රට ඇද වැටී තිබෙන ප්රපාතයේ තරම දෙස බලන විට රට ඉන් ගොඩ දැමීම ඉතාමත් සරල හා පහසු කාරියක් වන්නේ නැත. වහාම ඉන් ගොඩ ඒමේ ක්රමයක් නැතත්, ක්රම ක්රමයෙන් හෝ ඉන් ගොඩ වන ගමනක යෙදි සිටින බව මහජනයාට පෙනෙන්නට තිබිය යුතුය. ඒ සඳහා දරන උත්සාහයේදි මහජන අවබෝධය හා මහජන උනන්දුව ඉතා වැදගත් වන්නා සේ ම හැමවිටම ඔවුන් බලාපොරොත්තු සහගත තත්ත්වයක තබාගැනීම ද ඉතා වැදගත්ය.
බලයෙන් පිටස්තරව සිට බලය ලැබීම ජයග්රහණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් බලය ලබනවාට වඩා බලය තුළ ජීවත්වීම අමාරු දෙයකි. විනය ගරුක බව හා නිහතමානී බව වඩාත්ම අවශ්ය වනුයේ ද බලයෙන් පිටස්තරව සිටින විට නොව, බලයේ සිටින විටදිය. උද්දච්චකම බලය නිසා වැළඳිය හැකි භයානක රෝගයකි. පොදු පෙරමුණු නායකත්වය වැනසුණේ ද ඒ නිසාය. උද්දච්චකමින් ඔලුව උදුම්මවා නොගෙන නිහතමානී ලෙස ලැබී තිබෙන බලය මහජනයාගේ හිතසුව පිණිස පරිහරණය කරන තත්ත්වයක් ඇති කිරීම රටේ යහ පැවැත්ම සඳහා අත්යවශ්යය.
අන් සියල්ලටම වඩා රටට අවශ්ය වී ඇත්තේ ආදර්ශවත් නායකයින්ය. තමා ආදර්ශවත් වන අතරම සිය කණ්ඩායම ආදර්ශවත් තත්ත්වයක තබාගැනීම සඳහා ක්රියාකරන නායකයින්ය. ඇති කරන ඕනෑම වෙනසක් ආරම්භ විය යුත්තේ පහළින් නොව මුදුනෙනි.
අකාර්යක්ෂමතාව රටේ ඉදිරි ගමන අඩාල කිරීම කෙරෙහි බලපා තිබෙන එක් ප්රධාන අභියෝගයකි. ඵලදායීතාව උපරිම මට්ටමකට ගෙන ආ හැකිවනු ඇත්තේ පාලක පක්ෂය කාර්යක්ෂමවෙමින් නිලධරතන්ත්රය ද කාර්යක්ෂම තත්ත්වයට ගනිමින් මුළු මහත් සමාජ යන්ත්රයම කාර්යක්ෂමව ක්රියා කරන තත්ත්වයකට ගත හැකි නම් පමණය.
වල් වැදි තිබෙන නීතියේ ආධිපත්යය සංස්ථාපනය කරන්නේ කෙසේද යන්න නව ආණ්ඩුව ඉදිරියේ තිබෙන ප්රධාන අභියෝගයකි. එය ආණ්ඩුවේ හොඳ නරක තීරණය කෙරෙන ප්රධාන උරගලයක් ද වනු නොඅනුමානය.
