නීතිඥ වෘත්තිය තේමා කොටගනිමින්, අප රට, විද්වත් වෘත්තිකයන්ගේ ලෝකයේ තිබෙන සදාචාර පරිහානිය අළලා පසුගිය කලාපයට ලියන ලද ලිපියට මගේ තෘප්තියට හේතුවන තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. මා දන්නා හඳුනන අයකු කලකට පසුව මට කතාකොට කීවේ එය ඔහුගේ ඔළුව අවුල් කිරීමට හේතුවූ තරම් හොඳ ලිපියක් බවය. තවත් කෙනකු මාගේ ප්‍රවේශය ප්‍රශංසාවෙන් කතා කරන අතර ගාන්ධි ලිපි පෙළ අවසන් කිරීමකින් තොරව අතරමග නතර කිරීම ගැන මට දොස් කීවේය. සිංහල කාන්තාවක විවාහ කොටගෙන සිටින සමාජ ප්‍රශ්න ගැන සංවේදී මනසක් ඇති දෙමළ නීතිඥයකු කීවේ ලිපියේ එන වචන එකක් හෝ දෙකක් තේරුම් ගැනීමේ දුෂ්කරතාවක් ඇති වුවද මා නගන තර්කය තේරුම් ගැනීමට ඔහුට හැකිවූ බවය. මා කතා කරන විෂයට අදාළ අපූරු අත්දැකීමක්ද ඔහු මට විස්තර කළේය. තවත් කෙනකු කීවේ මෙම සංවාදය ඉදිරියට ගෙනයෑම සඳහා තමන් ද මේ ප්රශ්නය ගැන රාවයට ලියන්නට බලාපොරොත්තු වන බවය.
ගාන්ධිගේ අදාළතාව
මා එක් කලකදී හිතුවේ අප රට මුහුණ දී තිබෙන ප්‍රශ්න සරල ආණ්ඩු පෙරළියකින් විසඳාගත හැකි බවය. ප්රශ්නය එතරම්ම සරල නැති බව තේරුම් ගැනීමට තවත් කාලයක් ගතවිය. සරල ආණ්ඩු පෙරළියක් වෙනුවට ක්රමයේ වෙනසක අවශ්‍යතාව තේරුම් ගත්තේ ඉන්පසුවය. තව තව කරුණු සොයන්නට වූ විට ක්‍රමය විසින් මුළුමනින් දූෂණය කර තිබෙන සාම්ප්‍රදායික දේශපාලනයෙන් එය දිනාගත හැකි දෙයක් නොවන බව තේරුම් ගියවිට මෙම සංකීර්ණ ප්රශ්නය ජයගත යුතුව තිබෙන්නේ කෙසේද යන ප්රශ්නය ගාන්ධි වෙත ඉදිරිපත් කරන තැනකට යොමුවන්නට සිදුවූයේයැ”යි කිව හැකිය.
ගාන්ධි ශ්‍රී ලංකාවට අදාළ වන්නේද යන ප්රශ්නය කිසියම් කලක සිට ක්‍රමවත් ලෙස නොවූවත් අක්‍රමවත් ලෙස සාකච්ඡාවට ලක්වෙමින් තිබූ මාතෘකාවකි. ශ්‍රී ලංකාවේ ප්රශ්නය විග්රහ කොට ඊට විසඳුමක් දෙන ලෙස ඉල්ලා සිටියහොත් ඔහුගේ විග්‍රහය හා විසඳුම කෙබඳු එකක් විය හැකිද යන ප්‍රශ්න කෙරෙහි සිත යොමු කරන්නට වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ප්රශ්නය නිවැරදි ලෙස තේරුම් ගැනීමට අවශ්‍ය නම් අනුන් දෙස විවේචනාත්මකව බලන්නට පෙර ස්වකීය අභ්‍යන්තරය දෙස විවේචනාත්මකව බලන ලෙස ඔහු ඉල්ලා සිටිනු ඇතැ”යි සිතිය හැකිය. අනුන් කරන වැරදි විවේචනය කිරීමේ අයිතිය ඇත්තේ වැරදි නොකරන අයට පමණක් බව ඔහු සිය දත් නැති ලොඹුකට පෙනෙන ලෙස පාන සිනහවකින් යුතුව කියනු ඇත. ඔබ සොයන්නේ පිළිකාව ගැන නම් හා ඊට විසඳුමක් නම් පිළිකාවේ ව්‍යාප්තියේ තරම ගැන පළමු කොට හරි තක්සේරුවක් ඇතිකර ගන්නා ලෙසත්, විදුලි පන්දම අඳුරු ශරීරයේ සැක හිතෙන එක තැනකට පමණක් නොඅල්ලා ශරීරයේ හැම තැනක්ම හොඳින් පරීක්ෂා කරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනු ඇත. දේශපාලනය යනු සමාජ ජීවිතයේ එක වැදගත් අංශයක් පමණක් බවත් රෝග පරීක්ෂාව ජනාධිපති මන්දිරයට හා පාර්ලිමේන්තුවට සීම නොකොට පූජනීය ස්ථාන දක්වා වන හැම ආයතන ක්‍රමයක් වෙතම යොමු කරන ලෙසත් එවිට පිළිකාව හා එහි ව්‍යාප්තියේ තරම පිළිබඳ හරි අවබෝධයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇති බවත්, ඔහු අපට කියනු ඇතැ”යි සිතිය හැකිය.
