මන්ත්රීවරයෙකුගේ කාර්ය මණ්ඩලයට පර්යේෂණ නිලධාරීයෙකු ද, අලුතෙන් එකතු කරදිමට නියමිතය. පර්යේෂණ නිලධාරියෙකු එකතු කළ පමණකින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ක්රියාකාරිත්වයේ ගුණාත්මක වෙනසක් ඇති කළ නොහැකිය. මන්ත්රීවරුන්ගේ කාර්ය මණ්ඩලය තව තව වැඩිකරනවා වෙනුවට සිදුවිය යුත්තේ පළමු කොට දැනට ලබාදි තිබෙන කාර්ය මණ්ඩලය වඩා ඵලදායී කාර්ය භාරයක් ඉටු කරන තත්ත්වයකට ගැනීමය.
හැම මන්ත්රීවරයෙකුටම ලේකම්වරයකු, ලඝු ලේඛකයකු හා කාර්යාල කාර්ය සහායකයකු යන තුන්දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් හිමිය. මන්ත්රීවරයෙකුට මහජන මුදලින් මෙවැනි කාර්ය මණ්ඩලයක් ලබාදිමේ අරමුණ කාර්යක්ෂම මහජන සේවාවක් ලබාදිම ය. එහෙත් ආණ්ඩුව මන්ත්රීවරුන්ට රජයේ සේවකයන් අතරින් සුදුසු සහ පළපුරුදු කාර්ය මණ්ඩලයක් ලබාදෙනවා වෙනුවට කාර්ය මණ්ඩලය තෝරාගැනීමේ අයිතිය මන්ත්රීවරුන්ටම ලබාදෙන ක්රමයක් තුළ කාර්ය මණ්ඩලය සිය පවුලේම අයගෙන් පුරවන පිළිවෙතක් තුළ කාර්ය මණ්ඩලය සඳහා ලැබෙන වැටුප ද මන්ත්රීවරයාගේ පවුලේ ආදායමක් බවට හරවා ගෙන තිබෙන ක්රමයක් රටේ ක්රියාත්මක වේ. ඒ නිසා රටේ මන්ත්රීවරුන් වැඩි පිරිසකට කාර්ය මණ්ඩලයක් නැත. කාර්ය මණ්ඩලයක් ඇත්තේ නාමික වශයෙන් පමණය. මන්ත්රීවරුන්ගේ අකාර්යක්ෂමතාව කෙරෙහි මේ තත්ත්වය බලපායි. තමන් කැමති කාර්යය මණ්ඩලයක් තෝරාගැනීමේ අයිතිය අහෝසි කොට ආණ්ඩුවේ සංචිතයකින් ම රජයේ සේවයේ නියුතු පුද්ගල පිරිසක් ඔවුන්ට ලබාදෙන ක්රමයක් ඇති කිරීම මගින් ඔවුන්ගේ ක්රියාකාරිත්වය කාර්යක්ෂම කළ හැකිය.
සෑම වසර 05කට වරක් ම මන්ත්රීවරුන්ට රේගු බද්දෙන් නිදහස් සුඛෝපභෝගී වාහනයක් ලබාදෙන ක්රමයක් ක්රියාත්මක වන එකම රට වන්නේ ද ශ්රී ලංකාවය. කාර්යක්ෂම මහජන සේවාවක් සඳහා හොඳ වාහනයක් අත්යවශ්ය වේ යයි කියන මතයක් මන්ත්රීවරුන් අතර පොදුවේ ඇතත්, මන්ත්රීවරුන් වැඩි පිරිසක් තමන්ට ලැබෙන සුඛෝපභෝගී වාහනය සිය මහජන සේවාවන් සඳහා යොදාගන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ ලැබෙන සුඛෝපභෝගී වාහනය වැඩි මිලකට විකුණා අඩු මිලකට සරල වාහනයක් මිලදි ගැනීමය. එහෙත් රටේ පවතින නීතිය අනුව මන්ත්රීවරුන්ට ලබාදෙන වාහන විකිණීම හෝ අන්සතු කිරීම නීති විරෝධීය. පාර්ලිමේන්තුව මුළු රටට ම නීති සම්පාදනය කරන ආයතනය නිසාදෝ එම වාහන විකිණීමට එරෙහිව පවත්නා දැඩි නීති රිති ද ඔවුන්ට එරෙහිව ක්රියාත්මක වන්නේ නැත. නීති විරෝධී ලෙස වෙනත් ආයතනයක් සඳහා රේගු බද්දෙන් නිදහස්ව ආනයනය කරන ලද වාහන දෙකක් මිලදි ගෙන පරිහරණය කළේය යන චෝදනාව මත මීට සති කිහිපයකට පෙර රේගුව අරවින්ද සිල්වා හා ඔහුගේ පියා පරිහරණය කරමින් තිබූ එකක් මිලියන 06ක් තරම් වටිනා වාහන දෙකක් රාජසන්තක කොට, එක් අයෙකුට රුපියල් ලක්ෂ 03 බැගින් වන දඩයක් ද නියම කළේය. එහෙත් අරවින්ද සඳහා ක්රියාත්මක වූ එම නීතිය පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සඳහා පමණක් ක්රියාත්මක නොවේ නම් එය බලවත් අසාධාරණයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මන්ත්රීවරුන් වාහනවලට ඇබ්බැහිවී සිටින තත්ත්වයක් යටතේ පවතින මේ ක්රමය මුළුමණින් අහෝසි කිරිමේ හැකියාවක් නැතත්, සියලු මන්ත්රීවරුන්ට අයිතිය හිමි නොවන ලෙස රජයෙන් වාහන ලබාදෙන ක්රමයක් ඇති කිරීම මගින් දැන් පවතින ක්රමය තුළ ඇති දූෂිත ස්වභාවය අහෝසි කළ හැකිය.
