26 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයගනු ඇත්තේ කවුද යන්න කිවහැක්කේ අනුමාන වශයෙන් පමණය. රටේ තිබෙන්නේ ප්රතිඅදහස් කෙරෙහි වෛරයෙන් බලන වටාපිටාවකි. ඒ බව නොසලකා මා දරන අදහස් පාඨකයන්ගේ දැනගැනීම සඳහා පළකිරීම මගේ වගකීමක්වේයැ”යි සිතමි.
පෙරළියක් අවශ්‍යද?
මෙම තරගයේදී වෙනසක් වෙනුවෙන් පෙනී සිටින පෙරළිකාර අපේක්ෂකයා ජෙනරාල් ෆොන්සේකාය. එහෙත් මේ මොහොතේ ජෙනරාල් ෆොන්සේකා ජයගෙන මහා පෙරළියක් ඇතිවනවා දකින්නට මා කැමති නැත. ඉන් අදහස් කෙරෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනයට ආවේණික සියලු වැරදි නොසලකා එය ආරක්ෂා කරගත යුතු බව නොවේ. වඩා හොඳ පාලනයක් දිනාගත හැකි නම් තිබෙන පාලනය පරාජය කළ යුතුය. එහෙත් යහපත් ඉදිරි දර්ශනයකින් තොරව වෛරය මුල් කොටගෙන ඇති කරන වෙනසක් රට අවුල් කිරීමට මිස, ඊට වඩා යහපත් කිරීමට හේතුවන්නේ නැත. වෙනසක් වෙනුවෙන් පෙනී සිටින බලවේගයන් මෙහෙයවන නායකයන් අතර ජනාධිපති කෙරෙහි ඇති කරගත් ඉහවහා ගිය වෛරයක් හැරුණු විට යහපත් වෙනසක් සඳහා අවශ්‍ය කරන ශක්තිමත් ඉදිරි දැක්මක් හෝ ඒ සඳහා අවශ්‍ය සංයමය තමන් තුළ ඇති බව පෙන්නුම් කිරීමට සමත්ව නැත. රටට අවශ්‍ය වී ඇත්තේ මිනිසුන් භේද කොට ඇන කොටාගන්නා තත්ත්වයක් ඇති කරන වෙනසක් නොව මිනිසුන් අතර සමගිය හා සමාදානය ඇති කරන වෙනසකි.
වෙනසක් වෙනුවෙන් පෙනී සිටින නායකයන්ගෙන් වැඩි පිරිසක් තමන් අතර තිබෙන නොගැළපීම් අමතක කොට එකට එකතු වී සිටින බව පෙනෙනුයේ වෛරයෙන් හා පළිගැනීමේ චේතනාවෙනි. ඔවුන්ට වෛර කිරීමට සාධාරණ හේතුද තිබෙනවා විය හැකිය. එහෙත් වෛරයෙන් යහපත් රටක් ගොඩනැගිය නොහැකිය. අයහපත් පාලනයකටත් වඩා අරාජිකත්වය බියකරුය. ශ්‍රී ලංකාව සිය මෑත ඉතිහාසයේ තමන්ගේ තරමට නොගැළපෙන තරම් ප්‍රමාණයකට ලේ වැගිරූ රටකි. බලහත්කාරී සමාජ පරිවර්තනයක් දිනාගැනීම සඳහා ලේ හැලුවේය. වෙනම රාජ්‍යයක් සඳහා ලේ හැලුවේය. විවිධ ආකාරයේ ත්රස්තවාදයක් පරාජය කිරීමෙන් පසුත් දැන් පක්ෂ භේදය මත නැවත ලේ හලන තැනකට යමු නම් එය රටේ විනාශයට මිස, යහපතට හේතුවිය නොහැකිය. දේශපාලන තලයේ දැන් පවත්නා මෙම අශෝභන තත්ත්වයට රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය බලපා තිබෙනවා සේ ම අඩු වැඩි වශයෙන් පාලක පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ අමනකම්ද බලපා තිබේ.