වංචාව හා දූෂණය
පුවත්පත් කතුවරයකු වශයෙන් මට අතපත ගාන්නට සිදුවූ දේවල් අතර දූෂණය හා වංචාව ප්‍රධානය. එම විෂයේදී මා දෘෂ්ටිමය වශයෙන් ලොකු අවුලකට තල්ලු කිරීමට හේතුවූ සිද්ධියක් මෙසේය. එක පුද්ගලයකු ලොකු දූෂණ සිද්ධියකට එරෙහිව සටන් කළේය. එවැනි අයට ආධාර කිරීම අප වැනි අයගේ යුතුකමක් ලෙස සලකා ඔහු කරමින් සිටි අරගලයට පුවත්පතෙන් හොඳ ආවරණයක් ලබා දුන්නෙමි. කිසියම් දිනක මේ සිද්ධියේ චෝදනාලාභී දූෂකයා මා හමුවන්නට මගේ කාර්යාලයට ආවේය. මා ඔහු කව්දැ”යි හඳුනාගත් විට පුවත්පතේ පළකර තිබෙන කතාව අභියෝගයට ලක් කරන ප්රතිකතාවක් ඔහු කියනු ඇතැ”යි මගේ අපේක්ෂාව වී තිබුණි. ඒ වෙනුවට ඔහු කීවේ පුවත්පතේ ලියැවී ඇති සියලු දේ නිවැරදි බවය. වංචාවක් සිදුවී තිබෙන බව ඇත්තක් බවත් වංචාවට එරෙහිව සටන් කරන මගේ වීරයාද එම වංචාවේ පොඩි කොටස්කරුවකු බවත් ඔහු වැඩ කළේ තමා ළඟ බවත් තමාට ඉතාමත් සමීපව ක්‍රියාකළ පුද්ගලයා ඔහු වූ බවත් ඔහුට ලැබෙන පංගුව පිළිබඳව ඔහු තුළ ඇතිවූ අතෘප්තිය නිසා එය දුරදිග ගිය ප්‍රශ්නයක් බවට පත්වූ බවත් ඒ කාරණයේදී පමණක් මා වැරදි බවත් කියා ඔහු යන්නට ගියේය. ඔහු කියන ලද දෙයෙහි ඇත්ත නැත්ත පරීක්ෂාවට ලක් කළ හැකි තැනක ඒ ප්රශ්නය නොතිබුණේය. එහෙත් ඔහුගේ කතාව මා තුළ කම්පනයක් ඇති කළේය. එම සිද්ධියෙන් පසු දූෂණ හා වංචා පිළිබඳව කතා රැගෙන එන හැම කෙනකුගෙන්ම පාහේ ඒවා හෙළිදරව් කිරීමට ඔවුන් විශේෂ උනන්දුවක් දක්වන්නේ ඇයිද කියන ප්රශ්නය සිරිතක් වශයෙන් මතු කරන තැනකට මම යොමු වූයෙමි.