රටේ පවතින වත්කම් හා බැරකම් නීතිය අනුව ජනාධිපතිවරණවලට, පාර්ලිමේන්තු මැතිවරණවලට පළාත් සභා මැතිවරණවලට හා පළාත් පාලන මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂකයන් මැතිවරණ කොමසාරිස්වරයාට ද, මැතිවරණවලින් තේරි පත්වූ නියෝජිතයන් ඉන්පසු හැම වසරකට වරක් ම නීතියෙන් නියම කර ඇති බලධාරියා වෙත ද තමන්ගේ, තම බිරිඳ හා පවුලේ දරුවන්ගේ ද වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් කළ යුතුය. එම නීතිය අනුව වත්කම් හා බැරකම් ප්රකාශවලට සියලුම බැංකු ගිණුම් පිළිබඳ විස්තර ද, අවසාන ශේෂයන් පිළිබඳ විස්තරය, ඉඩකඩම් දේපළ විස්තරය, මිලදි ගැනීම් හා විකිණීම් පිළිබඳ විස්තර ද ඇතුළත් විය යුතුය. නීතියෙන් නියම කර ඇති පරීදි වත්කම් හා බැරකම් ප්රකාශ ලබාදිමෙන් වැළකී සිටීම, එම ප්රකාශවලට තොරතුරු ඇතුළත් නොකර සිටීම හෝ වැරදි තොරතුරු ඇතුළත් කිරීම සිරදඬුවම් ලැබිය හැකි, ප්රජා අයිතිය අහිමි කිරීමට හේතුවන බරපතල වරදක් ලෙස සැලකේ. නීතියෙන් වත්කම් හා බැරකම් ප්රකාශ කිරීමට බැඳී සිටින ඕනෑම පුද්ගලයකු කරන ප්රකාශයක් නියම කර ඇති මිල ගෙවා ලබාගැනීමේ අයිතිය ද මහජනයා සතුය.
මේ වත්කම් බැරකම් නීතිය කොතරම් බලවත්ද කියතොත්, ජනාධිපතිවරයෙකුට මුක්තියෙන් ලැබී තිබෙන ආවරණය පවා මේ නීතිය කෙරෙහි පමණක් බලනොපායි. එහෙත් ඒ නීතිය පවා රටේ හරියාකාරව ක්රියාත්මක තත්ත්වයක නොපවතී.
බලයට පත්වන අවස්ථාව වනවිට පොහොසත් තත්ත්වයක නොසිටි සමහර ඇමතිවරුන් බලයට පත්වී වසර කිහිපයක් තුළ කුඩා ලෙස නොව, දැවැන්ත මාළිගා ලෙස සැලකිය හැකි මහා මන්දිර ඉදිකර ඇති බව දෑකිය හැකිය. එවැනි අය මෙතරම් කෙටි කාලයක් තුළ මෙතරම් විශාල ධනයක් උපයාගත්තේ කෙසේද යන ප්රශ්නයක් පවතී. එවැනි ප්රශ්න නිරාකරණය කරගැනීමට තිබෙන හොඳම මග ඔවුන්ගේ වත්කම් බැරකම් ප්රකාශ පරික්ෂාවට ලක් කිරීම වුවත් ජනාධිපති ලේකම් කාර්යාලය ඒ සඳහා ඉදිරිපත් කර තිබෙන කිසිම අයදුම්පතකට පිළිතුරු දිමෙන් වැළකී සිටින ප්රතිපත්තියක් අනුගමනය කරයි.
එංගලන්තයේ නම් මන්ත්රීවරුන්ට එරෙහිව ඉදිරිපත් කරන මහජන පැමිණිලි සලකා බැලීමට පාර්ලිමේන්තුවේම විශේෂ ආයතන ක්රමයක් පවතී. ලැබෙන පැමිණිලි අතර පරික්ෂණයකට යාමට තරම් බරපතල තත්ත්වයක පවතින පැමිණිලි ඇති අවස්ථාවල එම ආයතනය අදාළ මන්ත්රීවරයා ගැන පරික්ෂණයක් පවත්නා විට නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දේ. මෙවැනි ක්රමයක් අපටත් ඇති කරගත නොහැක්කේ ඇයි? මහජනයාගේ පිළිකුලට හේතුවී තිබෙන මහජන නියෝජිතයන්ගේ දේශපාලන සදාචාරයේ වෙනසක් සඳහා ශ්රී ලංකාව ද එවැනි ක්රමයක් ඇති කරගත යුතුය. එවිට අයථා ලෙස ධනය උපයා ගැනීම්, අයථා ලෙස බලපෑම් කරන අවස්ථාවල හෝ දූෂිත ලෙස තේරි පත්වන පාර්ලිමේන්තු නියෝජිතයන්ට එරෙහිව මහජනයාට සිය පැමිණිලි ඉදිරිපත් කළහැකි, එම පැමිණිලි විභාග කොට වරදකරුවන්ට දඬුවම් කරන ආයතන ක්රමයක් ලැබෙන්නේය. මහජන නියෝජිත සදාචාරයේ ඇති වී තිබෙන ශීඝ්ර පිරිහීම වළකා ගත හැකිවනු ඇත්තේ ද එවැනි ප්රතිසංස්කරණ ක්රියාවලියකින් පමණ ය.