ජනාධිපතිනියට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට තිබෙන බලය සීමා කරන ව්යවස්ථා සංශෝධනයක් සම්මත කරවා ගැනීමට අවශ්ය අතිරේක ඡන්ද සංඛ්යාව පොදු පෙරමුණෙන් ලබාගැනීමේ හැකියාව තමන්ට දැන් ලැබී ඇත්තේ ය යන්න ආණ්ඩුවේ මතය වී තිබේ.
ව්යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්ය අඩු ඡන්ද සංඛ්යාව ලබාගැනීමෙන් පමණක් ඒ ආශ්රයෙන් මතුවී තිබෙන ගැටලුව විසඳ ගත හැකි වෙතොත් ආණ්ඩුව වාසනාවන්තය. එහෙත් ප්රශ්නය ඒ තරමටම අති සරල නැත. මෙම ව්යවස්ථා සංශෝධනය හදිසි පනත් කෙටුම්පතක් ලෙස ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරිමේ බලය ඇත්තේ ජනාධිපතිනියටය. තමන්ගේ තටු ගලවන වැඩපිළිවෙලකට ජනාධිපතිනිය සිය කැමැත්තෙන් සහාය දෙනු ඇතැයි සිතිය නොහැකිය. එය ආණ්ඩුවට හදිසි වෙතත්, ජනාධිපතිනියට හදිසි නොවෙතොත් කෙටුම්පත හදිසි පනතක් ලෙස ශ්රේෂ්ඨාධිකරණයට යැවීම ප්රමාද කිරිමේ හැකියාවක් ජනාධිපතිනියට ඇත්තේය. අනෙක් අතට සංශෝධනය ව්යවස්ථාවට අනුකූල ද යන්න තීරණය කිරිමේ වගකීම ඇත්තේ ද ශ්රේෂ්ඨාධිකරණයටය. ශ්රේෂ්ඨාධිකරණය යන්නෙන් මෙහිදි අදහස් වන්නේ අග්රවිනිශ්චයකාරවරයාය. එහිදි අගවිනිසුරුවරයා රගපාන්නට යන භූමිකාව ඉතාමත් තීරණාත්මකය.
එහිදි අගවිනිසුරුවරයාට අවශ්ය නම් තීරණාත්මක අවස්ථාවල මෙතෙක් අනුගමනය කළ එනම් හරි වැරැද්ද නොසලකා සිය දේශපාලන ස්වාමි දුව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළ හැකිය. ජනාධිපතිනිය තමන්ට වාසිදායක ඡන්ද ක්රමයක් සැලසුම් කොට ශ්රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේදි (අසාර්ථක 17 වැනි සංශෝධනයේදි) හා මැතිවරණ දූෂණ නඩු සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා අනුගමනය කළ ප්රතිපත්තිය වූයේ එයයි.
නැතිනම් ජනාධිපතිනියගේ ඇද වැටීම නොවැළැක්විය හැකි බව තේරුම් ගනිමින් නව ආණ්ඩුව සමග සහජීවනයකට මුල පිරිමට හේතුවන ආකාරයට පැරණි දේශපාලන ස්වාමිදුව අමතක කොට නව දේශපාලන ස්වාමියාට පක්ෂපාත පිළිවෙතක් අනුගමනය කළ හැකිය.
එහිදි අගවිනිසුරුවරයා ඉන් කුමන ප්රතිපත්තියක් අනුගමනය කළ ද එය දෙපැත්ත කැපෙන දේශපාලන ආයුධයක් ලෙස ක්රියා කරනු නොවැළැක්විය හැකිය. තීරණාත්මක අවස්ථාවකදි තමන් කොන්දේසි විරහිතව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළ දේශපාලන ස්වාමි දුවගේ ආරක්ෂාව වෙනුවෙන් බලය පාවිච්චි කරන පිළිවෙතක් අනුගමනය කළහොත් නැවත වරක් ආණ්ඩුව විශාල අවුලකට තල්ලුවී යනු නොවැළැක්විය හැකිය. අනෙක් අතට ඒ වෙනුවට අගවිනිසුරුවරයා පැරණි දේශපාලන ස්වාමි දුව ආරක්ෂා කරන සුපුරුදු පිළිවෙත අත්හැර නව ආණ්ඩුව සමග සන්ධානයක් ඇති කරගැනීමට මෙය අවස්ථාවක් කරගත යුතු බව සලකා ක්රියාකළහොත් එය ප්රතිපත්ති විරහිත අශුද්ධ සන්ධානයකට පදනම ලබාදෙමින් අධිකරණය කුණුවීමේ ක්රියාවලිය වේගවත් කරන සාධකයක් ලෙස ක්රියා කරනු නොවැළැක්විය හැකිය.
