පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්වීමට ඇත්තේ තවත් සති තුනක කාලයක් පමණය. ඒ අතරතුර කඩිමුඩියේම ආණ්ඩුවට ඡන්ද ක්රමයේ ද වෙනසක් ඇතිකර ගැනීමට අවශ්ය වී තිබේ. දැන් තිබෙන පාර්ලිමේන්තුව මන්ත්රීවරුන් 225කින් සමන්විතය. ඒ ගණන 281ක් දක්වා වැඩි කරමින් ඉන් 168 කේවල ක්රමය යටතේ තෝරාපත් කරගැනීමේ නව ක්රමයක් ඇති කරගැනීම ආණ්ඩුවේ අභිලාෂය වී තිබේ.
ආණ්ඩුව මීට පෙර 1997දි ද නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සඳහා කෙටුම් පතක් ප්රකාශයට පත් කළේය. එහෙත් එම කෙටුම්පත තුළ පවා එවැනි වෙනසක් සඳහන්වන්නේ නැත. එහි සඳහන්වන්නේ ද අනුපාත ක්රමයක් යටතේ තෝරාපත් කරගන්නා මන්ත්රීවරුන් 225කින් සමන්විත පාර්ලිමේන්තුවකි. අනුපාත ක්රමය යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ස්ථිර ජයග්රහණයක් පිළිබඳ විශ්වාසයක් නැතිකම නිසාම ආණ්ඩුවට ඡන්ද ක්රමයේ වෙනසක් ඇති කිරීමට හදිස්සියේම අවශ්ය වී තිබෙන බව ඉන් පෙනී යයි.
තිබෙන ව්යවස්ථාවට අනුව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පදනම් වෙනස් කිරීමට හේතුවන ව්යවස්ථා සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියකට අතිරේකව ජනමතවිචාරණයකින් එය අනුමත කිරීමද අත්යවශ්ය වේ. ඡන්ද ක්රමයේ වෙනසක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියක් ලබාගත හැකිවනු ඇතැයි ආණ්ඩුව විශ්වාස කරයි. එහෙත් ජනමතවිචාරණයකට යන්නට ආණ්ඩුව සූදානම් නැත. ඒ සඳහා පැවැත්වෙන ජනමතවිචාරණයකින් පරාජය වුවහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවා පරාජය විය හැකිබව ආණ්ඩුව දන්නේය. අනෙක් අතට ජනමතවිචාරණයක් සඳහා ප්රමාණවත් කාලයක් ද ඇත්තේ නැත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියක් ඇතොත්, ජනමතවිචාරණයක් අවශ්ය නොවේ කියන අධිකරණ නියෝගයක් ලබාගැනීම මගින් ජනමතවිචාරණයක් මගහැර නව ඡන්ද ක්රමයකට යාම ආණ්ඩුවේ අභිලාෂය වී තිබේ.
තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ශ්රී ලංකා ජනරජයේ පරමාධිපත්යය බලය පිහිටා ඇත්තේ ජනතාව කෙරෙහිය. එය අහිමි කළ නොහැකි අයිතියකි. ඒ අනුව ව්යවස්ථාදායකයේ බලය පැවරෙන්නේ ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන මන්ත්රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව වෙත හා ජනමතවිචාරණයකදි ජනතාව වෙත ය. 225කින් සමන්විත පාර්ලිමේන්තුව සඳහා මන්ත්රීවරුන් තෝරාපත් කරගැනීම සිදුවනුයේ අනුපාතික ඡන්ද ක්රමයක් යටතේය. අනුපාතික ඡන්ද ක්රමය වෙනස් කරන සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අතිරේකව ජනමතවිචාරණයකින් ද සම්මත විය යුතුය.
දැන් ආණ්ඩුව ඡන්ද ක්රමය වෙනස් කරන්නට යන ආකාරය එජාප ආණ්ඩුව සරත් මුත්තෙට්ටුවගම මහතා පාර්ලිමේන්තුවට ඒම වැළකීමට දරන ලද හිතුවක්කාරී උත්සාහයට සමානය.
