයක් බයක් නැතිව මිලදි ගතහැකි බවත්, ඉතිරි ඉඩම් ප්රමාණය වන පර්චස් 10.38ක ප්රමාණය අවුරුදු 99 බද්දකට ගතහැකි බවත් 3 වෙනි විත්තිකරු පැමිණිලිකරුට දන්වා සිටියේය.
12. පැමිණිලිකරු එවිට තමන්ට එම වැඩිපුර ඉඩම් ප්රමාණය මිලදි ගැනීමට හා පර්චස් 25 න් ඉතිරි ප්රමාණය වන පර්චස් 10.38 අවුරුදු 99ක බද්දකට ගැනීමට කිසිත් බාධාවක් නැති බවට ඔහු ප්රකාශ කළ පරිදි ලිපියක් තමාට නිකුත් කරන ලෙසට 3 වෙනි විත්තිකරුගෙන් ඉල්ලා සිටි විට එම ඉඩම පන්සලේ ඉඩමක් නොවන බවට පැමිණිලිකරුට සහතික කොට ඔහුගෙන් ලිපියක් ඒ සඳහා පැමිණිලිකරුට අවශ්ය නැති බව 3 වෙනි විත්තිකරු කියා සිටියේය.
13. තව ද 1 වෙනි විත්තිකරු බෞද්ධ විහාර දේවාල ගම් පිළිබඳ විශේෂ දැනුමක් හා පළපුරුද්දක් ඇති නීතිඥවරයෙක් බව සඳහන් කර අදාළ ඔප්පු ලියා අත්සන් කරවා ගැනීම පිණිස ඔහුගේ සේවය පැමිණිලිකරුට ලබාගන්නා ලෙසට 3 වෙනි විත්තිකරු පැමිණිලිකරුට යෝජනා කර සිටියේය.
14. ඒ අනුව 1996 දෙසැම්බර් මස 3 වෙනි සතියේදි පමණ පැමිණිලිකරු 1 වෙනි විත්තිකරුගේ නිවසට ගොස් 2 වෙනි විත්තිකරු විසින් තමාට සපයන ලද හිමිකම් ඔප්පුවල පිටපත් 1 වෙනි විත්තිකරුට භාරදි එකී ඉඩමේ හිමිකම් පිළිබඳව ඉඩම ලියාපදිංචි කිරිමේ කාර්යාලයෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවේත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේත් ලේඛන පරික්ෂා කර බලා එම ඉඩම 2 වෙනි විත්තිකරුට හිමි ද යනුත් 2 වෙනි විත්තිකරු විසින් එම ඉඩම විකිණිය හැකිද යනුත් පිළිබඳව තමාට උපදෙස් දෙන ලෙසට 1 වැනි විත්තිකරුගෙන් ඉල්ලා සිටියේය.
15. ඊට දින කිහිපයකට පසුව 1 වෙනි විත්තිකරු, පැමිණිලිකරුගේ කාර්යාලයට දුරකතනයෙන් පැමිණිලිකරු අමතා එකී ඉඩමේ හිමිකම් පිළිබඳව තමා ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාලයෙත් මහ භාරකාර දෙපාර්තමේන්තුවේත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේත් පරික්ෂා කර බැලු බවත් එම ඉඩමේ තිබෙන වැඩිපුර පර්චස් 14.79ක ප්රමාණය මිලදි ගැනීමත්, ඉතිරි පර්චස් ප්රමාණය අවුරුදු 99ක බද්දකට ගැනීමත් පැමිණිලිකරුට තමන්ට නිර්දේශ කළ හැකි බවත් ප්රකාශ කොට ඒ සඳහා අවශ්ය ඔප්පු සකස් කිරීමට තමන් කටයුතු කළ යුතු දැයි පැමිණිලිකරුගෙන් විමසන ලදුව පැමිණිලිකරු ඒ සඳහා සිය කැමැත්ත දෙන ලද්දේය.
16. ඉන් පසුව 1996.12.13 වෙනි දින පාර්ශ්වකරුවන් විසින් එකී ඉඩමෙන් පර්චස් 14.79ක වැඩිපුර ඉඩම් ප්රමාණය විකිණීම සඳහා වන අංක 1545 දරන විකිණීම් ඔප්පුවත් පර්චස් 10.38ක ඉතිරිබිම් කොටස අවුරුදු 99 බද්දක් සඳහා වන අංක 1546 දරණ බදු ඔප්පුවක් ලියා අත්සන් කරන ලදුව සාක්ෂිකරුවන් වශයෙන් අත්සන් කළ ඉහත සඳහන් ප්රසන්න පෙරේරා සහ ඉසුරුමුණියේ බද්දිය තෙරුන් ඉදිරිපිටදි 1 වෙනි විත්තිකරු විසින් සිය නිවසේදි ඉහත කී ඔප්පු 2 ලියා සහතික කරන ලදි.
