මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු බලයේ සිටින තාවකාලික ආණ්ඩුවට කළ හැකි දේවල් සේ ම කළ නොහැකි දේවල් ද පවතී. ඊළග ආණ්ඩුව මහජනයා විසින් බලයට පත් කරන තෙක් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අතිරේකව අලුත් කිසිවක් කිරිමේ අයිතියක් එවැනි ආණ්ඩුවකට නැත.
එහෙත් පොදු පෙරමුණු ආණ්ඩුව තමන්ට හුරුපුරුදු ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළේය. ආරක්ෂක බද්ද ද 1%කින් අඩු කළේ ය.
දැන් සියලු අනියම් සේවකයන් ද ස්ථිර කර තිබේ. ඊට අතිරේකව තොග ගණනින් රාජ්ය ආයතනවලට අලුතෙන් සේවකයන් බඳවා ගන්නා ප්රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ ය.
මේ සියල්ල නීතියට පටහැනි ය. මැතිවරණ නීති අනුව මේ සියල්ල වැටෙන්නේ අල්ලස් ගණයේ වැරදිවලට ය.
මේ සියල්ල නීතියට පටහැනි බව දැන දැනත් නීතිය නොසලකා ක්රියා කරන පිළිවෙතක් ක්රියාවට නැංවීම මගින් ආණ්ඩුව පෙන්නුම් කරමින් සිටින්නේ 17 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ඇතුළු කුමන නීති තිබුණත්, ඒවා නොසලකා නැවත හොඳින් හෝ නරකින් ජයගන්නා බිහිසුණු මැතිවරණයකට ආණ්ඩුව තල්ලු වෙමින් සිටින බවය.
මතුවී තිබෙන මේ අභියෝගය ඉදිරියේ විරුද්ධ පක්ෂ ක්රියාකරමින් තිබෙන ආකාරය ද ප්රශස්ථ තත්ත්වයක නො පවතී. 17 වැනි සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලැබී තිබෙන බලතල මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්රශස්ථ ලෙස යොදා ගන්නේ නම්, සිදුවෙමින් පවතින මෙම නීති විරෝධී ක්රියාවලිය වැළකීමේ හැකියාවක් පවතී. එහෙත් ඒ ගැන දේශපාලන පක්ෂවලින් යොමුවී තිබෙන අවධානය ප්රමාණවත් නැත.
17 වැනි සංශෝධනය අනුව මැතිවරණ කාලය ලෙස සැලකෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි දින සිට මැතිවරණය අවසන් වන දිනය තෙක් ය. ඒ සමස්ත කාලය පුරාම මේ නීති ක්රියාත්මක විය යුතු ය. වැරදි තහවුරු වන්නට පෙර මුල සිට වැරදි සිදුවීමට ඉඩ නොතැබීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි.