රටේ සිදුවන බිහිසුණු ගණයේ අපරාධවල ශීඝ්ර වර්ධනයක් සිදුවෙමින් ඇතත්, ඊට සරිලන අපරාධ මර්දනයක් රටේ ඇති බවක් පෙනෙන්නට නැත. සිදුවෙමින් පවතින සියලු අපරාධ බැර කෙරෙමින් තිබෙන්නේ ද යුද්ධ සේවයෙන් පැන එන සෙබලුන්ගේ ගිණුමට ය. යුද්ධ සේවයෙන් පැන එන සෙබලුන් හා සිදුවන මේ අපරාධ අතර කිසියම් සම්බන්ධයක් තිබෙනවා විය හැකි ය. එහෙත් සිදුවෙන අපරාධ හා දේශපාලන ආරක්ෂකයන් අතර තිබෙන සම්බන්ධය වඩා බලවත් ය.
රටේ සමස්ත ආරක්ෂක වියදමෙන් දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සඳහා කොපමණ පංගුවක් වැය කරන්නේ ද යන්න විධිමත් ලෙස ගණන් බැලීමක් කර නැතත්, ඒ සඳහා ද රටට ඔරොත්තු නොදෙන තරම් විශාල වියදමක් දරමින් සිටින බවට සැකයක් නැත. ජනාධිපතිනියට ප්රධාන කොට ආරක්ෂාව ලබා දෙන්නේ ත්රිවිධ හමුදාව වුවත්, පොලිසිය සම්බන්ධ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයගේ සංඛ්යාව 1500කට අඩු නැත. ඇමතිවරයෙකු සඳහා ලබා දි තිබෙන ආරක්ෂකයන් සංඛ්යාව 20ක් පමණ වන අතර, උප ඇමතිවරයෙකු සඳහා 10කි. අවසානයේ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සඳහා පමණක් ආරක්ෂකයන් 3000කට වැඩි පිරිසක් යොදා ඇති බව පෙනේ.
නිල ආරක්ෂකයන්ට අතිරේකව දේශපාලනඥයන්ගේ ආරක්ෂක අංශවලට නමගිය අපරාධකරුවන් ද සම්බන්ධ කරගෙන තිබෙන අවස්ථා ප්රකට ය. මේ අපරාධකාරයන් පොලිස් සේවාවන්ට සම්බන්ධ කරගෙන ඇත්තේ උප සේවා පොලිස් නිලධාරින් වශයෙනි.
දේශපාලන ආරක්ෂකයන්ට මාර්ග බාධක ඉදිරියේ සෝදිසි කිරිම්වලට භාජනය නොවී එහා මෙහා යාමේ නිදහස ලැබී තිබෙන අතර, ආරක්ෂක අංශවලට අනුයුක්ත අපරාධකරුවන් මේ නිදහස උපරිම මට්ටමෙන් සිය අපරාධකාරි අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදා ගනිමින් තිබේ. මේ අර්ථයෙන් යම් පිරිසක් දේශපාලකයන්ගේ ආරක්ෂකයන් යන ආවරණයට මුවා වී සාහසික අපරාධවල යෙදෙමින් සිටිනු දැකිය හැකි ය. ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත පුද්ගලයෙකුගේ නිවසේ සිටියදි පොලිසිය නමගිය අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත්තේ ය. එහෙත් ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත පුද්ගලයකුගේ නිවස නමගිය අපරාධකරුවන්ට සෙවණ දෙන තැනක් වූයේ කෙසේ ද යන්න ගැන කිසි සොයා බැලීමක් සිදුවූයේ නැත. මීට පෙර අපරාධ කල්ලියක් විසින් දෙල්කඳ දි තවත් නමගිය අපරාධ කණ්ඩායමක් ආයුධ සන්නද්ධව වාහනයකින් ගමන් ගනිමින් සිටියදි වෙඩි තබා ඝාතනය කරන ලද අතර, එසේ ඝාතනයට ලක්වූ අපරාධකරුවන් අතර නියෝජ්ය ඇමතිවරයකුගේ ආරක්ෂකයකු ද විය.
රටේ අපරාධ වර්ධනයේ දි හමුදාවෙන් පැන එන සෙබලුන්ගේ ක්රියාකාරිත්වය ගැන පමණක් නොව, දේශපාලන ආරක්ෂකයන්ගේ ක්රියාකාරකම් ගැන ද අවධානය යොමුවිය යුතු ය. විශේෂයෙන් ම දේශපාලනඥයන්ගේ රෙකමදාරුව මත ආරක්ෂක සේවාවන්ට එකතු වී සිටින අපරාධකරුවන් කෙරෙහි අවධානය යොමුවිය යුතු ය.