එකී අංක 1545 හා 1546 දරණ ඔප්පුවල සත්ය පිටපත් “පැ 1” හා “පැ 2” වශයෙන් සලකුණු කර මෙම පැමිණිල්ලේ කොටසක් වශයෙන් ඉදිරිපත් කරනු ලැබේ.
17. 2 වැනි විත්තිකරුගේ ඉල්ලීම මත අංක 1545 දරණ “පැ 1” වශයෙන් ලකුණු කර තිබෙන ඔප්පුවේ ගැනුම් මිල වශයෙන් රුපියල් මිලියන 2ක් ද අංක 1546 දරණ “පැ 2” වශයෙන් ලකුණු කර තිබෙන බදු ඔප්පුවේ බදු මුදල වශයෙන් රුපියල් 8,91,000ක් ද සඳහන් වුවත් ඇත්ත වශයෙන්ම පැමිණිලිකරු විසින් විකුණුම්කාර 2 වැනි විත්තිකරුට ගෙවූ නියම මිල මුළුමනින්ම රුපියල් 53,26,000/-ක් වූ අතර ඉන් රුපියල් 2,00,000/- 2 වැනි විත්තිකරු විසින් පැමිණිලිකරුගෙන් පන්සල සංවර්ධන කරන්න කියමින් ලබාගත් මුදලක් ද රුපියල් 1,26,000ක් මුද්දර ගාස්තු හා නොතාරිස් ගාස්තු ද සඳහා පැමිණිලිකරු ගෙවූ මුදලක් ද විය.
18. පැමිණිලිකරු විසින් තමා බැංකුවේ අයිරා පහසුකම් වලින් ලබාගත් සම්පූර්ණ ප්රතිෂ්ඨාව වන රුපියල් මිලියන 5 හා අතිරේක රුපියල් 2,00,000/- ද, 2 වැනි විත්තිකරුට ගෙවීමෙන් පසුව පැමිණිලිකරු විසින් තමන් එම ඉඩම් සන්තකයේ පිහිටුවන ලෙස 2 වැනි විත්තිකරුගෙන් ඉල්ලා “පැ 1” හා “පැ 2” වශයෙන් ලකුණු කළ එකී ඔප්පු යටතේ තමන්ට ලැබුණු ඉඩම් කොටස වෙන් කොට මායිම් තාප්පයක් තැනීම 1997/01/04 වැනි දින දි පමණ ආරම්භ කළේය.
19. 1997.01.06 වැනි දිනදි පමණ දාර්ශනිකාරාමය පන්සලේ දායක සභිකයින් විසින් පැමිණිලිකරු තමාට වෙන් කළ ඉඩමේ සන්තකය බාරගැනීම අවහිර කරමින් එය වළක්වා මායිම් තාප්පයේ කොටස් කඩා බිඳ දමා කලකෝලහාල කරමින් එම ඉඩම පන්සලේ ඉඩමක් බවත්, එම ඉඩම විකිණීම, මිලට ගැනීම හෝ බදු දිම කළ නොහැකි බවත් ප්රකාශ කරන්නට යෙදුණෙන් පොලිසියට මැදිහත් වී එම කලහය මැඩපවත්වන්නට සිදුවිය.
20. ඉන් අනතුරුව මෙම කරුණු සම්බන්ධයෙන් පැමිණිලිකරු විසින් නීති උපදෙස් ලබාගත් පසුව, එම ඉඩම පන්සල සතු සාංඝික දේපළක් වන හෙයින් එය අන්සතු කළ නොහැකි බවත්, එහෙයින් 1 වැනි විත්තිකරු විසින් ලියා සහතික කළ එකී “පැ 1” හා දීපැ 2” වශයෙන් ලකුණු කර තිබෙන අංක 1545 හා 1546 දරණ ඔප්පු දෙකෙහි වලංගුභාවයක් නැති බවත්, ඒවා කිසිත් වටිනාකමක් නැති ඔප්පු බවත් පැමිණිලිකරුට දැනගන්නට ලැබුණි. විත්තිකරුවන් විසින් ව්යාජ ඉඩම් ගනුදෙනුවක් මත තමන්ගෙන් රුපියල් 51,26,000ක් වංචා කරගෙන ඇති බව එවිට පැමිණිලිකරුට අවබෝධ විය.
