ජනාධිපතිනියගේ ජාතිය ඇමතීම බණ්ඩාරනායක පවුලේ ඉඩම් අයිතිය හා ඉඩම් සීමා නීතිය

January 23, 2000
Publication:
Ivan disputes the President's claim in her 3 January address that her father owned about 4,000 acres and sold 2,000 for politics. Tracing the Bandaranaike mudaliyar line, the colonial land grants of 1815 and 1818, and figures from Patrick Peebles and the 1927 Ferguson's Directory, he shows Sir Solomon Dias Bandaranaike held 1,831 acres. He notes that many families lost more land under the ceiling law, reproducing tables of large native landowners.

පසුගිය ජනවාරී 3 වැනිදා ජනාධිපතිනිය ජාතිය අමතා කරන ලද දිර්ඝ කතාවට ඇතුළත් සමහර කාරණා හා එම කතාවේ විලාශය පිළිබඳව විවිධ මතිමතාන්තර පළවෙමින් පවතී. එම කතාවේ එන දේශපාලන කාරණා ගැන කිසිවක් කතා කිරීමට මම බලාපොරොත්තු නොවෙමි. එහෙත් බණ්ඩාරනායක පවුලේ ඉඩම් අයිතිය පිළිබඳව එම කතාවට ඇතුළත් කරුණු පිළිබඳව කරුණු පැහැදිලි කිරීම පිණිස මෙය ලියමි.

තමාගේ පියා සතුව ඉඩම් අක්කර 4000ක් පමණ තිබුණු බවත්, ඉන් අක්කර දෙදහසක් පමණ පියා දේශපාලන කටයුතු වෙනුවෙන් විටින් විට විකිණීම හේතු කොටගෙන අවසානයේ පියාගෙන් තම පවුලේ අයට හිමිවූයේ අක්කර දෙදහසක් පමණක් බවත්, තම මව ඉඩම් අයිතියේ තිබූ විෂමතා නැති කිරීම පිණිස ගෙන එන ලද ඉඩම් සීමා නීතිය නිසා අවසානයේ තම පවුලේ සිව්දෙනාට ඉතිරිවූයේ එක් අයෙකුට අක්කර 50 බැගින් වන ලෙස අක්කර 200ක් පමණක් බවත් ජනාධිපතිනිය එම කතාවේදි ප්‍රකාශ කළාය.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට අක්කර 4000ක ඉඩම් අයිතියක් තිබුණේ යැයි කියන කතාවේ සේ ම ඒ මහතා දේශපාලන කටයුතු වෙනුවෙන් අක්කර දෙදහසක් තරම් ඉඩම් ප්‍රමාණයක් විකුණුවේ යැයි කියන කතාවේ ද කිසිම සත්‍යයක් නැත. බණ්ඩාරනායක පවුලට උරුම වී තිබූ කිසියම් ඉඩම් ප්‍රමාණයක් වී නම් ඉඩම් සීමා නීතිය නිසා එක් අයකුට අක්කර 50ක් වන ලෙස ඉතිරිවී ඇති සියලු ඉඩම් ඒ පවුලේ අයට අහිමි වූ බව සත්‍යයකි. එහෙත් එහිදීත් ඉඩම් සීමා නීතිය නිසා බැටකෑ එකම පිරිස එම පවුල පමණක් නොවන බවද කිවයුතුය. ඒ නීතිය නිසා බණ්ඩාරනායක පවුලට අහිමි වූ ඉඩම් ප්‍රමාණයට වැඩි ඉඩම් ප්‍රමාණයක් අහිමිවූ වෙනත් පවුල් ගණනාවක් ද රටේ සිටියහ.

