සිය කැමැත්තෙන් හිරවීම

July 23, 2000
Publication:
Ivan calculates that even repeating its presidential vote would give the People's Alliance and allies only about 115 of 225 seats under district proportional representation, and 103 if its vote fell ten percent. Intra-party preference contests make rigging harder, hence the push for a mixed system, which needs a two-thirds majority, a referendum and six months. A hostile Parliament could elect the Speaker, impeach the President or cut her funds, a trap of the President's own making.

මේවනවිට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තේරී පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාවේ සාමාන්‍යය ඡන්ද 35,305කි. 1999 දි එය 32,492කි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි පොදු පෙරමුණ 99 ජනාධිපතිවරණයේ දි ලබාගත් ඡන්ද ලක්ෂ 43ම ලබාගත්තත්, පවතින දිස්ත්‍රික්ක අනුපාත ක්‍රමය යටතේ පොදු පෙරමුණ සමග එකට ක්‍රියාකරන සියලු පක්ෂවලට (ශ්‍රීලනිපය, සම සමාජ පක්ෂය, කො.ප., මුස්ලිම් කෙංග්‍රසය, වතු කම්කරු කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. සංවිධානය, ප්ලොට් හා එජාප විකල්ප කණ්ඩායම) ලබාගත හැකිවනු ඇත්තේ 225ක් වන පාර්ලිමේන්තුවේ මුළු ආසන සංඛ්‍යාවෙන් ආසන 115ක් පමණය. ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව 99 ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා 10%ක් තරම් ප්‍රමාණයකින් අඩුවුවහොත් ඒ සියලු පක්ෂවලට දිනාගත හැකි ආසන සංඛ්‍යාව 103ක් බවට පත්වන්නේය.

මෙයින් පෙන්නුම් කෙරෙන්නේ පවතින දිස්ත්‍රික්ක අනුපාත ක්‍රමය යටතේ පොදු පෙරමුණට කැපී පෙනෙන තරම් ජයග්‍රහණයකට ඉඩක් නැති බවය. සමහරවිට පාර්ලිමේන්තුවේ ඇති බහුතර බලය පවා අහිමි විය හැකි තත්ත්වයක් ඇති බවය. එසේ වුවහොත් 1996දි ලබාගත් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ද අභියෝගයට ලක්වන්නේය. ජනාධිපතිවරණයක් නම්, ප්‍රධාන තරගය ඇත්තේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතරය. එහිදී එකම පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් අතර පවත්නා තරගය කරළියට එන්නේ නැත. පක්ෂයේ හැම කෙනෙකුම ඡන්දය දෙන්නේ පක්ෂයේ අපේක්ෂකයාටය. සංවිධානාත්මක තක්කඩිකම් ද අමාරුවකින් තොරව ඉදිරියට ගෙන යා හැකිය.

එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයකදි එකම පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් අතර වියරු පොරයක් මතුවීම නොවැළැක්විය හැකිය. සමහරවිට ඒ පොරය විරුද්ධ පක්ෂ දෙකක් අතර, ඇති පොරය ඉක්මවා යන පොරයක් බවට ද පත්විය හැකිය. එවැනි සංකීර්ණ තත්ත්වයක් ඉදිරියේ තක්කඩි වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යාමද අමාරුය. ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නම්, පවතින දිස්ත්‍රික්ක අනුපාත ක්‍රමය අතහැර මිශ්‍ර ඡන්ද ක්‍රමයකට යායුතු යැයි සිතන ක්‍රමයකට ආණ්ඩුව තල්ලු වී සිටින්නේ ඒ නිසාය.

එහෙත් ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව එවැනි ක්‍රමයකට යා නොහැකිය. ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා තුනෙන් දෙකේ අනුමැතියක් ලබාගත්තත්, එය නීතිගත කිරීමට නම් ජනමතවිචාරණයකට ද යා යුතුය. එහෙත් එවැනි ජනමතවිචාරණයකට සියලු විරුද්ධ පක්ෂ එකතු වී ආණ්ඩුව පරාජයට පත් කළහොත් ආණ්ඩුව දැන් සිටින සරල තැනටත් වඩා අසීරු තැනකට පත්වන්නේය. ජනමතවිචාරණයට නොයන ක්‍රමයක් ගැන ආණ්ඩුව කල්පනා කරන තැනකට පැමිණ ඇත්තේ ඒ නිසාය.

අනෙක් අතට මැතිවරණ ක්‍රමය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයක් හා ජනමතවිචාරණයක් සඳහා අවශ්‍ය අවම කාලය මාස 06කි. පාර්ලිමේන්තුවේ නිල කාලය අගෝස්තු 24 වැනිදා අවසන් වන්නේය. ඒ නිසා නීතියට අනුව නම් මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට කිසිම පුළුවන්කමක් නැත. එහෙත් දුෂ්කර ගැටලුවලට අධිකරණයෙන් විසඳුමක් ලබාගත හැකිවේ යැයි ආණ්ඩුව කල්පනා කරයි.

