යුරෝපා සංගමය අප රටේ ඇඟලුම් සඳහා ලබාදී තිබෙන GSP+ සහනය අහිමිවීමේ තර්ජනයකට මුහුණ දෙන්නට රටට සිදුවී තිබේ. මේ කෙරෙහි බලපා ඇති හේතු පිළිබඳව දේශපාලන තලයේ කෙරෙන කතාබහ විෂයය අවබෝධයකින් තොරව කෙරෙන අරුත් විරහිත කතාබහ ලෙස සැලකිය හැකිය. යුරෝපා සංගමයේ රටවල්වලට කරන භාණ්ඩ අපනයනයේදී අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා රේගු බදු ගෙවිය යුතුය. මේ සහනය ලැබුණු රටවල්වලට රේගු බද්දෙන් නිදහස්ව ඇඟලුම් අපනයනය කිරීමේ අයිතිය සීමිත කාලයක් සඳහා ලැබුණි. ආසියාවෙන් මේ සහනය ලැබුණේ රටවල් දෙකකටය. ඒ ශ්‍රී ලංකාව හා මොංගෝලියාවටය. සහනය ලබාදීමේදී අපනයනය කරන රටවල්වලට ආවේණික විශේෂිත වටිනාකම් සැලකිල්ලට ගන්නා ලදි. නිදර්ශනයක් වශයෙන් කලාපයේ වෙනත් රටවල්වල භාණ්ඩ නිෂ්පාදනයේදී ළමා ශ්‍රමය බහුල ලෙස යොදා ගන්නා තත්ත්වයක් පැවතිය ද ශ්‍රී ලංකාවේ පවතින්නේ ළමා ශ්‍රමය පාවිච්චි නොකරන තත්ත්වයකි.
එය අඩු දියුණු වෙනත් රටවල්වල පවතින තත්ත්වයට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ආවේණික කැපී පෙනෙන යහපත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. මීට අතිරේකව මෙම සහනය ලබාදීමේදී යුරෝපා සංගමයට ඇඟලුම් අපනයනය කරන රටවල් මානව හිමිකම් හා දේශපාලන අයිතිවාසිකම්වලට අදාළව එක්සත් ජාතීන්ගේ සංගමය සමග අත්සන් තබා ඇති ප්රඥප්තින්ගේ ප්‍රමාණය ද සැලකිල්ලට ගන්නා ලදි. එහිදී ද ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනය කරන ආසියාතික රටවල් අතර කැපී පෙනෙන තත්ත්වයක් හිමි කරගෙන සිටියේය. මේ සියලු දේට අතිරේකව සුනාමි ව්‍යසනයෙන් සිදුවූ හානියේ පරිමාව ද විශේෂ සාධකයක් ලෙස සැලකිල්ලට ගන්නා ලදි. සහනය වෙනුවෙන් පනවන ලද එකම කොන්දේසිය වූයේ සහනය ලබන රටවල් අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අත්සන් තබා ඇති මානව හිමිකම්වලට අදාළ ප්රඥප්තීන් 17කට අදාළ කාරණා එම රටවල් පිළිපැදිය යුතු බව පමණය.
ඒ මගින් යුරෝපා සංගමය අපේක්ෂා කළේ සහනය වෙනුවෙන් යුරෝපා සංගමය ඒ රටවලට ගෙවන මිල ඒ රටවල ප්රජාතන්ත්රවාදී වටපිටාව ශක්තිමත් කිරීම සඳහා ගෙවන මිලක් ලෙසය.