ගල් ගැසුණු නීතිය
දේවල් සිදුවන ආකාරය දෙස විමසිල්ලෙන් බලා සිටින ජනමාධ්‍යවේදියකුට සමාන්‍ය කෙනකුට නොපෙනෙන බොහෝ දේවල් දැකීමේ හැකියාව ලැබෙන්නේය. දූෂණ හා වංචා සිදු නොවන පිරිසිදු රටවල් ලෝකයේ නැත. අපේ රටේ තිබෙන නරකම ලක්ෂණය වනුයේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම වළකින තත්ත්වයක් පැවතීමය. එය 1977 පටන් ක්‍රියාත්මක වන විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. අසල්වැසි ඉන්දියාවේද සමහර කටයුතු සිදුවන්නේ ඉතාමත් දූෂිත ආකාරයටය. එහෙත් ඉන්දියාවේ තිබෙන හොඳ ලක්ෂණය වනුයේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් එහි තිබීමය. හැම වසරකදීම දූෂණ වැරදිවලට වරදකරුවන් වන විශාල සංඛ්‍යාවකට දඬුවම් ලැබෙන්නේය. එසේ දඬුවම් ලබන අය අතර හාල්මැස්සන් පමණක් නොව, ලොකු තෝරු හා මෝරු ද සිටින්නෝය. එහි අලුත්ම බිල්ල බවට පත්ව ඇත්තේ කරුණානිධිගේ දුවය. ඇය පාලක පක්ෂයට සම්බන්ධ බලවත් මන්ත්‍රීවරියකි. ඉන්දියාවේ මිනිසුන් වංචා කරන්නේ අසුවුවහොත් ලොකු වන්දියක් ගෙවන්නට සිදුවන බව දැනදැනය. එහෙත් ලංකාවේ ලොකු මිනිසුන් වංචා කරන්නේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමට ඉඩක් ඇත්තේම නැති බව දැනගෙනය.
ලොකු මිනිසකු කලාතුරකින් හෝ දූෂණ වරදකට කොටුවුණු අවස්ථාවලදී ඒ ලොකු මිනිසාගේ ආරක්ෂාව සඳහා බලවත් පුද්ගලයන් ප්‍රසිද්ධියේ පෙනී සිටීම ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන තවත් නරක ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
ආචාර්ය සුසන්ත පෙරේරා
ඒ සඳහා දැක්විය හැකි නවතම උදාහරණය ආචාර්ය සුසන්ත පෙරේරා ආශ්රයෙන් විදුලිබල මණ්ඩලයේ මතුවී තිබෙන අර්බුදයයි. ඒ මහතා ලෙකෝ ආයතනයේ හිටපු සාමාන්යාධිකාරීවරයාය. ලෙකෝ ආයතනයට එල්ල වී තිබුණු ප්‍රසිද්ධ දූෂණ චෝදනා නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පස් පුද්ගල කමිටුවක් පත් කරන ලදි. එහි කමිටු වාර්තාව අනුව ආයතනය තුළ සිදුවී තිබෙන මූල්‍ය අක්රමිකතාවල වටිනාකම රුපියල් කෝටි 60කට වැඩිය. එම වාර්තාවෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා ඒක පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර වැරදිවලට වගකිවයුතු පුද්ගලයන් සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට එම කමිටුව නිර්දේශ කළේය. ඉන්පසු අධිකරණයෙන් ලබාගන්නා ලද අවසරයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය. ආචාර්ය සුසන්ත පෙරේරා මහතාගේ වැඩ තහනම් කර ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
මෙම පරීක්ෂණ ක්‍රියාවලිය ආචාර්ය සුසන්ත පෙරේරාගෙන් පළිගැනීමේ අරමුණින් මෙහෙයවන ක්‍රියාවලියක්ද යන්න මම නොදනිමි. එහෙත් බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන දේ වනුයේ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් එම ආයතනයේ සිදුවී තිබෙන බවය. ආයතනයේ ප්‍රධානියා වශයෙන් ඔහු වෙත චෝදනා එල්ලවීම නොවැළැක්විය හැකිය. එවැනි ප්‍රශ්නයකදී විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවන්ගේ වෘත්තීය සමිතිය සිය වෘත්තීය සගයාගේ ආරක්ෂාව සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීම සාධාරණ විය. එහි තේරුම පුද්ගලයකු විද්වත් වෘත්තිකයකු වූ පමණකින් එවැනි කෙනකු අතින් නීති විරෝධී වැරදි සිදුවන්නට ඉඩක් නැති බවද? නැතිනම් එවැනි කෙනකු නීති විරෝධී වරදක් කළද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු නැති බවද?
