රටේ හොඳ නම කෙළසන මැර ප්‍රහාර

October 9, 2011
Publication:
The thug attack on Dr N.J. Nonis, the registrar of the Sri Lanka Medical Council, gives the country a bad signal, and at first sight it looks like a by-product of the argument that had arisen over the private medical college.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය එන්.ජේ. නෝනිස් මහතාට එල්ල කැරුණු මැර ප්‍රහාරය රටට ලබාදෙන සංඥාව නරකය. එය බැලූ බැල්මට පෙනෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය ආශ්‍රයෙන් ඇතිව තිබූ විවාදයේ අතුරු ඵලයක් බවය.

පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයකට ඉඩදිය යුතුද නැද්ද යන ප්‍රශ්නය පිළිබඳව දැන් කලක සිට රටේ උණුසුම් සංවාදයක් තිබුණි. පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයකට ඉඩදිය යුතු බව ආණ්ඩුව ප්‍රකාශිත පිළිගත් ප්‍රතිපත්තිය විය. රාවයේ මතය වූයේද පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයකට ඉඩ තිබිය යුතු බවය. පසුව මාලබේ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයද මෙම විවාදයේ කේන්ද්‍රීය ප්‍රශ්නයක් බවට පත්විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කීවේ කවර වෛද්‍ය විද්‍යාලයකට හෝ අනුමැතිය දියයුත්තේ ඊට අවශ්‍ය ප්‍රමිති තත්ත්වය සම්පූර්ණ කර ඇත්නම් පමණක් බවය. ඒ ගැන රාවයේ මතය වූයේ වෛද්‍ය පාදෙණිය ප්‍රමිතිය ගැන පළ කළ ඒ මතය නිවැරදි බවය. මෙම විවාදයේදී වෛද්‍ය පාදෙණියට එල්ල කැරුණු අභූත චෝදනා සිදුවූ විවාදයේ හැඩතල අවලස්සන කිරීමට හේතුවූ බව කිව යුතුය. ඔහු නිසි සුදුසුකම් සම්පූර්ණ කළ විශේෂඥ වෛද්‍යවරයකු වනවා පමණක් නොව, සමාජ ප්‍රශ්න ගැන සංවේදී හොඳ වෛද්‍යවරයකු ලෙස ද සැලකිය හැකිය. වෛද්‍ය පාදෙණියට එරෙහිව ආරම්භ කළ පරීක්ෂණය ආශ්‍රයෙන් වෛද්‍යවරුන් අතර ඇතිවන්නට ගිය නොසන්සුන්සහගත තත්ත්වය ඔහු එම චෝදනාවලින් නිර්දෝෂී කිරීම නිසා පහව ගියේය. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා මැර ප්‍රහාරයකට ලක්වන්නේ ඉන්පසුවය. මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධයක් තිබේද නැද්ද යන්න පැහැදිලි නැතත් මෙවැනි අශෝභන සිද්ධීන් ඇති කරන හැඟීම නරකය.

පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයකට ඉඩදිය යුතුය කියන ආණ්ඩුවේ අදහස නිවැරදිය. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් සඳහා ඉඩ දෙනවා නම් ඉඩදිය යුත්තේ ඒ සඳහා තිබිය යුතු ප්‍රමිති තත්ත්වය සහතික කළ ආයතනවලට පමණක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළකර තිබෙන මතයද නිවැරදිය. වෛද්‍ය අධ්‍යාපනයේ තිබිය යුතු ප්‍රමිති තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව පවත්වාගෙන යන දැඩි ප්‍රතිපත්තිය නිවැරදිය. අවසානයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයකට ඉඩදෙන නාමයෙන් උපාධි මුදලකට විකුණන සිල්ලර කඩ ක්‍රමයකට ඉඩ දියයුතු නැත. ඇතිවිය යුත්තේ ගුණාත්මක අගයකින් යුතු විධිමත් පෞද්ගලික විශ්වවිද්‍යාලයන්ය.

ප්‍රතිපත්ති තීන්දු කිරීමේ බලය ඇත්තේ ආණ්ඩුවටය. ආණ්ඩුව විසින් ගනු ලබන ප්‍රතිපත්ති කෙරෙහි සාධනීය ලෙස බලපෑමේ හැකියාව වෘත්තීයවේදීන්ට සේ ම මහජනයාටද තිබිය යුතුය. සංවර්ධන ක්‍රියාවලිය වටා අර්ථවත් වනු ඇත්තේ එවිටය.

යුද්ධය අවසන්වීමෙන් පසු කිසියම් කලක් ආර්ථිකය එකතැන පල්වෙන තත්ත්වයක තිබුණි. මේ වන විට එම තත්ත්වය නැතිවී වේගවත් ආර්ථික වර්ධනයක් කරා ගමන් ගනිමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම හම්බන්තොටට පමණක් සීමාවූ දෙයක් බවට පත් නොවී භේදයකින් තොරව රට හැම තැනකම සිදුවන දෙයක් බවට පත්වී තිබේ. මාර්ග සංවර්ධනයේ කවදාවත් නැති තරම් විශාල දියුණුවක් ඇතිවී තිබෙන බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ. විශාල සංවර්ධන යෝජනා ක්‍රමද එකක් දෙකක් නොව සිය ගණනක් රට තුළ ක්‍රියාත්මක වේ. ඒ අතර අසාර්ථක සංවර්ධන යෝජනා ක්‍රමද තිබිය හැකිමුත් මුළු මහත් වශයෙන් බලන විට කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙමින් තිබෙන බවද පෙනෙන්නට තිබේ. යුද්ධය ආශ්‍රයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනය මුළුමනින් නැතිවී නැතත්, මස් රාත්තලම ඉල්ලා සිටින ෂයිලොක් ප්‍රතිපත්තියෙන් ජාත්‍යන්තරය බැහැරවෙමින් සිටින බවක්ද පෙනෙන්නට තිබේ. ඒ තත්ත්වය තවදුරටත් යහපත් කරගැනීමට හැකිවී ජාත්‍යන්තර තලයේ රටේ ප්‍රතිරූපය ශක්තිමත් කරගැනීමට හැකිවේ නම් රටේ ඇතිවෙමින් තිබෙන දියුණුව වඩා වේගවත් කළ හැකිය. මේ සියලු දේවල් අතර නරක දේවල් ද තිබෙන්නේය. එය ස්වාභාවිකය. නරක දේවල් අවම කරගනිමින් හා හොඳ දේවල් වර්ධනය කරගනිමින් රට ඉදිරියට යා යුතුය.

මෙම ඉදිරිගමන සාර්ථක කරගැනීමෙහිලා වාද විවාද අත්‍යවශ්‍යය. ආණ්ඩුව ශක්තිමත්ය. ස්ථාවරය. විවේචනයන්ට බියවිය යුතු නැත. සැර විවේචනයන්ට පවා ඇහුම්කන්දීමට පුරුදු විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වැඩි වැඩියෙන් පුළුල් කළ යුතුය. නිදහසින් පසු බලයට පත්ව සිටින බලවත්ම රාජ්‍ය නායකයා ලෙස සැලකිය හැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඒ තැනට ආ හැකිවූයේ කවර වැරදි අඩුපාඩුකම් තිබුණද රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තිබුණු නිසාය. ඒ ක්‍රමය අර්ථවත් ලෙස පෝෂණය කිරීම එවැනි නායකයකු වෙත පැවරෙන ප්‍රධාන වගකීමකි. මිනිසුන්ගේ සිත් සසල කිරීමට හේතුවන අවලස්සන සිද්ධීන් ඇතිවීමට ඉඩ නොදිය යුතුය.