ජනාධිපතිවරණයෙන් පොදු පෙරමුණ ජයගත්තේ වී මුත් ආණ්ඩුව ඉදිරි ගමනක් නැති වන තැනක හිරවී සිටින තත්ත්වයකට පත්වී සිටින්නේය. සමස්ත ආණ්ඩුවම ඉන්නේ කුමක් කළ යුතු ද, කුමක් විය හැකි ද නොදන්නා තුෂ්නිම්භූත වූ තැනකය. විපක්ෂය ඉන්නේ ද ඊට සමාන තැනක ය.
ජනාධිපතිනියගේ ජයග්රහණය ආණ්ඩුවේ ප්රධානීන් අතර ආශ්වාදජනක හැගීමක් ඇති කිරීමට හේතුවී තිබෙනවාට වඩා ඔවුන් වැඩි පිරිසක් බියෙන් හා සැකයෙන් තුෂ්නිම්භූතව කල්ගත කරන තැනකට යොමු කිරීමට හේතුවී තිබේ. කලින් ආණ්ඩුවේ ප්රමුඛයන් ලෙස ක්රියාකළ වැඩි පිරිසක් තීන්දු ගැනීමේ ක්රියාවලියට උනන්දුවෙන් හවුල් වනවා වෙනුවට සැකයෙන් පැත්තකට වී බලා සිටින තත්ත්වයකට යොමුවී සිටී. රටේ හා ආණ්ඩුවේ අනාගතය තබා ඔවුන්ට ඔවුන්ගේ අනාගතය ගැනවත් පැහැදිලි බවක් පෙනෙන්නට නැත. පියවර කිහිපයක් ඉදිරියට යාමට සමත් එකම පුද්ගලයා වී සිටින්නේ ඇමති එස්.බී. දිසානායක පමණය. මතුවී තිබෙන අර්බුදය තුළ දැන් ඔහු රාජ්ය පාලනයේ සුක්කානම හසුරුවන ප්රධාන පුද්ගලයින් කිහිපදෙනාගෙන් කෙනෙකු වී සිටින්නේය. ජනාධිපතිවරණයෙන් ලද ජයග්රහණයට එස්.බී. ගෙන් ලැබුණු දායකත්වය කැපී පෙනෙන නිසාම ඔහුට ලැබී තිබෙන ප්රමුඛතාව ද අවිවාදිත මට්ටමක පවතී. එහෙත් ඔහු රාජ්ය පාලනය හැසිරවීමට දායකවෙමින් තිබෙන ආකාරය වැඩි පිරිසකගේ සංතෝසයට හේතුවී නැත. මේ විශේෂ අවස්ථාවේදි එස්.බී. විසින් ආණ්ඩුව දක්කන්නට යන්නේ කොහාටද යන විමතියක් ඇමතිවරුන් හැමකෙනෙකු තුළම පවතී.
එස්.බී. ට අතිරේක වශයෙන් සරත් අමුණුගම ද යම් තරමක බලවත් තත්ත්වයක් හිමිකර ගැනීමට සමත් වී සිටී. ඔහු පෙරමුණට ආවේ මංගල සමරවීර හරහාය. එහෙත් දැන් ඔහු මංගලගේ ජනමාධ්ය කූඩාරම ආක්රමණය කළ ඔටුවකුගේ තත්ත්වයට පත්ව සිටින්නේය. ජනාධිපතිනිය ජනමාධ්යවේදින් තමන්ගේ ප්රමුඛ සතුරන් පිරිසක් ලෙස සලකන තත්ත්වයක් තුළ ඔවුන් මර්දනය කිරීමට අවශ්ය කරන දැනුම ලබාදෙන ප්රධාන උල්පත ලෙස ක්රියාකරන පුද්ගලයා බවට පත්ව සිටින්නේද සරත් අමුණුගමය.
ජනාධිපතිවරණයේදී ලබන ජයග්රහණයෙන් පසුව එජාප මන්ත්රී කණ්ඩායමෙන් කිසියම් විශාල පිරිසක් පොදු පෙරමුණු ආණ්ඩුවට එකතු කර දෙන බවට අමුණුගම පොරොන්දු වී තිබුණත්, එය තවමත් සැබෑවක් බවට පත්කිරීමට හැකිවී නැත. පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරියේ තිබෙන තත්ත්වයක් යටතේ ඔවුන් පොදු පෙරමුණට එකතු වනවා නම් එකතු වනු ඇත්තේ අනාගතයේදිත් තමන්ගේ මන්ත්රීකම් රැකදෙන වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීමට පොදු පෙරමුණ සමත් වේ නම් පමණය.