වරදක් නොකර තමන්ට එරෙහිව පළිගැනීමේ අරමුණින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත්නම් එය නිවැරදි කරගත යුතුව තිබෙන්නේ වෘත්තීය සමිති තලයේ නොව, අධිකරණ තලයේය. තමන්ගේ නිර්දෝෂීභාවය සනාථ කිරීමෙන් පසුව එම ක්‍රියාමාර්ගයන් නිසා තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් ඊට වගකිවයුතු අයගෙන් වන්දි ඉල්ලා නඩු පවරන තැනකට යා හැකිය. වෘත්තීය සමිතිවලට දැනට කළහැක්කේ එම නීතිමය ක්‍රියාමාර්ගවලට සිය සාමාජිකයාට ආධාර කිරීමය.
මෙය විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති අතර පමණක් නොව, විද්වත් වෘත්තිකයන් නියෝජනය කරන බොහෝ සංවිධානවලද දක්නට තිබෙන නරක තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
මේ සඳහා දැක්විය හැකි නිදර්ශන බොහෝය.
එල්මෝ පෙරේරා
විද්වත් වෘත්තිකයන්ගේ සංගමය එල්මෝ පෙරේරා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය මාගේ පුදුමයට හා කම්පනයට හේතුවූ තවත් සිද්ධියක් ලෙස සැලකිය හැකිය. ඔහු නීතිඥ වෘත්තියට ආවේ මිනුම්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවය. ඔහු නීතිඥ වෘත්තිය ධනය උපයන මාර්ගයක් කරගන්නවා වෙනුවට නඩු හබවලට පැටලී සිටින දුප්පත් මිනිසුන්ට ආධාර කරන මාර්ගයක් බවට පත් කර ගත්තේය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක හා ප්‍රතිපත්තිගරුක පුද්ගලයකු ලෙසද සැලකිය හැකිය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අදහස හා එහි මුල් කෙටුම්පත ඔහු ඇතුළු විද්වත් වෘත්තිකයන් කිහිපදෙනකුගේ නිර්මාණයක් විය.
ඔහුගේ නීතිඥ වෘත්තිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබුණු අවස්ථාවක ඔහු විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති තනතුරට තරග කොට කැපී පෙනෙන තරම් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයගත්තේය. වෘත්තීයවේදීන්ගේ සංවිධානයට අනුබද්ධ වෘත්තීයවේදීන්ගේ හැම සංවිධානයකටම පාහේ ආචාර ධර්ම පද්ධති තිබුණද ඒවා උල්ලංඝනය කරන වෘත්තීයවේදීන්ට එරෙහිව ලැබෙන පැමිණිලි විභාග කොට වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව එම සංවිධාන ක්‍රියා නොකිරීම ඔහුගේ විවේචනයට යොමුවී තිබුණු වැදගත් කාරණයක් විය. ඒ සමග ඔහුට වෘත්තීයවේදීන්ගේ සංගමය තුළ කටයුතු සිදුවන ආකාරය පිළිබඳවද විවේචනයක් තිබුණි. වෘත්තීයවේදීන්ගේ සංගමයට අනුබද්ධ විවිධ වෘත්තීයවේදී සංවිධානවල වැරදි කරන සාමාජිකයන්ට එරෙහිව එම සංවිධානවලට ලැබෙන පැමිණිලිවලදී, එම සංවිධාන එම පැමිණිලි පරීක්ෂාවට ලක් නොකරන අවස්ථාවලදී කිසියම් පුද්ගලයකු ඒ බව වෘත්තීයවේදීන්ගේ සංවිධානයට පැමිණිලි කරයි නම් එය එම සංවිධානයට එරෙහිව ඉදිරිපත් වන පැමිණිල්ලක් ලෙස සලකා, ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කරන ප්‍රතිපත්තියක් විද්වත් වෘත්තීයවේදීන්ගේ සංවිධානය ආරම්භ කොට පවත්වාගෙන යායුතු බව එල්මෝ පෙරේරා දරන ලද මතය විය. ඒ මගින් ඔහු අපේක්ෂා කළේ විෂමාචාර වැරදි කරන වෘත්තීයවේදීන්ට එරෙහිව විනය නීති තදින් ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීම මගින් වෘත්තීයවේදීන්ට වෘත්තීය අභිමානයක් ලබාදීමය.