අවුල්සහගත තත්ත්වයක් ඇතිවීම වැළකෙනු ඇත්තේ ඉදිරියේ ඥානාන්විත දේශපාලන වෙනසකට ඉඩ තබා මේ මොහොතේ වෙනසක් ඇතිවීම වැළකීමෙනි. එහෙත් අවසාන විග්රහයේදී වියයුත්තේ කුමක්ද යන්න තීරණය කළයුත්තේ මහජනතාවය. ඇතිවිය හැකි අවාසනාවන්ත ප්‍රතිඵල නොසලකා වෙනසක් ඇති කළ යුතු බව බහුතර මහජනයාගේ මතය වේ නම් ඔවුන්ගේ තීන්දුවට හිස නමනවා හැර එය වැළකිය හැකි ක්‍රමයක් නැත. එහෙත් කෙටි කාලයකට හෝ රටේ කැලේ නීතිය රජකරන තත්ත්වයක් ඇතිවීම රටේ යහපතට හේතුවන්නේ නැත. තිබෙන පාලනය වෙනස් කොට වඩා යහපත් පාලනයක් ඇති කිරීමට අවශ්‍ය නම් එවැනි වෙනසක් වෙනුවෙන් පෙනී සිටින නායකයන් වෛරය අතහැර ඒ සඳහා අවශ්‍ය නිසි ඉදිරි දර්ශනයක් හා සංයමයක් තමන් තුළ ඇති කරගත යුතුය. එම අවශ්‍යතා සම්පූර්ණ කරගන්නා තෙක් ඔවුන් බලයෙන් පිටස්තරව ඉඳීම රටට යහපත්ය. අවසාන විග්රහයේදී එහි තේරුම වන්නේ විරුද්ධ පක්ෂ බලවේගයන් මේ මොහොතේදී පරාජය වීම රටේ යහපතට හේතුවනු ඇති බවය.
ජෙනරාල්ගේ අනාගතය
එහෙත් මේ මැතිවරණයෙන් ජෙනරාල් ෆොන්සේකා ලබන පරාජයක් නිසා ඔහු මුළුමනින් පරාජිත අවලංගු පුද්ගලයකු බවට පත්වන්නේ නැති බවද කිව යුතුය. ඔහු පරදිනවා නම් පරදිනවා ඇත්තේ ළඟ ළඟ තරගයකිනි. එවිට රට පිළිගත් රටේ සිටින දෙවැනි බලවත් දේශපාලන නායකයා බවට පත්වන්නේ ඔහුය. ඒ තත්ත්වය ඉදිරියේ ඊළඟ විරුද්ධ පක්ෂ නායකයා වනු ඇත්තේද ඔහුය. ජෙනරාල් ෆොන්සේකා දේශපාලන බිමට ආවේ උණු උණුවේ යුදබිමේ සිටය. ඔහු පළපුරුදු යුද නායකයකු වුවත් පළපුරුදු දේශපාලන නායකයකු ලෙස සැලකිය නොහැකිය. ඔහු විරුද්ධ පක්ෂ නායකයා වශයෙන් විරුද්ධ පක්ෂයේ ගතකරන කිසියම් කාලයක් තුළ රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය කරන දේශපාලන පළපුරුද්ද හා හික්මීම ලබාගැනීමේ හැකියාව ඔහුට ලැබෙන්නේය. දැන් ඔහු පියාඹමින් සිටින්නේ තමන්ගේ අත්තටුවලින් නොව අන් පක්ෂ දෙකකින් ලබාගත් අත්තටු දෙකකිනි. ඔහු දක්ෂ නායකයකු නම් මේ අතරතුර කාලය තුළ තමන්ගේම අත්තටුවලින් පියාඹන දේශපාලන පක්ෂියකු බවට පත්විය හැකිය.
අවසාන විග්රහයේදී මෙම ප්රතිපක්ෂ දෙක එකිනෙකාට එරෙහිව අන්තවාදීව ක්‍රියාකරන තැනකට තල්ලු නොවන්නේ නම් සිය ආගමනය මගින් ජෙනරාල් ෆොන්සේකා ඉතා වැදගත් ඓතිහාසික කාර්ය භාරයක් ඉටුකළේයැ”යි කිව හැකිය. ජෙනරාල් ෆොන්සේකාගේ ආගමනයට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියට යමින් තිබුණේ තනි අලියකු ලෙසය. ඔහුට අභියෝග කළහැකි පුද්ගලයකු ප්රතිපක්ෂ දේශපාලන තලයේ නොසිටි අතර ඒ අඩුව පුරවන ලද්දේ ජෙනරාල් ෆොන්සේකා විසිනි. ඔහු වෛරසහගත ප්රකෝපකාරී ස්වරයකින් වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය හා ගමන් මග තියුණු ප්‍රශ්න කිරීමකට ලක් කළේය. වෛරයෙන් හා අගතියෙන් කර තිබෙන ප්‍රකාශ ඉවත් කළ විට ඔහු කරන ලද ප්‍රශ්න කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි පමණක් නොව විධායක ජනාධිපති ක්‍රමය කෙරෙහිද බලපෑමක් ඇති කරන ප්‍රශ්න කිරීමක් ලෙස සැලකිය හැකිය.
