උතුර, නැගෙනහිර හා උතුරුමැද පළාත්වලට ජලගැල්මෙන් සිදුවී තිබෙන හානිය අතිවිශාලය. සුනාමියෙන් සිදුවූ හානිය සමග සාපේක්ෂව බලන විට සැලකිය යුතු තරම් ජීවිත විනාශයක් සිදුවී නැතත්, සිදුවී තිබෙන දේපළ හානිය සුනාමියෙන් සිදුවූ දේපළ හානියට වඩා විශාලය. මෙම කලාපයේ වැව් විශාල සංඛ්‍යාවක් මුළුමනින් හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබේ. අලුතෙන් ඉදිකරන ලද හෝ ප්‍රතිසංස්කරණය කරන ලද මහාමාර්ගවලට සිදුවී තිබෙන හානියද දැවැන්තය. වී වගාවට හා එළවළු භෝග වගාවට ද විශාල හානි සිදුවී තිබේ. මෙම කලාපය නැවත යථා තත්ත්වයට ගැනීමට අවශ්‍ය වියදම රුපියල් මිලියන සිය ගණනක් විය හැකිය.
එහෙත් සුනාමි ව්‍යසනයේදී මහජනයා කෙරෙන් පළවූ පරාර්ථකාමීත්වය මෙම ව්‍යසනයේදී මහජනයා කෙරෙන් පළවූයේ නැත. විපතට පත්වූවන්ට ආධාර කිරීමට මහජනයා දක්වන උනන්දුව කැපී පෙනෙන තත්ත්වයක නොතිබුණි. එය එසේ වූයේ ඇයි? එය ජනමාධ්‍ය ප්රචාරක මට්ටමෙන් මෙම ව්‍යසනයට ලබාදෙන ලද වැදගත්කම හා ප්‍රමුඛතාව ප්‍රමාණවත් නොවීම නිසා ඇති වූවක්ද? නැතිනම් සුනාමියේදී මෙන් විශාල ජීවිත විනාශයක් සිදු නොවූ නිසා ඇතිවූ තත්්ත්වයක්ද? ඔරොත්තු නොදෙන ජීවන බර නිසා ඇතිවූ තත්ත්වයක්ද? එසේත් නැතිනම් ඒ සියලු සාධක එකට මිශ්රවීම නිසා ඇතිවූ තත්ත්වයක්ද?
සුනාමි ව්‍යසනය සිදුවූ කාලයේදී විපතට පත්වූවන්ට ආධාර කිරීම සඳහා ක්‍රියාත්මක වු මහජන ව්‍යාපාර රාශියක් තිබුණි. දේශපාලන පක්ෂවලටද ඒ සඳහා වන ඔවුන්ගේම ව්‍යාපාර තිබුණි. ඔවුන් අතර ජේවීපීය කැපී පෙනෙන තත්ත්වයක සිටියේය.
එහෙත් මේ විපතේදී ආණ්ඩුවේ සාම්ප්‍රදායික ආධාර ආයතන හා ආරක්ෂක හමුදා හැර විපතට පත්වූවන්ට ආධාර කරන මහජන ව්‍යාපාර නොතිබුණි. මේ විපතේදී විපක්ෂයේ දේශපාලන ව්‍යාපාරවල අවධානයද විපතට පත්වූවන් වෙත ප්‍රමාණවත් ආකාරයකින් යොමුවූ බවක් පෙනෙන්නට නොතිබුණි. ජනමාධ්‍යද මේ විපතේදී කරුණු සාමාන්‍ය වශයෙන් ආවරණය කළා විනා ඊට ලැබෙන වැදගත්කමේ ප්‍රමාණයට ගැළපෙන තරමේ වාර්තාකරණයක් සිදුකළේයැ”යි කිව නොහැකිය. ටියුනීසියාවේ හා ඊජිප්තුවේ සිදුවීම්වලට ලබාදී තිබූ වැදගත්කමේ තරමටවත් මෙම ව්‍යසනයට වැදගත්කමක් ලබා දුන් බවක් පෙනෙන්නට නැත.
