සාකච්ඡාවට ලක් කළ යුතුව තිබෙන වඩා වැදගත් දේවල් තිබියදී (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ගෙන තිබෙන තීරණය. කතෝලික බිෂොප් සම්මේලනය නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක් මගින් රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය විචාරයට ලක්කරමින් රාජ්‍ය පාලකයා නීතියට යටත් තත්ත්වයට ගෙන ඒමේ වැදගත්කම අවධාරණය කිරීම, බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ වාර්තාව) ඒවා ගැන කතා නොකොට තවදුරටත් සරත් නන්ද සිල්වා කෙනෙකු ගැන කතා කරන්නට සිදුවීම සතුටට හේතු නොවන කරුණක් වුවද ඒ දේවලට යන්නට පෙර සරත් නන්ද සිල්වා ගැන ආරම්භ කළ සාකච්ඡාව අවසානයක් කරා ගෙන යායුතුය.
එස්.බී. හිරේ යැවීම
එස්.බී. දිසානායක සමග මටද බරපතළ මතභේද තිබුණි. අප දෙදෙනා අතර බරපතළ ගැටුම්ද තිබුණි. එහෙත් ඔහුට එරෙහිව ඇසුණු උසාවි අපහාස නඩු විභාගයේදී තිබුණු පරණ කෝන්තර නොසලකා මා මගේ පෑන පාවිච්චි කළේ ඔහුට පක්ෂපාතවය. එය පීඩකයකු පිඩකයකුගේ තත්ත්වයට පත්ව සිටි විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඒ මොහොතේ සරත් නන්ද සිල්වාට අවශ්‍ය වී තිබුණේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග දේශපාලන අවශ්‍යතාව සම්පුර්ණ කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. චන්ද්‍රිකාට එරෙහිව නැගී සිටි එස්.බී. දඬුකඳේ ගසන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම මගින් ජනාධිපති චන්ද්‍රිකාගේ අවශ්‍යතාව සම්පූර්ණ කරදීමය.
එම නඩුවට මුහුණ දෙන ප්‍රතිපත්තියේදී එස්.බී. පළමු කොට තෝරාගෙන තිබුණේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා අභියෝගයට ලක් කෙරෙන සටන්කාමී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමය. ඔහු ඒ සඳහා මහත් උනන්දුවකින් සූදානම් වූ බවක්ද පෙනෙන්නට තිබුණි. එස්.බී. දිසානායකට වඩා සරත් නන්ද සිල්වා තෙම්පරාදු වූ පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. එස්. බී. දිසානායක මෙම නඩුවේදී තමන්ට අභියෝග කරමින් තමන්ගේ කුණු අවුස්සන තැනකට යනවා දකින්නට ඔහුට අවශ්‍ය නොවීය.
එස්.බී. හීලෑකර ගැනීම සඳහා මේ නඩුවේදී ඔහු සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට ඔහු ගියේය. කරන ලද වරදට සමාව ඉල්ලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් මන්ත්රීකමට හානියක් නොවන ලෙස අත්හිටවූ ලිහිල් දඬුවමක් ලබාදීමට තමන් සූදානම් බව ඔහු එස්.බී.ට දැනුම් දුන්නේය. එස්.බී. සරත් සිල්වාගේ ලණුව කෑවේය. තමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ උපදෙස් වලටද පටහැනිව තමන් අනුගමනය කරන්නට සැලසුම් කර තිබූ සටන්කාමී පිළිවෙත අතහැර අත්හිට වූ ලිහිල් දඬුවමක් ලබා ගැනීමේ අරමුණින් වරද පිළිගත්තේය.
එස්. බී. දිසානායකගේ තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ දිනයට ආසන්න දිනයක මට එස්.බී. දිසානායක මහාචාර්ය ජී.ඇල්. පීරිස්ගේ නිවසේදී හමුවිය. ඒ සාකච්ඡාවට හිටපු අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයකු වූ නිහාල් ජයවික්රමද සහභාගි විය.
ඔහු අපේක්ෂා කරන තීන්දුව කුමක්දැ’යි මම ඍජු ලෙස එස්.බී. ගෙන් විමසා සිටියෙමි. අත්හිටවූ ලිහිල් දඬුවමක් ලබාදීමට සරත් නන්ද සිල්වා පොරොන්දු වී ඇති බැවින් ඔහු ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරනු ඇති බව කියා සිටියේය. ඔහු දෙන ලද පිළිතුර මගේ සිනහවට හේතු විය. අත්හිට වූ සිරදඬුවමක් වෙනුවට හිරේට යන්න බලාගෙන එදිනට උසාවි යන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. සරත් නන්ද සිල්වාට එස්.බී. වැදගත් පුද්ගලයකු විය හැකි වුවත් තෝරාගත යුත්තේ එස්.බී. ද ජනාධිපතිනි චන්ද්‍රිකාද යන ප්රශ්නය මතුවන අවස්ථාවකදී සරත් නන්ද සිල්වා තෝරාගනු ඇත්තේ චන්ද්‍රිකා බවද කියා සිටියෙමි.
