පොදු පෙරමුණ මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වනු නොවැළැක්විය හැකිය. මැතිවරණ දූෂණ වලට තිබෙන ඉඩ එක්තරා විශාල ප්රමාණයකට ඇහිරි තිබීම, පොදු පෙරමුණේ බලවත් කණ්ඩායමක් එජාපයට එකතු වී සිටීම, මුස්ලිම් කොංග්රසය හා වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂය සමග පොදු සන්ධානයක් ලෙස තරග කිරීම යන කාරණා එජාපය ලබන ජයග්රහණයක් හා පොදු පෙරමුණ ලබන පරාජයක් කෙරෙහි බලපාන ප්රධාන සාධක ලෙස ක්රියාකරනු ඇතැයි සැලකිය හැකිය.
එජාපයට හිමිවන්නට යන ජයග්රහණයේ හා පොදු පෙරමුණට හිමිවන්නට යන පරාජයේ ප්රමාණයන් මොනවාද යන්න විග්රහයක යෙදිමට තවත් කල් වැඩි නමුත් ඇතිවිය හැකි වෙනස්කම්වල සාමාන්ය ස්වභාවය ගැන තක්සේරුවක් ඇති කරගැනීමට බැරිකමක් ද නැත.
පොදු පෙරමුණ 1999 ජනාධිපතිවරණයේදි ඡන්ද 4312157ක් හෙවත් මුළු වලංගු ඡන්ද සංඛ්යාවෙන් 51.12%ක් ලබාගැනීමට සමත් විය. 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදි එම ප්රමාණය 3900901 හෙවත් මුළු වලංගු ඡන්ද සංඛ්යාවෙන් 45.10% දක්වා පහත වැටුණ.
එජාප ජනාධිපතිවරණයේදි ඡන්ද 3602748ක් හෙවත් මුළු වලංගු ඡන්ද සංඛ්යාවෙන් 42.71%ක් ලබාගැනීමට සමත් විය. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයේදි එය ලබාගත්තේ ඡන්ද 3477770ක් හෙවත් මුළු වලංගු ඡන්ද සංඛ්යාවෙන් 40.21%ක් පමණය.
99 ජනාධිපතිවරණයේදි පොදු පෙරමුණ ව්යාජ ඡන්ද පත්රිකා ලක්ෂ දහයක් මුද්රණය කර භාවිතා කර ඇති බවට පිළිගත හැකි සාධක ඇතත්, පාවිච්චි වූ ව්යාජ ඡන්ද පත්රිකා සංඛ්යාව කොතෙක් ද යන්න පැහැදිලි නැත. 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදි බැලු බැල්මට දැකිය නොහැකි ඉතාමත් සියුම් දූෂිත වැඩපිළිවෙලක් ක්රියාත්මක වූ බවට සාධක පවතී.
දූෂිත ආකාරයෙන් පොදු පෙරමුණට එකතු වූ ඡන්ද ප්රමාණය ඉවත් කළහොත් ජනාධිපතිවරණයේදි ඉතාමත් ළග ළග තරගයකුත්, 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදි එජාපය වඩා ඉදිරියෙන් සිටින ළග ළග තරගයකුත් තිබුණේ යැයි උපකල්පනය කළ හැකිය.
දැන් පොදු පෙරමුණේ ඡන්ද යන්ත්රය මෙහෙයවූ එස්.බී. දිසානායක තවදුරටත් පොදු පෙරමුණේ නැත. ඔහු නැතුවත් එම සියුම් වැඩ පිළිවෙල ක්රියාවට නැංවීමේ හැකියාවක් ඇත් ද යන්න පැහැදිලි නැත.
17 වැනි සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලැබී තිබෙන බලය ප්රශස්ථ ලෙස භාවිතා කරන තත්ත්වයක් ඇතිවුවහොත් රාජ්ය සම්පත් මැතිවරණ කටයුතුවලට යොදා ගැනීමට පොදු පෙරමුණට තිබෙන හැකියාව සේ ම තක්කඩිකම් කිරීමට තිබෙන හැකියාව ද කිසියම් ප්රමාණයකට සීමාවිය හැකිය. ඒ වාසිය ලැබෙන්නේ ද විපක්ෂයටය.
