පෝද්දල ජයන්තට මුහුණ දෙන්නට සිදුවූ තත්වය ඉතාමත් ඛේදජනකය. ස්වාධීන රූපවාහිනියේ විපරම වැඩසටහනකින් මාධ්‍යවේදීන් ගැන කරන විවරණයකදී එල්ටීටීඊයෙන් පඩි ලබන මාධ්‍යවේදීන් ද සිටින බව කීවේය. එම වැඩසටහන සඳහා යොදාගනු ලැබූ රූපරාමු සඳහා සුනන්ද දේශප්‍රියගේ මෙන්ම පෝද්දල ජයන්තගේ රූපරාමුද යොදාගනු ලැබීය. එම විවරණයෙන් මේ දෙදෙනා එල්ටීටීඊයෙන් පඩි ලබන්නන් බව ඍජු ලෙස කීවේ නැතත් එම වැඩසටහනට සුනන්දගේ සහ පෝද්දලගේ රූපරාමු යොදාගැනීම නිසා එම වැඩසටහන නරඹන්නන් තුළ මේ දෙදෙනාද එල්ටීටීඊයෙන් පඩි ලබාගත්තේද කියන හැඟීමක් ඇති කිරීමට හේතු විය. එම තත්වය පෝද්දල කෙරෙහි පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන් කෙරෙහිද නරක ලෙස බලපෑවේය. තමන් අනතුරුදායක තත්වයක සිටින බව පෝද්දල දැන සිටියේය. පෝද්දල මා හමුවන්නට පැමිණ තමන්ට මුහුණ දෙන්නට සිදුවී තිබුණ අවාසනාවන්ත තත්වය විස්තර කොට මැදිහත්වීමක් කරන ලෙස මගෙන් ඉල්ලා සිටියේය.
සාධාරණ හේතු ඇතිව හෝ නැතිව බියට පත්ව සිටි වෙනත් ජනමාධ්‍යවේදීහුද සිටියෝය. එවැනි කිහිප දෙනෙකුද මෙම තත්වය ගැන මා සමග කථා කර තිබුණි. ඔවුහු සියලු දෙනා පොදුවේ බියට පත්ව සිටියෝය. සුනන්ද ජිනීවාවල රඟපෑ පිස්සු නැටිල්ල මෙම උද්වේගකර තත්වය උත්සන්න කිරීමට හේතු වී තිබුණි. වර්තමානයේ මා සිටින්නේ සටන් කරන තැනක නොව විචාරයට පමණක් සීමාවූ තැනකය. ජනමාධ්‍ය භූමිකාව ගැන මට විවේචනයන් සේම කණස්සල්ලක්ද පවතී. අසංවිධානාත්මක බව, කල්ලිවාදය, ඉදිරි දැක්මක් නැතිකම තුළ අපේ රටේ ජනමාධ්‍යවේදීන් සිටින්නේද අවුල් ජාලාවකය. හැම ජයග්‍රාහී අරගලයක්ම අවසානයේ ජයග්‍රාහකයාට ආධාර කළේ කවුද, විරුද්ධ වුණේ කවුද යන ප්‍රශ්නය මතු වන්නේය. අරගලයට ලැබෙන තීරණාත්මක වැදගත්කම අනුව එම ප්‍රශ්නයට ලැබෙන වැදගත්කමද තියුණු වන්නේය. දැන් විවාදයට හේතු වී තිබෙන්නේද එම ප්‍රශ්නයයි.
ජනමාධ්‍ය නිදහස යන තේමාව යටතේ ආණ්ඩු විරෝධී පෙනුමකින් යුතුව උද්ඝෝෂණවල යෙදුණු ජනමාධ්‍යවේදීන් සියලු දෙනා එල්ටීටීඊ ආධාරකරුවන් ලෙස හංවඩු ගැසීම අසාධාරණය. ඔවුන් මෙම අර්බුදය තුළ රඟපාන භූමිකාව හරිද වැරදිද යන ප්‍රශ්නය වෙනම ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ඇති කර ගැනීමේ අරමුණින් මා ජනාධිපතිවරයාට දුරකථනයෙන් කථා කොට මතුවී තිබෙන ප්‍රශ්නය කෙටියෙන් විස්තර කර ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයින් ගෙන් සමන්විත සාකච්ඡාවක් කැඳවා රාජ්‍ය නායකයා වශයෙන් ඔවුන්ට කියන්නට දෙයක් ඇත්නම් එයද ඔවුන්ට කියා ඔවුන් කියන දේටද ඇහුම්කන් දී මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියෙමි. ජනාධිපතිවරයා එම යෝජනාවට එකඟ විය. සඳුදා (01දා) සවස එම සාකච්ඡාව පැවැත්විය හැකි බව පසුව දැනුම් දෙන ලදි. එම සාකච්ඡාවට සහභාගි වීමේ අවශ්‍යතාවක් නොතිබුණද සාකච්ඡාවට සහභාගි වීමට නියමිත නියෝජිතයින් සමහරෙකු මාගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය බව කියාසිටීම නිසා හා ප්‍රශ්නයට ලැබෙන වැදගත්කම සලකා මමද ඊට සහභාගි වූයෙමි.