1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් කලවාන අසුනට තේරි පත්වූයේ එජාපයෙන් තරග කළ අබේරත්න පිලපිටිය මහතාය. ඔහු එජාප ආණ්ඩුවේ තැපැල් හා විදුලි සංදේශ නියෝජ්ය ඇමතිවරයා වූයේය.
ඔහුගේ තේරි පත්වීමේ නීත්යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සරත් මුත්තෙට්ටුවේගම මහතා මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කළේය. මැතිවරණ පෙත්සම පිලපිටිය මහතාගේ අවාසියට තීන්දුවන්නට යන බව පෙනෙන්නට තිබියදි පිලපිටිය මහතා නිවාඩු ගැනීමකින් තොරව එකපිට තුන්මසක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණීම හේතු කොටගෙන ඔහුගේ පාර්ලිමේන්තු අසුන 1977 ජනවාරී 5 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ඉබේම හිස්විය. ඉන්පසු එජාප ලේකම්වරයා හිස්වූ පුරප්පාඩුව වෙනුවෙන් අබේරත්න පිලපිටියගේ නම යෝජනා කරන ලදුව ඔහු පත්කළ මන්ත්රීවරයකු ලෙස ජනවාරි 10 වැනිදා දිවුරුම් දුන්නේය. මැතිවරණ පෙත්සමෙන් පිලපිටිය මහතා පරාජයට පත්විය ඉන්පසු තීන්දුවට එරෙහිව පිලපිටිය මහතා ශ්රේෂ්ඨාධිකරණයට ගියේය. ශ්රේෂ්ඨාධිකරණය 1980 ඔක්තෝබර් 9 වැනි දින මැතිවරණ පෙත්සමේ තීන්දුව අනුමත කරමින් තීන්දුවක් දුන්නේය.
එහෙත් පිලපිටිය මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් නොවී පත්කළ මන්ත්රීවරයකු ලෙස තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳී සිටියේය. ඒ අතර ශ්රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයා කලවාන ඡන්ද කොට්ඨාශයට අතුරු මැතිවරණයක් සඳහා නාමයෝජනා කැඳෙව්වේය. ඒ අතර, පිලපිටිය මහතා කතානායක වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් පත්කළ මන්ත්රීවරයකු වශයෙන් තමාගේ තේරි පත්වීම ශ්රේෂ්ඨාධිකරණය අවලංගු කොට නැති නිසා කලවාන ආසනයට පුරප්පාඩුවක් නැති බවත්, තමා කලවාන ඡන්ද කොට්ඨාශයේ මන්ත්රීවරයා වන බවත් ප්රකාශ කර සිටියේය.
කලවාන නාම යෝජනා දිනට පෙර දින පිලපිටිය මහතාගේ පෙත්සම පිළිබඳ කතානායක බාකීර් මාකර් මහතා තීන්දුවක් දෙමින් කියා සිටියේ පත්කළ මන්ත්රීවරයකු වශයෙන් පිලපිටිය මහතා කලවාන ආසනයේ මන්ත්රීවරයා වන බවය.
එහෙත් එවකට මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් ක්රියාකළ පියසිරි මහතා කතානායකගේ තීන්දුව තුට්ටුවකටවත් ගණන් නොගනිමින් කතානායකවරයා එම ප්රකාශය කළ දිනට පසු දිනම 1980 ජනවාරි 12 වැනි දින කලවාන අතුරු මැතිවරණය පැවැත්වෙන බව ප්රකාශ කර සිටියේය. කලවාන ආසනයට මන්ත්රීවරුන් දෙදෙනකු පත්කිරීමට හැකිවන ආකාරයට ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය කරන බව ඒ සමග ආණ්ඩුව නිවේදනය කළේය. එම සංශෝධනය සඳහා වන කෙටුම්පත ශ්රේෂ්ඨාධිකරණයේ රජ පස්කට්ටුවක් ඉදිරියේ දෙසැම්බර් 27 වැනි දින විභාගයට ගැනිණ.. ජනවාරි 12 වැනි දින පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයෙන් තේරි පත්වන කවර පුද්ගලයකු සඳහා වුවත්, පාර්ලිමේන්තුවේ පුරප්පාඩුවක් නොමැති හෙයින් එම පත්වීමට ඉඩ ලබාදිමේ අරමුණින්ලුමෙම සංශෝධනය ගෙනා බවට නීතිපති තර්ක කළේය. එහෙත් ශ්රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ පාර්ලිමේන්තුවේ නියෝජනය එක් අයෙකුගෙන් හෝ වැඩි කිරීමට අවශ්ය නම්, තුනෙන් දෙකේ ඡන්දයක පාර්ලිමේන්තු අනුමැතියක් පමණක් නොව, එය ජනමතවිචාරණයකින් ද අනුමත විය යුතු බවය.