එහෙත් එල්මෝගේ මේ ප්‍රවේශය විද්වත් වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ ඇතැම් බලවතුන්ගේ බලවත් විරෝධයට හේතුවී එය කෙළවර වූයේ, නීතියට පටහැනිව ඔහු ඉසිලූ සභාපති ධුරයෙන් ද ඔහු ඉවත් කිරීමෙනි. වෘත්තීයවේදීන්ගේ ලොකුම ආයතනය තුළ සිදුවූ එම සාහසික ක්‍රියාව විද්වත් වෘත්තිකයන් අතර බලවත් කම්පනයක් ඇති කිරීමට හේතුවූයේ නැත.
ප්‍රමාණවත් තරම් ලකුණු නැතිව නීති පීඨයට
සංකේතාත්මක වැදගත්කමකින් යුතු මේ සිද්ධිය කලකට ඉහතදී සිදුවූවකි.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට නොතේරුණු නීති ශිෂ්‍යාවක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළාය. නීති පීඨයට තේරී පත්වීමට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව ඇයට නොතිබුණි. නීති පීඨයට නොතේරුණු අය අතර මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ ශිෂ්‍යාව ලබාගත් ලකුණු ප්‍රමාණයට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත් අයද සිටියෝය. පෙත්සම විභාගයට ගැනුණේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අතර ඉතාමත් ජ්‍යෙෂ්ඨ හා ප්රමුඛ නීතිඥයකු වූ එස්.එල්. ගුණසේකර මහතාද සිටියේය. පෙත්සම්කරු නීති පීඨයට ඇතුළත් කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කරන ලද අතර එම තීන්දු වගඋත්තරකාර ආයතන දෙකේම පුදුමයට හේතුවිය. පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ට තිබෙන සම්බන්ධය සිය පෙත්සමෙන් හෙළිදරව් කර නොතිබුණද පෙත්සම්කාරිය කාගේ කවුද යන්න වගඋත්තරකරුවන් සේ ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝද දැන සිටියෝය. ඇය අන් කිසිවෙකුත් නොව, එකල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස ක්‍රියාකළ පසුව අගවිනිසුරු ධුරයට පත්වී මේ මෑතකදී විශ්‍රාම ගනු ලැබුවාවූද අශෝක ද සිල්වා මහතාගේ දුවණියකි.
තමන්ට තිබෙන නිල බලය අයථා ලෙස පරිහරණය කරන්නේ දේශපාලකයන් පමණක් නොවන බව ඉන් පෙනීයයි. ඉතාමත් සම්භාවනීය තත්ත්වයක තනතුරු උසුලන වෘත්තීයවේදීන් පවා එසේ කරන අවස්ථා බහුලව දැකිය හැකිය. එහෙත් එවැනි ක්‍රියා නීතියට පමණක් නොව, පිළිගත් වෘත්තීය ආචාර ධර්මවලටද පටහැනිය.