මුස්ලිම් කොංග්රසය හා වතු කම්කරු සංගමය ඇතුළත් මහා සන්ධානයක් ලෙස තරග කිරීමට එජාපය සමත් වෙතොත්, නැගෙනහිර පළාතේ, විශේෂයෙන් රට පුරා විසිරි සිටින මුස්ලිම් ජනතාවගේ සහාය තමන් වෙත ලබාගැනීමේ හැකියාව එජාපයට ලැබෙනු ඇති අතර, වතු කම්කරු සංගමයේ සහාය මධ්යම පළාත කෙරෙහි තීරණාත්මක ලෙසත්, සබරගමුව පළාත කෙරෙහි සාමාන්ය වශයෙනුත් බලපායි.
පොදු පෙරමුණෙන් එජාපයට කැඩී ආ සමහර අයට එල්ල කළහැකි චෝදනා ඉතා බරපතල වුවත්, ඒ බිඳීම නිසා එජාප දේශපාලන වේදිකාවට බලවත් කථික පිරිසක් ලැබුණේය. එජාපයට ප්රහාරාත්මක ආකාරයකින් කථා කළ හැකි කථිකයන් සිටියා නම් සිටියේ කිහිපදෙනෙකු පමණය.
1994න් පසුව එජාප හැම මැතිවරණයකදිම ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකින් ක්රියා කළා විනා පහරදිම සඳහා සටන් කරන තත්ත්වයකින් ක්රියා නොකළේය. හැම විටම පොදු පෙරමුණු ආරක්ෂාව සඳහා සටන් කරන පිළිවෙතක් වෙනුවට පහර දෙන පිළිවෙතක් අනුගමනය කළේය. එහෙත් දැන් එජාපයට පොදු පෙරමුණෙන් බලවත් පිරිසක් එකතු වී සිටින තත්ත්වයක් තුළ හා එසේ එකතු වී සිටින අයගේ ප්රධාන දේශපාලන ඉලක්කය ජනාධිපතිනිය වී තිබෙන තත්ත්වයක් යටතේ මේ මැතිවරණයේදි පළමු වරට ආරක්ෂාව සඳහා සටන් කරන පිළිවෙත අතහැර පහරදිම සඳහා වන පිළිවෙතට මාරු වනු ඇතැයි සිතිය හැකි ය.
පොදු පෙරමුණ සමග සසඳන විට එජාපයේ ප්රචාරක යන්ත්රය ද ඉතාමත් දුර්වල තත්ත්වයක පවතී. නීතියට පටහැනි වුවත් පොදු පෙරමුණ මැතිවරණවලදි රාජ්ය මාධ්ය ඉතා දක්ෂ හා සියුම් ආකාරයකින් ප්රයෝජනයට ගත්තේය. එහෙත් 17 වැනි සංශෝධනය නිසා රාජ්ය මාධ්ය ආයතන ප්රයෝජනයට ගැනීමට පොදු පෙරමුණට තිබෙන හැකියාව ද බොහෝ දුරට සීමාවනු ඇතැයි සිතිය හැකිය.
එහෙත් පොදු පෙරමුණ තමන්ගේම වන පුද්ගලික ගුවන් විදුලි ආයතනයක් ඇති කරගෙන තිබෙන අතර, ස්වර්ණවාහිනියේ අයිතිකරුවන් සමග මංගලට තිබෙන සමීප මිත්රත්ත්වය මත ස්වර්ණවාහිනිය හා ඊට සම්බන්ධ ගුවන් විදුලි සේවාවන් ද යම් පමණකට සිය දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීමට පොදු පෙරමුණ උත්සාහ කරනු ඇතැයි සිතිය හැකිය. ලේක්හවුසිය කෙරෙහි පාලනයක් ඇතිවුවහොත් සෙසු මුද්රිත මාධ්ය කිසිවක සහාය ලබාගත නොහැකි තත්ත්වයකට පොදු පෙරමුණ පත්වනු ඇත්තේය. එය පුවත්පත්වලට එරෙහිව පතුරවන ලද වෛරය වෙනුවෙන් පොදු පෙරමුණට ගෙවන්නට සිදුවන වන්දියකි.