ගැලීලියෝ හා මෙන්ඩිස්
සුනාමි ව්‍යසනය සිදුවූ කාලයේදී කොළඹ පැවති සාකච්ඡා සභාවකදී මට වාරි ඉංජිනේරු විෂයෙහි ශ්‍රී ලංකාව බිහිකළ දැවැන්තයකු ලෙස සැලකිය හැකි ඊ.එල්.ඕ. මෙන්ඩිස් හමුවිය. ඔහු අසුන්ගෙන සිටියේ මා අසුන්ගෙන සිටි ආසනය අසලිනි. සභාවේ කැරෙන කතාවලට සවන් දෙන අතර ඔහු මට කතා කළේය. මුහුදෙන් සිදුවී තිබෙන මෙම විනාශයට වැඩි විනාශයක් සමහරවිට කවදා හෝ කඳුකරයේ ඉදිකර තිබෙන මහා ජලාශවලින් සිදුවිය හැකි බව ඔහු කීවේය. ඔහු මහවැලි කඩිනම් ව්‍යාපෘතියට එරෙහිව දිගින් දිගට හඬ නැගූ එකම වාරි ඉංජිනේරුවා ලෙස සැලකිය හැකිය. පැරණි සිංහල රජවරු ද විශාල වැව් ඉදි කළෝය. එහෙත් ඔවුන් ඒවා ඉදිකළේ කඳුකරයේ නොව පහත්බිම්වලය. එම විශාල වැව්වලට සම්බන්ධ කැරුණු සිය ගණනක් පුංචි වැව් තිබුණේය. ඔහුගේ මතය අනුව කඳුකරයේ උස් කඳු අතර විශාල ජලාශ ඇති කළ විට කඳු ව්‍යුහය කෙරෙහි එය බලපායි. කවදා හෝ විනාශයක් ඇතිවුවහොත් සිදුවන විනාශයේ පරිමාවද විශාලය. දිගින් දිගට තම වැඩපිළිවෙළ විවේචනය කරන මෙම හිතුවක්කාරී වාරි ඉංජිනේරුවා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තමන් වෙත කැඳවීය. තමන් පොදු යහපත සඳහා සිදුකරන්නට යන මෙම වැඩපිළිවෙළට ඔහු විරුද්ධ වන්නේ ඇයිදැ”යි ජනාධිපතිවරයා ඔහුගෙන් විමසුවේය. ඔහු සිය මතය ජනාධිපතිට විස්තර කොට කීවේය.
“සර්ට ඕක නොකරම බැරි නම් ලොකු ජලාශ ඉදි නොකොට ඒ වෙනුවට පොඩි ජලාශ ඉදිකරන්නැ”යි අවසානයේදී ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඊ.එල්.ඕ. මෙන්ඩිස්ගේ අවවාදය නොසලකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියේය. එය ආපසු හැරවීමේ හැකියාවක් මෙන්ඩිස්ට නොතිබුණි.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ප්රශ්නය දකින්නට උත්සාහ කළේ දේශපාලන කෝණයකිනි. දීර්ඝකාලීන වශයෙන් නොව කෙටිකාලීන වශයෙනි. එහෙත් මේ වාරි ඉංජිනේරුවරයා ප්රශ්නය දකින්නට උත්සාහ කළේ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකිනි. කෙටිකාලීන අර්ථයෙන් නොව දීර්ඝකාලීන අර්ථයෙනි. තාවකාලිකව ලැබෙන වාසි නොසලකා බොහෝ ඈත දැකීමේ හැකියාව ඇත්තේ දැවැන්ත හා ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයන්ට පමණි. ගැලීලියෝ තමන් මරා දමන්ට පෙර තමන් නිපදවන ලද දුරදක්නයෙන් පියවි ඇසට නොපෙනෙන ඈත දකින ලෙස පල්ලියේ පූජකයන්ගෙන් බැගෑපත්ව හා කාරුණිකව ඉල්ලා සිටියද ඔහු මරා දැමුවා පමණක් නොව, ඔවුහු එම දුරදක්නයෙන් පියවි ඇසට නොපෙනෙන ඈත දකින්නටවත් උත්සාහ නොකළෝය.
ඊඑල්ඕ මෙන්ඩිස්ට අවශ්‍ය වූයේද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ දේශපාලන පියවි ඇසට නොපෙනෙන ඈත පෙනෙන්නට සැලැස්වීමය. ගැලීලියෝ මරා දමන ලද ආකාරයට ජනාධිපතිවරයා මෙන්ඩිස් මරා දැමුවේ නැතත් මෙන්ඩිස්ගේ මතය නොසලකා ජනාධිපති ජයවර්ධන සිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අද ජීවතුන් අතර නැත. ජීවතුන් අතර සිටින ඊඑල්ඕ මෙන්ඩිස්ගේ වයස දැන් අවුරුදු අසූ ගණනක් විය හැකිය.