ලන්දේසි හා ඉංග්‍රීසි යුගවලදි බණ්ඩාරනායකවරුන් පහත රට සමාජයේ ඉතා බලවත් තත්ත්වයක් හිමිකර ගෙන සිටියත් ඔවුන් විශාල ඉඩම් හිමි පන්තියක් බවට පත්වන්නේ 1815න් පසුවය. පහතරට මුහුදුබඩ ප්‍රදේශවල පිළිවෙලින් ලන්දේසි හා ඉංග්‍රීසි පාලනයක් පැවති කාල වකවානුවලදි ලන්දේසි හා ඉංග්‍රීසි පාලකයින් තමන්ට තිබෙන සමීපතාව හා විශ්වාසවන්ත භාවය අනුව තෝරාගත් පවුල් අතරින් තමන්ට අවශ්‍ය ස්වදේශීය නිලධාරි පන්තියක් ගොඩනගා ගෙන තිබුණු අතර, බණ්ඩාරනායක පවුල ද ප්‍රමුඛ නිල තනතුරු හිමි කරගත් පවුලක් විය.

බණ්ඩාරනායක අගමැතිගේ පියා සර් සොලමන් ඩයස් අබේවික්‍රම ජයතිලක සෙනවිරත්න රාජකරුණානායක බණ්ඩාරනායක කලක් සියනෑ කෝරලයේ මුදලි පදවිය දරා මහමුදලි පදවියට පත්වූවෙකි. බණ්ඩාරනායක අගමැතිවරයාගේ පියාගේ පියා වන දොන් ක්‍රිස්ටෝපර් හෙන්රිකස් බණ්ඩාරනායක ද සියනෑ කෝරලයේ මුදලි පදවියත්, රජවාසලේ මුදලි පදවියත් ඉසිලුවෙකි. හෙන්රිකස්ගේ පියා වන දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක ද සියනෑ කෝරලයේ මහ මුදලි පදවිය දැරිය. සොලමන්ගේ පියා වන ඩැනියෙල් බණ්ඩාරනායක ද සියනෑ කෝරලයේ මුදලි පදවිය ඉසිලීය. ඩැනියෙල්ගේ පියා වන දොන් ෆ්‍රැන්සිස්කෝ ඩයස් විජේතුංග බණ්ඩාරනායක ද ලන්දේසි යුගයේදි හේවාගම් කෝරලයේ මුදලි පදවිය දැරිය.

බණ්ඩාරනායක අගමැතිවරයාගේ පියාගේ සීයා වූ දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායකට ඔහු විසින් 1815දි උඩරට අල්ලා ගැනීම වෙනුවෙන් ඉංග්‍රීසීන්ට ලබාදෙන විශේෂ අනුග්‍රහයත්, නැවත 1818 කැරැල්ලේ දි කැරැල්ල මර්දනය කිරිමෙහිලා ඉංග්‍රීසීන්ට ලබාදෙන ලද විශේෂ අනුග්‍රහයත් සලකා සර් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විශේෂ රන් පදක්කමක් පිරිනමනවාට අතිරේක වශයෙන් විශේෂ සන්නසක් මගින් ඉඩම් අක්කර 180ක් ද ප්‍රදානය කරනු ලැබීය. ඒ හා සමාන ආකාරයකින් උඩරට රාජ්‍ය අල්ලා ගැනීමට දක්වන ලද සහාය හා 1818 කැරැල්ල මර්දනය කිරීම වෙනුවෙන් දක්වන ලද සහාය සලකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ සීයාගේ පියාගේ පියාට ද (දොන් ඒඩ්‍රියන් ජයවර්ධන) හලාවත මුදලි තනතුරක් දරමින් සිට උඩරට සිංහලයන් අතරට පළාගොස් සිටි දොන් හේරත් පවුල සතුව තිබූ සියලු ඉඩම් හා දේපළ විශේෂ සන්නසක් මගින් පවරා දෙන ලද බව ප්‍රකටය. ඒ පිළිබඳ විස්තරයක් හොවාඩ් රිගින්ස් හා කේ.එම්. ද සිල්වා යන අය විසින් රචිත ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයට ද ඇතුළත්ය.