මගේ ප්‍රතිචාර එස්.බී. තුළ බලවත් කම්පනයක් ඇති කිරීමට හේතු වූවා විය යුතුය. සුළු මොහොතකට වහාම එස්. බී. අප සිටි ස්ථානයෙන් ඉවත්ව ගියේය. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ජී.එල්. පීරිස් මට දොස් කීවේය. මා ඒ ආකාරයෙන් එස්. බී.ට කතා නොකළ යුතු බව ඔහු කීවේය. මගේ කතාව ඔහු තුළ බලවත් කම්පනයක් ඇති කරන්නට ඇති බව කීවේය. එස්.බී. ඉන්නේ මනෝරාජික තත්ත්වයක නම් ඔහුට ආධාර කරන හිතවතුන්ගේ යුතුකම ඔහු ප්‍රකෘති ලෝකයට ගැනීම බව මම ඔහුට කියා සිටියෙමි. මගේ මතය ජී.එල්. පීරිස් පිළිගත්තේ නැතත් නිහාල් ජයවික්‍රම පිළිගත්තේය.
මගේ මත දැක්වීම ඒ මොහොතේදීත් එස්. බී. තුළ බලවත් කම්පනයක් ඇති කිරීමට හේතුවූවා විය හැකි වුවත් ඔහු තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිත දිනයේදී උසාවි ගියේ මහත් විශ්වාසයකින් යුතුව ලිහිල් දඬුවමක් ලබාගෙන නැවත ගෙදර එන්න බලාගෙනය. ඒ සඳහා අවශ්‍ය පිළිගැනීම්ද සංවිධානය කර තිබුණි. අවසානයේ ඔහුගේ ගමන කෙළවර වූයේ එස්.බී. අපේක්ෂා කළ තැනින් නොව මා විසින් පුරෝකථනය කරන ලද තැනිනි.
එය අධිකරණ නායකයකු විසින් තමන්ට තිබෙන බලය නීතියට පටහැනිව යොදා ගනු ලැබූ ප්‍රබල අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එස්. බී. දිසානායක, ටෝනි වැනි සාමාන්‍ය පුද්ගලයෙකු නොවීය. එදා දේශපාලන අඹරේ සිටි කැපී පෙනෙන ඉතා බලවත් පුද්ගලයකු විය. සරත් නන්ද සිල්වාට අධිකරණ බලය යොදාගෙන රාජ්‍ය බලය හිමිකර ගැනීමට හැකියාවක් තිබුණේ නම් ඔහු රටේ පාලකයා වන්නටද ඉඩ තිබුණි. ඔහු ඒ තරමටම තමන්ට තිබෙන අධිකරණ බලය අයථා ලෙස පාවිවිච්චි කළ පුද්ගලයකු විය.
ස්වාමි දුවට දෂ්ට කිරීම
ඔහුගේ බෙල්ල හොඳටම හිරවී තිබුණු අවස්ථාවකදී ඔහු ගලවාගනු ලැබුවේ ජනාධිපතිනි චන්ද්‍රිකාය. අවසානයේ ඇය අවලංගු කාසියක් බවට පත්කරනු ලැබුවේද ඔහුය. සරත් නන්ද සිල්වා තුළ චන්ද්‍රිකා කෙරෙහි වෛරයක් ඇති කිරීමට හේතු වූ කාරණය පිළිබඳ වන මා අසා තිබෙන රසවත් කතාවක් මෙසේය.
විනිසුරුවරුන්ගේ සුබ සිද්ධිය හා අධිකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව විනිසුරුවරුන්ගේ නියෝජිත පිරිසක් සමග අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහභාගි වූ සාකච්ඡාවකදී ජනාධිපතිනිය ඒ සියලු දෙනා ඉදිරියේ සරත් නන්ද සිල්වා තුළ කාන්තාවන් කෙරෙහි ඇති ගිජු බව පෙන්නුම් කෙරෙන ආකාරයට කරන ලද සඳහනක් එම වෛරයට හේතුවී තිබේ. ජනාධිපතිනි චන්ද්‍රිකාට තිබුණේ තිරිංග රහිත කටකි. ඇගේ ඒ කටින් ඕනෑම අවස්ථාවකදී ඕනෑම දෙයක් පිටවීමේ හැකියාව තිබුණි. සරත් නන්ද සිල්වා කාන්තාවන්ට දක්වන සීමා රහිත මජරකම ඔහු ඇසුරු කරන හැම කෙනෙකුම දැන සිටියේය. එය ඔහුගේ චරිතයේ ප්‍රබල ලක්ෂණයක් විය. ඒ විෂයේදී ඔහුගේ හැසිරීම තනතුරේ ගෞරවයට නොගැළපුණේය. ඒ බව ජනාධිපතිනියද දැන සිටියාය. ඇය හාස්‍යයෙන් ඒ ගැන යමක් කියා තිබෙන්නේ සරත් නන්ද සිල්වා තනිව හමු වූ අවස්ථාවකදී නොව ඔහු සමග වැඩ කරන වෙනත් විනිසුරුවරුන් පිරිසක්ද සිටියදීය. මෙය සරත් නන්ද සිල්වාගේ කෝපයට හේතු වී තිබෙන අතර ඔහු මේ සභාවෙන් පිටවී යන අතර ඔහු සමග ගමන් ගනිමින් සිටි තවත් විනිසුරුවරයෙකුට කියා ඇත්තේ “මේ බැල්ලිට හොඳ පාඩමක් ” උගන්වන බවය. අවසානයේ ඔහු ඇයට එම පාඩම ඉගැන්වීය.
