සාධාරණ මැතිවරණයක් සඳහා මහානාහිමිවරුන්ගේ මැදිහත්වීම

September 3, 2000
Publication:
The Mahanayake Theras of the three Nikayas have urged monks to work actively for a free and fair election, and the National Sangha Council is to meet on 5 September. Ivan welcomes this, urges other religious leaders to join, and traces organised electoral fraud from the 1981 Jaffna DDC poll through the 1980s and, after a clean interlude, the People's Alliance's elections from 1997, now subtler than old-style ballot stuffing. Only mass public action can check it.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් භික්ෂෂූන් වහන්සේලා ක්‍රියාකාරි ලෙස මැදිහත් වීමේ වැදගත්කම අවධාරණය කරමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණය ආශ්‍රයෙන් දක්නට ලැබෙන අමානුෂික ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව ශීලාචාරකමට ද නොගැළපෙන්නක් බව අවධාරණය කරන උන්වහන්සේලා සාධාරණ මැතිවරණයක් දිනාගැනීම සඳහා මහා සංඝරත්නය තමන්ට කළ හැකි හැම දෙයක් ම සංවිධාන මට්ටමෙන් මෙන් ම පෞද්ගලිකව ද කළයුතු බව ප්‍රකාශ කර සිටිති.

මේ අරමුණ වෙනුවෙන් ම ජාතික සංඝ සභාව ද සැප්තැම්බර් 5 වැනි දින විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිත ය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් බෞද්ධ භික්ෂෂූන් වහන්සේලා අනුගමනය කරමින් තිබෙන පිළිවෙතට අන්‍ය ආගමික නායකයින් ද එකතුවිය යුතු ය. සියලු ආගමික නායකයින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් දිනාගැනීම වෙනුවෙන් ඉදිරියට එයි නම් ඒ අරමුණ වෙනුවෙන් හැගීමක් ඇති අන් සියලු දෙනාට ද ඒ අරමුණ දිනාගැනීම වෙනුවෙන් ක්‍රියාකාරි තත්ත්වයකට ආ හැකි ය.

මහජන නියෝජිත පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක වැදගත් හා මූලික ලක්ෂෂණයකි. එහි දි මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ක්‍රියාවලිය නිදහස්ව හා සාධාරණව සිදුවිය යුතුය. එහෙත් මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණ බලහත්කාරයෙන් හා තක්කඩිකමින් ජයගත යුතු ක්‍රමයක් බවට රටේ තහවුරු වෙමින් පවතින අතර මේ තත්ත්වය තවදුරටත් තහවුරු වන්නට ඉඩ දුනහොත් සමස්ත දේශපාලන ක්‍රමයම මහජනතාවගේ පිළිකුලට හේතු වී සමස්ත දේශපාලන ක්‍රමය ම කඩාවැටෙනු නොඅනුමාන ය.

නිදහසේ සිට ම මැතිවරණවල දි දූෂණ සිදුවූවත් එය ඉතාමත් ම සංවිධනාත්මකව සිදුවන මංකොල්ලයක් බවට හැරිම ආරම්භ වූයේ 1977 න් පසු ය. විශේෂයෙන් ම 1981 යාපනේ සංවර්ධන සභා ඡන්දය, 1986 ජනමත විචාරණය හා රටේ ලේ වැගිරෙමින් පැවති පසුබිමක් යටතේ 1987 පවත්වන ලද පළාත් සභා මැතිවරණය 1988 ජනාධිපතිවරණය හා 1989 පාර්ලිමේන්තු මැතිවරණය බලහත්කාරයෙන් හා දූෂණයෙන් පිරුණු මැතිවරණ ලෙස සැලකිය හැකි ය. එහෙත් ඉන්පසු පැවති මැතිවරණ නිදහස් හා සාධාරණ ආකාරයකින් පැවතියත් නැවත පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව 1997 පැවති පළාත් පාලන මැතිවරණයේ සිට 1999 ජනාධිපතිවරණය දක්වා පැවති හැම මැතිවරණයක් ම ඉතාමත් ම බලහත්කාරි හා දූෂිත ආකාරයකින් පැවති බව ප්‍රකට ය. පැරණි පාලනය යටතේ පැවති මැතිවරණවල හා දැන් කෙරෙන දූෂණ අතර ගුණාත්මක මට්ටමේ වෙනසක් ඇති බව ද දැකිය හැකි ය. පෙර පැවතියේ ආයුධ සන්නද්ධව ඡන්ද පොළවලට කඩා වැදි ඡන්ද මධ්‍යස්ථානවල ඇති ඡන්ද පත්‍රිකා පැහැරගෙන පෙට්ටි පුරවන ක්‍රියාදාමයකි. අද පවතින්නේ ඊට වඩා සියුම් ලෙස තමන් කැමති ප්‍රතිඵලයක් ලබාගන්නා කොල්ලකාරී ක්‍රමයකි.

මේ තත්ත්වයේ පාලනයක් ඇතිකරගත හැකිවනු ඇත්තේ දසලක්ෂෂ ගණන් ජනතාවගේ ක්‍රියාකාරි මැදිහත්වීමකින් පමණ ය. දැන් රටට අවශ්‍ය වී ඇත්තේ ද ඒ සඳහා වන වැඩ පිළිවෙලකි.