රටේ පැවති පොල් හිඟයට පිළියමක් වශයෙන් පොල් ආනයනය කරන පිළිවෙතක් අනුගමනය කිරීම යහපත් හා ඵලදායී ක්‍රියාවක් ලෙස සැලකිය හැකි වුවත් කුකුළු මස් හා බිත්තර සඳහා පැවති ඉහළ මිල ගණන් පාලනය කිරීම සඳහා කුකුළු මස් හා බිත්තර ආනයනය කරන පිළිවෙතක් අනුගමනය කිරීම යහපත් හෝ ඵලදායී ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය.
පොල් නැතුවම බැරි ආහාරයකි. පොල් සඳහා පැවති ඉහළ මිල ගණන් ජනතාව අතර මහත් අසහනයක් ඇති කිරීමට හේතුවී තිබුණු අතර එහිදී පොල් ආනයනය කරනවා හැර තෝරා ගැනීමට සාර්ථක විකල්පයක් නොතිබුණි. සාමාන්‍යයෙන් මෙය අඩු පොල් ඵලදාවක් සහිත කාලයක් වන අතර පොල් ඉඩම් කැබලි කොට විකිණීම, දකුණු පළාතේ පොල් වගාව කෙරෙහි බලපෑ වසංගත තත්ත්වය වැනි හේතු විශාල පොල් හිඟයක් ඇති කිරීමට හේතුවී පොල් මිල වෙන කවරදාවත් නැති තරම් ඉහළ දැමීමට හේතුවිය. ඒ තිබුණු තත්ත්වය යටතේ පොල් ආනයනය කිරීම නිසා පොල් කර්මාන්තයට විනාශකාරී බලපෑමක් ඇති කිරීමේ හැකියාව නොතිබුණි.
නත්තල් හා අවුරුදු සමයේදී කුකුළු මස්වලට හා බිත්තරවලට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් කුකුළු මස් හා බිත්තර මිල ඉහළ නැගීම මේ කාලයේ හැමදාමත් සිදුවන සාමාන්‍ය දෙයක් විය. සත්ව ආහාර සඳහා පැවති ඉහළ මිල ගණන්ද කුකුළු මස්වල හා බිත්තරවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම කෙරෙහි බලපෑ සාධකයක් විය. පොල්වලදී තෝරා ගැනීමට වෙනත් විකල්පයක් නොතිබුණද, කුකුළු මස්වලදී හා බිත්තරවලදී ජනතාවට තෝරා ගැනීමට වෙනත් විකල්ප තිබුණි. කුකුළන් ඇති කිරීම ජීවනෝපාය කරගත් විශාල ජනතාවක් රටේ සිටින්නේය. මහා පරිමාණයේ කර්මාන්තකරුවන් පවා මෙම විෂයේදී සිය කර්මාන්ත පවත්වාගෙන යන්නේ සුළු ගොවීන් සමග හවුලේය. කුකුළන් ඇති කිරීමේ කර්මාන්තය රටේ පවතින ජනප්‍රිය ස්වයංරැකියා මාර්ගයක් ලෙසද සැලකිය හැකිය. ස්වයං රැකියාවලදී ඒවාට ධෛර්යය දෙන ප්‍රතිපත්තියක් මිස ඒවා අධෛර්යය කරන ප්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ නැත. කුකුළු මස් හා බිත්තර ආනයනය එම කර්මාන්තය අවුලට යවන සාධකයක් ලෙස ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය.
වෙළෙඳ ඇමතිවරයා වයඹ පළාත නියෝජනය කරන දේශපාලකයෙකි. කුකුළු ගොවිපළ කර්මාන්තය ඇතුළු සත්ව පාලන කර්මාන්තය එම පළාතේ ජනප්‍රියම කර්මාන්තයක් ලෙසද සැලකිය හැකිය. කුකුළු මස් හා බිත්තර ආනයනයෙන් එම කර්මාන්තයට හානියක් ඇති වුවහොත් එය පෙරළා වෙළෙඳ ඇමතිවරයාගේ දේශපාලනය කෙරෙහිද බලපෑ හැකිය.