මේ දෙදෙනාගෙන් වඩා හරි කව්ද යන ප්‍රශ්නයට උත්තරයක් දීමට මා කැමති නැත. එහෙත් මෙම පුද්ගලයා ලියා ඇති ලිපි හා පත්‍රිකා කිහිපයක් මම කියවා ඇත්තෙමි. ඔහුගේ නිරීක්ෂණ පිළිබඳව මා එම විෂය පිළිබඳ අවබෝධයක් ඇති කිහිපදෙනකු සමග හෝ කතා කර ඇත්තෙමි. දේශපාලකයන් අතින් සිදුවන හෝ ඔවුන් විසින් සිදුකරනු ලබන සමහර වැරදි නිවැරදි කළහැකි මුත් නිවැරදි කළ නොහැකි බරපතළ වැරදිද ඇති බව කිව යුතුය.
එවැනි වැරදිවලට බලපා තිබෙන හේතුව ඇත්තේද මෙම දේශපාලන ක්‍රමයේය. පාලකයන්ට තීන්දු ගැනීමේ අයිතිය තිබිය යුතුය. එහෙත් රටේ අනාගතය කෙරෙහි බලපාන දේවලදී නිසි විශේෂඥ උපදෙස් නැතිව හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමේ බලයක් පාලකයන්ට තිබිය යුතු නැත. එහෙත් අපේ රටේ ක්‍රියාත්මක වන දේශපාන ක්‍රමය තුළ අවශ්‍ය නම් හිතුවක්කාරි ලෙස හෝ ක්‍රියාකිරීමේ බලය පාලකයන්ට ලැබී තිබේ.
අවිධිමත් ඉදිකිරීම්
අධික වැස්ස ආශ්රයෙන් ඇතිවී තිබෙන ව්‍යසනයේදී රටේ එක කලාපයකට ගංවතුර ප්රශ්නය විනාශකාරී ලෙස බලපා තිබෙන විට තවත් කලාපයකට නායයෑමේ ප්රශ්නය විනාශකාරී ලෙස බලපා තිබේ. නායයෑම්වලදී නුවරඑළිය දිස්ත්‍රික්කය අනතුරුදායක කලාපයක් ලෙස ද නම් කර තිබේ. අනුරාධපුරේ ගංවතුරෙන් වැඩියෙන්ම හානි සිදුවී තිබෙන්නේ මල්වතුඔය දෙපසේ සිටි අනවසර පදිංචිකරුවන්ටය. ඔවුන් සියලුදෙනා තමන්ට පදිංචිවීමට ඉඩමක් නොතිබූ දුප්පතුන් ලෙස සැලකිය නොහැකිය. එහි විශාල ගෙවල් තැනූ ධනවත්තුද ඔවුන් අතර සිටියෝය. ඔවුන්ගේ නිවාස අතර සංචාරක හෝටල්ද තිබුණේය.
වැව්තාවුල්ලේ අනවසර කලාපයේ මෙවැනි ඉදිකිරීම් සිදුවූයේ කෙසේද? සුඛෝපභෝගී මන්දිර හා සංචාරක හෝටල් ඉදිකැරුණේ කෙසේද? ඉදිකිරීම් විෂයේදී නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඒ කලාපයේ තිබී නැති බව ඉන් පෙනීයයි. මෙය අනුරාධපුරයට පමණක් සීමාවූ දෙයක් නොව, මුළු රටේම අඩු වැඩි වශයෙන් පොදුවේ දක්නට ලැබෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. මෙම විෂය ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් මුදල් උපයන ප්‍රධානතම මාර්ගයකි. ඉඩම් කැබලි කොට විකුණන දේපළ සමාගම් සමහර ප්‍රදේශවලදී තෝරාගත් එක කැබැල්ලක් ප්‍රදේශයේ දේශපාලන බලවතාටද තවත් ඉඩම් කට්ටියක් හෝ පගාවක් ප්‍රාදේශීය සභාවේ සභාපතිට දෙන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. දේපළ සමාගම් විධිමත් නොවන සැලසුම්වලට අවශ්‍ය අනුමැතිය ලබාගන්නේ ඒ මගිනි. මධ්‍යම කඳුකරයේ තිබෙන විශාල ජලාශ ක්‍රමය සේ ම කඳුකරයේ සිදුකෙරෙන අවිධිමත් ඉදිකිරීම්ද නායයෑමේ ප්රශ්නය උග්‍ර කිරීමට හේතුවී තිබේ. අවිධිමත් ඉදිකිරීම් පහත්බිම් ප්‍රදේශවල ගංවතුර ප්රශ්නය උග්‍ර කිරීමට හේතුවී තිබේ. මෙම අවිධිමත්භාවය ඉදිකිරීම් විෂයට සීමාවී නැත. අන් හැම අංශයකටද මේ තත්ත්වය දැකිය හැකිය.
