පාර්ලිමේන්තු මැතිවරණයක් ජනමත විචාරණයක ද

May 21, 2000
Publication:
Ivan expects the government to try to avoid the parliamentary election due by October, fearing defeat after setbacks in the North. With many MPs unsure of renomination, he sets out the seat numbers and shows it would need only 19 opposition votes for a two-thirds majority to extend Parliament through a 1982-style referendum, explains MPs' pay rises and land grants in that light, and predicts such a referendum could fail.

ව්‍යවස්ථාවට අනුව නම්, ඔක්තෝබර් අවසන්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා අවසන් කළ යුතුය. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමෙන් වැළකීම ආණ්ඩුවේ අභිප්‍රාය වී තිබෙන බව පෙනේ.

උතුරේ පවතින අර්බුදය පාර්ලිමේන්තු මැතිවරණයකදි තමන්ට ලැබෙන්නට නියමිතව තිබූ දෙයක් පවා අහිමි කරනු ඇතිය යන්න ආණ්ඩුවේ නායකයන්ගේ විශ්වාසය වී තිබේ. ඉදිරියේදි උතුරේ තත්ත්වය වඩා නරක අතට හැරුණ හොත් ඒ තත්ත්වය වඩා නරක ලෙස මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි බලපානු නොවැළැක්විය හැකිය.

උතුරේ පැවැත්ම බරපතල අභියෝගයට ලක්ව නොතිබූ තත්ත්වයක් ඉදිරියේ පවා ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණය මගහරින පිළිවෙතකට ගණන් බැලීමක යෙදි සිටියේය. තමන්ට ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකිවුවත්, ලැබෙන ප්‍රතිඵලය දැන් තිබෙන තත්ත්වය තරම් යහපත් නොවන බව ආණ්ඩුව දෑන සිටියේය. පාර්ලිමේන්තු මැතිවරණයකදි ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ජනාධිපතිවරණයේ දි ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ලක්ෂ දෙක තුනක්වත් අඩු වුවහොත් ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පවා අභියෝගයට ලක්වන තත්ත්වයක් ඇතිවිය හැකි බව ආණ්ඩුව නිවැරදි ලෙස දැන සිටියේය.

එහෙත් දැන් තිබෙන තත්ත්වය ඒ තිබුණු තත්ත්වයට වඩා අයහපත්ය. ඒ තත්ත්වය ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පරාජය වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අභියෝගයට ලක්වන තත්ත්වයක් ඇතිවන්නේය.

සියලුම දේශපාලන පක්ෂ සිටින්නේ අන්දමන්ද භාවයට පත් තැනකය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට අයත් මන්ත්‍රීවරුන් අතර තමන්ට ඉදිරි මැතිවරණයේදි නාමයෝජනා ලැබේද යන්න විශ්වාසයක් නැති විශාල පිරිසක් සිට. එසේම නාමයෝජනා ලැබුණත් තමන් ලබන ජයග්‍රහණයක් පිළිබඳ විශ්වාසයක් නැති පිරිසක් ද සිටින්නේය.

සුළු ජාතික පක්ෂ සිටින්නේ ද තමන්ගේ අනාගතය කුමක්ද යන්න ගැන විශ්වාසයක් නැති තැනකය. මේ තත්ත්වය ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණය වර්ෂ කිහිපයකට කල් දමන වැඩපිළිවෙළකට අතිවිශාල බහුතරයකගේ සහාය තමන්ට ලබාගත හැකිවනු ඇතැයි ආණ්ඩුවේ නායකයන්ගේ විශ්වාසය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වැඩිදෙනෙක් නැවත බලය උරගා බලන පරීක්ෂණයකට ලක් නොවී තමන් විඳින වරප්‍රසාද තවදුරටත් බුක්ති විඳීමට ඉඩ ලබාදෙන ඕනෑම ක්‍රමයකට පක්ෂපාත වනු නොවැළැක්විය හැකිය.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එජාපය තුළ පවා ඒකමතික භාවයක් නොපවතී. තමන්ට ඉදිරි මැතිවරණයකදි නාමයෝජනා නොලැබෙනු ඇතැයි විශ්වාස කරන කිසියම් විශාල පිරිසක් සිටින අතර, ඔවුන් හැමකෙනෙකුම පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා වෙනුවට එය කල් තබන ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දෙන පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි සිතිය හැකිය.