ඒ සඳහා අන් සියල්ලටම ප්රථම රාජ්ය නායකයාගේ සිට රජයට සම්බන්ධ සියලු පුද්ගලයන් තමන් නීතියට ඉහළින් නොව පහළින් සිටින බව පෙනෙන්නට සැලැස්විය යුතුය. අපේ රටේ මාර්ග නීති ක්රියාත්මක වන්නේ සාමාන්ය මහජනයාට පමණය. කවර මට්ටමකින්වත් ඒවා දේශපාලනයට අදාළ වන්නේ නැත. ඒ තත්ත්වය වහාම අහෝසි කිරීම මගින් දේශපාලනඥයන් නීතියට ඉහළින් නොසිටින බව මහජනයාට පෙනෙන්නට සැලැස්විය හැකිය. එසේම අංක තහඩු නොයොදා හා ව්යාජ අංක තහඩු යොදා ගනිමින් වාහන පරිහරණය කිරීමට දේශපාලනඥයන්ට ලැබී තිබෙන අයිතිය ද වහා අහෝසි කළ යුතුය. මහනුවර සිදුවූ දස පුද්ගල ඝාතනයේදි ඝාතනය සඳහා යොදාගත් ඩිෆෙන්ඩර් වාහනවල තිබූ අංක තහඩු ව්යාජ අංක තහඩු බව හෙළිදරව් වී තිබේ. මංගල සමරවීරට චෝදනා එල්ල වී තිබෙන සිද්ධියේදි ඔහුගේ ආරක්ෂකයින් පරිහරණය කළ වාහනවලට යොදා තිබූ අංක තහඩු ද ව්යාජ අංක තහඩු බව පොලිස් පරික්ෂණවලදි හෙළිවිය. ජනාධිපති ආරක්ෂක අංශය පරිහරණය කරන වාහනවල ඇත්තේ ද ව්යාජ අංක තහඩුය. වාහනයට ලියාපදිංචි අංකයක් හා එය ප්රදර්ශනය කිරීමට සැලැස්වීමෙන් බලාපොරොත්තුවන්නේ අවශ්ය අවස්ථාවකදි එහි අනන්යතාව හඳුනාගැනීමට හැකිවීම සඳහාය. ආරක්ෂාවට මුවාවී ව්යාජ අංක තහඩු පරිහරණයට ඉඩ ලැබීමෙන් සිදුවී ඇත්තේ නිදහසේ අපරාධ කොට ඝාතකයා හඳුනාගත නොහැකි ලෙස පලා යා හැකි පරිසරයක් ඇති කිරීමය. කෙනෙකුගේ පුද්ගල හැඳුනුම්පතක් ව්යාජ ලෙස වෙනස් කිරීම බරපතල වරදක් වේ නම් මෙය ද ඒ හා සමාන බරපතල වරදක් විය යුතුය. ආරක්ෂාව සඳහා වුවත් ව්යාජ අංක තහඩු පරිහරණය කිරීම වහා නීති විරෝධී කළ යුතුය.
දරුණු අපරාධකරුවන්ට ලබාදෙන දේශපාලන රැකවරණය අහෝසි කිරීම හා නීති විරෝධී ලෙස ආයුධ පරිහරණය කරන සියලු දෙනා නිරායුධ කිරීම අපරාධ මර්දනය සඳහාත්, නීතියේ පාලනයක් ඇති කිරීම සඳහාත් සම්පූර්ණ කළයුතු අත්යවශ්ය කොන්දේසියකි. නමගිය අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ලබාදෙන ක්රමයක් දැන් කලක සිට රටේ ක්රියාත්මක වේ. දරුණු ගණයේ අපරාධකරුවන් තමන් ළගට ගැනීම සඳහා දේශපාලකයන් පොර කන අවස්ථා ද දක්නට තිබුණ. රටේ නමගිය අපරාධකරුවන්ගේ ජනප්රිය නැවතුම් මධ්යස්ථාන බවට පත්ව තිබුණේ ද මැති, ඇමතිවරුන්ගේ නිල නිවෙස්ය. පොලිසියට අවශ්ය නමගිය අපරාධකරුවකු වන ධම්මික පෙරේරා නියෝජ්ය ආරක්ෂක ඇමතිගේ රැකවරණය මත ජීවත් වන බව පොලිසිය පමණක් නොව, සාමාන්ය මහජනතාව ද දැන සිටියේය. දේශපාලන රැකවරණය මත ජීවත් වන අපරාධ කරුවන් සිය දේශපාලන සාමාජිකයාගේ වුවමනාවන් වෙනුවෙන් පමණක් නොව, තමන්ගේ පුද්ගලික වුවමනාවන් වෙනුවෙන් ද අපරාධවල යෙදේ. එහෙත් ඔවුනට ලැබී තිබුණු දේශපාලන රැකවරණය නිසා ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වීමක් ද සිදු නොවීය. මෙවැනි දේ කවර මට්ටමකින්වත් සිදුවන්නට ඉඩ නොදිම නව ආණ්ඩුවේ වගකීමකි. ජූලියස් නියරේරේ බලයට පත්වීමෙන් පසුව තමන්ට ආධාර කළ අපරාධ කරුවන් වෙනුවෙන් සුපිරි ගණයේ භෝජන සංග්රහයක් පවත්වා ඒ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය. දැන් අප රටට අවශ්ය වී ඇත්තේ ද එවැනි පිළිවෙතකි.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ අරමුණ ද නැවත සලකා බැලීමකට ලක් කළ යුතුය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වැනි ආයතනයක් පාලක පක්ෂයට තම දේශපාලන වුවමනාවන්ට ගැලපෙන ලෙස නැටවිය හැකි රූකඩ ආයතනයක් නොවිය යුතුය. අනෙක් අතට එවැනි ආයතනයක ප්රධාන ඉලක්කය විය යුත්තේ පිරමීඩයේ පහළම සිටින සොක්කන් නොව, ඉහළින්ම සිටින ලොක්කන්ය. රාජ්ය නායකයාගේ සිට පිරමිඩයේ මුදුනේ සිටින දේශපාලකයන් හා රාජ්ය නිලධාරින් දෙස විමසිල්ලෙන් බලා සිටින අල්ලස් හෝ දූෂණ කොමිසමක් ඇති කිරිමෙන් පමණක් මහා පරිමාණයේ වංචා හෝ දූෂණ විශාල ප්රමාණයකට පාලනය කළ හැකිය. වත්කම් හා බැරකම් නීතිය යටතට වැටෙන වැරදි සම්බන්ධයෙන් නඩු පැවරිමට විධානය කිරිමේ බලය දි ඇත්තේ දූෂණ විමර්ශන කොමිසමටය. එහෙත් කොමිසම පැමිණිල්ලක් තිබෙන අවස්ථාවක හැර වරදක් සිදුවී ඇති බව කොමිසමට පෙනෙන අවස්ථාවක විමර්ශනයක් ආරම්භ කිරිමේ බලය කොමිසමට ලබාදි නැත. කොමිසමේ ආයතනික ව්යුහය පෙනුමෙන් ස්වාධීන වුවත්, ඊට පත් කෙරෙන්නේ විෂය ගැන අවබෝධයක් හෝ උනන්දුවක් නැති දේශපාලන එහෙයියන් නම් එවැනි කොමිසමකට අල්ලස් හෝ දූෂණ මර්දනයේදි ඵලදායී කාර්ය භාරයක් ඉටු කිරිමේ හැකියාවක් ද තිබිය නොහැකිය. රියෙන්සි අර්සකුලරත්න මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් වරයෙකු ලෙස ක්රියා කරන අතර, එකවිට කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද ක්රියා කළේය. ඒ තුළ පරස්පර විරෝධී බවක් පවතී. අධ්යක්ෂ ජනරාල්වරයා කොමිසමේ සෙසු කොමසාරිස්වරුන් සමග එක්ව විධායකයේ දේශපාලන වුවමනාවන්ට ගැලපෙන ගමනක යෙදි සිටියත්, ආණ්ඩු මාරුවක් ඇතිවීම නොවැළැක්විය හැකි බව පෙනෙන විට ආණ්ඩු විරෝධී බලවේගයන්ගේ සංතෝෂයට හේතුවන ක්රියාමාර්ගයකට මාරු වූයේය. එයින් අධ්යක්ෂ ජනරාල්වරයා සනාථ කළේ අවශ්ය වෙතොත්, නැවත එජාප ආණ්ඩුව වෙනුවෙන් ද එවැනිම දේශපාලන කාර්ය භාරයක් ඉටු කිරීමට තමන් සූදානම් බවය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ශක්තිමත් තත්ත්වයකට පත්කරනවාට අතිරේකව තොරතුරු ලබාගැනීමට තිබෙන අයිතිය නීතිගත කිරිමෙන් පමණක් වුවත් බොහෝ දුරකට රාජ්ය මට්ටමෙන් සිදුවන අල්ලස් හෝ දූෂණ වැරදි පාලනය කළ හැකිය.