පොදු පෙරමුණ මුදල් අතින් ධනපති පන්තියේ නියෝජිතයා ලෙස සැලකෙන එජාපයට වඩා ශක්තිමත්ය. එහෙත් එහි සිටින මුදල් ඇති අය පරාජය විය හැකි මැතිවරණයක් සඳහා මුදල් වැය කරනවා වෙනුවට, එය තිබෙන්නට ඉඩ හැරිම වාසිදායක වේ යැයි කල්පා කරන තත්ත්වයක් ඇතිවුවහොත් එය පොදු පෙරමුණේ ඡන්ද ව්යාපාරය තවදුරටත් බෙලහීන කිරීමට හේතුවක් විය හැකිය.
පෙනෙන්නට තිබුණු පරිදි එජාපය ද අවශ්ය තරමට මුදල් නැතිකමේ ප්රශ්නයකට මුහුණ දි තිබුණේය. එහෙත් බැලු බැල්මට ජයග්රහණය ඇත්තේ එජාපයට වන බැවින්, මෙවර මැතිවරණය මුදල් දුෂ්කරතාවලින් තොරව ඉදිරියට ගෙනයාමට එජාපය සමත් වනු ඇතැයි සිතිය හැකිය.
බැලු බැල්මට පෙනෙන හැම වාසියක් ම ඇත්තේ පොදු පෙරමුණට නොව එජාපයටය. එහෙත් අවසාන විග්රහයේදි සියල්ල තීරණය කරනු ඇත්තේ එජාපය ලබන ජයග්රහණයේ ප්රමාණය කුමක්ද, පොදු පෙරමුණ ලබන පරාජයේ ප්රමාණය කුමක් ද යන සාධක මතය. ජනාධිපතිනිය මැතිවරණ දිනය දෙසැම්බර් 5 වශයෙන් ප්රකාශ කොට, පාර්ලිමේන්තුව රැස්වෙන දිනය ජනවාරි 1 දක්වා වන ලෙස දිර්ඝ විරාම කාලයක් ලබාදි ඇත්තේ ද මැතිවරණයෙන් පසුව පස්සා දොරෙන් කරන ගනුදෙනුවකට ඉඩ තබාගැනීම පිණිසය.
ළග ළග තරගයකින් තමන් පරාජය වුවත්, ජනතා විමුක්ති පෙරමුණේ සහාය ඇතිව ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ යටි බලාපොරොත්තුවක් පොදු පෙරමුණු නායකයන් අතර පවතී. වතු කම්කරු සංගමය හා මුස්ලිම් කොංග්රසය එජාපය යටතේ තරග කළත්, ඔවුන් කැමති අවස්ථාවක වෙන්ව යාමේ හැකියාවක් ඔවුන්ට ඇති නිසා මැතිවරණයෙන් පසුව පස්සා දොරෙන් කෙරෙන ගනුදෙනුවකට විශාල ඉඩක් ඇතැයි පොදු පෙරමුණේ නායකත්වය කල්පනා කරයි. එහෙත් එවැනි දේකට ඉඩක් ලැබෙනු ඇත්තේ තරගය ඉතාමත් ළග ළග එකක් වේ නම් පමණය.
