නැගෙනහිර ඡන්දය

April 27, 2008
Publication:
The Eastern provincial council election is a turning point in the ethnic conflict, held in the territory the LTTE claimed while the war against it goes on. Ivan works through the demography district by district — no community holds a majority in the province — and the 2004 parliamentary results party by party, and shows why the chief ministership is the point of the dispute.

නැගෙනහිර පළාත් සභා ඡන්දය රටේ පවතින වාර්ගික ආරවුලේ ඉදිරි ගමන් මග තීරණය කෙරෙන වැදගත් දේශපාලන කඩඉමක් බවට පත්වනු නොඅනුමානය. එක් අතකින් ආණ්ඩුව කොටි සංවිධානයට එරෙහිව බිහිසුණු යුද්ධයක යෙදී සිටින්නේය. ඒ සමග එය කොටි සංවිධානයේ ආධිපත්‍යයෙන් නිදහස් කර ගනු ලැබූ නැගෙනහිර පළාත තුළ පළාත් සභා පාලනයක් සඳහා වන ඡන්දයකට යොමු වී සිටින්නේය. එය කොටි සංවිධානය වෙනම රාජ්‍යයක් ලෙස අයිතිවාසිකම් කී භූමියේ එක් වැදගත් කොටසක පවත්වනු ලබන ඡන්දයක් ලෙස සැලකිය හැකිය. උතුර බොහෝ දුරකට දෙමළ ජනතාවට පමණක් සීමාවූ භූමි ප්‍රදේශයකි. එහෙත් නැගෙනහිර ප්‍රධාන ජනවර්ග තුනකටම සැලකිය යුතු තරමේ නියෝජනයක් ඇති කිසිම තනි ජනවර්ගයකට බහුතර බලයක් නැති සුවිශේෂ භූමි කලාපයක් ලෙස සැලකිය හැකිය. වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා සිහින දකින්නන් අයිතිවාසිකම් කී භූමි කලාපයට උතුරු පළාත පමණක් නොව නැගෙනහිර පළාත ද ඇතුළත් විය.

දෙමළ නායකයන් එය දකින ලද්දේ ඔවුන්ගේ ඓතිහාසික වාස භූමි ප්‍රදේශය වශයෙනි. ඔවුන් එම අයිතිය සඳහා ඉදිරිපත් කරන ලද ඓතිහාසික සාධකවල ඇත්ත පදනමක් නොතිබුණ ද, එම පළාත් දෙක එක පාලන ඒකකයක් විය යුතු බව ඔවුන් පොදුවේ දරන ලද මතය විය. මෙම පළාත් දෙක එක පාලන ඒකකයක් විය යුතු යැයි කියන මතය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පිළිනොගත්තා වුව ද, ඉන්දියාව එය පිළිගැනීමෙන් පසු ජේ.ආර්. ජයවර්ධන ද එය අකමැත්තෙන් හෝ පිළිගත්තේය. ඉන්දියාව එය පිළිගත්තේ ද කැමැත්තෙන් නොව දෙමළ එකඟත්වය සඳහා එසේ පිළිගැනීම අත්‍යවශ්‍ය වේ යැයි කල්පනා කළ නිසාය. එහෙත් ඉන්දියාව එවැනි එකඟත්වයකට ආවේ එවැනි එකතු කිරීමක් ස්ථිර එකතු කිරීමක් බවට පත්විය යුත්තේ නැගෙනහිර ජනයා එය ජනමතවිචාරණයකින් අනුමත කරන්නේ නම් පමණක්ය යන කොන්දේසිය මත පිහිටාය. ඉන්දු-ලංකා ගිවිසුමෙන් මෙම දෙපළාත තාවකාලිකව එකතු කරනු ලැබීය.

පළාත් සභා ක්‍රමයක් ඇති කිරීමෙන් තොරවම එය දීර්ඝ කාලයක් එකට එකතු කළ ඒකකයක් ලෙස පැවතුණ ද ඒ ගැන නැගෙනහිර ජනමතය දැනගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වනු නොලැබීය. නැගෙනහිර දෙමළ ජනතාවගේ පමණක් නොව, මුස්ලිම් ජනතාවගේ ද ප්‍රධාන භාෂාව වන්නේ දෙමළ භාෂාවමය. මෙම දෙජනතාව එකම භාෂාවක් කතා කළ ද පෙනී සිටින්නේ එක ජන වර්ගයක් ලෙස නොව, ජන වර්ග දෙකක් ලෙසය. දේශපාලන වශයෙන් මේ දෙපිරිස එකට වැඩ කරන යුගයක් ද තිබුණි. මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නිර්මාතෘවරයා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී පුද්ගලයෙකු ලෙස ක්‍රියා කළ යුගයක් තිබුණි. ඒ යුගයේදී දෙමළ කොටි සංවිධානය නියෝජනය කරන නායකයන් අතර මුස්ලිම් ජාතිකයන් ද සිටියේය. එහෙත් තවත් පසුකලකදී මුස්ලිම් ජනයා වෙනම අනන්‍යතාවකින් යුතු ජනවර්ගයක් ලෙස වැඩ කරන තත්ත්වයක් නිර්මාණය විය. උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඓතිහාසික නිජබිම් ප්‍රදේශ නොව, උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන අතිවිශාල බහුතර ජනතාවගේ ඓතිහාසික භූමි ප්‍රදේශ ලෙස හැඳින්වී නම් හා මෙම ජන කණ්ඩායම් දෙක එකට වැඩ කරන තත්ත්වයක් පවත්වාගෙන යෑමට දෙමළ නායකයන් සමත් වී නම්, මෙම පළාත් දෙක එකට එකතු කොට තනි පාලන ඒකකයක් ගැන සිහින දැකීමේ සාධාරණත්වයක් තිබුණි.