පෝද්දල ජයන්ත පහර දීමකට ලක්වී තිබෙන බව අපට දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයා සමග කෙරෙමින් තිබූ එම සාකච්ඡාවේදීය. පහරදීමේ සිද්ධිය දැනගන්නට ලැබුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා දුරකථනයෙන් පොලිස්පතිවරයා අමතා කථා කළේය. පහරදීම ගැන කරුණු විමසුවේය. පෝද්දල ජයන්තට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙසත් තර්ජන එල්ලවී තිබෙන ජනමාධ්‍යවේදීන් සිටී නම් ඔවුන්ටද ආරක්ෂාව ලබාදෙන ලෙසත් ඔහු කියා සිටියේය. බොහෝ ජනමාධ්‍යවේදීන් වැඩට යන්නේ පොදු මගී ප්‍රවාහන සේවාවල නිසා තර්ජනයට ලක්වන ජනමාධ්‍යවේදීන්ගේ නිවෙස්වලට ආරක්ෂාව ලබාදීමෙන් ඔවුන්ට නියම ආරක්ෂාවක් නොලැබෙන බව එහි සිටි ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය වෙනුවෙන් සාකච්ඡාවට සහභාගි වූ මිහිරි ෆොන්සේකා කියා සිටියේය. එවිට ජනාධිපතිවරයා කියා සිටියේ ඇත්ත තර්ජනයක් තිබෙන අයට අවශ්‍ය නම් ප්‍රවාහන පහසුකම්ද ලබාදිය හැකි බවය.
එල්ටීටීඊයෙන් පඩි ලැබූ මාධ්‍යවේදීන් වේ නම් ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම සුදුසු බවත් එසේ නොවෙතොත් පොදුවේ සියලු ජනමාධ්‍යවේදීන් මහජනතාවගේ සැකයට හේතුවන බවත් වරුණ කීවේය. ජනාධිපතිවරයා විසින් ඊට දෙන ලද පිළිතුර වූයේ එවැනි හෙළිදරව් කිරීමකින් ඔවුන් කෙරෙහි ඇතිකරන ප්‍රතිඵල ඉතා විනාශකාරී විය හැකි බවය. එම ප්‍රශ්නය මහජනයා අතරට ගෙනයාමේ වුවමනාවක් තමන්ට නොතිබුණු බවත් එහෙත් සමහර තොරතුරු වෙනත් අයද දැන සිටි නිසා එය මහජනයා අතරට ගිය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බවත් ඔහු කියා සිටියේය. ජනමාධ්‍යවේදීන් අතර පමණක් නොව ආරක්ෂක හමුදාවල, පොලිසියේ හා රාජ්‍ය නිලධාරීන් අතරද එවැනි අය සිටින බවට පිළිගත හැකි සාක්ෂි සොයාගෙන ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේ සමහර නිදර්ශනද ඉදිරිපත් කරමිනි. එහිදී සුනන්ද දේශප්‍රිය රඟපාමින් සිටින භූමිකාව ගැනද ජනාධිපතිවරයා අදහස් පළ කළේය.
පෝද්දල ජයන්ත මොනවා කළත් ඔහු අහිංසකයකු බවත් සිද්ධීන්ට වගකිවයුතු කට්ට මිනිසුන් අහිංසකයන් බිල්ලට දී රට අතහැර පළාගොස් සිටින බවත් කියා සිටියේය. දේශපාලන විවේචනවල යෙදීමේ වරදක් නැතත් යුද්ධය වැනි ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදී රටේ පොදු යහපත වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග අවුල් කිරීමට හේතුවන ලෙස ක්‍රියා නොකළ යුතු බවත් ඔහු කියා සිටියේය. සාකච්ඡාව අතරමගදී ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඇමති අනුර ප්‍රියදර්ශන යාපා හා ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පපෙරුමද සාකච්ඡාවට කැඳවා ගනිමින් ඉදිරි දින දෙක තුළ ජනමාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවී තිබෙන මෙම ප්‍රශ්න විසඳීමට හේතුවන ක්‍රියාකාරී වැඩසටහනක් සකස් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මතුකරන ලද තියුණුම ප්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ ඇතිවී තිබෙන ප්‍රශ්න දේශපාලනඥයන් හා ජනමාධ්‍යවේදීන් අතර ඇතිවී තිබෙන ප්‍රශ්නයකට වඩා ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍යවේදීන් අතර ඇතිවී තිබෙන ප්‍රශ්නයක් වන නිසා එය සාකච්ඡා කොට විසඳා ගැනීමට හැකියාවක් නැද්ද යන්නයි.