සුජිත් ප්‍රසන්න පෙරේරා
රේගු නිලධාරියකු වූ සුජිත් පෙරේරා ඝාතනයට ලක්කිරීමෙන් අවසන් වන ප්‍රකට ව්‍යාපාරිකයකු වූ හැරී ජයවර්ධනගේ රේගු බදු වංචා සිද්ධිය වැරදි කරන බලවත් පුද්ගලයකුට රටේ ඉහළම තැන්වලින් ලැබෙන අනුග්රහයේ ස්වරූපය පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි හොඳ නිදර්ශනයකි. හැරී ජයවර්ධනගේ මෙම රේගු බදු වංචාව අල්ලා ගන්නා ලද අවස්ථාවේදී ඔහු එයාර් ලංකා සමාගමේ සභාපතිද, විනිමය සුරැකුම් කොමිසමේ සාමාජිකයෙක්ද විය. මෙම වංචාව අල්ලා ගන්නා ලද අවස්ථාවේදී රේගු නිලධාරීන් ඔහුගේ කාර්යාල පරිශ්‍රය හා වෙනත් නිවාස කිහිපයක් පරීක්ෂා කොට ලිපිගොනු රාශියක් අත්අඩංගුවට ගන්නා ලදි. කාර්යාල පරිශ්‍රය පරීක්ෂා කරන අවස්ථාවේදී හැරී ජයවර්ධන එම විමර්ශනය භාරව ක්‍රියා කළ සුජිත් පෙරේරාගේ ඔළුවට ඔහුගේ පිස්තෝලය තබා ඔහු මරා දමන බවට තර්ජනය කළේය. එහෙත් ඔවුන් එම තර්ජනවලට බියවූයේ නැත. එහිදී අත්අඩංගුවට ගන්නා ලද ලිපිගොනු ආශ්රයෙන් ඔහු මෙම රේගු බදු වංචාව කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව තහවුරු විය. මේ නිසා රජයට රේගු බදු වශයෙන් ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වී තිබුණේය. මේ පරීක්ෂණයේදී රේගු නිලධාරීන් හැරීගේ තරාතිරම නොසලකා අකුරටම නීතිය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලද අතර ජනාධිපතිද හැරී සතුටු කරනු පිණිස රේගු නිලධාරීන් පවත්වාගෙන ගිය ප්‍රතිපත්තිය ගැන සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේ පළ කළේය. ඒ වෙනුවට රේගුවේ ප්‍රධානියා ලෙස ක්‍රියාකළ සේනාධීර මහතා ජනාධිපතිනියට සමීප සම්බන්ධකමක් තිබුණු නිලධාරියකු වුවද ඔහු ජනාධිපතිනිය සතුටු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට රාජකාරි වගකීම ඉටුකළ සිය රේගු නිලධාරීන් ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය.
එල්ල වන බාධා නොසලකා රේගු නිලධාරීහු මෙම පරීක්ෂණය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියෝය. එය භාණ්ඩ ආනයනයේදී සිදුවූ එක වංචාවකින් ආරම්භ වී අතීතයට දිවයන වංචා විශාල සංඛ්‍යාවක් ආවරණය කැරෙන පරීක්ෂණයක් විය. පරීක්ෂණයක් අවසානයට ගෙන යන්නට ඉඩ ලැබුණේ නම් හැරී ජයවර්ධනට අතිවිශාල වන්දියක් රජයට ගෙවන්නට සිදුවන්නට ඉඩ තිබුණේය. පරීක්ෂණය අවසානයක් කරා යනවා වෙනුවට සිදුවූයේ පරීක්ෂණය භාරව ක්‍රියාකළ ප්‍රධාන නිලධාරියා වන සුජිත් පෙරේරා ඝාතනයට ලක්වීමය. ඒ සමග රේගු පරීක්ෂණයට සම්බන්ධ ප්‍රධාන රේගු නිලධාරීන් දෙදෙනක් රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි ආරක්ෂාව සඳහා රටින් පලා ගියෝය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනය මෙහෙයවා තිබූ අතරමැදියා (අනුර වීරවංශ), ඔහුට සහාය වී තිබුණු තවත් රේගු නිලධාරියකුද වෙඩි තැබීම සඳහා යොදාගත් පුද්ගලයා හා ඔහු වෙඩි තැබීම සඳහා මෝටර් සයිකලයෙන් රැගෙන ගිය පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට සමත් විය. මෙම මනුෂ්‍ය ඝාතනය මෙහෙයවන අතරමැදියා ලෙස ක්‍රියාකර තිබුණේ රේගු නිලධාරියෙකි. මෙම ඝාතනය සිදුවූ දිනයේ ඝාතනයට පෙරත් ඝාතනය සිදුවීමෙන් පසුත් අතරමැදියා හැරී ජයවර්ධන සමග දුරකතනයෙන් කතාකර තිබෙන බව ඒ දෙදෙනාගේ ජංගම දුරකතන බිල් ඔස්සේ සොයාගැනීමට අපරාධ පරීක්ෂකයෝ සමත් වූහ. එහෙත් ඝාතනය කාගේ වුවමනාවක් මත කරන ලද්දක්ද යන්න සොයා බැලීමට අපරාධ පරීක්ෂකයන්ට ඉඩ ලැබුණේ නැත. හැරී අත්හැර අන් තිදෙනාට එරෙහිව නඩු පවරන ලදි. නඩුවේදී ප්‍රධාන වගඋත්තරකරුවන් තිදෙනාට මරණීය දඬුවම ඇතුළු දැඩි දඬුවම් නියම විය. එම තීන්දුවට එරෙහිව ඉදිරිපත්වූ අභියාචනාවලින්ද පළමු තීන්දුව තවදුරටත් තහවුරු විය.