එජාපයෙන් මන්ත්රීන් පිරිසක් අලුතෙන් පොදු පෙරමුණට එකතු කරදෙන ප්රශ්නයට වඩා තමන්ගේ මන්ත්රීකම් රැකගැනීමේ ප්රශ්නය විකල්ප කණ්ඩායමට වැදගත්ය. පක්ෂ මාරුවට ඉඩක් ලැබෙන ආකාරයේ ව්යවස්ථා සංශෝධනය සම්මත කරගත හැකිවේ නම් තමන්ගේ මන්ත්රීකම් රැකගන්නවාට අතිරේකව එජාපයෙන් අලුතෙන් පිරිසක් ආණ්ඩුවට එකතු කරදිමේ හැකියාව ද ඔවුන්ට ලැබෙන්නේය. එහෙත් පක්ෂ මාරුවකට ඉඩක් ලැබෙන විසඳුමක් ඇතිකර ගැනීමෙන් පමණක් සමස්ත ප්රශ්නය විසඳෙන්නේ නැත. මේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් කිරීමෙන් පසුව එජාපයෙන් ආණ්ඩුවට එකතු වී සිටින සියලුදෙනාට පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නට සිදුවන්නේය. එවැනි මැතිවරණයකින් පොදු පෙරමුණෙන් තරග කිරීමට අවස්ථාවක් ලැබුණත් ඔවුන්ට ජයගත හැකිද යන ප්රශ්නයක් ද පවතී. ඒ ප්රශ්නය සරත් අමුණුගම වැනි අය කෙරෙහි පවා බලපායි. ඒ ප්රශ්නයේදි ඔවුන්ට යම් ආරක්ෂාවක් ලබාගත හැකිවනු ඇත්තේ තිබෙන පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කෙරෙන ජනමතවිචාරණ වැඩපිළිවෙළක් කරලියට ගතහැකි නම් පමණය.
පක්ෂ මාරු වැඩපිළිවෙලට මුස්ලිම් කොංග්රසය විරුද්ධය. පොදු පෙරමුණේ සුළු පක්ෂ ද කැමති වනු ඇතැයි සිතිය නොහැකිය. අනෙක් අතට ජනමතවිචාරණයකින් පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කරන ක්රියාමාර්ගයක් සමස්ත පොදු පෙරමුණු ආණ්ඩුව මහජනයා ඉදිරියේ හාස්යජනක තත්ත්වයකට ඇද දමනු ද නොවැළැක්විය හැකිය. දැන් ඔවුන් යන්නට යන්නේ ද ජේ.ආර්. ගිය බහුබූත ගමන් මගේය. එහෙත් එවැනි හාස්යජනක වැඩපිළිවෙලක් සඳහා පොදු එකගතාවක් ඇති කරගැනීම පහසු නොවනු ඇති සේ ම එවැනි වැඩපිළිවෙලක් ජනාධිපතිනියගේ දේශපාලන න්යාය පත්රයට ගැලපේද යන්න ද සැක සහිතය.
ජනාධිපතිනිය සිටින්නේ ද තමන් කළයුත්තේ කුමක්දැයි හරිහැටි තීන්දු කිරීම පහසු නැති සංකීර්ණ තැනකය. විධායක ජනාධිපති ක්රමය යටතේ රාජ්ය බලයේ ප්රධාන උල්පත වන්නේ ජනාධිපතිනියයි. එහෙත් රාජ්ය බලය මනා ලෙස හැසිරවිය හැකි සෞඛ්ය තත්ත්වයක ඇය සිටින්නේ ද යන ප්රශ්නයක් පවතී. සමාන්ය රෝග තත්ත්වයකදි වුවත්, ප්රතිකාර සඳහා නිවාඩු ලබාගැනීමේ සම්ප්රදායක් ඇතත්, කිසියම් කෙටි කාලසීමාවක් සඳහා වුවත් සුදුසු වෙන අයකුට තාවකාලික වශයෙන් හෝ බලය පවරා දෙන තත්ත්වයක ඇය සිටින බවක් පෙනෙන්නට නැත. මේ තත්ත්වය සමස්ත රාජ්ය පාලනය කෙරෙහිම ගැටලු ඇති කරනු නොවැළැක්විය හැකිය.