බණ්ඩාරනායක පවුල අක්කර දෙදහසකට ආසන්න ඉඩම් හිමි පවුලක් බවට පත්වන්නේ ඒ පරම්පරාවේදි නොව ඉන්පසු පරම්පරාවේදිය. ඉංග්‍රීසි යුගයේදි වාණිජ වතු වගාව සඳහා ඉඩම් මුදාහැරිම පිණිස වගා නොකළ සියලු මුඩු ඉඩම් රජය සතු බව ප්‍රකාශ කරමින් රජයේ මුඩු ඉඩම් මිලදි ගැනීමට උනන්දුවක් දක්වන විදේශිකයින්ට හා ස්වදේශීක ධනවතුන්ට ඉතා අඩු මුදලකට (ආරම්භක අවස්ථාවේදි අක්කරයක් සිලිං 5ක් වැනි මිලකට) තොග වශයෙන් ඉඩම් විතුණන ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව අපි දනිමු. මේ ඉඩම් මිලදි ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රධාන ගැනුම්කරුවන් වූයේ විදේශිකයින් වුවත්, මුදල් හදල් ඇති ස්වදේශික ධනවතුන් සුළු පිරිසක් ද රජයේ මුඩු ඉඩම් මිලදි ගනිමින් ඒවා වාණිජ වතු වගාවන් බවට හරවමින් වතු හිමියන් පන්තියක් බවට පත්වීමට සමත් වූහ. පුරෝගාමී දේශීය වැවිලිකරුවා ලෙස සැලකෙනුයේ දානපති සොයිසා පරපුරේ පළමු ධනවතා ලෙස සැලකිය හැකි මොරටුවේ ජොරෝනිස් සොයිසාය. කරත්තකරුවකු ලෙස ජීවිතය ආරම්භ කළ ඔහු අරක්කු රේන්ද වෙළඳමෙන් ධනවතකු බවට පත්වෙමින් වත්මනයේ එස්.බී. දිසානායක තමන්ගේ දේශපාලන රජදහන බවට පත්කොට ගෙන තිබෙන හගුරන්කෙත ප්‍රදේශයේ අක්කර දහසක් පමණ මිලදි ගෙන සාර්ථක කෝපි වගාවක් පවත්වාගෙන යාමට සමත් විය. ඉන්පසු කලෙක වෙනත් ස්වදේශීය ධනවතුන් ද ඉඩම් මිලදි ගනිමින් වතු වගාවන්ට මාරුවූ අතර, පැට්‍රික් පීබල්ස් (Patric Peebles) දක්වා ඇති තොරතුරුවලට අනුව 1860 සිට 1889 දක්වා කාලය තුළ අක්කර 1000කට වැඩි ඉඩම් ප්‍රමාණයක් මිලදි ගෙන ඇති ස්වදේශිකයන් හා ඔවුන් ඒ මිලදි ගැනීම් වෙනුවෙන් ගෙවා ඇති මිල ගණන් මෙසේය.