ඉතා මෑතකදී මහනායක හිමිවරුන් කිහිපදෙනකුු හා බිෂොප්වරුන් දෙදෙනකුගේ අත්සනින් මේ නඩුවේ මරණ දඬුවම නියමවී හිරේ සිටින අනුර වීරවංශ නිදහස් කරන ලෙස ඉල්ලා දිග පෙත්සමක් ජනාධිපති වෙත යවා තිබුණි. එම දීර්ඝ පෙත්සමට ඇතුළත් කරුණු පුදුමසහගතය. මෙම පෙත්සමෙන් මේ නාහිමිවරුන් හා බිෂොප්වරුන් දෙදෙනා අනුර වීරවංශ රේගුවට ලොකු වැඩ කොටසක් ඉටු කළ අවංක නිලධාරියකු ලෙසට කරුණු ඉදිරිපත් කර තිබුණා පමණක් නොව, සුජිත් පෙරේරා ඝාතනයට ඔහුගේ කිසිම සම්බන්ධයක් නැති බව හා මෙම නඩුවට පටලවා ඇත්තේ ඔහු විනාශ කිරීම සඳහා දියත් කැරුණු සියුම් කුමන්ත්රණයක ප්‍රතිඵලයක් වශයෙන් බවද කියා තිබුණි. පිළිකාව පූජනීය ස්ථාන ආක්‍රමණය කර තිබෙන තරම එයින් පෙන්නුම් කරයි. මෙම ආගමික නායකයන් අනුර වීරවංශ කෙරෙහි අනුකම්පා කොට ඔහු කෙරෙහි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියේ නම් එය වෙනම දෙයකි. ඒ වෙනුවට කර තිබෙනුයේ කිසිදු පරීක්ෂණයකින් තොරව මනුෂ්‍ය ඝාතන සිද්ධියක් පිළිබඳව සිය නිගමන ඉදිරිපත් කිරීමය.
පිළිකාව ජයගැනීම
මේ සියල්ලෙන් පෙනීයන්නේ අවුල්සහගත බවක් තිබෙන්නේ අපේ රටේ දේශපාලන ලෝකයේ පමණක් නොවන බවය. විද්වත් වෘත්තිකයන්ගේ ලෝකයේ සේ ම ආගමික ලෝකයේද මහා අවුලක් තිබෙන බවය. දේශපාලන ලෝකයේ පමණක් නොව වෘත්තීයවේදීන්ගේ ලෝකයේ සේ ම ආගමික ලෝකයේද මහා සදාචාර පරිහානියක් තිබෙන බවය. අල්ලස්, දූෂණය බලය අයථා ලෙස පාවිච්චි කිරීම වැනි නපුරු ලක්ෂණ ඒ ලෝකවලද රජ කරන බවය.
මේ තත්ත්වය පිළිබඳව හරි අවබෝධයක් ඇතිව හා මෙම අවලස්සණ තත්ත්වය ජයගැනීමට අවශ්‍ය වුවමනාවක්ද ඇතිව කිසියම් කුඩා කණ්ඩායමක් ගාන්ධි හමුවන්නට ගොස් රටේ පවතින තත්ත්වය පිළිබඳ හරි පැහැදිලි කිරීමක් කර මේ තත්ත්වය ජයගැනීම සඳහා අප කුමක් කළයුතුදැ”යි ඔහුගෙන් විමසා සිටියහොත් ගාන්ධි ඔවුනට කියනු ඇත්තේ කුමක්ද?