එම නිරීක්ෂණයේ විශාල ඇත්තක් තිබෙන බව කිව යුතුය. ජනමාධ්‍යවේදීන් අතරද යුද්ධයට පක්ෂපාතීව ක්‍රියා කළ හා යුද්ධයට විරුද්ධව ක්‍රියා කළ ජනමාධ්‍යවේදීන් වශයෙන් තියණු බෙදීමක් පවතී. මේ දෙපිරිස අතරද අරගලයක් තිබුණේය. දැන් එක් පිරිසක් ජයග්‍රාහී තත්වයක සිටින අතර අනෙක් පිරිස සිටින්නේ පරාජිත තත්වයකය. දැන් ජයග්‍රාහකයාගේ කෙණෙහිලිකම්වලට මුහුණ දෙන්නට පරාජිතයාට සිදුවී තිබෙන්නේය. පරාජිකයා ජයග්‍රාහකයා වී ජයග්‍රාහකයා පරාජිතයා වී නම් ඇතිවන තත්වයද මීට වෙනස් නැත. දැඩි යුද විරෝධී ස්ථාවරයක පිහිටා ක්‍රියා කළ ජනමාධ්‍යවේදීන්ද තමන්ගේ ක්‍රියාකාරකම් රට කෙරෙහි සේම තමන් කෙරෙහිද ඇති කරන බලපෑමේ හොඳ නරක ගැන අවබෝධයක් ඇතිව ක්‍රියා කළේ යැයි කිව නොහැකිය. ඔවුන්ද ක්‍රියා කර ඇත්තේ දේවල් තර්කානුකූලව තේරුම් ගැනීමට හැකියාවක් නැති යාන්ත්‍රික පිරිසක් ලෙසය.
බොහෝ දුරට එම ජනමාධ්‍යවේදීන්ගේ හැසිරීම නිල විරුද්ධ පක්ෂයේ හැසිරීමට සමාන වීය. ඉදිරියේදී සිදුවන්නට නියමිත දේවල් තර්කානුකූලව දැකීමේ හැකියාවක් නිල විරුද්ධ පක්ෂයට තිබුණේ නම් එල්ටීටීඊ ය පරාජය කිරීමේ අරමුණින් ආරම්භ කර තිබුණු මෙම යුද්ධයේදී එම යුද්ධයට අවහිර කරන ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන්නට ඉඩ තිබුණි. ජාත්‍යන්තර ප්‍රජාව සමග කරන ගනුදෙනුවලදී රටේ පොදු යහපතට හේතු නොවන ක්‍රියාවලින් වැලකී සිටින්නට ඉඩ තිබුණි. එය එසේ වී නම් යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවන වන්දියේ ප්‍රමාණය මීට වඩා අඩු වන්නට ඉඩක් තිබුණු අතර අභ්‍යන්තර මර්දන ක්‍රියාකාරකම්වලට තිබුණු ඉඩකඩද මීට වඩා සීමා වන්නෙ ඉඩ තිබුණි. එසේ කළේ නම් නිල විරුද්ධ පක්ෂයට ජනතාව අතර තිබෙන පිළිගැනීම දුර්වල නොවී වඩා ශක්තිමත් වන්නටද ඉඩ තිබුණි. දැඩි යුද විරෝධී ස්ථාවරයක පිහිටා ක්‍රියා කළ ජනමාධ්‍යවේදීන් වරද්දා ගත් තැන ඇත්තේද එතැනය.
සිදුවී තිබෙන ඒ වැරැද්දද නිවැරදි කරගත හැකි වනු ඇත්තේ තමන් අනුගමනය කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දෙස ආපසු විවේචනාත්මකව හැරී බලන තැනකට යාමෙනි. අනෙක් අතට ජයග්‍රහණවලදී ශ්‍රේෂ්ඨ ජයග්‍රාහකයන් පරාජිතයා පීඩාවට පත්කරන ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන ලද බවද ජයග්‍රාහකයින් තේරුම් ගත යුතුය.
Editors Note
Poddala Jayantha, secretary of the Sri Lanka Working Journalists’ Association, was abducted
and assaulted on 1 June 2009 and left unable to walk; he later left the country. The
programme referred to is Viparama on Independent Television Network.