රිලවුන්ගේ හා වල් ඌරන්ගේ ව්‍යාප්තිය
රිලවුන් හා වඳුරන්ගේ ශීඝ්‍ර ව්‍යාප්තිය සමහර ප්‍රදේශවල පොල් ඵලදාව හීන කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකරමින් තිබුණද ඒ තත්ත්වය කෙරෙහි බලධාරීන්ගේ අවධානය කවර මට්ටමකින්වත් යොමුවී තිබෙන බවක් පෙනෙන්නට නැත. උහු පොල් ගස්වල තිබෙන ගොබොලු ගෙඩි මුළුමනින් විනාශ කර දමති. රිලවුන් හා වඳුරන් ව්‍යාප්තව සිටින ප්‍රදේශවල උහු පොල් පමණක් නොව, කෙසෙල්, පැපොල් වැනි පලතුරු බෝග වගාවන්ද විනාශ කර දමති. එක්කෝ ඔවුන් පාලනය කළ හැකි සාර්ථක ක්‍රමයක් මහජනයාට කියාදිය යුතුය. නැතිනම් ඔවුන් විනාශ කිරීමට ගොවීන්ට අනුබල දිය යුතුය. මෙම ධර්මතාව වල් ඌරටන්ද අදාළය.
තුවක්කු, ත්‍රස්තවාදී සංවිධාන අතට පත්වීම වළකන පියවරක් වශයෙන් ගොවීන්ගේ තුවක්කු පරිහරණය දැඩි ලෙස සීමා කරන පිළිවෙතක් රටේ ක්‍රියාත්මක විය. එම තත්ත්වය රිලවුන්ගේ වඳුරන්ගේ හා වල් ඌරන්ගේ ශීඝ්‍ර ව්‍යාප්තියට හේතුවිය. වල් ඌරන් වඳවී යන, ඒ නිසා ආරක්ෂා කරගත යුතු විශේෂ සත්ව කොට්ඨාසයක් ලෙස සැලකිය නොහැකිය. අතීතයේදී කැලෑබද ප්‍රදේශවලට සීමාවී සිටි වල් ඌරන් අද නගරවලට යාබද ගම් ප්රදේශවලද බහුලව දැකිය හැකිය. උන් ගම්මුන්ගේ බෝග වගාවන් කෙරෙහි විශාල හානියක් ඇති කිරීමට හේතුවී තිබෙන සත්ව කොට්ඨාසයක් ලෙසද සැලකිය හැකිය. මුවන් හා ගෝනුන් දඩයම් කරනවාට එරෙහිව හා උන්ගේ මස් ප්‍රවාහනය කරනවාට එරෙහිව පනවා තිබෙන නීති ඉතා සාධාරණ වුවත් වල් ඌරන් සම්බන්ධයෙන් එවැනි ප්‍රතිපත්තියක් කිසිසේත්ම සාධාරණ නැත. වල් ඌරු මස් ප්‍රවාහනයට පනවා තිබෙන තහංචි ඉවත් කොට වල් ඌරන් දඩයම් කිරීමට අනුබලදීමෙන් උන්ගේ ව්‍යාප්තියෙන් ඇතිවී තිබෙන හානිය අවම කරගත හැකිය.