G.S.P. සහනයේ වටිනාකම
ශ්‍රී ලංකාවට ලැබුණු මෙම සහනයේ වටිනාකම කුමක්ද? යුරෝපා සංගමයට කරන ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව වසරකට උපයන ආදායම රුපියල් දශ ලක්ෂ ලක්ෂයක් ලෙස සලකා ඇඟලුම් සඳහා අය කෙරෙන රේගු බද්දේ ප්‍රමාණය 10%ක් ලෙස සැලකුවහොත් සහනයේ වාර්ෂික වටිනාකම රුපියල් දශ ලක්ෂ දහසක් ලෙස සැලකිය හැකිය. එය දශ ලක්ෂ 02ක් වන පමණ වන දුප්පතුන්ට දෙන සමෘද්ධි සහනාධාරය සඳහා කරන වාර්ෂික වියදමට සමානය. මේ සහනය මොනම පක්ෂයක් විසින් හෝ මොනම රජයක් විසින් හෝ මොනම රාජ්‍ය නායකයකු හෝ ඇමතිවරයෙකු විසින් හෝ දිනා දෙන ලද සහනයක් නොවීය. එය එවැනි බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවට ඉබේ ලැබුණු සහනයක් විය. මේ සහනය අපට අහිමි වෙන්න යන්නේද? එසේ වේ නම්, ඒ කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාද? ඒ පිළිබඳව රටේ පවතින මතවාදවල ද කිසිදු ඇත්තක් නොපවතී. සමහර මතධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඒ කෙරෙහි සටන් විරාම ගිවිසුම අහෝසි කිරීම, උතුරු නැගෙනහිර වෙන් කිරීම, මානව හිමිකම් අරබයා රටේ පවතින අයහපත් තත්ත්වය, කොටින්ම රාජ්‍යය පාලනයේ ක්‍රියාකාරකම් ඒ කෙරෙහි බලපා ඇති බවය.
අර්බුදය ඇති කිරීමට බලපෑ හේතු
එහෙත් GSP+ සහනය අහිමි වේ නම්, එවැනි අහිමිවීමට සිදුවීම මේ එකදු ප්‍රශ්නයක්වත් බලපාන්නේ නැත. ඒ කෙරෙහි බලපාන්නේ එම සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමට අදාළ කාරණා පමණය. ඒ අර්ථයෙන් ගිවිසුමට ඇතුළත් කිසිදු කොන්දේසියක් ආණ්ඩුව විසින් උල්ලංඝනය කර නැත. අවුල ආවේ ආණ්ඩුවෙන් නොව ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. සිංහරාසා තීන්දුවට අදාළ පෙත්සම් විභාගයේදී විනිසුරු මඬුල්ල විවෘත අධිකරණයේදී ජිනීවාහි මානව හිමිකම් කමිටුව හෑල්ලුවට ලක් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මෙවැනි දේවල් විභාග කොට තීරණයක් දීමට ජිනීවාහි මානව හිමිකම් කමිටුවේ සාමාජිකයන්ට තිබෙන සුදුසුකම් මොනවාදැයි කියා විවෘත අධිකරණයේ ප්‍රශ්න කරන තැනකට ගියේය. අවසානයේ දෙන ලද තීන්දුව වූයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තියේ එන කරුණු දේශීය වශයෙන් නීතිගත කර නැති බැවින්, මානව හිමිකම් කමිටුව දෙනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම නීතියට අනුකූල නොවන බවය.
මෙම තීන්දුව දෙන අවස්ථාව වන විට ජිනීවාහි මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දු ගණනාවකට එරෙහිව සිය තීරණයෙන් ප්‍රකාශ කර තිබුණි. ඊට අතිරේකව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු ගණනාවකට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් මානව හිමිකම් කමිටුව ඉදිරියේ විභාගයට ගෙන තිබුණි. ඒ තත්ත්වය යටතේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියේ බලාත්මකභාවය නිශ්ක්‍රීය කිරීම හෝ සීමා කිරීම සිය ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ගත යුතුව තිබුණු එක් පියවරක් විය. එහෙත් ඒ පියවර වෙනුවෙන් දැන් රටට ගෙවන්නට සිදුවී තිබෙන වන්දිය අතිවිශාලය. වැඩ වර්ජන තත්ත්වයක් අත්හිටුවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝගයකට එරෙහිව වෘත්තීය සමිති සංවිධාන ගණනාවක් විසින් අයි.එල්.ඕවට (ෂඛධ) ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පිළිබඳව අයි.එල්.ඕ. ට දෙන ලද තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය නොපිළිගැනීම හා එම විභාගයේදී අයි.එල්.ඕ. ව විවාත අධිකරණයේදී හෑල්ලුවට ලක් කිරීම ද ශ්‍රී ලංකාවට දෙනු ලබන GSP+ සහනය සම්බන්ධයෙන් මතුවී තිබුණු අර්බුදය උග්‍ර කිරීමට හේතුවිය.