අක්කර රුපියල්

1. සී.එච්. ද සොයිසා 7522 270650

2. සුසෙයි ඩී. සොයිසා 4696 79056

3. ශ්‍රී චන්ද්‍රසේකර මුතුතන්ත්‍රිගේ සයිමන් ප්‍රනාන්දු 4438 113980

4. රිචඩ් ස්ටුවර්ට් පිරිස් 3949 89732

5. හෙන්නදිගේ ජොරෝනිස් පිරිස් 3797 67831

6. හත්නැදිගේ අන්දිරිස් පිරිස් 2471 47570

7. ජේපී. ඔබේසේකර 2271 33348

8. ජෝන් ක්ලෝවිස් සිල්වා හා සී.ඩබ්ලිව්. ඩී. මෙල් 1773 22899

9. ඩී.සී.එච්. බණ්ඩාරනායක 1581 13310

10. එල්.ඩී.ඒ. සිල්වා 1323 17047

11. ජෝන් ක්ලෝවිස් ඩි. සිල්වා 1278 16388

12. සර් ක්‍රිස්ටෝපල් ඔබේසේකර 1242 23951

13. විදානලාගේ ජොහාන්ස් ඩි මැල් 1236 48991

14. සර් හැරි ඩයස් 1147 17701

15. සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක 1105 20389

ඉහත ලේඛනය අනුව සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා ආණ්ඩුවෙන් මිලදි ගෙන ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 1105කි. අක්කරයක් සඳහා ගෙවා ඇති මිල රුපියල් 18.45කි. 1927 පර්ගියුසන් ඩිරෙක්ට්‍රියේ විශාල ඉඩම් හිමිකමක් තිබූ පුද්ගලයින් සතුව තිබී ඇති ඉඩම් ප්‍රමාණයන් හා ඒවාහි වගාකර තිබෙන්නේ මොනවාද යන්න පිළිබඳ විස්තරයක් ඇතුළත්ය. එහි එන විස්තරවලට අනුව බණ්ඩාරනායක මහතාගේ පියා වන මහමුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක සතුව තිබී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 1831කි. ඒ සියලු ඉඩම් පොල් ඉඩම්ය.

ඒ නිසා සිය පියා සතුව අක්කර 4000ක් පමණ තිබුණේය, පියා දේශපාලන කටයුතු වෙනුවෙන් ඒවායින් අක්කර 2000ක් පමණ විකුණා තිබුණේය, ඒ නිසා පියාගෙන් තම පවුලේ අයට ලැබුණේ අක්කර 2000ක පමණ ඉඩම් ප්‍රමාණයක් පමණක්ය යනුවෙන් ජනාධිපතිනිය කියන කතාවේ කිසිම සත්‍යයක් තිබිය නොහැකිය.

බණ්ඩාරනායක මහතාට පවුලේ සහෝදරියෝ දෙදෙනෙක් ද සිටියහ. එම ඉඩම්වලින් බණ්ඩාරනායක මහතාගේ පියා ඒ දරු දෙදෙනාට කොපමණ ඉඩම් ප්‍රමාණයක් උරුම කර දුන්නේද යන්න නොපැහැදිලිය. බණ්ඩාරනායක මහතාගේ පියා සතුව තිබූ සියලු ඉඩම් පුතාට පවරා දුන්න ද, ඒ ප්‍රමාණය අක්කර 1831කට වැඩිවිය නොහැකිය. ඒ නිසා අක්කර 2000ක් පමණ පියා දේශපාලන කටයුතු වෙනුවෙන් විකිණුවේ ය. කියන කතාවේ කිසිම සත්‍යයක් තිබිය නොහැකිය.

56 මැතිවරණයේදි බණ්ඩාරනායක මහතාට මුදල් අමාරුකම් තිබුණ බවත්, ඒ නිසා රොස්මිඩ් පෙදෙසේ නිවස උකසට තබන ලද බවත් සත්‍යයකි. එම නිවස උකස් කොට ලබාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 02කි. ඒ පිළිබඳ විස්තරයක් ඩොරීන් සෙනවිරත්න ලියා ඇති සිරිමා බණ්ඩාරනායක චරිතාපදානයට ඇතුළත්ය. මීට අතිරේකව බණ්ඩාරනායක මහතා ඒ මැතිවරණය වෙනුවෙන් කැලණිය විහාරාධිපතිව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත හිමිගෙන්ද, විමලා විජේවර්ධනගෙන්ද, එස්. නඩේසන්ගෙන් ද ණයට මුදල් ලබාගත් බව ද ප්‍රකටය. සමහරවිට එම ණය තුරුස් ගෙවා දැමීම පිණිස කිසියම් ඉඩම් ප්‍රමාණයක් විකුණා දමන්නට සිදුවූවා ද විය හැකිය. එහෙත් එම ප්‍රමාණය කවර මට්ටමකින්වත් අක්කර දහස් ගණනක් තබා අක්කර සිය ගණනක්වත් විය නොහැකිය.

