ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව තමන් කඩිනමින් විසඳන බවට පොරොන්දු වූ මූලික ගැටලු විසඳලීම පිණිස ක්රියාකරන බවට පොදු පෙරමුණේ නායක, නායිකාවන් පුන පුනා පොරොන්දු වුවත්, තමන්ගේ විරුද්ධවාදින්ට පහර ගසමින් සිටින ප්රතිපත්තියක් විනා තිබෙන මූලික ප්රශ්න විසඳීමට උනන්දුවකින් ක්රියාකරමින් සිටින බවක් පෙනෙන්නට නැත.
පසුගිය කතුවැකියෙන් පෙන්වා දෙන ලද පරිදි තමන් ජයග්රහණය කළ වහාම ජේ.ආර්.ගේ බහුබූත ව්යවස්ථාව ඉරා දමා තමන් කෙටුම්පත් කරගෙන සිටින නව ව්යවස්ථාව නීතිගත කරන බව කීවත් දැන් ඒ ප්රශ්නය ගැන එකම වචනයක්වත් කතා කරන බවක් පෙනෙන්නට නැත.
තමන් බලයට පැමිණ අවුරුද්දක කාලයක් තුළ ජනවාර්ගික ප්රශ්නයට ස්ථිරසාර විසඳුමක් දෙමින් යුද්ධය අවසන් කරන බවට පොරොන්දු වූවා ය. එහෙත් ආණ්ඩුවට ඒ සඳහා පවා පැහැදිලි ප්රවේශයක්වත් ඇති බවක් පෙනෙන්නට නැත.
අඩුම වශයෙන් ප්රභාකරන් වෙතින් මතුවී තිබෙන අභියෝගය ජයගන්නට යන්නේ කෙසේද යන ප්රශ්නය ආණ්ඩුව පැහැදිලි කළ යුතු ය. එම අභියෝගය ජයගන්නට යන්නේ යුද්ධයෙන් ද, සාකච්ඡා මගින් ද නැත්නම් වෙනත් ආකාරයකින් ද යන්න පැහැදිලි කළ යුතු ය.
දිවුරුම් දිමෙන් පසු ජාතිය අමතා කරන කතාවේදි පටු දේශපාලන භේද නොසලකා මූලික ප්රශ්න විසඳීම පිණිස ආණ්ඩුවට සහාය දෙන ලෙස ජනාධිපතිනිය විපක්ෂ නායකයාගෙනුත්, විපක්ෂයෙනුත් ඉල්ලා සිටියා ය. එහෙත් ඉන්පසු ජාතිය අමතා කරන ලද පැය තුනේ කතාවේදි ජනාධිපතිනිය කතා කළේ මුළුමනින් ඊට පරස්පරවය. ජයග්රහණයක් ලැබූ නමුත් පැහැදිලි ගමන් මාර්ගයක් නැති තත්ත්වයක් තුළ ආණ්ඩුව කුමක් කළ යුතු ද යන්න නොදන්නා අපැහැදිලි තැනකට ඇද වැටී සිටින බව පෙනේ.
මේ තත්ත්වයේ වෙනසක් ඇති කරමින් පැහැදිලි ක්රියාමාර්ගයක් ඇති කරගැනීමට ආණ්ඩුව ඉක්මණින් අසමත් වෙතොත්, රටේ කටයුතු අවුලෙන් අවුලට යන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකි ය. ආණ්ඩුව තවමත් ආවේගයන් මත පිහිටා ක්රියා කරයි. සන්සුන්ව හා තැන්පත් නුවණින් කරුණු සලකා බලන බවක් පෙනෙන්නට නැත. විරුද්ධවාදින්ට පහර දෙනවාට වඩා ජාතික වැදගත්කමක් ඇති මූලික ගැටලු විසඳීම වැදගත්ය.
ප්රජාතන්ත්රවාදී සමාජයක දේශපාලන වශයෙන් ජනතාව අතර බෙදීම් පවතී. ඒ බෙදීම් බලහත්කාරයෙන් අහෝසි කළ නොහැකි ය. වෙනස් මත දරන අයට තලා පෙළා දමනවාට හා අපහාස කරනවාට වඩා මතබේද තිබියදිත් ඔවුන් සමග සහයෝගයෙන් ක්රියා කිරීමට ඉගෙන ගත යුතු ය.
විශේෂයෙන්ම අර්බුදකාරි තත්ත්වයක් තුළ තැන්පත් නුවණින් කරුණු සලකා බලන අය නොසලකා අත්දෑකීම් නැති ආවේගශීලී නවකයන් මත පිහිටා ක්රියා කරන පිළිවෙතක් රටට වැඩදායී විය නොහැකි ය. සියලු බල අරගල මැද අනාගත දූ දරුවන් සඳහා ද මේ රට ඉතිරි කර තැබීම වැඩිහිටියන්ගේ වගකීමකි. අප අද ජීවත්විය යුත්තේ ඔවුන්ගේ ජීවිත ද සැලකිල්ලට ගනිමිනි.