ගැඹුරු වළක වැටුණු මිනිසෙක් වළ කටෙන් ගොඩ ඒමට දරන සියලු උත්සාහයන් අසාර්ථක වූ පසු තමන් වැටී සිටින වළ පතුල හාරා ඉන් ගොඩවීමට උත්සාහ දරන තත්ත්වයකට පත්විය හැකිය. දැන් ජනාධිපතිනිය ඉන්නේ ද ඊට සමාන තැනකය.
විධායක ජනාධිපති ක්රමය ඉතා බලවත් වුවත්, එම බලය කෙරෙහි තමන්ට තිබෙන පාර්ලිමේන්තුවේ බල ප්රමාණය ද බලපායි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කෙරෙන් ප්රකාශ වූ බල පරාක්රමය කෙරෙහි ඔහුට පාර්ලිමේන්තුවේ තිබූ හයෙන් පහේ බලය ද බලපෑවේය. ජනාධිපති ප්රේමදාස මහතාට හයෙන් පහේ බලයක් නොතිබුණත්, අපහසුවකින් තොරව ආණ්ඩුවක් පවත්වාගෙන යාමට අවශ්ය කරන බහුතර බලයක් තිබුණි. එහෙත් ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියට තිබුණු පාර්ලිමේන්තු බලය ඉතාමත් සීමිත වුවත්, ඇය හයෙන් පහක බලයක් තිබූ ජේ.ආර්. ජයවර්ධන කළ දේවල් කරන්නට ගොස් අමාරුවේ වැටුණාය.
ජනාධිපතිනිය සිය ජයග්රහණය දෑක්කේ සමාජ ක්රියාවලියක ඵලයක් ලෙස නොව, තමන් පුද්ගලිකව ලැබූ සුවිශේෂ ජයග්රහණයක් ලෙසය. ඇය තමන් සමග සිටින, තමන් කරන ඕනෑම දෙයක් හරි වැරැද්ද නොසලකා අනුමත කරන කවට ගණයේ කිහිපදෙනෙකු හැර කිසිවකු විශ්වාස නොකළාය. තමා හැර අන් සියලු දෙනා ඇගේ හාස්යයට හේතුවී තිබුණු අතර, උන් කව්දැයි සිතන මානසිකත්වයකින් ක්රියා කළාය. ඇය අතින් විටින් විට නින්දාවන්ට හා අවමානයන්ට ලක්ව සිටි අය ඇයට අමතක නොවන පාඩමක් ඉගැන්වීමේ අරමුණ ඇතිව ආණ්ඩුව අභ්යන්තරයේ රහසේ කල්ලි ගැසී ක්රියා කරන තත්ත්වයකට තල්ලුවී සිටියහ.
මුස්ලිම් කොංග්රසය විපක්ෂයට එකතු වී පාර්ලිමේන්තුවේ තිබූ බහුතර බලය අහිමි වන අවස්ථාව වනවිට ඇයට එරෙහිව ආණ්ඩුව අභ්යන්තරයෙන් සංවිධානය වෙමින් තිබූ කැරැල්ල මෝදුවන තත්ත්වයකට පත්ව තිබුණත්, ඒ ගැන ඇයට අවබෝධයක් නොතිබුණි. ඇමතිවරුන් වැඩි පිරිසක් තමන් අතින් නින්දාවට ලක්ව සිටියත්, තමන් අඬගසන ඕනෑම මොහොතක ඒ සියල්ල අමතක කොට ප්රවේණිදාස රැලක් ලෙස තමා වෙනුවෙන් නැගී සිටිනු ඇතැයි ඇගේ විශ්වාසය වී තිබුණි.
තමන් තමන් විසින්ම නිර්මාණය කරගත් ගැලවිය නොහැකි උගුලකට අසුවෙමින් සිටින බව ඇය තේරුම් නොගත්තාය. මේ උගුලෙන් ගැලවීමට තිබුණු එකම මග බහුතර බලයක් ලබා සිටි විපක්ෂයට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවස්ථාවක් ලබාදෙමින්, ඉන්පසු තමන්ට එරෙහිව පාර්ලිමේන්තු කැරැල්ලක් මතුවන බව තේරුම් ගනිමින් එවැන්නකට ඉඩ නොතබා පදවියෙන් ඉවත්වීමය. එය එසේ වී නම්, චන්ද්රිකා කුමාරතුංග මහත්මියට ජනාධිපති පදවිය අහිමි වුවත්, ඇය නින්දාවට ලක්වන තත්ත්වයක් ඇති නොවන්නේය.