දේශපාලන බලය සඳහා ද මුදලින් ගෙවිය යුතු මිලක් පවතී. වර්තමානයේ නම් දේශපාලන බලය ගැන උනන්දුවක් දක්වන්නන් දේශපාලන බලය සඳහා ගෙවිය යුතු ඒ මිල ගෙවනු ලබන්නේ තම ධනයෙන් නොව අනුන්ගෙන් ලබාගන්නා ධනයෙනි. එහෙත් පැරණි දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලන බලය ගැන උනන්දුවක් දක්වන අය සිරිතක් වශයෙන් ධනවත් වනවිට ඒ සඳහා වන මිල ගෙවන ලද්දේ ද තමන්ගේම ධනයෙනි. එය බණ්ඩාරනායක මහතාට පමණක් ආවේණික දෙයක් නොවීය. අතීතයේ සේනානායකවරුන් කළේ ද එයමය.

ඉඩම් සීමා නීතිය නිසා බණ්ඩාරනායක පවුලට කිසියම් විශාල ඉඩම් ප්‍රමාණයක් අහිමිවූ බව සත්‍යයකි. එහෙත් ජනාධිපතිනියගේ එම කතාව අසන්නන් තුළ එම නීතිය නිසා වැඩිම ඉඩම් ප්‍රමාණයක් අහිමිවූ එකම පවුල බණ්ඩාරනායක පවුල වේය යන වැරදි හැඟීමක් ඇති කරයි. තමන් ඇති කළ ඒ නීතිය නිසා අඩුම වශයෙන් බණ්ඩාරනායකවරුන්ට දේශපාලන කීර්තියක්වත් හිමිවූයේය. එහෙත් ඒ කිසිවක්ම නැතිව බණ්ඩාරනායක පවුලේ අයට වඩා ඉඩම් අහිමි කරගත් කිසියම් පිරිසක් රටේ සිටියේය.

1927 වසර වනවිට බණ්ඩාරනායක මහතාගේ පියා සතුව වතු ඉඩම් අක්කර 1831ක් තිබෙන විට ඊට වැඩි ඉඩම් ප්‍රමාණයක් තිබුණු පවුල් කවුද යන්න හඳුනා ගැනීමෙන් ඉඩම් සීමා නීතිය යටතේ බණ්ඩාරනායක පවුලට වඩා ඉඩම් අහිමි වූ පවුල් කවුද යන්න හඳුනාගත හැකිය. වතු ඉඩම් අයිතිය ගැන 1927 පර්ගියුසන් ඩිරෙක්ට්‍රියේ ඒ ගැන සඳහන් විස්තර මෙසේය.

අක්කර

ඒ.ජේ වැන්ඩර්පූටන් 17011

ආර්.ඊ.එස්.ඩී. සොයිසා 9367

ඊ.සී.ඩී. ෆොන්සේකා 8741

විලියම් ද සොයිසා 6087

ඒ.ඊ. ද සිල්වා 5486

එල්. හෙන්රිද මැල් 5254

ඊ.එල්.එෆ්. ද සොයිසා 4946

එච්. අමරසූරීය 4018

සී.ඊ.ඒ. ඩයස් 3988

දොස්තර මාකස් ප්‍රනාන්දු 3942

එෆ්.ජේ ලුකස් ප්‍රනාන්දු 3939

ඩබ්ලිව්. ඩැනියෙල් ප්‍රනාන්දු 3730

ආතර් ඩී. සිල්වා 3687

වාසලමුදලි ඒ.ඊ. රාපක්ෂ 3959

ෂෙරඩ් අබේසුන්දර 3417

ජේපී. ඔබේසේකර 3364

මුඳලිදු ටියුඩර් රාජපක්ෂ 3143

එෆ්.ආර්. සේනානායක මහත්මිය 3027

චාර්ල්ස් පිරිස් 2968

කර්නල් ටී.ජී. ජයවර්ධන 2861

ජී. රොබට් ද සොයිසා 2604

එන්. රත්නසභාපති 2604

ඊබ්‍රාහම් ලෙබ්බෙ මරික්කාර් 2490

එම්.ජී. පෙරේරා 2370

ජේ වැනිස් ඩි මෙල් 2310

එච්. බැස්ටියන් ප්‍රනාන්දු 2264

එස්. ඔබේසේකර 2248

ලැම්බර්ට් පිරිස් 2120

ඇලිස් කොතලාවල මහත්මිය 2058