අර්ථ නිරූපණය
සිවිල් දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තියේ වලංගුභාවය සම්බන්ධයෙන් ඇතිවී තිබුණු අවිනිශ්චිතභාවය ජයගැනීම සඳහා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි අර්ථ නිරූපණයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය පැරණි පිළිවෙත අතහැර ප්රඥප්තියේ වලංගුභාවය පිළිගත්ත ද මතුවී තිබුණු අර්බුදය අවසන් කිරීමට තරම් අර්ථ නිරූපණය ශක්තිමත් හෝ පැහැදිලි නොවීය. ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන හා අත්සන් කරන ජාත්‍යන්තර ප්රඥප්තියේ වලංගුභාවය පිළිගන්නා සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මෙම ව්‍යාකුලතාව ජයගනිමින් ශ්‍රී ලංකාවට ලැබෙන GSP+ සහනය ආරක්ෂා කරගත හැකිව තිබුණි. ඒ හැකියාව තවමත් මුළුමණින් අහෝසි වී නැත. ඇතිවී තිබෙන ව්‍යාකූලභාවය කෙරෙහි ලෝකයේ ඇති වී තිබෙන වෙනස්කම්වලට ගැලපෙන විදේශීය ප්‍රතිපත්තියක් නැතිකම ද බලපා තිබේ.
විදේශ ප්‍රතිපත්තිය නැවත සලකා බැලිය යුතුය
මහා බලවතුන් දෙදෙනා අතර සීතල යුද්ධයක් පැවති සමයේ එක්සත් ජාතික පක්ෂයට ඇමරිකන් බල කඳවුරට පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් ද ශ්‍රීලනිපයට සෝවියට් කඳවුරට පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් ද අනුගමනය කළේය. එවැනි විදේශ ප්‍රතිපත්තියක් එදා ලෝකයට ගැලපුණා විය හැකි වුවත් අදට ගැලපෙන්නේ නැත. මෙම පක්ෂ දෙකේ පැරණි ආකල්පවල අඳුරු සෙවනැලි අද දක්වා මෙම පක්ෂ දෙකේ විදේශ ප්‍රතිපත්ති කෙරෙහි බලපා තිබේ. එක්සත් ජාතික පක්ෂය ඇමරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර කඳවුරට පක්ෂපාතය. අද සෝවියට් බලකඳවුරක් නැතත්, අනාගතයේ බලකඳවුරක් ලෙස ගොඩ නැගෙනු ඇතැයි විශ්වාස කරන නිසා, චීනය, රුසියාව, ඉරානය, වෙනිසියුලාව මුල් කරගත් අධිරාජ්‍ය විරෝධී බලකඳවුරක් පිළිබඳ සිහින දකින තත්ත්වයක් ශ්‍රීලනිප තුළ පවතී. මෙම ආකල්ප දෙකම ශ්‍රී ලංකාව වැනි පුංචි රටකට හිතකර වන්නේ නැ. බටහිර ගැතිවීම රටට වාසිදායක නොවන්නා සේ ම බටහිර විරෝධී වීම ද රටට වාසිදායක නැත.
