අලුත් ආණ්ඩුවටත් නැතුවම බැරී හැරි

March 31, 2002
Publication:
Businessman Harry Jayawardena was the People's Alliance's chief financier, and the President shielded him while customs and Central Bank inquiries into alleged duty and exchange frauds stayed open; some link the customs inquiry to the killing of officer Sujith Perera, after which other officers fled abroad. Ivan asks what signal the new government sends by appointing him to the Securities and Exchange Commission.

කෝටිපති ව්‍යාපාරිකයකු වන හැරි ජයවර්ධන හැමදාමත් විවාදයට හේතු වී තිබෙන චරිතයකි.

ජනාධිපතිනියටත් ඇගේ පොදු පෙරමුණටත් දේශපාලන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදිමේ ප්‍රධාන උල්පත ලෙස ක්‍රියා කළේ හැරි ය. මහජනයා විසින් බලයට පත් කරනු ලැබූ චන්ද්‍රිකා ආණ්ඩුව බලය ලැබූ වහාම හැරි ජයවර්ධන විසින් මිලයට ගත්තේ යැයි කියන කතාවක් ද එකල පොදු පෙරමුණු පාක්ෂෂිකයන් අතර තිබුණි. 94 ජනාධිපතිවරණයේදි පොදු පෙරමුණ වෙනුවෙන් බර පැන ඉසිලු ප්‍රධාන පුද්ගලයා හැරි ජයවර්ධන වීම හේතු කොට ගෙන පොදු පෙරමුණු පාලන කාලයේ හැරි පෙනී සිටියේ ද ආණ්ඩුවේ අයිතිකාරයා ලෙසය. ඔහු නීතිය ඉක්මවා ක්‍රියා කළ හැම අවස්ථාවකදිමත් ජනාධිපතිනිය ඔහු කොන්දේසි විරහිතව ආරක්ෂෂා කරන දැඩි පිළිවෙතක් අනුගමනය කළාය.

හැරි ට එරෙහිව රේගුවේ ද මහ බැංකුවේ ද නිම නොවූ වූ පරික්ෂෂණ රාශියක් පවතී. චෝදනා එල්ල වී ඇත්තේ ද රේගු බදු වංචා හා විනිමය වංචාවන්ට අදාළවය. එම පරික්ෂෂණවලින් ඔහු වරදකරුවකු වී දඬුවම් ලබා නැතත් එවැනි චෝදනා ඇති පුද්ගලයෙකු විනිමය සුරැකුම් කොමිසම වැනි ආයතනයක සාමාජිකයෙකු ලෙස පත් කිරීම සුදුසු දෙයක් ලෙස සැලකිය නොහැකිය. පසුගිය ආණ්ඩුවද ඔහු විනිමය සුරැකුම් කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත් කර ගත්තේය. එමගින් ඔහුට අදාළව පරික්ෂෂණ පවත්වන අයට ජනාධිපතිනිය විසින් දෙන ලද ඇගවීම වූයේ හැරි අපේ කෙනෙකු බව අමතක නොකරන්න යන සංඥාවය. හැරිට එරෙහිව ආරම්භ වූ රේගු පරික්ෂෂණයේදි ද ජනාධිපතිනිය රේගු නිලධාරින්ට අවහිර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළාය. සමහර අයගේ මතය අනුව සුජිත් පෙරේරා ඝාතනය කෙරෙහිද එම පරික්ෂෂණය බලපෑවේය. සුජිත් පෙරේරා ඝාතනය කෙරුණු තත්ත්වයක් ඉදිරියේ එම පරික්ෂෂණයට සම්බන්ධ සෙසු නිලධාරින් ගණනාවක් සිය ජීවිත පිළිබඳව ඇති කර ගත් භීතිය නිසා රේගු සේවාවට ආයුබෝවන් කියමින් රට අතහැර පලා ගියහ.

නව ආණ්ඩුව චෝදනා ලාභී තත්ත්වයක සිටින හැරි ජයවර්ධන විනිමය සුරැකුම් කොමිසම වැනි බලවත් ආයතනයකට පත් කිරීම මගින් රටට දෙන්නට යන්නේ කුමන සංඥාවක්ද?