විරුද්ධ පක්ෂය ක්‍රමවත් කිරීම
ඔහු මෙම ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් රටේ රාජ්‍ය නායකයා වනවා වෙනුවට විපක්ෂ නායකයා හා රටේ සිටින විකල්ප නායකයා බවට පත්වන්නේය. ඒ මගින් ඔහුට එම කාලපරාසය තුළ දේශපාලන අත්දැකීම් ලබාගනිමින් පළපුරුදු දේශපාලන නායකයකු ලෙස මතුවීමේ හැකියාවක් ලැබෙන්නේය. අකාර්යක්ෂම තත්ත්වයක තිබෙන විරුද්ධ පක්ෂ ව්‍යාපාරය කාර්යක්ෂමව ක්‍රියා කරන තැනකට ගැනීමට ඔහු සමත් වෙතොත් හා විරුද්ධ පක්ෂයේ සෙසු නායකයන් සමග කරන සාකච්ඡා හා සංවාද ඔස්සේ රට මුහුණදී තිබෙන ඇත්ත ගැටලු හඳුනා ගනිමින් එම අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය දේශපාලන සැලැස්මක් ඉදිරිපත් කිරීමට සමත් වෙතොත්, ඔහු ඊළඟ වාරයේදී රාජ්‍ය නායකයා වීමට අවශ්‍ය සියලු සුදුසුකම් සහිත පැසුණු දේශපාලන නායකයකු බවට පත්වනු ඇත්තේය. ජෙනරාල් ෆොන්සේකා ක්ෂණික ලෙස රටේ පාලකයා වනවාට වඩා එවැනි පුහුණුවකින් පසුව පසුකලෙක රටේ පාලකයා වීම රටේ වඩා යහපතට හේතුවිය හැකිය.
පාර්ලිමේන්තු කාරක සභා
ජෙනරාල් ෆොන්සේකා රටේ පාලකයා නොවී විරුද්ධ පක්ෂ නායකයා වේ නම් ඒ තත්ත්වය ඉදිරියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටද වෙනදාට වැඩි සුපරීක්ෂාවකින් යුතුව රාජ්‍යයේ සුක්කානම හැසිරවීමට සිදුවනු ඇත්තේය. රටේ පවතින දූෂණයට දූෂිත දේශපාලන ක්‍රමය හේතුවී තිබෙනවා පමණක් නොව විරුද්ධ පක්ෂයේ අකාර්යක්ෂමතාව ද බලපා තිබේ. පවතින දේශපාලන ක්රමයේ සීමාවක් තිබියදීත් පාර්ලිමේන්තුවේ පවතින උපදේශක කාරක සභා ක්‍රමය හා රජයේ ගිණුම් කාරක සභා හා රජයේ ව්‍යාපාර කාරක සභා ක්‍රමය ක්‍රමවත්ව හා කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගැනීමට විරුද්ධ පක්ෂය සමත් වී නම් ආණ්ඩුවේ දූෂණ විශාල ප්‍රමාණයකට පාලනය කිරීමේ හැකියාව විරුද්ධ පක්ෂයට ලැබෙන්නට ඉඩ තිබුණේය. හැම අමාත්‍යාංශයක් සඳහාම ක්‍රියාත්මක වන උපදේශක කාරක සභා ක්‍රමයක් පාර්ලිමේන්තුවේ පවතී. ඊට අතිරේකව පාර්ලිමේන්තුවෙන් කෙරෙන මුදල් අපේක්ෂිත අරමුණු සඳහා ප්රශස්ත ලෙස පාවිච්චි කරන්නේද නැද්ද යන්න සොයා බැලීම සඳහා වන ගිණුම් කාරක සභාවක් ද රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සොයා බැලීම සඳහා වන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවක්ද පවතී.