කලවාන අතුරු මැතිවරණයෙන් සරත් මුත්තෙට්ටුවගම මහතා තේරි පත්වූ අතර, ශ්රේෂ්ඨාධිකරණයට පින්සිදුවන්නට සිය කූට වැඩපිළිවෙළ හකුළා ගන්නට ආණ්ඩුවට සිදුවූයේය. පිලපිටිය මහතා සරත් මුත්තෙට්ටුවගම මහතාට ඉඩදිම පිණිස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙමින් රාජ්ය ස්කාගාර සංස්ථාවේ සභාපති බවට පත්විය.
ජේ.ආර්. ජයවර්ධන කොතරම් බලවත් පාලකයකු වුවත්, ඔහු කරන්න වෙර දැරූ හිතුවක්කාරී වැඩපිළිවෙළ ශ්රේෂ්ඨාධිකරණය අනුමත නොකළේය. ඒ මගින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සාරය ආරක්ෂා කරන අතර, සිය ස්වාධීනතාව ද මනා ලෙස ප්රදර්ශනය කළේය. දැන් ආණ්ඩුව කරන්නට යන දේ එදා ජේ.ආර්. කරන්න ගිය දේටත් වඩා භයානකය. පාර්ලිමේන්තුවේ සංයුතිය එකකින් නොව 56 කින්ම වැඩිකිරීමකින් නොනැවතී තිබෙන සමානුපාතික ක්රමය වෙනුවට, කේවල ක්රමයකට බරතබන ක්රමයකට යන්නට මානබලමින් සිටිනුයේ ජනමතවිචාරණයකින් ද තොරවය. එහිදී වර්තමාන ශ්රේෂ්ඨාධිකරණය ගනු ලබන තීන්දු මත ශ්රී ලංකාවේ අනාගතය සේ ම ශ්රේෂ්ඨාධිකරණයේ අනාගතය ද රඳ පවතී. පිළිගත් ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට පටහැනිව පටු බල ලෝභී අරමුණු වෙනුවෙන් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සමග හිතුවක්කාරී ලෙස සෙල්ලන් කරන්නට පාලක පක්ෂවලට ඉඩ නොහැරිම ශ්රේෂ්ඨාධිකරණය සතු වගකීමකි.
තමන් සැලසුම් කොට තිබෙන කූට වැඩපිළිවෙළ ඉදිරියට ගැනීමට ආණ්ඩුවට තිබෙන ලොකුම අභියෝගය ජනමතවිචාරණයයි. මෙවැනි කූට වැඩපිළිවෙළක් වෙනුවෙන් පවත්වන ජනමතවිචාරණයකදි මහජන අනුමැතිය ලබාගැනීම අමාරුය. අනෙක් අතට මෙවැනි කූට වැඩපිළිවෙළක් පරාජය කිරීම පිණිස සියලු විරුද්ධ පක්ෂ බලවේගයන් මුළු ශක්තිය යොදා ක්රියාකරන තත්ත්වයකට තල්ලුවීම නොවැළැක්විය හැකිය. ඒ සඳහා පැවැත්වෙන ජනමතවිචාරණයකින් පරාජය වුවහොත් එය ඉන්පසු පවත්වන පාර්ලිමේන්තු මැතිවරණය කෙරෙහි ද බලපායි.