එහෙත් ඇය ඒ වෙනුවට තමන් අසුවී සිටි උගුල තද කරගත්තාය. උගුලේ ස්වභාවය අනුව එය තදකර ගත් පසු තවදුරටත් එය ක්රමයෙන් තදවනවා මිස ඉන් පිටතට ආ නොහැකිය.
ඇය පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම මගින් ඇතිවී තිබෙන සංඛ්යාත්මක ගැටලුව ලිහාගැනීමට අවශ්ය කාලය ලබාගැනීමට අපේක්ෂා කළාය. එහෙත් එය සරල සංඛ්යා ලේඛන ගැටලුවක් පමණක් නොවීය. විරුද්ධ පක්ෂ කෙරෙන් එල්ල කෙරෙන කැරැල්ලට අතිරේකව ඇයට එරෙහිව අභ්යන්තර කැරැල්ලක් ද කරළියට එමින් තිබුණේය. පාර්ලිමේන්තුව වසා දැමීමේ පිළිවෙත අභ්යන්තර කැරැල්ල ශක්තිමත් කොට තහවුරු කළේය.
තමා හැම පැත්තකින්ම වටවී සිටින බවත්, තමන් වෙනුවෙන් එතෙක් සටන් කළ සේනාධි නායකයන් වැඩි පිරිසක් එක්කෝ කැරැල්ලට එක්වී සිටින බව හෝ නැතිනම් නිහඬව බලා සිටින තත්ත්වයකට පත්ව සිටින බව ඇය දැනගන්නා විට පලායාමට කිසිම මගක් නැති තත්ත්වයකින් ඇය කොටුවී සිටියාය.
දැන් තමන් තමන් විසින් ම අටවා ගත් බිහිසුණු උගුලක අසුවී සිටින බව ඇය දන්නීය. එසේම ඉන් ගැලවීමක් නැති බව ද ඇය දන්නීය.
පාර්ලිමේන්තුව හත්වෙනිදාට කැඳවා විපක්ෂයට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ දුන්නත්, අභ්යන්තර කැරැල්ල තුළ සිටින ප්රමුඛ පිරිස් ද එම ආණ්ඩුවේ කොටස්කරුවන් වන තත්ත්වයක් තුළ තමන්ට එරෙහිව දැඩිව ක්රියාකරන තත්ත්වයකට යාම නොවැළැක්විය හැකි බව ඇය දනී.
පාර්ලිමේන්තුව යළි වසා ඔක්තෝබර්වලදි පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට ගිය ද, පොදු පෙරමුණ අන්ත පරාජයකට පත්වීම නොවැළැක්විය හැකිය. එවැනි තත්ත්වයක් යටතේ ජයග්රාහී මහජනතාව ශක්තිමත් පදනමක පිහිටා තමන්ට එරෙහිව නැගී සිටිනු ඇති බවද ඇය දන්නීය.
මේ තත්ත්වය ඉදිරියේ ජනාධිපතිනියට කරනවා නම් කළ හැකිව තිබෙන හොඳම දේ 7 වැනිදා පාර්ලිමේන්තුව රැස් කරවා විපක්ෂයට තමන් කැමති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩදි ඒ සමග ජනාධිපති පදවිය අත්හැර යාමය.
එසේ නොවී, දිගින් දිගට පදවියේ රැඳී සිටිමින් හිතුවක්කාරි පිළිවෙතක් අනුගමනය කළහොත් මහජන බලය විසින් ඇය පදවියෙන් ඉවත් කෙරෙන තත්ත්වයක් ඇතිවිය හැකිය. සිය කැමැත්තෙන් ඉවත් වී යන තත්ත්වයකට වඩා එවැනි තත්ත්වයක් ගරු කටයුතු හෝ මට සිලිටු විය නොහැකිය.