පළමු කොට අපගේ ළඟම අසල්වැසියා හා කලාප බලවතා වන ඉන්දියාව සමඟ ගැටුම්වලින් තොරව අවබෝධයෙන් වැඩ කරන ප්‍රතිපත්තියක් අපට තිබිය යුතුය. එහිදී ශ්‍රී ලංකාව, පාකිස්තානය හා චීනය වැනි රටවල් සමග පවතින මිත්‍රශීලී ප්‍රතිපත්තිය අත්හරින තැනකට යා යුතු නැතිවා සේම ජවිපෙ ඉල්ලා සිටින ආකාරයේ ඉන්දියානු විරෝධී තැනකට ද යා යුතු නැත. ඇමරිකාව ප්රමුඛ බටහිර ලෝකය සමඟ ද අවබෝධයෙන් හා මිත්‍රත්වයෙන් ගනුදෙනු කරන තැනක අප සිටිය යුතුය. අපි බටහිර ගැති නොවිය යුතුවා සේ ම, බටහිර විරෝධී ද නොවිය යුතුය. අපට බටහිර ආධාර නොසලකා සිටිය හැකි වුවත් බටහිර සමඟ කරන වෙළෙඳාම අත් හැරිය නොහැකිය. ආනයන වෙළෙඳාමේදී අපි ප්‍රධාන කොට ආසියානු රටවල් මත යැපෙන මුත් අපනයන වෙළෙඳාමේදී අපගේ ප්‍රධානම ගැනුම්කරුවා වී සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර ලෝකයයි. අපට අපගේ ඇඟලුම් ඉන්දියාවට හෝ චීනයට අලෙවි කළ නොහැකිය.
ඇඟලුම් කර්මාන්තය තිබෙන තෙක් අපට ඇඟලුම් නිෂ්පාදන විකුණන්නට සිදුවනු ඇත්තේ බටහිර ලෝකයටය.
ආර්ථිකයේ ඇඟලුම්වලට හිමි තැන
අපි කැමති වුවත්, නැතත් ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් ලෙස ක්‍රියා කරයි. 2005 වසරේදී තේ, පොල්, රබර් ඇතුළු සියලු කෘෂිකාර්මික අපනයනයන්ගෙන් ඉපැයූ ආදායම රුපියල් මිලියන එක් ලක්ෂ දාසය දහස (116045) කි. එම වසරේ ඇඟලුම් අපනයනයෙන් පමණක් උපයන ලද ආදායම රුපියල් මිලියන දෙලක්ෂ හැත්තෑ හය දහසකි (276143) ඇඟලුම් අපනයනයෙන් උපයන ආදායම මුළු අපනයන ආදායමෙන් 55%කටත් වැඩිය. ඇඟලුම් වෙළෙඳාමේදී අපගේ ප්‍රධාන ගැනුම්කරුවා වී සිටිනුයේ බටහිර විරෝධී ලෝකය නොව, බටහිර ලෝකයයි. 2005 වසරේදී ඇඟලුම් අපනයනයෙන් උපයන ලද මුළු ආදායම රුපියල් මිලියන දෙලක්ෂ හැත්තෑ හයදාහක් (276144) වන විට ඉන් මිලියන දෙලක්ෂ හැට අටදහස් නවසියයක්ම (268967) ලැබී තිබුණේ බටහිර ලෝකයෙනි. ඉන් රුපියල් මිලියන එක් ලක්ෂ හැට හතර දාහකට (164126) ලැබී තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.
ලෝක බලතුලනයේ මහා වෙනස්කමක් ඇතිවෙමින් චීනය, රුසියාව, වෙනිසියුලාව හා ඉරානය වැනි රටවලින් සමන්විත නවලෝක බලකඳවුරක් ගොඩනැගෙමින් ඇතැයි කියන ජනප්‍රිය ප්‍රවාදයක ද විකාරයකි.