තමන් බලයට පැමිණ වහාම ජේ.ආර්. ජයවර්ධනගේ බහුබූත ව්යවස්ථාව ඉරා දමා තමන් සකස් කර තිබෙන නව ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පත නීතිගත කරන බව ජනාධිපතිවරණයේදී ඇය පුන පුනා ප්රකාශ කළාය. එහෙත් එසේ පොරොන්දු වූ පරිදි අවශ්ය තුනෙන් දෙකේ බලයක් ලබාගැනීමට සමත් වුවත් එම ව්යවස්ථා කෙටුම්පත නීතිගත කරන තත්ත්වයකට ඇය යොමුවනු ඇතැයි සිතිය නොහැකිය.
එම ව්යවස්ථා කෙටුම්පත නීතිගත කරන්නේ නම්, ජනාධිපතිනිය තමන් උසුලන විධායක ජනාධිපති ධුරය අතහැර පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක අගමැති ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගත යුතුය. අතිවිශාල බලයක් සහිත ජනාධිපති ක්රමයක් තුළ පාලන කටයුතු පවත්වාගෙන යාමට හුරු පුරුදු වූ කෙනෙකු ඒ සියල්ල සිය කැමැත්තෙන් අත්හැර වඩා අඩු බලයක් සහිත අගමැතිකමට මාරු වනු ඇතැයි සිතිය නොහැකිය. බරපතල ගැටලු මතුවන අවස්ථාවක පවා පාර්ලිමේන්තුවකට ජනාධිපතිවරයෙක් පහකිරීම ඉතා අසීරුය. එහෙත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක් තුළ පාර්ලිමේන්තුවට අගමැතිවරයෙක් පරාජය කිරීම ඉතා පහසුය. ජනාධිපතිනිය සිය කැමැත්තෙන් එවැනි දුෂ්කර තත්ත්වයක් තෝරාගනු ඇතැයි සිතිය නොහැකිය.
ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ද ආණ්ඩුව ඉන්නේ තිබෙන පැටලැවිලි පහසුවෙන් ලිහා ගත නොහැකි දුෂ්කර තැනකය. ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවේ සියලු දෙමළ දේශපාලන පක්ෂ පොදු පෙරමුණට ආධාර කරන ප්රතිපත්තියක පිහිටා ක්රියා කළත් මේ ජනාධිපතිවරණයේදී ඇයට සෘජු ලෙස ආධාර කරන තත්ත්වයක සිටින්නේ ඊපීඩීපී ය පමණය. එම ඡන්දයේදි දෙමළ ජනයා කෙරෙන් ද විරෝධයක් මිස සහාය ලබාදිමක් සිදු නොවීය. කොටි සංවිධානයෙන් එල්ල වූ ඝාතන ප්රයත්නය ද ඇගේ ආකල්ප කෙරෙහි යම් බලපෑමක් ඇතිකර තිබෙනවා විය හැකිය. පැකේජ විරෝධී සමහර සිංහල නායකයින් වෙතින් තමන්ට ලැබුණු සහයෝගය ද ඇයට පහසුවෙන් අමතක කළ නොහැකිය. මේ තත්ත්වය ඉදිරියේ ඇය වැඩි වැඩියෙන් යුද්ධයට බර තබා ක්රියාකරන පිළිවෙතක් මිස වෙනත් විසඳුමක් වෙත යොමු වනු ඇතැයි සිතිය නොහැකිය. ඒ තත්ත්වය ජනවාර්ගික ප්රශ්නයට එකම හේතුවක් කරගනිමින් පොදු පෙරමුණට ආධාර කළ පැකේජ වාදි බලවේගයන් අසීරු තත්ත්වයකට පත් කෙරෙන තත්ත්වයකට ඇද වැටීම ද නොවැළැක්විය හැකිය.
දැන් තිබෙන තත්ත්වය තුළ ආණ්ඩුවට එක තැනක හිරවී සිටිනවා විනා ඉන් ඔබ්බට ඵලදායී ක්රියාමාර්ගයක් වෙත යොමුවීමේ හැකියාවක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. ආණ්ඩුවේ මේ එක තැන පල්වෙන ගමන පෙරළා සමාජය කෙරෙහි ද නරක ලෙස මිස යහපත් ලෙස බලපානු ඇතැයි සිතිය නොහැකිය.