සත්ව පාලනය හා ආගමික විශ්වාසය
ආගමික විශ්වාසයන් සත්ව පාලන ආර්ථික විද්‍යාවේ මූලධර්ම සමග ගැටෙන අවස්ථා පවතී. මුස්ලිම් ආගම අදහන්නෝ එළවළු භක්ෂකයන් නොවෙතත්, ඔවුහු ඌරු මස් ආහාරයට නොගනිති. හින්දු ආගම අදහන්නෝ හරක් මස් ආහාරයට නොගන්නා මුත් වෙනත් මස් වර්ග ආහාරයට ගනිති. බුද්ධාගම සියලු ආකාරයේ ප්රාණඝාතනයන් ප්‍රතික්ෂේප කරන දහමකි. එහෙත් ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගෙන් වැඩි පිරිසක් මස් හෝ මාළු අනුභව කරති. බුද්ධ ශාසනයේ උන්නතිය පිණිස කැපී පෙනෙන සේවාවක් කළ පැරණි රජවරුන් අතර පවා දඩයමේ ගිය, දඩමස් ආහාරයට ගත්, ඉඳහිට රා බිව් රජවරු සිටියෝය. ඒ කාලයේ රජවාසලට අවශ්‍ය මී පැණි සහ දඩමස් සපයන්නන් ලෙස ක්‍රියා කළෝ වැදි ජනයාය. එය ඔවුන් වෙත පැවරී තිබුණු රාජකාරි සේවාව විය. උතුරුමැද පළාතේ පුරාණ ගම්වල ජීවත් වූ ගැමියෝ හොඳ බෞද්ධයෝ වූහ. ඔවුන්ගේ ප්‍රධාන ජීවන මාර්ගය ගොවිතැන වුවත් දඩයමක් ලැබුණු අවස්ථාවලදී ඔවුහු ඒ දඩයමේ යෙදුණා පමණක් නොව, ඉන් ලැබෙන දඩ මස් සාමූහිකව බෙදාහදා ගත්හ. වැවේ මාළු අස්වැන්න ගම්මුන් අතර සාධාරණව බෙදා ගත්තෝය. ලෙනාඩ් වුල්ෆ්ගේ ලේඛනවලට ඇතුළත් තොරතුරු අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැමියෝද කුරක්කන් තලප සමග දඩමස් කෑමට ප්‍රිය කළෝය. ඒ දෙක එකතු වූ කල ඔවුන් එය සැලකුවේ රාජ භෝජනයක් ලෙසය. මාර්ටින් වික්‍රමසිංහගේ “අපේ ගමේ” සිළිඳුගේ ජීවන මාර්ගය මාළු ඇල්ලීම වුවත් ඔහු කූඹෙයකු පවා නොමැරුවේ එය පාපයක් ලෙස සැලකූ නිසාය.
ගව පට්ටි පාලනය ශ්‍රී ලංකාවේ නගා සිටුවිය හැකි කෘෂිකාර්මික කර්මාන්තයකි. ඒ මගින් කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව කෙරෙන අතිවිශාල වියදම අඩු කරගත හැකි අතර ග්‍රාමීය ජනතාව අතර පවතින දුප්පත්කම නැති කරන ප්‍රධාන ආර්ථික මාර්ගයක් බවට පත් කරගත හැකිය. එහෙත් කිරි පමණක් අරමුණු කරගත් ගව පට්ටි පාලනයක් ආර්ථික වශයෙන් ඵලදායී නොවන අතර එම කර්මාන්තය රීතියක් ලෙස ආර්ථික වශයෙන් ඵලදායී වන්නේ කිරිවලට අතිරේකව මස්ද අරමුණු කරගන්නේ නම් පමණය. ආගමික විශ්වාසයන් මත පිහිටා කිරිදෙනුන් කිසිවිටෙකත් මස් පිණිස ප්‍රයෝජනයට නොගත යුතුයි කියන දැඩි පිළිවෙතක් පවත්වාගෙන යෑමට අදහස් කරන්නේ නම් කිරිපට්ටි පාලනය සඳහා මිනිසුන් උනන්දු කරවීමෙන් වැළකිය යුතුය. ඒ සඳහා කැරෙන ආයෝජනයන් ධෛර්මයත් නොකළ යුතුය. මක්නිසාද යත් කිරි සඳහා පමණක් හරක් හැදීම ආර්ථික වශයෙන් ලාභදායී නොවන නිසාය. කිරි ගැනීම අත්හරින ලද හරකුන් මැරෙන තෙක් නඩත්තු කිරීම සඳහා විශාල වියදමක් දැරිය යුතු අතර කිරිවලට පමණක් සීමා කළ කිරිපට්ටි කර්මාන්තයක් ලාභදායී වන්නේද නැත. මෙවැනි කර්මාන්තවලදී රටට පිළිගත හැකි ස්ථිර ප්‍රතිපත්තියක් තිබිය යුතුය.