විරුද්ධ පක්ෂයේ තෝරාගත් මන්ත්රීවරුන් පිරිසක් සමග ගනුදෙනුවකට යාම ඊට පහසුය. ජනාධිපති ක්රමයට මතුවෙමින් තිබෙන අභියෝගය වළකා ගැනීම පිණිස ගෙවන්නට විශේෂ මිලක් ඇත්නම්, එය ගෙවීම ආණ්ඩුවට ලාබදායකය.
කරන්නට යන්නේ කුමක්ද යන්න ආණ්ඩු පක්ෂයේ වැඩිදෙනෙක් හොඳින් දනිති. එහෙත් කරන කවර දෙයකට වුවද විරුද්ධවීමේ හැකියාවක් ද ඔවුන්ට නැත. සමානුපාතික ක්රමය වෙනස් කරන්නට සුළු ජාතික පක්ෂ කැමති නැතත්, ඒ සියලුදෙනාට ආරක්ෂාව තීරණාත්මකය. ඔවුන්ට එක මොහොතක්වත් ආණ්ඩුවෙන් ලබාදි තිබෙන ආරක්ෂාව නොමැතිව පැවැත්ම අමාරුය. ඒ අර්ථයෙන් අවසාන විග්රහයේදි ඔවුන්ගේ අවාසියට හේතුවන වැඩපිළිවෙළක් සඳහා වුවත් කැමති වනවා හැර අකමැති වීමේ හැකියාවක් ඔවුනට නැත.
ඉන්පසු අවශ්යවන්නේ තුනෙන් දෙකේ බලයක් සඳහා අඩු මන්ත්රීන් සංඛ්යාව එජාපයෙන් ලබාගැනීමය. එජාපයේ මන්ත්රීන් කිසියම් පිරිසක් නඩු හබවලට පැටලී සිටිති. සමහරෙකුට දූෂණ චෝදනා ද, තවත් සමහරෙකුට මනුෂ්ය ඝාතන චෝදනා ද පවතී. එවැනි අය සමග ගනුදෙනුවකට යාම පහසුය. ඔවුන් පැටලී සිටින නඩු හබවලින් නිදහස් කරනවාට අතිරේකව ඔවුන්ට සංතෝෂ විය හැකි පදවි හෝ මුදල් ලබාදෙන ක්රියාමාර්ගයක් මගින් කිසියම් පිරිසක් කැමති කරවාගත හැකිය. ඒ අයගේ ප්රමාණය සිය අරමුණ ඉටුකර ගැනීමට අවශ්ය තරම් නොවේ නම්. අතිවිශාල මිලක් සඳහා ද, තවත් කිසියම් පිරිසක් කැමති කරවාගත හැකිය. සංතෝස විය හැකි තරම් විශාල මිලක් ලැබෙන්නේ නම් දේශපාලනය අත්හැරීමට වුවත් තවත් සුළු පිරිසක් හෝ එම පක්ෂය තුළ සිටිය හැකිය.
දැන් පොදු පෙරමුණට තිබෙන ආසන සංඛ්යාව 103කි. ඊට අතිරේකව මුස්ලිම් කොංග්රසයට 07ක්ද, ඊපීඩීපීයට 09ක් ද, දෙමළ වතු කම්කරු සංගමයට 07ක්ද, ප්ලොට් හා ටෙලෝ 3ක්ද, විකල්ප 07ක් ද යනාදි වශයෙන් මුළු ගණන 136කි. ද්රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ 05 දෙනා ද, කැමති කරවා ගතහොත් තුනෙන් දෙකේ බලයක් සඳහා එජාපයෙන් තමන්ට අවශ්ය වනු ඇත්තේ 09ක් පමණය. එය ආණ්ඩුවකට අමාරු ඉලක්කයක් විය නොහැකිය. සිය පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා එක් පුද්ගලයෙක් මිලදි ගැනීම සඳහා ගෙවිය යුතු මිල රුපියල් කෝටි 2ක් ලෙස සැලකුවත් අරමුණ ඉටුකර ගැනීම සඳහා වියදම් කරන්නට සිදුවනු ඇත්තේ රුපියල් කෝටි 18ක් පමණය.