ඊටත් අතිරේකව අමාත්‍ය මණ්ඩලය විසින් උසස් තනතුරුවලට පත් කරන පුද්ගලයන්ගේ උචිත අනුචිතභාවය සොයා බැලීම සඳහා වන කාරක සභාවක් ද පවතී. මෙම හැම කාරක සභාවක්ම විරුද්ධ පක්ෂ නියෝජිතයන්ගෙන් ද සමන්විත වන අතර ඕනෑම ගනුදෙනුවක් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඕනෑම ලියවිල්ලක් හෝ ඕනෑම නිලධාරියකු කැඳවා ප්‍රශ්න කිරීමේ බලය මෙම කාරක සභා සතුය. මෙම කාරක සභා ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා පමණක් අතිවිශාල මහජන මුදලක් වියදම් කෙරෙන අතර වැය කරන මුදලට සරිලන ඵලදායිතාවක් පෙන්නුම් කිරීමට මෙම කාරක සභා සමත්වී නැති බව කිව යුතුය. කාරක සභා ක්රමයේ අකාර්යක්ෂමතාවට වැඩියෙන්ම වගකිවයුත්තේ ආණ්ඩුව නොව විරුද්ධ පක්ෂයයි. ආණ්ඩුවේ දූෂණ ගැන උනන්දුවෙන් කරුණු සොයා බැලිය යුත්තේ විරුද්ධ පක්ෂයයි. මෙම කාරක සභා ක්‍රමය ප්රශස්ත ලෙස පාවිච්චි කිරීමට විරුද්ධ පක්ෂය සමත් වී නම් සැකයට හේතුවන ගනුදෙනු බොහොමයක විස්තරාත්මක තතු සොයා ගන්නට විරුද්ධ පක්ෂයට හැකිවන්නට ඉඩ තිබුණා සේ ම ආණ්ඩු පක්ෂයට දූෂිතව ක්‍රියාකිරීමට තිබෙන හැකියාව බොහෝදුරට පාලනය කිරීමට ද සමත්වන්නට ඉඩ තිබුණි.
ඒ අර්ථයෙන් රටේ පවතින පාලක පක්ෂය දූෂිත වේ නම් ඊට පාලක පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂය ද වගකිව යුතුය. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් තුළ රාජ්‍ය මට්ටමෙන් සිදුවන සියලු ගනුදෙනු පරීක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ විරුද්ධ පක්ෂයටය. පාර්ලිමේන්තු කාරක සභා ක්රමයෙහි පවත්නා අකාර්යක්ෂමතාව කෙරෙහි ඒවාහි සාමාජිකයන්ගේ අකාර්යක්ෂම ක්‍රියාකාරීත්වය බලපා තිබේ. බොහොමයක් කාරක සභාවලට මන්ත්‍රීවරුන් එන්නේ සහභාගිත්වය ලකුණු කොට ලැබෙන දීමනාව ලබාගැනීම සඳහා පමණය. නම ලකුණු කරවා ගැනීමෙන් පසු ඒවාහි සාමාජිකයන් වැඩි පිරිසක් කාරක සභා රැස්වීම්වලින් පිටවී යාම නිසා ගණපූර්ණය නැතිවී එම කාරක සභාවලට ගෙන්වන නිලධාරීන්ටද තමන් රැගෙන ආ ෆයිල් මිටි ඔසවාගෙන හිස් අතින් ආපසු යන්නට සිදුවේ. විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ මෙම අකාර්යක්ෂම ක්‍රියාකාරීත්වය අවසන් කොට ඔවුන් කාර්යක්ෂමව වගකීම් ඉටු කරන තැනකට යොමු කරන නායකත්වයක් විරුද්ධ පක්ෂයට අවශ්‍ය වී තිබේ.
විරුද්ධ පක්ෂයෙන් පාර්ලිමේන්තු වාද විවාදවලට ලැබී තිබෙන දායකත්වය ද ප්රශස්ත මට්ටමක නොපවතී. විෂය අනුව වගකීම් බෙදාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත. බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතා කරනුයේ නිසි සූදානමකින් තොරවය. විෂය අවබෝධයකින් තොරවය. මහන්සියෙන් කරුණු හදාරා කරන විවේචනයක් හෝ විග්‍රහයක් අසන්නට ලැබෙන්නේම නැති තරම්ය. විරුද්ධ පක්ෂයේ පවතින මෙම අයහපත් වටාපිටාව ජෙනරාල්ට වෙනස් කළ හැකිය. විරුද්ධ පක්ෂය ඵලදායී විකල්ප ආණ්ඩුවක් ලෙස සූදානම් කරන උත්සාහය තුළ ඊළඟ විකල්ප නායකයා වශයෙන් මතුවීමට අවශ්‍ය දැනුම හා ශික්ෂණය තමාට ඇති බව ඔහුට ඔප්පු කළ හැකිය.