මහාමාර්ග ප්‍රතිපත්තියේ ඇති විකාරසහගත ස්වරූපය
මොරටුවේ අධිවේග මාර්ග හදා ඇත්තේ ජනවාස ප්‍රදේශවල සිට මුහුදට තිබූ වතුර බැස්ම අවහිර කැරෙන ආකාරයටය. ඒ නිසා සාමාන්‍ය වැස්සකට පවා පාරේ එක පැත්තක තිබෙන නිවාස යටවේ. සැලසුම්කරුවන් මාර්ගය ගැන මිස අවට පරිසරය සැලකිල්ලට ගෙන නැත.
මහා මාර්ග කාපට් යොදා නවීන කිරීම සඳහා කෙරෙන වියදම දැවැන්තය. කාපට් කරන ලද පාරක් ජලය හෝ විදුලි සංදේශ රැහැන් සඳහා නැවත හාරන්නේ ඇයිද යන්න දීර්ඝ කාලයක් තිස්සේ මගේ අවධානයට යොමුවී තිබුණු ගැටලුවකි. කාපට් යොදා නවීන කෙරෙන මාර්ග මීටරයක් සඳහා කෙරෙන වියදම ඉතා විශාලය. සාදා නිම කළ මාර්ගයක කානු හෑරූ විට මාර්ගයේ පදනම දුර්වල වේ. ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය නැවත කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව පෞද්ගලික සමාගමකට අවශ්‍ය කේබල් මාර්ගයක් තැනීම සඳහා පාරේ තැනින් තැන දිග කානු කැපුවේය. ඒ වැඩපිළිවෙළ කිසියම් කාලයක් පාරේ යන එන වාහනවලට හිසරදයක් වී තිබුණි. කානුව හාරා කේබල් එලීමෙන් පසු කානු පිරවීම විධිමත්ව සිදු නොවීය. නැතහොත් කානු හාරන්නට පෙර එම මාර්ගය තිබූ තත්ත්වයට සමාන තත්ත්වයක් ඇතිවන ලෙස එම ක්‍රියාවලිය සිදු නොවීය.
රිචඩ් පතිරණ ඇමතිවරයා ගාල්ලේ මහාමාර්ග විශාල සංඛ්‍යාවක් කාපට් යොදා නවීකරණය කරන ලදි. ඒ සඳහා කරන්නට ඇති වියදම දැවැන්තය. එහෙත් එම මාර්ග නවීන කිරීමෙන් පසු ජලය විදුලි සංදේශ හෝ වෙනත් අවශ්‍යතාවන් සඳහා කානු හෑරීම නිසා හා කානු හෑරීමෙන් පසු නැවත ඒවා පුරවා විධිමත් තත්ත්වයට ගෙන නොඒම නිසා අද එම සියලු මාර්ග තිබෙන්නේ දහජරා තත්ත්වයකය. කාපට් කරන ලද පාරක් අවුරුදු 20ක්වත් යථා තත්ත්වයෙන් පාවිච්චි කිරීමට පුළුවන් විය යුතුය. එහෙත් ගාල්ලේ කාපට් කරන ලද පාරවල් යථා තත්ත්වයෙන් පැවති කාලය අවුරුදු 04ක්වත් නොවූ තරම්ය. කරාපිටිය රෝහල කලාපයේ ප්‍රධාන රෝහල වන නිසා හම්බන්තොට වැනි ඈත ප්‍රදේශවලින් පවා එම රෝහල සඳහා බස් සේවාවන් පවත්වාගෙන යයි. එහෙත් ඒ අවට මාර්ග පද්ධතිය තිබෙන්නේ දහජරා තත්ත්වයකය.