ස්වාධීන අධිකරණයක් ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක යහපත් පැවැත්ම සඳහා අවශ්ය මූලික කොන්දේසියකි. මීට පෙර ආණ්ඩු පාලන කාලවල ද අධිකරණය කෙරෙහි දේශපාලන ඇගිලි ගැසීම් තිබුණ ද සරත් නන්ද සිල්වා රගපෑ දේශපාලන භූමිකාවට සමාන භූමිකාවක් මීට පෙර වෙනත් කිසිවකුත් රගපා නැත. ඔහු අධිකරණයේ ස්වාධීනත්වය ඔලුවෙන් සිටුවා එය විධායකයේ සෘජු අතකොලුවක් බවට පත් කළේය.
අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ විවිධ මතවාද පවතී. අධිකරණ ඇමති කෙරෙන් ප්රකාශවෙමින් පවතින චින්තනය වී ඇත්තේ ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ප්රයෝජනයට ගත් ආකාරයට ම තමන් ද එම අගවිනිසුරුවරයා ප්රයෝජනයට ගත යුතු බවය. එය ඇමතිවරයාගේ දාර්ශනික දුගීභාවයේ තරම පෙන්නුම් කරන අවස්ථාවකි. අවශ්ය නම්, ජනාධිපතිනිය සරත් නන්ද සිල්වා ප්රයෝජනයට ගත් ආකාරයටම ඔහු ප්රයෝජනයට ගැනීමේ හැකියාවක් මේ ආණ්ඩුවට ද ඇත්තේය. ඔහු කෙරෙන් ප්රකාශ වී තිබෙන සියලු වැරදි නොසලකා ඔහු ආරක්ෂා කරන බවට සහතිකයක් ලැබේ නම් සමහරවිට ඔහු ජනාධිපතිනිය සමග තිබෙන සියලු ඇයි හොඳයිකම් අතහැර ජනාධිපතිනියට සේවය කළ ආකාරයටම මේ ආණ්ඩුවට ද සේවය කිරිමේ හැකියාවක් පවතී. එහෙත් ඉන් රටට අයහපතක් මිස යහපතක් සිදුවන්නේ නැත. රටට අවශ්ය දේශපාලන අතකොලුවක් ලෙස ක්රියාකරන අධිකරණයක් නොව, ස්වාධීනව ක්රියා කරන අධිකරණයකි. එය යහපත් ප්රජාතන්ත්රවාදි ආණ්ඩුකරණයක් සඳහා අවශ්ය මූලික කොන්දේසියකි. එම මූලික කොන්දේසිය සම්පූර්ණ කිරිමේ අභිලාෂයක් ආණ්ඩුවට නැතිනම් ආපස්සට මිස ඉදිරියට යාමේ හැකියාවක් ද ආණ්ඩුවට තිබිය නොහැකිය.
පනින රිලවුන්ට ඉනිමං
වත්කම් බැරකම් ප්රකාශ නොකරන දේශපාලකයන් සම්බන්ධයෙන් තමන්ට කළ හැකි දෙයක් නැති බවත්, අල්ලස් හෝ දූෂණ කොමිසමට එවැනි වැරදි පැමිණිලි කිරීම සඳහා තමන්ට ප්රතිපාදනයක් නැති බවත්, මැතිවරණ කොමසාරිස්වරයා ප්රකාශ කර තිබුණි. රාජ්ය ආයතනවල සිදුවන දූෂණ වැරදි සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කියන්නේ ද ඊට සමාන කතාවකි. පාර්ලිමේන්තුවට වාර්තා කරනවා හැරුණු විට අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරිමේ ප්රතිපාදනයක් නැති බව ඔහු ද ප්රකාශ කර තිබුණි.
අපරාධ ගණයෙහි ලා සැලකිය හැකි වරදක් සිදුවන අවස්ථාවලදි ඒ වැරදිවලට එරෙහිව ක්රියාත්මක වන ආයතනයකට පැමිණිලි කිරීමට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ විධි විධාන තිබිය යුතු නැත. අල්ලස් හෝ දූෂණ කොමිසමේ එක් අරමුණක් වනුයේ වත්කම් හා බැරකම් නීතිය යටතට වැටෙන වැරදි සොයා බැලීමය. අනෙක් අරමුණ වනුයේ අල්ලස් හෝ දූෂණ ගණයට වැටෙන වැරදි සොයා බැලීමය. දේශපාලකයන් නීතියෙන් නියම කර ඇති පරිදි වත්කම් හා බැරකම් ප්රකාශ බාර නොදෙන අවස්ථාවලදි මැතිවරණ කොමසාරිස්වරයා එවැනි අයට එරෙහිව කොමිසමට පැමිණිලි කළ යුතුය. ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වනු ඇත්තේ එවිටය. විගණකාධිපතිවරයා ද රාජ්ය ආයතනවල සිදුවන බරපතල දූෂණ වැරදිවලදි ඒවා පාර්ලිමේන්තුවට වාර්තා කිරිමෙන් නොනැවතී අල්ලස් හෝ දූෂණ කොමිසමට ද පැමිණිලි කළ යුතු ය. එහෙත් දැන් සිදුවන්නේ මේ බලගතු රාජ්ය නිලධාරීන් දෙදෙනාම තමන්ට ඒ සඳහා ප්රතිපාදන නැති බව කියමින් අනියම් ලෙස හෝ පනින රිලවුන්ට ඉනිමං බැඳීමය.