ඉන්දියාවේ හින්දු ආගම අදහන ජනයා ගවයා සලකන්නේ දෙවියන්ගේ අවතාරයක් ලෙසය. ඔවුන් කිරි බොන මුත් ගව මස් කන්නේ නැත. ගවයා මුල් කොටගෙන ඉන්දියාවේ හින්දු හා මුස්ලිම් ජනයා අතර ගැටුම් ඇතිවන යුගයක් පවා ඉන්දියාවේ තිබුණි. ඒ ආශ්රයෙන් ඇතිවූ උණුසුම් වාද විවාදවලට පැටලීමට මහත්මා ගාන්ධිටද සිදුවිය. හින්දු බහුතරයක් සිටින ගව මස් නොකන ඉන්දියාවේ කිරි පට්ටි කර්මාන්තය ආර්ථික වශයෙන් ලාභදායී වී තිබෙන්නේ හින්දුන් කිරි සඳහා ඇති කරන ගවයන් ඒ රටේ මුස්ලිම් ජනයා මස් සඳහා මිලදී ගන්නා තත්ත්වයක් තිබීම නිසාය. ඒ තත්ත්වය ඉවසීමට හින්දු ආගම අදහන්නන් පුරුදු වී තිබෙන නිසාය. ශ්‍රී ලංකාවේ කිරි පට්ටි පාලනය හා එළු පට්ටි පාලනය ප්‍රචලිත කිරීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇති නම් එවැනි ප්‍රායෝගික ප්‍රශ්න සඳහා වන ස්ථිර ප්රතිපත්තියක්ද ආණ්ඩුවට තිබිය යුතුය.
සාපෙළ අසමත් වන්නන්ට වෘත්තීය අධ්‍යාපනය අනිවාර්ය කිරීම
ලබන වසරේ සිට සා. පෙළ අසමත්වන්නන් සඳහා වෘත්තීය අධ්‍යාපනය අනිවාර්ය කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමති ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණි. එය ඉතා වැදගත්, අර්ථවත් හා ඉතාමත් විප්ලවකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවන තීරණයක් ලෙස සැලකිය හැකිය. මෙවැනි ප්රතිපත්තියක අවශ්‍යතාව වෙනුවෙන් හඬ නැගූ කෙනකු වශයෙන් මටද ඒ ගැන විශේෂයෙන්ම සතුටු විය හැකිය.
මෙතෙක් සිදුවූයේ අසමත්වන්නන් වැඩි පිරිස කමකට නැති පිරිසක් ලෙස සලකා ඔවුන්ට අයාලේ යන්නට ඉඩ හැර සමත්වන්නන් සුළු පිරිස කෙරෙහි සියලු සැලකිලි දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. මෙම විශේෂ ප්රශ්නයේදී රටේ සමස්ත අධ්‍යාපන ක්රමයම සකස් වී තිබුණේ අන්තවාදී ආකාරයකටය. අපේ අධ්‍යාපන ක්‍රමය මුදුනේම සිටින වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන් නිපදවන්නට උත්සාහ කළා විනා වෛද්‍යවරුන්ට හා ඉංජිනේරුවන්ට අවශ්‍ය කාර්මිකයන් හා තාක්ෂණඥයන් නිපදවීමේ වුවමනාව මුළුමනින්ම නොසලකා හැර තිබුණි. එක ඉංජිනේරුවකුට අවශ්‍ය කාර්මිකයන්, තාක්ෂණඥයන්ගේ සංඛ්‍යාව 5ක් ලෙස සැලකේ. එක වෛද්‍යවරයකු සඳහාද ඊට තරමක් වැඩි සහායක පිරිසක් අවශ්‍ය වේ. අපි වෛද්‍ය හා ඉංජිනේරු අධ්‍යාපනයට බර තබා තිබුණේ වෛද්‍යවරයා හෝ ඉංජිනේරුවාට අවශ්‍ය කාර්මික හා තාක්ෂණික සහාය කණ්ඩායම සමග නිපදවන්නට නොව, වෛද්‍යවරයකු හා ඉංජිනේරුවකු පමණක් නිපදවන්නටය. මේ නිසා වෛද්‍ය හෝ ඉංජිනේරු උපාධි අධ්‍යාපනයක් සඳහා සුදුසුකම් ලැබීමට අධ්‍යාපනයක යෙදී උපාධි අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය තරම් ප්‍රමාණවත් ලකුණු ලැබීමට අසමත්වූවන් තමන් එතෙක් අධ්‍යාපනය ලැබූ විෂයයන්ට මුළුමනින් පරිබාහිර වෙනත් අංශවලට මාරුවීම නිසා එවැනි අයගෙන් ලබාගත හැකි ඵලදායිතාව අපතේ හැරීමක් සිදුවූවා සේ ම ඒ මගින් සම්පත් නාස්ති කිරීමක්ද සිදුවිය. එම වැරදි ක්‍රමය ඇති කළ ප්රතිඵලවල විකෘති ස්වභාවය බැලූ බැල්මට හැම අංශයකම දැකිය හැකිය.