ජනාධිපතිවරයා ද වෙනස් විය යුතුය
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඊළඟ ධුර කාලයේදී සාර්ථක පාලනයක් ගෙනයෑමට හැකිවනු ඇත්තේ මෙම ජනාධිපතිවරණයේදී එල්ල වූ කඨෝර විවේචනයන්ගෙන් නිසි පාඩම් ඉගෙන ගනිමින් සිය පාලනයට ආවේණික වැරදි නිවැරදි කරගන්නේ නම් පමණය. එල්ල වූ සියලු විවේචන අතර ලොකුම විවේචනය ලෙස සැලකිය හැක්කේ පවුලට සම්බන්ධ ඥාතීන් විශාල පිරිසකට තනතුරු ලබාදී ඇත්තේය කියන චෝදනාවයි. චමල් රාජපක්ෂ සහෝදරයකු වුවද ඔහු දේශපාලනයේ සිටි පුද්ගලයෙකි. ගෝඨාභය හා බැසිල් ද කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයන් දෙදෙනකු වශයෙන් ඔවුන් දෙදෙනා සහෝදරයන් වුවද ඔවුන් බැහැර කිරීම සාධාරණවේයැ”යි කිව නොහැකිය. ඒ හැර අන් සියලුදෙනාගෙන් අත්මිදීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබිය යුතුය. ජනාධිපතිවරයා කෙරෙහි අපකීර්තිය ඇති කිරීමට හේතු නොවන ලෙස පාලනයෙන් ඉවත්වීමේ යුතුකමක් හා වගකීමක් ඔවුන්ටද ඇත්තේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ ඊළඟ ලොකුම චෝදනාව ලෙස සැලකිය හැක්කේ පාලනයට ආවේණික දූෂණයයි. දූෂණය මහින්ද රාජපක්ෂ පාලනයට පමණක් නොව මෙම දූෂිත දේශපාලන ක්‍රමය ඇති කිරීමෙන් පසු බලයට පැමිණි හැම පාලනයකටම ආවේණික නිසග ලක්ෂණයක් වන අතර දේශපාලන ක්‍රමයට ආවේණික එම ගති ලක්ෂණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි. එය ආණ්ඩුවට පමණක් කළහැකි කාර්යයක් නොවන අතර ඒ සඳහා විරුද්ධ පක්ෂයේද සහාය ලබාගත යුතුය. දූෂණය මුළුමනින්ම මුලිනුපුටා දැමීමට අවශ්‍ය නම් අපට හොඳම පාඩම් ඉගෙන ගත හැක්කේ හොංකොං දේශයෙනි. එක් කාලවකවානුවක අන්ත දූෂිත තත්ත්වයක පැවති හොංකොං දේශය එම අශෝභන තත්ත්වයෙන් මුදවා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ එහි තිබෙන දූෂණ විරෝධී ස්වාධීන කොමිසමටය. එය අපේ රටේ වැනි විශ්‍රාම ගිය මිනිසුන්ගෙන් පුරවන ලද මහජන මුදල් කාබාසිනියා කරන වැඩකට නැති කොමිසමක් නොව, දූෂණයට එරෙහිව ප්‍රායෝගිකව ක්‍රියාකරන ඵලදායී කොමිසමකි.
එවැනි කොමිසමක් ඇති කිරීමට හැකිවූයේ එවකට රටේ භාරකාරයා ලෙස ක්‍රියා කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව ක්‍රියා කළහැකි සියලු පහසුකම් හා බලතලවලින් යුතු ආයතන ක්‍රමයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලැසීම නිසාය. එම කොමිසමට කොතරම් විශාල බලතල තිබුණද එය ගොඩනගා තිබෙන්නේ නිරන්තර මහජන පරීක්ෂාවට ලක්වන ආකාරයටය. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ හා සමාන ආයතන ක්‍රමයක් ශ්‍රී ලංකාවේද ඇති කළ හැකිය. ස්වාධීන කොමිෂන් සභා නොසලකා ක්‍රියාකිරීමේ ප්රතිපත්තියද වෙනස්විය යුතුය. රාජ්‍ය නායකයාට උසස් තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමේ බලයක් තිබිය යුතුය. එහෙත් ඒ බලය වැරදි හා හිතුවක්කාරී ලෙස පාවිච්චි කරන අවස්ථාවලදී එය වළකන ක්‍රමවේදයක්ද තිබිය යුතුය. උසස් තනතුරු සඳහා පත්කරන පුද්ගලයන් එම තනතුරු දැරීමට තරම් අධ්‍යාපන සුදුසුකම් ඇති පළපුරුදු අය විය යුතුය.