ජනමත විචාරණයකට ලක් නොකරන ව්‍යවස්ථා සංශෝධනය සේම ජනමවිචාරණයකට ලක් කරන ව්‍යවස්ථා සංශෝධනයකට වුවත් පාර්ලිමේන්තු නිල කාලය මාස කිහිපයකින් හෝ දිර්ඝ කරන වැඩපිළිවෙළකට අනුමැතිය දිමේ හැකියාවක් අධිකරණයට ද නැත. එසේ වුවහොත් සමස්ත අධිකරණ ක්‍රමයම අතිවිශාල අර්බුදයකට තල්ලු වන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

අනෙක් අතට මිශ්‍ර ඡන්ද ක්‍රමයකට සුළු ජාතික පක්ෂවලට ද එකගවිය නොහැකිය. එවැනි ක්‍රමයක් ඔවුන්ට තිබෙන නියෝජනයේ සීමාවන් ඇති කරයි. මුස්ලිම් කොංග්‍රසය සේම වතු කම්කරු කොංග්‍රසය ඊට එකග නොවන්නේ ඒ නිසාය. අනෙක් අතට දඩි බිඩි වෙනසකට කිසිම විරුද්ධ පක්ෂයක් කැමති වනු ඇතැයි සිතිය නොහැකිය. ජනතා විමුක්ති පෙරමුණට ඊට එකග විය නොහැකිය. එජාපයට ද ඊට එකග විය නොහැකිය.

මේ නිසා අතිවිශාල තක්කඩිකමකින් හැර මේ මොහොතේ තරගයේ නීති රිති වෙනස් කළ නොහැකිය. නීති වෙනස් කිරීමට තක්කඩි ක්‍රමයක් යොදා ගතහොත් ඒ මොහොතේ සිට ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය ද අහෝසි වන්නේය.

ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් නැති පක්ෂ ලබාගන්නා ආසන සංඛ්‍යාව පොදු පෙරමුණට සම්බන්ධ හා ඊට ආධාර කරන පක්ෂ ලබාගන්නා ආසන සංඛ්‍යාවට වඩා වැඩි වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අතිවිශාල අර්බුදයකට තල්ලු කරන තත්ත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකිය.

අගමැති හා කතානායක තෝරා පත්කරනුයේ පාර්ලිමේන්තුවය. විරුද්ධ පක්ෂයේ කෙනෙකු කතානායක ධුරයට පත්වුවහොත් ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරියට ගැනීමේ හැකියාවක් එම පක්ෂයට ලැබෙන්නේය. ජනාධිපතිට අවුරුද්දක් යන තෙක් අලුතින් තේරි පත්වූ පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය නොහැකිය. අනෙක් අතට පාර්ලිමේන්තුවට අවශ්‍ය නම්, ජනාධිපති ධුරය සඳහා මුදල් අනුමත කිරීම වැළකීම මගින් ජනාධිපති ක්‍රමය බිඳ දැමිය හැකිය.

එවැනි තත්ත්වයක් ද්විත්ව බලයක් ඇති කිරීමට හේතුවේ. ජනාධිපතිනිය තෝරාගෙන ඇත්තේ ජනතාව විසිනි. එහෙත් එය අතීතයේ ලද ජයග්‍රහණයක් බැවින් නව මහජන බලයක් ඊට අවනත වනු ඇතැයි සිතිය නොහැකිය.

ජනාධිපති එක් පක්ෂයකින් ද, වෙනත් පක්ෂයකට වැඩි බලයක් ඇති පාර්ලිමේන්තුවක් ද අනාගතයේ ඇතිවීමට තිබෙන ඉඩකඩ හා ඒ ආශ්‍රයෙන් ඇතිවන අර්බුදයේ හැඩතල ගැන ආචාර්ය එන්.එම්. පෙරේරා කර තිබෙන අනගි විවරණය අදටත් වලංගුය. පොදු පෙරමුණේ නායකයන් ප්‍රඥාවත් වී නම් ඔවුන් කළ යුතුව තිබුණේ ජනාධිපතිනියගේ නිල කාලය අවසාන වනතෙක් ඇයට එම නිලය හෙබවීමට අවස්ථාවක් ලබාදෙන ආකාරයේ හාස්‍යජනක ව්‍යවස්ථා සංශෝධනයකට යාම නොව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා එකගතාවක් ඇතිකර ගනිමින් නව පාර්ලිමේන්තුවේ ආරම්භයත් සමග ජනාධිපති ක්‍රමය අහෝසි වන ලෙස නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙන විධි විධාන ඇතිකර ගැනීමය. එය එසේ නම්, ජනාධිපතිනියට අඩුම වශයෙන් අගමැති වශයෙන් හෝ විරුද්ධ පක්ෂ නායිකාව වශයෙන් පාර්ලිමේන්තුවට එකතුවීමේ හැකියාව ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් දැන් ඇති කරගෙන තිබෙන ක්‍රමය අනුව ඇය සිය කැමැත්තෙන් කොටුවන තැනකට තල්ලු වී සිටින්නීය. වැරදිලාවත් ඊළග පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමිකර ගැනීමට පොදු පෙරමුණ අසමත් වෙතොත්, විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව වඩාත්ම ආවේගකාරී ආකාරයකින් නැගී සිටින පිරිස වනු ඇත්තේ ද වෙනත් පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොව පොදු පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.