බලයේ සිටින ආණ්ඩු මැතිවරණවලදි ඉතාමත් නරක ලෙස පරාජය වන අවස්ථා සේම, ළග තරගයකින් පරාජය වන අවස්ථා ද පවතී. අවුරුදු 17ක පාලනයකින් පසුත්, එජාපය 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදි ලද පරාජය නරක පරාජයක් නොවීය. ජය ගත් පොදු පෙරුමණ ප්රකාශිත මුළු වලංගු ඡන්ද සංඛ්යාවෙන් 48.94%ක් ලබාගන්නා විට පරාජිත එක්සත් ජාතික පක්ෂය ප්රකාශිත මුළු වලංගු ඡන්ද සංඛ්යාවෙන් 44.04%ක් තමන් වෙත තබාගැනීමට සමත් විය. එජාප ආසන 19කට ඇද වැටුණු 1970 දි පවා සමගි පෙරමුණ මුළු ප්රකාශිත වලංගු ඡන්ද සංඛ්යාවෙන් 49%ක් ලබා ගන්නා විට එජාපය 37.09%ක් තමන් වෙත තබාගැනීමට සමත් විය. එහෙත් ශ්රී ලංකා නිදහස් පක්ෂය ආසන 8කට ඇද වැටුණු 1977 මැතිවරණයේදි එජාප ප්රකාශිත මුළු වලංගු ඡන්ද සංඛ්යාවෙන් 50.9%ක් ලබාගන්නා විට, ශ්රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැකිවූයේ 29.7%ක් පමණය.
ජයග්රාහී පක්ෂයකට ලැබෙන ඡන්ද අනුපාතිකය ඇතිවන වැඩිවීමේදි විශේෂ ගතිකත්වයක් දැකිය හැකි අවස්ථා පවතී.
1965 පාර්ලිමේන්තු මැතිවරණයේදි ප්රකාශිත ඡන්ද ප්රමාණයෙන් 40.4%ක මට්ටමක සිටි ශ්රීලනිප ප්රමුඛ සමගි පෙරමුණ 1970 ලැබූ ජයග්රහණයේදි ලබාගත් ඡන්ද ප්රමාණය 49% දක්වා ඉහළ ගියේය. නැවත 1970 මැතිවරණයේදි 37.9%ක තත්ත්වයක සිටි එජාපය 1977දි ලැබූ ජයග්රහණයේදි ලබාගත් ඡන්ද සංඛ්යාව 50.9% දක්වා ඉහළ ගියේය. ඉන්පසු 1977දි 29.7%ක සිටි ශ්රීලනිප 1994 ලබන ජයග්රහණයේදි ලබාගත් ඡන්ද ප්රමාණය 48.94% දක්වා ඉහළ ගියේය.
70දි සමගි පෙරමුණ ලැබූ ජයග්රහණයේදි ඇතිවූ වර්ධනය 8.6%කට සමානය. 77දි එජාපය ලැබූ ජයග්රහණයේදි ලැබූ වර්ධනය 13.0%කට සමානය. 1994 ජයග්රහණයේදි පොදු පෙරමුණේ වර්ධනය 21.24%කට සමානය. මේ ජයග්රහණ තුනේ සාමාන්ය 14.2%කි.
මේ අනුව තවත් පක්ෂ ගණනාවක් සමග සන්ධානගතව ක්රියා කරන එජාපය මුළු ප්රකාශිත වලංගු ඡන්ද සංඛ්යාවෙන් 50%ක මට්ටමකට ළගාවනු ඇතැයි සිතිය හැකිය. එය එසේ වුවහොත් අනුපාතික ක්රමය යටතේ (ජාතික ලැයිස්තුව ද ඇතුළුව) හිමිවන මන්ත්රී ආසන සංඛ්යාව ආසන 125ක් වනු ඇත. ඉන් මුස්ලිම් කොංග්රසයට හා වතු කම්කරු කොංග්රසයට හිමිවන ආසන සංඛ්යාව 17ක් පමණ විය හැකිය. ඊ.පී.ඩී.පී. හැර සෙසු දෙමළ පක්ෂ සන්ධානය ලබාගන්නා ආසන සංඛ්යාව 10ක් වෙතොත්, පොදු පෙරමුණ, ජවිපෙ, ඊ.පී.ඩී.පී. හා සිහළ උරුමය යන සියලු පක්ෂවලට ඉතිරිවනු ඇත්තේ ආසන 90ක් පමණය. ඒ නිසා පොදු පෙරමුණට ලැබෙන ආසන සංඛ්යාව 75කට අඩුවිය හැකිය.