ජලය, විදුලි සංදේශ හෝ වෙනත් කටයුතු සඳහා මහාමාර්ග යටින් යන මාර්ග සඳහා එම ආයතන මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවීමක් කළ යුතුය. කාපට් යොදා සකස් කළ පාරවල්වල කානු කපන අවස්ථාවලදී ඒ සඳහා ලැබෙන ගෙවීම් යොදා නැවත කානු කැපීමට පෙර තිබූ තත්ත්වයට මාර්ග පත් කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පැවරෙන වගකීමකි. ඒ වගකීම හරියාකාරව ඉටු කළේ නම් රිචඩ් පතිරණ ඇමතිවරයා මැදිහත් වී නවීන කළ මහා මාර්ග මේ තත්ත්වයට ඇද නොවැටෙන්නට තිබුණි. අවසානයේ ඒ නිසා සිදුවී ඇත්තේ අතිවිශාල ධනයක් විනාශවීමය.
මීට අවුරුදු පහළොවකට පමණ පෙර මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් කිහිපදෙනෙකු ඔවුන්ගේ වෘත්තීය ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කිරීම පිණිස මා වෙත පැමිණි අවස්ථාවකදී මම ඔවුන්ගෙන් කාපට් එලූ පසු කානු කපන ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න කළෙමි. සාමාන්‍ය දුප්පත් ගැමියකු පවා ගෙයක් සාදන විට වහාම විදුලි බලය ලබාගැනීමට අවශ්‍ය මුදල් නැතිවිට, කපරාරුවට පෙර විදුලි රැහැන් යැවීම සඳහා බවට දමන බවත් ජලය හා විදුලි සංදේශ රැහැන් සඳහා එවැනි ස්ථිර ක්‍රමයක් අනුගමනය නොකරන්නේ ඇයිදැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි. ඔවුන් ඊට දෙන ලද පිළිතුර වූයේ අමාත්‍යාංශ අතර නිසි සම්බන්ධීකරණයක් නැතිකම හා විදේශ මුදල් ලැබෙන ව්‍යාපෘතිවලදී හොඳින් කරුණු සලකා බැලීමකින් තොරව කඩිමුඩියේ සැලසුම් සකස් කිරීම ඊට හේතුවී ඇති බවය. මේ ක්‍රමය නිසා අතිවිශාල ධන නාස්තියක් සිදුවන බව ඔවුහු පිළිගත්තෝය. එම තත්ත්වය වැළක්වීම සඳහා ඔවුන් කිසියම් උත්සාහයක් ගෙන තිබේදැයි ප්‍රශ්න කළ විට ඔවුන් ඊට දෙන ලද පිළිතුර වූයේ නැත යන්නයි.
අල්ලසට අනුබල දෙන දඩ ක්‍රමය
මාර්ග පළල් කොට කාපට් යොදා නවීන කරන්නේ් සුවපහසු හා වඩා වේගවත් ගමනක් සහතික කිරීම සඳහාය. එහෙත් සමහරවිට තිබුණු පටු පාරේ වේග සීමා නීති අලුතෙන් නවීකරණය කරන ලද මාර්ගවලටද යොදා ගනී. ඒ මගින් මාර්ගය නවීන කිරීමේ මූලික පරමාර්ථය ව්‍යර්ථ කරගනී. ට්රුෆික් පොලීසිය වැරදි සඳහා දඩ ගැසූ විට දඩ ගෙවන්නට නියම කර තිබෙන ක්රමයද වහා වෙනස් කළ යුතුව තිබෙන පීඩාකාරී විකාර ක්රමයකි. මෙම වැරදිවලට ගෙවිය යුතු දඩ මුදල් සඳහා පොලීසියට පොදු බැංකු ගිණුමක් පවත්වාගෙන යා හැකිය. දඩ මුදල් තැපැල් කාර්යාල හා සුපර් මාර්කට්වලින් ගෙවිය හැකි ක්‍රමයක් පහසුවෙන්ම ඇති කළ හැකිය. දැන් තිබෙන ක්‍රමය අනුව බලපත්‍රය ලබාගැනීම සඳහා රියදුරා තවත් දිනක පොලීසියට ආ යුතුය. සමහර විට අනුරාධපුරේ සිට කතරගම වන්දනාවේ එන රියදුරකුට අම්බලන්ගොඩදී වරදකට දඩ නියම කළහොත් ඔහුට අනුරාධපුරයට ගොස් නැවත රියදුරු බලපත්‍රය ලබාගැනීමට අම්බලන්ගොඩට ඒමට සිදුවේ. මේ ක්‍රමය සකස් කර ඇත්තේ දඩ ගෙවීම අධෛර්යමත් කොට අල්ලස් ගෙවීම ධෛර්යමත් කිරීම සඳහාය. ආපසු එන කරදරයෙන් අත්මිදීමට වැරදි කරන වැඩි පිරිසක් දඩ මුදල වෙනුවට පගාවක් ගෙවා ප්රශ්නය විසඳා ගැනීමට වැඩි කැමැත්තක් දක්වති. මෙම වැල්වටාරම් ක්‍රමය අහෝසි කොට ළඟම තිබෙන සුපර් මාර්කට්ටුවට හෝ වෙනත් එවැනි ආයතනයකට දඩ මුදල ගෙවා ලැබෙන රිසිට් පතදී බලපත්‍රය ලබාගත හැකි ක්‍රමයක් පහසුවෙන් ඇති කළ හැකිය.