ඔහු ‘මව්බිම’ පුවත්පත සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවේදීද කියා ඇති පරිදි ජනාධිපතිනිය විසින් කරන ලද දිවුරුම්දීම් දෙකේදීම එම දිවුරුම් දීම්වල උපදේශකයා ලෙස ක්‍රියාකර ඇත්තේ ඔහුය. එම දිවුරුම්දීම් දෙකම ධුරයට හා ධුර කාලයට අදාළ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා කරන ලද දිවුරුම් දීම් බවද පිළිගනී. එම දිවුරුම් දීම් දෙකේදී ඔහුගේ දායකත්වය එසේ වී නම් ඇගේ ධුර කාලය අවසන්වන්නේ කවදාද යන ප්රශ්නය නිරාකරණය කරන නඩු විභාගයක ඔහු විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ කෙසේද? තමන්ගේ නඩුවක තමන්ට විනිසුරුවරයා විය නොහැකිය. එය ස්වාභාවික යුක්තියේ පිළිගත් මූල ධර්මයකි. එම මූල ධර්මය සරත් නන්ද සිල්වා අතින් උල්ලංඝනය වූ එකම අවස්ථාව එය නොවීය. එය තවත් එක අවස්ථාවක් වූවා පමණය. ඔහුට අවශ්‍ය වූයේ ඒ වනවිට ඔහුගේ වෛරයට හේතු වී සිටි, තමන්ගේ බෙල්ල හිර වී තිබුණු අවස්ථාවක ඒ තත්ත්වයෙන් තමා ගලවාගත් තමාගේ දේශපාලන ස්වාමි දුවගේ පැවැත්ම අවලංගු කිරීමය. ජනාධිපතිනිය ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලවකවානුව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ කථනයක් ඉල්ලා සිටි විට (එහිදී තමාගේ වාසියට හේතු වන අර්ථ කථනයක් සරත් නන්ද සිල්වා විසින් දෙනු ඇතැ’යි ඇය විශ්වාස කළාය.) සරත් නන්ද සිල්වා කළේ එය තමන්ට හිතවත් හිමිනමක් ලවා ගෙන්වාගත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් සමග ( ඒ පෙත්සමේ අන්තර්ගතයද ඔහුගේ නිර්මාණයක් වූ බවට කිසිදු සැකයක් තිබිය නොහැකිය.) එකට විභාගයට ගෙන තමන්ගේ වෛරයට හේතු වී සිටි ජනාධිපතිනියගේ පැවැත්ම අහෝසි කරන ඊළඟ නායකයා වන්නට සිටි මහින්ද රාජපක්ෂගේ කරේ එල්ලීමටද එය අවස්ථාවක් කරගැනීමය. මහින්ද සමග සරත් නන්ද සිල්වාට දීර්ඝකාලීන සම්බන්ධයක් තිබුණද චන්ද්‍රිකා බලයට පත්වී ඇගේ කරේ එල්ලීමෙන් පසු ඔහු මහින්ද සමග පවත්වා ගෙන ආ සම්බන්ධයෙන් බොහෝ ඈත්වී සිටියේය. නැවත මහින්දගේ කරේ එල්ලුණේ සිය පැරණි දේශපාලන ස්වාමිදුවගේ දේශපාලන ගෙල සිඳ දැමීමෙන් පසුවය. අගවිනිසුරුවරයෙකු විසින් තමන්ට තිබෙන බලය අයථා ලෙස පාවිච්චි කරමින් ජනාධිපතිවරයකුගේ පැවැත්ම අවලංගු කරන ලද විශේෂ අවස්ථාවක් ලෙස එය ලෝක අධිකරණ ඉතිහාසයට එකතු විය යුතුව තිබෙන දෙයක් ලෙස සැලකිය හැකිය.