ආණ්ඩු පක්ෂය තුළ ද පොදු ඒකමතිකභාවයක් නොපවතී. ජනාධිපතිනියගේ පාලන රටාව ගැන වර්ධනය වන කලකිරීමක් විවිධ ඇමතිවරුන් අතර පවා පවතී. ඒ සමග ඉදිරි මැතිවරණයේ දි තමන්ට නාම යෝජනා දෙනු ඇත් ද යන සැකයක් සමහර ඇමතිවරුන් සේ ම මන්ත්‍රීවරුන් අතර ද පවතී. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වන වැඩපිළිවෙළකට ඒ සියලුදෙනා එකග වනු ඇතැයි සිතිය හැකිය.

සමසමාජ, කොමියුනිස්ට් වැනි පක්ෂවලට ඉදිරි මැතිවරණයකදි තිබෙන සියලු දේ අහිමි වනු ඇතැයි සිතිය හැකි.. එවැනි තත්ත්වයක් ඉදිරියේ දි ඒ සියලුදෙනා ද මැතිවරණය කල් දමන වැඩපිළිවෙළකට එකග වනු ඇතැයි සිතිය හැකිය. මතුවී තිබෙන නව සංකීර්ණ තත්ත්වය ඉදිරියේ ඊපීඩීපී හා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ ද තවදුරටත් තමන්ගේ තත්ත්වය මේ ආකාරයෙන්ම ආරක්ෂා කරන ක්‍රියාමාර්ගයකට එකග වනු ඇතැයි සිතිය හැකිය.

මීට වඩා දරුණු ලේ වැගිරෙන තත්ත්වයක් තිබියදි පවා 88-90 කාල වකවානුවේදි ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වීය. ජනමත විචාරණයක් මගින් පැරණි පාර්ලිමේන්තුවේ කාලය දිර්ඝ කරගැනීම සඳහා 1982 දි අනුගමනය කළ ප්‍රතිපත්තිය ආණ්ඩුවට ද මේ අවස්ථාවේදි ප්‍රයෝජනයට ගත හැකිය.

ඒ සඳහා තුනෙන් දෙකක කැමැත්තක් දිනාගැනීම අවශ්‍ය වන අතර, ඉන්පසු ජනමත විචාරණයකට ද යන්නට සිදුවන්නේය.

පාර්ලිමේන්තුවේ 225ක් වන මුළු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවෙන් ආණ්ඩු පක්ෂය සතු ආසන සංඛ්‍යාව මෙසේය.

පොදු පෙරමුණට 103

වතු කම්කරු කොංග්‍රසයට 07

ඊ.පී.ඩී.පී. 09

මුස්ලිම් කොංග්‍රසයට 07

එජාප විකල්ප කණ්ඩායමට 05

131

විරුද්ධ පක්ෂය සතු ආසන 94 පක්ෂ හා කණ්ඩායම් අනුව බෙදි ගොස් ඇත්තේ මෙසේය.

එජාප 83

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ 05

කර්රට පෙරමුණ 01

ප්ලොට් 03

ජවිපෙ 01

වාසුදේව 01

94

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා සිටීමට තුනෙන් දෙකක එකගතාවක් සඳහා ආණ්ඩුවට විරුද්ධ පක්ෂයෙන් ලබාගැනීමට අවශ්‍ය වනු ඇත්තේ මන්ත්‍රීවරුන් 19 දෙනකු පමණය. එම මන්ත්‍රීවරුන් 19 දෙනා එජාපයෙන් පමණක් වුවත් ලබාගැන්මට අසීරු විය නොහැකිය.

ජනාධිපතිනිය පක්ෂ භේදයෙන් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතුටු කරනු පිණිස ඔවුන්ට දිය හැකි හැම දෙයක්ම නිර්ලෝභී ආකාරයකින් ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ද පාර්ලිමේන්තු මැතිවරණය කල් දමන වැඩපිළිවෙළක් සඳහා ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට ඔවුන් සතුටින් සිටින තත්ත්වයක තැබීම අවශ්‍ය වූ නිසාය. රටේ මූල්‍ය අර්බුදයක් තිබියදි එය නොසලකා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කොට අවුරුදු දෙකක් ආපස්සට බලපාන ආකාරයෙන් ඔවුන්ට හිග වැටුප් ලබා දුන්නේද, සියලුම මන්ත්‍රීවරුන් සඳහා කොළඹින් පර්චස් 20ක ඉඩම් ප්‍රමාණයක් ලබාදිම පිණිස ක්‍රියාකරමින් සිටින්නේ ද සිය සටකපට වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම පිණිස මේ විශේෂ මොහොතේ ඔවුන් සියලු දෙනා තෘප්තිමත් තත්ත්වයක තැබීම අවශ්‍ය නිසාය.

කවර තත්ත්වයක් යටතේ වුවත් නිල කාලය අවසන් වූ පාර්ලිමේන්තුවක නිල කාලය දිර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන්නා සේ ම නීතියට අනුකූළ නොවන්නේය. කවර තරම් අර්බුදකාරි තත්ත්වයක් යටතේ වුවත්, ජනමතවිචාරණයක් මගින් නිල කාලය අවසන් වූ පාර්ලිමේන්තුවක නිල කාලය දිර්ඝ කරගැනීමේ ආදර්ශයක් ලෝකයේ ඒකාධිපති රටවලින් මිස ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් ලබාගත නොහැකිය. එවැනි වැඩපිළිවෙළක් ශ්‍රේෂ්ඨාධිකරණයක් අනුමත නොකළ යුතු වුවත්, 82 ජනමත විචාරණ වැඩපිළිවෙළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද එදා අනුමත කර තිබෙන තත්ත්වයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙන් පවා මතුවන අභියෝගයකින් තොරව ජේ.ආර්.ජයවර්ධනගේ එම සටකපට වැඩපිළිවෙළ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියටත් ඉදිරියට ගෙනයාමට හැකිවනු ඇතැයි සිතිය හැකිය. එහෙත් ඉතාමත් දුෂ්කර ගැටලු පැන නගිනු ඇත්තේ ජනමත විචාරණයේදිය. ඒ කෙරෙහි රටේ ශීඝ්‍රයෙන් වෙනස්වෙමින් පවතින පරිසරය ද බලපානු ඇත.

ඊළග පාර්ලිමේන්තු මැතිවරණයකින් තමන්ට ආණ්ඩු පක්ෂය වීමට හැකිවනු ඇතැයි කල්පනා කරන එජාපයේ බලවත් පිරිසක් ජනමත විචාරණ වැඩපිළිවෙළකට එරෙහිව මුළු ශක්තිය යොදා ක්‍රියාකරනු ඇතැයි සිතිය හැකිය. ජනතා විමුක්ති පෙරමුණ සේ ම මෑතදි ඇති කරගත් සිහළ උරුමය පක්ෂයට ද එය අභියෝගයකි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කොට කිසියම් ප්‍රමාණයක පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබුණි. එහෙත් ජනමතවිචාරණ වැඩපිළිවෙළත් ඔවුන්ගේ ඒ අරමුණුවලට පටහැනිය. එවැනි තත්ත්වයක් ඉදිරියේ එවැනි බලවේගයන් ද ජනමතවිචාරණයක් පරාජය කිරීම සඳහා උපරිම වශයෙන් ශක්තිය යොදවනු ඇතැයි සිතිය හැකිය.

ජෙ.ආර්. ජයවර්ධන ඉතාමත් ශක්තිමත් තත්ත්වයක සිටියදි පවා (එය එජාප ආණ්ඩුවේ ස්වර්ණමය යුගය විය) සියලුම තක්කඩිකම් කරමින් වුවත් ජනමත විචාරණය ජයගත්තේ යාන්තමටය. එය එසේ සිදුවූයේ ද ජනමතවිචාරණයට එරෙහි විරුද්ධ පක්ෂ එක්සත් ක්‍රියාමාර්ගයකට පවා යොමුවී නොතිබුණු අවස්ථාවකය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඊට සහාය දෙන විට කොටි, ප්ලොට්, ඊපීආර්එල්එෆ් වැනි සංවිධාන ඊට එරෙහිව සිටියේය.

අද රටේ පවත්නා සමාජ මානසික පරිසරය අනුව ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තු මැතිවරණයක් කල් දමන ක්‍රියාමාර්ගයක් ජනතාවගේ පිළිකුලට හේතුවීම නොවැළැක්විය හැකිය. මෙවැනි තත්ත්වයක් ඉදිරියේ ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තු මැතිවරණයත් කල්දම්මා ගැනීමේ වෑයමකට තුනෙන් දෙකේ පාර්ලිමේන්තු අනුමැතියක් ලබාගත හැකි වුවත්, ජනමතවිචාරණයකදි ආණ්ඩුව පරාජය වන තත්ත්වයක් ඇතිවිය හැකිය. ජනමතවිචාරණයකින් ආණ්ඩුව පරාජයට පත්වුවහොත් ඉන්පසු ආත්ම විශ්වාසයකින් යුතුව පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කළ හැකිවනු ඇතැයි ද සිතිය නොහැකිය.