මොන මොන හේතු නිසා හෝ මෙම ජන කණ්ඩායම් දෙක අතර, එවැනි සමඟියක් පවත්වාගෙන යෑමට හැකිවී නැත. ඒ නිසාම මෙම පළාත් දෙක තනි ඒකකයක් ලෙස සලකා ක්‍රියාකිරීමේ යුක්තිසහගත බවක් නොපවතී. එහෙත් ඉන්දු-ලංකා ගිවිසුමෙන් එකාබද්ධ කර තිබූ මෙම පළාත් දෙකේ ඒකාබද්ධතාව අහෝසි කරන ලද්දේ නැගෙනහිර පවත්වන ලද ජනමතවිචාරණයකින් නොව, උසාවි නියෝගයකිනි. එහෙත් දැන් නැගෙනහිර පැවැත්වෙන පළාත් සභා මැතිවරණය ඒ සඳහා පැවැත්වෙන ජනමතවිචාරණයක් ලෙස ද සැලකිය හැකිය. මෙම පළාතේ ජනවර්ග සංයුතියට අදාළ සංඛ්‍යා ලේඛන අනුව පළාතේ මුළු ජනගහනය දහතුන් ලක්ෂ හැත්තෑ එක් දහසකි. (1,371,984) ඉන් පන් ලක්ෂ තිස්පන් දහසක් (535,074) හෙවත් 39%ක් මුස්ලිම්ය. පන් ලක්ෂ අනූතුන් දහසක් (593914) හෙවත් 36%ක් දෙමළය. තුන්ලක්ෂ හතළිස් දෙදහසක් (342976) හෙවත් 25%ක් සිංහලය. දිස්ත්‍රික්ක තුනේ ලියාපදිංචි ඡන්දදායකයන් ජනවර්ග අනුව 1 වැනි සංඛ්‍යා සටහනේ දක්වා තිබේ.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ බහුතර බලය ඇත්තේ දෙමළ ජනතාවටය. අම්පාර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කිසිම ජනවර්ගයකට බහුතර බලයක් නැතත්, එම දිස්ත්‍රික්ක දෙකේම වැඩි පංගුව නියෝජනය කරන්නේ මුස්ලිම් ජනතාවය. මුස්ලිම් ජනතාව හිතන්නේ මෙම පළාතේ වැඩිම ජන බලයක් ඇත්තේ තමන්ට වන නිසා මහ ඇමති ධුරය මුස්ලිම් කෙනෙකුට ලැබිය යුතු බවය. එහෙත් දෙමළ ජනතාව ඊට වෙනස්ව එම තනතුර තමන්ගේ කෙනෙකුට ලැබිය යුතු බව විශ්වාස කරයි. කිසිම ජනවර්ගයකට පළාත තුළ බහුතර බලයක් නැති නිසා කිසිම ජනවර්ගයකට ඒ සිහිනය වෙනත් ජනවර්ගයක සහාය නැතිව සැබෑ කරගත නොහැකිය. මේ මැතිවරණයේදී ජනයා වර්ග අනුව මිස, පක්ෂ අනුව කල්පනා කරනු ඇතැයි සිතිය නොහැකිය. මුස්ලිම් මහ ඇමතිවරයෙකු පත්වීම වැළකීම සඳහා දෙමළ ජනයා එක පොදියකට ක්‍රියා කරන තත්ත්වයක් සේ ම දෙමළ මහ ඇමතිවරයෙකු පත්වීම වැළකීම සඳහා මුස්ලිම් ජනයා එක පොදියකට ද ක්‍රියා කරන තත්ත්වයක් ඇතිවිය හැකිය.