ලෝක බලතුලනය පිළිබඳ බොරු ප්‍රවාද
දළ ජාතික නිෂ්පාදිතයන්ගේ වටිනාකම අනුව ලෝකය වර්ග කළ විට ලැබෙන ඇත්ත චිත්‍රය මෙසේය. (2007 වසර සඳහා) රටවල දළ ජාතික නිෂ්පාදනයන්ගේ මුළු වටිනාකම ලෝකය සඳහා ඩොලර් බිලියන 48244කි. එහි ඇමරිකාව සතු පංගුව ඩොලර් බිලියන 13201කි. දෙවැනි තැනට ඉන්නේ ජපානයයි. එය ඩොලර් බිලියන 4340කි. තුන්වැනි තැනට ඉන්නේ ජර්මනියයි. එය ඩොලර් බිලියන 2906කි. චීනය ඉන්නේ හතරවැනි තැනටය. එය ඩොලර් බිලියන 2668කි. චීනය හා ඇමරිකාව අතර පරතරය පස් ගුණයකට ආසන්නය. චීනයට පසුව ඉන්නේ එක්සත් ජනපදයයි. එය ඩොලර් බිලියන 2345කි. හයවැනි තැන ප්‍රංශයට හිමිවන අතර, එය ඩොලර් බිලියන 2230කි. 7 වැනි තැන හිමි කරගෙන සිටින ඉතාලියේ ඩොලර් බිලියන 1844කි. රුසියාව ඉන්නේ 11 වැනි තැනය. ඉන්දියාව ඉන්නේ 12 වැනි තැනය. එය පිළිවෙළින් ඩොලර් බිලියන 986ක් හා ඩොලර් බිලියන 906කි. බටහිර ලෝකය එක් කඳවුරක් ලෙස හා ගොඩනැගෙමින් තිබෙනවායි කියන අධිරාජ්‍ය විරෝධී බලකඳවුර ලෙස සැලකෙන චීනය, රුසියාව, වෙනිසියුලාව, ඉරානය වැනි රටවල් එක කඳවුරක් ලෙසත් ගෙන බැලුවහොත් මේ කඳවුරු දෙක අතර, ඇති පරතරය අහස පොළොව තරම් විශාලය.
ඒ නිසා නව අධිරාජ්‍ය විරෝධී ලෝක බලකඳවුරක් ගොඩනැගෙමින් තිබේ. ශ්‍රී ලංකාව එම කඳවුර සමඟ කිට්ටු සහයෝගයකින් ක්‍රියා කළ යුතු යැයි කියන මතවාදය සැලකිය යුත්තේ අරුත් විරහිත විකාරයක් ලෙසය. GSP+ සහනය ආරක්ෂා කරගත යුතු වුවත්, එය අහිමි වුවහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය මුළුමණින් බිඳ වැටෙනු ඇතැයි කියන මතවාදය ද විහිළුවකි. ඉන් විය හැක්කේ විශාල පසුබෑමක් පමණය. එහෙත් බටහිර ලෝකය ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා අවහිර කරන ප්රතිපත්තියකට ගියහොත් ඇඟලුම් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකිය. අප රටක් වශයෙන් ඥාණාන්විත නම් හා ඇතිවී තිබෙන අවුල නිරාකරණය කරගැනීම සඳහා වහාම පියවර ගන්නේ නම්, ලැබී තිබෙන GSP+ සහනය නැතිවන්නට ඉඩ නොදී ආරක්ෂා කරගත හැකිය. මේ ප්රශ්නයේදී ආණ්ඩු පක්ෂය හා විපක්ෂය රටේ ආරක්ෂාව සඳහා එක තැනකට එමින් ව්‍යාකූලභාවය ජයගැනීමට හේතුවන නීති සම්පාදනයකට යාමෙන් මෙම සහනය ආරක්ෂා කරගත හැකිය.
ඇතිවන්නට යන අර්බුදය කෙරෙහි නෛතික වශයෙන් බලපා තිබෙන ව්‍යාකූල තත්ත්වය හැර අන් කිසිම කාරණයක් බලපා නැත.