රටේ වෛද්‍යවරුන්ගේ විශාල අඩුවක් නැතත්, ඖෂධවේදීන්ගේ හා සෞඛ්‍ය අංශයේ කාර්මික හා තාක්ෂණවේදීන්ගේ විශාල හිඟයක් පවතී. රටේ තිබෙන ෆාමසි සංඛ්‍යාව 14,000කට වැඩිය. එහෙත් නිදහසින් පසු මෙතෙක් අධ්‍යාපන ක්‍රමය විසින් ඖෂධවේදීන් නිපදවා ඇත්තේ තුන් දහසකට නොවැඩි සංඛ්‍යාවකි. එම සංඛ්‍යාව තුළ මියගිය අයද සිටින්නෝය. ෆාමසියක් පවත්වාගෙන යෑම සඳහා ඖෂධවේදියකු සිටීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වුවත් ඖෂධවේදීන් සහිත ෆාමසි තිබෙන්නේ ඉතාමත් අතළොස්සක් පමණය. සුපර් මාර්කට්වල පවත්වාගෙන යන ෆාමසිවල පවා ඖෂධවේදීන් නැත. වෘත්තීය සුදුසුකම් ඇති ඖෂධවේදියකු එක් ආයතනයක වැඩ කරන අතර ඔහු තවත් ෆාමසියකට තම සහතිකය බදුදී අමතර ආදායමක් උපයා ගනී. සහතිකය සඳහා පමණක් මාසිකව ගෙවන මිල රු. 5000 සිට රු. 15,000 දක්වා වෙනස් වේ. සමහර සුපර් මාර්කට් ව්‍යාපාර සඳහා ලබාගන්නා සහතිකයට මාසික මිලක් ගෙවනවාට අතිරේකව සහතිකලාභියාගේ නමට අර්ථසාධක අරමුදලද බැර කරන බව අසන්නට ලැබුණේ මේ මෑත දිනකදීය. මේ ලක්ෂණය සෞඛ්‍ය සේවයේ කාර්මික හා තාක්ෂණවේදීන්ටද අදාළය. සමහරවිට එකම පුද්ගලයා ප්‍රසිද්ධියේ රජයේ රෝහලකද, අප්රසිද්ධියේ පෞද්ගලික රෝහලකද සේවය කරයි. මෙම විකෘතිසහගත තත්ත්වය හැම අංශයක් තුළම අඩු වැඩි වශයෙන් දැකිය හැකිය.
සා. පෙළ අසමත්වන්නන්ට වෘත්තීය අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීම මගින් ඔවුන්ට ආත්ම විශ්වාසයකින් යුතුව රැකියාවක යෙදිය හැකි පසුබිමක් ලබාදිය හැකි අතර ඒ මගින් ශ්‍රම බලකායේ පුහුණු ශ්‍රමිකයන්ගේ පංගුවේ වර්ධනයක් ද ඇති කළ හැකිය. නූතන ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇත්තේද කාර්මිකයන්ට හා තාක්ෂණවේදීන්ටය. බටහිර ලෝකයේ වෛද්‍යවරයකු හා හෙදියක අතර වැටුප් පරතරය විශාල නොවනවා සේ ම ඉංජිනේරුවකු හා කාර්මිකයකු අතර ඇති වැටුප් පරතරයද විශාල නැත. අපට ආධාර වශයෙන් ලැබුණු වෘත්තීය පුහුණුව සඳහා වන ආයතන රාශියක් ඇත්තේය. වෘත්තීය පුහුණු හා කාර්මික පුහුණු ආයතන 1000කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර ඉන් අර්ධයකට වඩා පරිගණකාගාරවලින්ද යුතුය. එම ආයතනවලින් පමණක් වසරකට ලක්ෂයකට වැඩි පිරිසක් පුහුණු කළ හැකිය. මෙතෙක් මෙම ආයතන ප්රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමක් සිදු නොවීය. සා. පෙළ අසමත්වන්නන්ට වෘත්තීය අධ්‍යාපනය අනිවාර්ය කරන පිළිවෙතක් තුළ විභාග අසමත්වන්නන් ආත්ම විශ්වාසයකින් කටයුතු කරන පිරිසක් බවට පත්කිරීමට හේතුවනවා සේ ම, වෘත්තීය පුහුණු ආයතන කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගතයුතු තත්ත්වයන් ද ඇතිවන්නේය.