ඔවුන්ගේ දක්ෂ අදක්ෂතා රටේ යහපත හෝ අයහපත කෙරෙහි බලපායි. ඇමරිකන් ජනාධිපති උසස් තනතුරුවලට නම් කරන සියලු පුද්ගලයන් පරීක්ෂා කර බැලීමේ බලය ඇමරිකානු කොංග්‍රසය සතුය. උසස් තනතුරුවලදී දේශපාලන හිතවත්කමට ලැබෙන ප්‍රමුඛතාව දෙවැනි වී සුදුසුකම් ප්රමුඛ විය යුතුය. එම අරමුණ ඉටු කරගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඇති කරගත යුතුය.
ජාත්‍යන්තර ගිවිසුම්
ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය කෙරෙහි කිසිදු හානිදායී බලපෑමක් ඇති නොකරන ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ආරක්ෂාව ලබාදෙන අන්තර්ජාතික ගිවිසුම් සම්බන්ධයෙන් ආණ්ඩුව පවත්වාගෙන යන ආදානග්රාහී ප්‍රතිපත්තිය වෙනස්විය යුතුය. අන්තර්ජාතික කම්කරු සංවිධානය සමග ඇති කරගෙන තිබෙන ජාත්‍යන්තර ප්රඥප්තිය වැඩ කරන ජනතාවගේ වෘත්තීය සමිති අයිතිවාසිකම්වලට ආරක්ෂාව ලබාදෙන ගිවිසුමකි. එය වැඩ කරන ජනතාවගේ පොදු යහපතට හේතුවන ගිවිසුමක් වනවා පමණක් නොව රටේ පොදු යහපතට හේතුවන ගිවිසුමක් ලෙසද සැලකිය හැකිය. ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියද රටේ පුරවැසියන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට ආරක්ෂාව ලබාදෙන ගිවිසුමකි. එවැනි අන්තර්ජාතික ගිවිසුම් පිළිගැනීමෙන් පොදුවේ රටට යහපතක් මිස අයහපත් සිදු නොවන අතර ඒවා ක්‍රියාත්මක කරන තත්ත්වයකට යෑමෙන් පමණක් ජීඑස්පී ප්ලස් ආරාවුලද අපේ වාසියට හේතුවන ලෙස විසඳාගත හැකිය.
දේශපාලන ක්‍රමය වෙනස්විය යුතුයි
දේශපාලන ක්රමයේ මූලික වෙනසක් ඇති කරගැනීමද සාර්ථක ඉදිරි ගමනක් සඳහා සම්පූර්ණ කළයුතු මූලික වැදගත්කමක් ඇති කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. එක්කෝ තිබෙන විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් විධිමත් කළ යුතුය. නැතිනම් රටට සුදුසු වෙනත් දේශපාලන ක්‍රමයකට මාරුවිය යුතුය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්රකාශනයෙන් ප්‍රකාශ කර ඇත්තේ තිබෙන විධායක ජනාධිපති ක්‍රමය විධිමත් කරන බවයි. එය පාර්ලිමේන්තුවට වගකියන හා අධිකරණයට වගකියන තැනට ගෙන ඒම ඉදිරි පියවරක් වුවත් අවශ්‍ය වී ඇත්තේ අතිසරල ප්රතිසංස්කරණයක් නොව ක්‍රමය මුළුමනින් විධිමත් කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකි. මෙම දූෂිත මැතිවරණ ක්‍රමය සේම මැතිවරණ නීතිද වෙනස් කළ යුතුය. පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් විනිවිදව දැකිය හැකි තත්ත්වයක් ඇති කළ යුතු අතර පවතින පක්ෂ ක්රමයද ප්රජාතන්ත්රීයකරණයකට ලක්විය යුතුය.
අදහස් පළකිරීමේ නිදහස ආරක්ෂා වියයුතු අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලැබෙන පරිදි නීතිගත නොකළ තොරතුරු පනත නීතිගත කළ යුතුය. ආණ්ඩු මාරුවූ පමණින් පාලක පක්ෂයට හිතුවක්කාරී ලෙස සංවර්ධන ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි ආකාරයට පොදු ජාතික ප්‍රතිපත්ති සමුදායක් සඳහා පොදු දේශපාලන එකඟතාවක් ඇති කරගන්නා තැනකට යායුතුය.