සිංහල ජනයා ද පක්ෂ භේදයට වඩා වර්ග භේදය මුල් කොටගෙන සිය ඡන්ද පාවිච්චි කරන තත්ත්වයකට පත්විය හැකිය. 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැගෙනහිර ජනයා පක්ෂ අනුව ඡන්ද පාවිච්චි කර තිබෙන ආකාරය වන සංඛ්‍යා සටහනින් දක්වා තිබේ. එම සටහනේ එන සංඛ්‍යා ලේඛන අනුව නැගෙනහිර පළාතේ ජනගහනයෙන් ප්‍රධාන පංගුව සමන්විත වන්නේ මුස්ලිම් ජනයාගෙන් වුවත්, එම මැතිවරණයේදී තනි පක්ෂයක් වශයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්ව ඇත්තේ මුස්ලිම් කොංග්‍රසය නොව දෙමළ සන්ධානයයි. පළාතෙන් දෙමළ සන්ධානය ඡන්ද 285,499ක් ලබා ගන්නා විට මුස්ලිම් කොංග්‍රසය ලබාගෙන ඇත්තේ ඡන්ද 184871කි. එක්සත් ජනතා සන්ධානය පළාතෙන් ඡන්ද 169,068ක් ලබාගන්නා විට, එජාප ලබාගෙන ඇත්තේ ඡන්ද 63,965කි. මෙම පළාත් සභා මැතිවරණය සඳහා මුස්ලිම් කොංග්‍රසය එජාප සමග තනි හවුලක් ලෙස තරග කරයි. එම මැතිවරණයේදී එම පක්ෂ දෙක (මුස්ලිම් කොංග්‍රසය හා එජාප) ලබා ගත් ඡන්ද එකට ගෙන මෙම මැතිවරණයේදී එය ඔවුන් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව ලෙස සලකතොත් එම එකතුව හිමි ඡන්ද සංඛ්‍යාව 248832කි.

මෙවර ශ්‍රීලනිපය හා ජනතා විමුක්ති පෙරමුණ වෙන් වෙන්ව තරග කරන නිසා එක්සත් ජනතා සන්ධානයට ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ජවිපෙ ඡන්ද ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් අනෙක් අතට මෙම පළාත් සභා මැතිවරණයට දෙමළ සන්ධානය තරග නොකරයි. ශ්‍රීලනිප සමග සන්ධාන ගතවී තරග කරන පිල්ලෙයාන් පිල පළාතේ දෙමළ ඡන්දවලින් කොපමණ ප්‍රතිශතයක් ලබාගනු ඇත්ද යන්න ද පැහැදිලි නැත. පිල්ලෙයාන්ට ඡන්දය දීමට කැමති නැති දෙමළ ජනයා ඊළඟට කුමක් කරනු ඇත් ද යන්න ද පැහැදිලි නැත. එහෙත් තරගය ළඟ ළඟ තරගයක් බව පැහැදිලිය. මැතිවරණය ප්‍රචණ්ඩ මැතිවරණයක් නොවී, නිදහස් හා සාධාරණ මැතිවරණයක් වුවහොත් ජයග්‍රාහකයා කවුරුන් වුව ද ඒ මගින් පළාත් සභා පාලනයකට ශක්තිමත් අඩිතාලමක් වැටෙනු ඇත්තේය. පිල්ලෙයාන් පිල බලහත්කාරයෙන් තොරව දෙමළ ඡන්දවලින් සැලකිය යුතු පංගුවක් හිමිකර ගැනීමට සමත් වෙතොත්, එය නැගෙනහිර ප්‍රභාකරන්ගේ තත්ත්වය දුර්වල කරන සාධකයක් ලෙස ද ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය.

1 වැනි සංඛ්‍යා සටහන දිස්ත්‍රික් තුනේ ලියාපදිංචි ඡන්දදායකයන් ජනවර්ග අනුව ලියාපදිංචි මුස්ලිම් දෙමළ සිංහල ඡන්දදායකයන් % % % දිගාමඬුල්ල 409308 42% 19% 39% මඩකලපුව 330950 33% 66% 1% ත්‍රිකුණාමලය 242463 39% 32% 29% 2 වැනි සංඛ්‍යා සටහන 2004 පාර්ලිමේන්තු මැතිවරණය පක්ෂ අනුව ලබාගත් ඡන්ද දිගාමඬුල්ල % මඩකලපුව % ත්‍රිකුණාමලය % දෙමළ සන්ධානය 55533 (19.13%) 161011 (66.71%) 68955 (37.72%) මුස්ලිම් කොංග්‍රසය 76563 (26.37%) 43131 (17.87%) 65187 (35.66%) එක්සත් ජනතා සන්ධානය 111747 (38.44%) 26268 (10.84%) 310533 (16.94%) එජාප 42121 (14.51%) 6151 (2.55%) 15693 (8.59%) ඊපීඩීපී 1611 (0.55) 1611 (0.55%) – – ජාතික හෙළ උරුමය 1130 (0.34%) 1130 (0.39%) 791 (0.43%)