වඩුවැඩ, මේසන් වැඩ, වාත්තු වැඩ, පයිප්ප වැඩ හා විදුලි වැඩ වැනි අංශවල පුහුණු කාර්මිකයන් සඳහා දේශීය වශයෙන් පමණක් නොව, විදේශීය වශයෙන්ද නොකඩවා වර්ධනය වන ඉල්ලුමක් පවතී. අපට මේ අංශ සඳහා දක්ෂතා ඇති පිරිසක් සිටියත්, දක්ෂයන් හෝ අදක්ෂයන් හඳුනා ගැනීමට විධිමත් ක්‍රමයක් නැත. ඔවුන්ගේ පළපුරුද්දේ හා දක්ෂතාවන්ගේ තත්ත්වයන් පෙන්නුම් කරන සහතික ක්‍රමයක් හෝ බලපත්‍ර ක්‍රමයක් ඔවුන් සඳහා ක්රියාත්මකවන්නේ නැත. ඒ නිසා ගැනුම්කරුවන් දුෂ්කර තත්ත්වයකට පත්වන අවස්ථාද පවතී. අලුත් පිරිස් පුහුණු කරනවාට අතිරේකව එම අංශවල දැනට වැඩ කරන කාර්මික ශිල්පීන්ගේ පළපුරුද්දේ හා දක්ෂතාවන්ගේ මට්ටම් විමර්ශනය කොට ඔවුන්ට බලපත්‍ර ලබාදෙන හා ඒ සමග ඔවුන්ගේ දක්ෂතා තවදුරටත් වැඩි දියුණු කරන පාඨමාලා ක්‍රමයකට ඔවුන් යොමු කළ හැකිය. එම පාඨමාලා සඳහා ගතවන කාලය වෙනුවෙන් ඔවුන්ට විශේෂ ගෙවීමක්ද ලබාදෙන ක්‍රමයක් ඇති කළ හැකිය. ඇස්තමේන්තු සකස් කළ යුතු ආකාරය, සැලැස්මක් තේරුම් ගත යුතු ආකාරය, මිල ගණන් ඉදිරිපත් කළ යුතු ආකාරය වැනි කරුණු ගැන සේ ම එම විෂයයන්ට අලුතෙන් එකතු වී ඇති ශිල්ප ක්‍රම, උපකරණ හා යන්ත්‍ර සූත්‍ර පිළිබඳව ඔවුන්ට ඒ මගින් දැනුමක් ලබාදිය හැකිය. ඒ මගින් ඉදිකිරීම් කර්මාන්තයේ පුහුණු කාර්මිකයන්ගේ තත්ත්වය හා ගුණය නගා සිටුවිය හැකිය. ඔවුන්ට ආත්ම විශ්වාසයකින් යුතුව සිය වෘත්තීය කටයුතුවල යෙදිය හැකි තත්ත්වයක් සහතික කර දිය හැකිය.
උතුරු නැගෙනහිර අවතැන්වූවන්ට ගෙවල් 50,000ක් ඉදිකරදීමේ වැඩපිළිවෙළ ඉදිකිරීම් අංශය සඳහා පුහුණු ශ්‍රම බලකායක් ගොඩනගන වැඩපිළිවෙළක් බවට පත්කළ හැකිය.