අවිධිමත් ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාගත හැකි ක්‍රමයක් රටේ ස්ථාපිත වී තිබෙන්නේ මෙම දූෂිත දේශපාලන ක්රමයේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙම දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේ ආණ්ඩුවක් පත්කිරීමට ජාතික මට්ටමෙන් හා ප්‍රාදේශීය මට්ටමෙන් දායකවූවන්ට විශේෂ මිලක් ලැබෙන ආකාරයටය. ලබාදෙන ලද දායකත්වයේ ප්‍රමාණයට ගැළපෙන තනතුරක් ලබාදීම ඒ මිල ගෙවන එක ක්රමයකි. ප්‍රාදේශීය සභාවල සභාපතිකම් ලබාදෙන්නේ ප්‍රාදේශීය මට්ටමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට පසු පක්ෂය දිනවීමේ ක්‍රියාවලියට දායක වූ ඊළඟ මට්ටමේ පුද්ගලයන්ටය. ප්‍රාදේශීය සභා සභාපතිවරයකුගේ වැටුප පුංචිය. එහෙත් ප්‍රාදේශීය සභාව පාලනය කරනවාට අතිරේක වශයෙන් එම තනතුරට ලැබෙන බලයෙන් වස්තුව උපයා ගැනීමේ අයිතිය මෙම දේශපාලන ක්‍රමය විසින් ඔවුන්ට ලබාදී තිබේ. අවිධිමත් ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාදීමෙන් උපයන ආදායම සභාපතිවරුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. ඒ නිසා මේ දේශපාලන ක්‍රමය තුළ අවිධිමත් ඉදිකිරීම් ඇතිවීම පාලනය කිරීම අමාරුය.
නිවාස අවශ්‍ය අයට ඉඩම් කැබැල්ලක් මිලට ගෙන නිවසක් ඉදිකරනවා හැර තෝරා ගැනීමට වෙනත් විකල්ප මාර්ග නැතිකමද අවිධිමත් ඉදිකිරීම් පිළිබඳ ගැටලුව උග්රකරන සාධකයක් ලෙස ක්‍රියාකරමින් තිබෙන්නේ යැයි කිව හැකිය. ආණ්ඩුව තනිව හෝ පුද්ගලික සමාගම් සමග එකතු වී තට්ටු නිවාස ඉදිකොට ඔරොත්තු දෙන මිලකට විකුණන ප්‍රතිපත්තියක් මගින් ඉඩම් කැබලි කොට විකිණීම හා තනි තනි නිවාස ඉදිකිරීමේ ක්‍රියාවලිය අධෛර්යය කළ හැකිය. තනි තනි ගෙවල් හදන ක්‍රමයකට වඩා තට්ටු ගෙවල්වලදී නිවාස ඒකකයක් සඳහා යන නිෂ්පාදන වියදම අඩුය. සමහරවිට රුපියල් මිලියනයක් වැනි මිලකට එක ඒකකයක් නිපදවිය හැකිය. ඉඩම් සීමිත සම්පතක් වන නිසා තනි තනි නිවාස ඉදිකිරීම අධෛර්යමත් කිරීම පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරගත යුතුය.