ඔබේ රටේ තත්ත්වය සරල නැහැ. සංකීර්ණයි. පිළිකාව හැම තැනකම පැතිරිලා. ප්‍රතිකාර කිරීම ආරම්භ වියයුත්තේ අනුන්ගෙන් නොව වෙනසක් අපේක්ෂා කරන තමන්ගෙන්ය. එය සිතට එකඟව හා අවංකව සිදුවිය යුතුය. ඔබලා පළමුකොට සිය අභ්‍යන්තරය හොඳින් පිරිසිදු කරගත යුතුය. දූෂණයෙන් හා වංචාවෙන් තොර, අයථා ලෙස බලය පාවිච්චි නොකරන, සමාජ යුක්තිය ගැන සංවේදී නව සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින ආදර්ශමත් කණ්ඩායමක් බවට පත්විය යුතුය. ඔබලා තුළ එසේ ඇතිවන වෙනස ඉක්මනින් අන්‍යයන්ටද පෙනෙනු ඇත. එවිට පවුලේ සාමාජිකයන් සේ ම අසල්වැසියන්ද මෙවැනි වෙනසක් අත්පත් කරගන්නේ කෙසේදැ”යි ඔබලාගෙන් විමසනු ඇත. ඔවුන්ද ඔබලා අනුගමනය කරනු ඇත. ක්‍රමයෙන් එම ප්රතිපිළිකාව නපුරු පිළිකාව මරාගෙන ඉදිරියට යනු ඇත. ඒ සමග යහපත් පුරුෂාර්ථ ඇති යහපත් විකල්ප සංස්කෘතියක් ඇති අයගේ ගොඩද විශාල වනු ඇත. එම ප්‍රවණතාව එක්තරා දුරකට ලොකුමහත් වූ පසු ඒ ආශ්රයෙන් නව සමාජ ව්‍යාපාරයක් හෝ නව දේශපාලන ව්‍යාපාරයක්ද ඇතිවිය හැකිය. ඒ සමග සාම්ප්‍රදායික නායකයන්ට වෙනස් නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින අලුත් නායකයන් ද බිහිවනු ඇත. අලුත් ආකාරයකින් රටේ ප්‍රශ්න විශ්ලේෂණය කරන බුද්ධිමය ව්‍යාපාර ඇතිවනු ඇත. දර්ශනයක් නැති ඔබේ දේශයට අර්ථවත් නවමු දර්ශනයක් ඔවුන් අතින් ගොඩනැගෙනු ඇත. මුලදී මෙම ප්‍රවණතාව වර්ධනය වනු ඇත්තේ හෙමින් හෙමින්ය. එහෙත් එක්තරා ප්‍රමාණයකට වර්ධනය වූ පසු එය ඉතා වේගයෙන් වර්ධනය වන මහා රළ වේගයක් බවට පත්වනු ඇත. මෙසේ නොකඩවා වර්ධනය වන එම නව සමාජ දේශපාලන ප්‍රවාහය විසින් පැරණි, නපුරු, දූෂිත, සමාජ දේශපාලන ප්‍රවාහය අතික්‍රමණය කරනු ඇතැ”යි ගාන්ධි ඔවුන්ට කියනු ඇත.
එවැනි වැඩපිළිවෙළකට ලොකු න්‍යායක් අවශ්‍ය වන්නේ නැත. ලොකු පොත්පත් කියවන්න අවශ්‍යවන්නේ නැත. පහර දෙන්න හෝ පහර කන්න අවශ්‍ය වන්නේ නැත. ලොකු කැපවීමක් නම් අවශ්‍ය වේවි. එවිට ඔබේ රටේ තිබෙන දූෂණය, අධිකාරවාදය, වර්ගවාදය, ආගම්වාද හා කුලභේද ද තුනීවී විශාල ප්‍රමාණයකට රටට සමගිය හා ශාන්තිය උදාවනු ඇතැ”යි ගාන්ධි ඔවුන්්ට කියනු ඇත.