ඉන්දියාව සිය ශ්‍රම බලකායට අලුතෙන් එකතු වන නවකයන් පමණක් නොව, සේවයේ යෙදී සිටින පැරැන්නන්ද පුහුණු කිරීම සඳහා වන දැවැන්ත මාර්ග සැලැස්මක් සකස් කර තිබේ. දැනට ඉන්දියාව පුහුණු කරන්නේ වසරකට මිලියන 3.1ක් පමණය. මේ ගණන වසරකට මිලියන 15ක් දක්වා ඉහළ නැංවීමට ඉන්දියාව එම සැලැස්මෙන් අපේක්ෂා කරයි. ඒ මගින් 2022 වන විට මිලියන 500ක් පුහුණු කිරීමට ඉන්දියාව අපේක්ෂා කරයි.
එවැනි ඉදිරි දැක්මක් අපටද තිබිය යුතුය. අප රට විදේශීය රැකියාවලින් උපයන ආදායම ඇඟලුම් අපනයන කර්මාන්තයෙන් උපයන ශුද්ධ ආදායමටත් වඩා වැඩිය. විදේශ රටවල සේවය කරන විදේශිකයන්ගේ සංඛ්‍යාව දශ ලක්ෂයකටත් වඩා වැඩි වන අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය ලෙසද සැලකිය හැකිය. විදේශීය රැකියාවල නිරත වැඩි පිරිසක් නුපුහුණු ශ්‍රමිකයන් වීම එහි තිබෙන ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැකිය. මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් සපයන තත්ත්වයෙන් මිදී විදේශ රටවලට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් සපයන රටක් බවට මාරුවීමට අපට හැකි නම් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉතාමත් දියුණු රටක් බවට පත් කළ හැකිය. ඵලදායිතාවේදී විදේශ රැකියා තිබෙන්නේ, විදේශ ආයෝජන හා සංචාරක කර්මාන්තය වැනි අංශවලටත් වඩා ඉදිරියෙන් සිටින තත්ත්වයකය. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ අඩුම අවධානය යොමුවී තිබෙන අංශය ලෙස සැලකිය හැක්කේද විදේශ රැකියා අංශයයි. ගෘහ සේවිකාවන් 20ක් යැවීමෙන් උපයන සංක්‍රාම ආදායම එක හෙදියක යැවීමෙන් ඉපැයිය හැකිය. අප වැඩි වැඩියෙන් පුහුණු කාර්මිකයන් රට යවන රටක් බවට පත් කළ යුතුය. ඒ ඉලක්කය කරා ළඟාවීමට අප සමත් වනු ඇත්තේ අධ්‍යාපනයේදී කාර්මික හා තාක්ෂණ අංශයකට වැඩි වැදගත්කමක් ලබාදෙන තැනකට මාරුවීමෙනි.
වෘත්තීය පුහුණු අධ්‍යාපනය සඳහා යොදා ගන්නා පාඨමාලා පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තත්ත්වයකට ගෙනා යුතුය. වසා තිබූ හෙද අභ්‍යාස විද්‍යාල නැවත විවෘත කොට නැවත හෙද අධ්‍යාපනයකට බර තබන ප්රතිපත්තියකට මාරුවීම හොඳ වුවත් ඔවුන්ට ලබාදෙන පුහුණුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තත්ත්වයක තබාගත යුතු බව අප අමතක නොකළ යුතුය. ඒ සමග අප ඔවුන් පුහුණු කරන්නේ දේශීය වෙළෙඳපොළ සඳහා පමණක් නොව, ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා නම් ඔවුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කළ හැකි තත්ත්වයකට ගෙනා යුතුය. වෘත්තීය පුහුණු ආයතන මගින් ලබාදෙන සහතික ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට හේතුවන තත්්ත්වයේ ඒවා විය යුතුය. ඒ තත්ත්වය දිනාගැනීම සඳහා යොදාගත හැකි සාර්ථක ක්‍රමයක් වනුයේ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වැනි ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට හේතුවන ආයතනයක් සමග ඒකාබද්ධව වැඩ කරන තැනකට යෑමය. ඒ සඳහා විශේෂ වියදමක් දරන්නට සිදුවුවත් එය රටට පාඩුවක් වන්නේ නැත.