21. මෙම වංචාකාරි ගනුදෙනුව පිළිබඳව පැමිණිලිකරු විසින් දෙහිවල පොලිසියට පැමිණිලි කරන ලදුව 2 වැනි විත්තිකරුට විරුද්ධව පොලිසිය විසින් අපරාධ නඩු කටයුතු අරඹා ඇති අතර, අනෙකුත් සැකකරුවන්ට විරුද්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ මෙහෙයවනු ලබයි.
22. පැමිණිලිකරු ප්රකාශ කර සිටින්නේ 1 වැනි, 2 වැනි හා 3 වැනි විත්තිකරුවන් වංක සහයෝගයෙන් ක්රියාකරමින් 1996 නොවැම්බර් මස 1 වැනි සතියත්, 1996 දෙසැම්බර් මස 13 වැනි දිනත් අතර කාලය තුළදි වංචාකාරි ලෙස කුමන්ත්රණය කරමින් එම ඉඩම් 2 වැනි විත්තිකරුට අයිති යයි වැරදි ලෙස කරුණු ඉදිරිපත් කොට ඇත්ත වශයෙන්ම පන්සලට අයත්වන එම ඉඩම් මිලදි ගැනීමට හා බදු ගැනීමට ප්රයෝගකාරි ලෙස පැමිණිලිකරු පොළඹවා පැමිණිලිකරුට අලාභ හානි, හිංසා, මානසික වේදනා, කරදර හා අවමාන විඳින්නට සිදු කළ බවය.
23. පැමිණිිලිකරු ප්රකාශ කර සිටින්නේ එකී අවස්ථානුගත කරුණු අනුව විතිත්කරුවන්ගෙන් එක්ව හා වෙන් වෙන්ව රුපියල් 51,26,000ක් මුදල් ආපසු ලබාගැනීමට හා අලාභ වශයෙන් තවත් රුපියල් මිලියන 5ක් අයකර ගැනීමට විත්තිකරුවන්ට විරුද්ධව නඩු පැවරිමට පැමිණිලිකරුට නඩු නිමිත්තක් වී ඇති බවය.
විකල්ප නඩු නිමිත්ත
24. පැමිණිලිකරු අභියාචනය කර සිටින්නේ 1 වෙනි විත්තිකරු නීතිඥයෙකු වශයෙන් ක්රියාකරමින් එකී ඉඩම් කට්ටි 2කට 2 වෙනි විත්තිකරුට පැහැදිලි හිමිකමක් ඇතැයි පැමිණිලිකරුට උපදෙස් දි එකී ඉඩම් මිලදි ගැනීමට හා බදු ගැනීමට ඉහත කී අංක 1545 හා අංක 1546 දරණ ඔප්පු 1996.12.13 වෙනි දින ලියා සහතික කර පැමිණිලිකරු පොළඹ වීමෙන් ප්රෝඩාකාරි ලෙස හා වංක ලෙසත් නීතිඥයෙකු වශයෙන් තමන්ගේ බැඳීම් උල්ලංඝනය කරමින් ක්රියාකර ඇති බවයි.
25. පැමිණිලිකරු ඉහත කී කරුණු හේතුකොට ගෙන තමන් විසින් ගෙවන ලද මිලදි ගැනීමේ මුදල හා බදු කුලී මුදල වන රුපියල් 51,26,000/- මීට අමතරව රුපියල් මිලියන 5ක මුදලක් අලාභ වශයෙන් විඳ ඇති බවත්, ප්රකාශ කරමින් එකී මුළු මුදලම 1 වෙනි විත්තිකරුගෙන් අයකර ගැනීමට තමන්ට හිමිකම් ඇතැයි ප්රකාශ කරයි.
26. පැමිණිලිකරු මෙම නඩුකරය රුපියල් මිලියන 10කට අගය කරයි.
එසේ හෙයින්, පැමිණිලිකරු මෙම ගරු අධිකරණයෙන් අයැද සිටින්නේ
(අ) 1 වෙනි, 2 වෙනි හා 3 වෙනි විත්තිකරුවන්ට විරුද්ධ ඔවුන්ගෙන් එක්ව හා වෙන් වෙන්ව රුපියල් 101,26,000ක මුදලක් අය කරගැනීමට හෝ විකල්ප වශයෙන් 1 වෙනි විත්තිකරුට විරුද්ධව ඔහුගෙන් රුපියල් 101,26,000ක මුදලක් අයකර ගැනීමට පැමිණිලිකරුගේ වාසියට නඩු තීන්දුවක් ලබාදෙන ලෙසත්,
(ආ) නඩු ගාස්තු හා
(ඇ) මෙම අධිකරණයට උචිත යයි සිතෙන වෙනත් හා අමතර සහනයන් ද ලබාදෙන ලෙසත්ය.
පැමිණිලිකරුගේ නීතිඥ තැ