විශ්‍රාම වැටුපේ ප්‍රෙහේළිකාව ලංකාවේ සිටින විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් අතුරින් වැඩිම විශ්‍රාම වැටුප ලබන පුද්ගලයා සරත් නන්ද සිල්වාය. මසකට ඔහුට ලැබෙන විශ්‍රාම වැටුපේ ප්‍රමාණය රුපියල් 150,000 ක් හෝ ඊට ආසන්නය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වන පිළිගත් වැටුප් ප්‍රතිපත්ති අනුව ඒ තරමේ විශාල විශ්‍රාම වැටුපක් ලබන කිසිම පුද්ගලයකු රටේ සිටිය නොහැකිය. එය වැදගත් දේශපාලන ප්‍රේහේළිකාවක් ලෙස සැලකිය හැකි අතර විසඳා ගැනීමට පුළුවන් වනු ඇත්තේද පිළිකුල් භාවනාවද ප්‍රගුණ කළ විමර්ශකයෙකුට පමණය. ශ්‍රී ලංකාවේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය තුළ නිල බලය දරන්නන් තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් සිය නිල බලය යොදාගෙන තිබෙන පරිමාව පිළිබඳව යම් අදහසක් ඒ මගින් ඇතිකරගත හැකිය. විශ්‍රාම යන්නට පෙර ඔහු විනිසුරුවරුන්ට ලැබෙන වැටුප් වැඩිකර ගැනීම සඳහා සටන් කළේය. එහි යටි අරමුණ වූයේ අන් අයටද යමක් ලබාදෙන අතර තමන්ගේ වැටුප රාජ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වැටුප් ප්‍රතිපත්ති හා මූල ධර්ම වලට පටහැනිව අසාමාන්‍ය ලෙස වැඩිකර ගැනීමය. මේ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය අත්‍යවශ්‍ය වුවත් ලංකාවේ රාජ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වන එකට හතරේ අනුපාතිකයට එය පටහැනි නිසා භාණ්ඩාරගාර ලේකම් ජයසුන්දර ඊට තරයේ විරුද්ධ වන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එම ආරාවුල කෙළවර වූයේ අධිකරණ නියෝගයක් මගින් භාණ්ඩාගාර ලේකම් ජයසුන්දරගේ තනතුර අහිමිවන තත්ත්වයක් ඇති කිරීමෙනි. ඉන්පසු බොහෝ අවලස්සන දේවල් සිදුවූයේය. භාණ්ඩාගාර ලේකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ දැඩි ප්‍රතිපත්තිය නිසා උසස් රාජ්‍ය නිලධාරීන් අගවිනිසුරු ඉදිරියේ කකුල් වෙව්ලන තත්ත්වයකට පත්ව සිටියේයැ’යි කිව හැකිය. ජයසුන්දරගේ අනුප්‍රාප්තිකයා සිටියේද බියෙන් වෙව්ලන තත්ත්වයකය. මෙම විශේෂ වටාපිටාව තුළ ඔහු බොහෝ දේ තමන් සඳහා කරගත්තේය. සාමාන්‍යයෙන් විශ්‍රාම යන රාජ්‍ය නිලධාරියෙකුට තීරු බදු රහිත වාහනයක් සඳහා අවසර පත්‍රය ලැබෙන්නේ විශ්‍රාම යැමෙන් පසුවය. එහෙත් ඔහු විශ්‍රාම යන්නට පෙරම ජයසුන්දරගේ අනුප්රාප්තිකයාගෙන් එය තමන් වෙත ගෙන්වා ගත්තේය. එම නියෝග කිරීමත් හා නියෝග පිළිපැදීමකට සමානය. සරත් සිල්වාට පිළිගත් වැටුප් ප්‍රතිපත්තිවලට පටහැනිව අසාමාන්‍ය තරමේ විශ්‍රාම වැටුපක් ලැබීමේ රහස සොයා ගැනීමට හැකිවනු ඇත්තේද ඔහු විසින් ඇති කරන ලද මෙම විශේෂ වටාපිටාවද සැලකිල්ලට ගන්නේ නම් පමණය.
අගවිනිසුරු නිරුවතින්
සරත් නන්ද සිල්වා ගැන කතා කරන්නට තවත් බොහෝ දේ ඇතත් ඔහු ගැන කරන සංවාදය මේ ලිපියෙන් අවසන් කිරීමට අවශ්‍ය වන නිසා ඔහු සිය අශීලාචාර භාවය හෝ අසික්කිත භාවය උපරිම මට්ටමකින් ප්‍රදර්ශනය කරන අවස්ථාව ලෙස සැලකිය හැකි ඔහුගේ දියවන්නාඔය රංගනය ගැන දැන් කතා කළ හැකිය.
ඔහු මව්බිමට ඒ ගැන කියා ඇත්තේ එය මා විසින් හා ලසන්ත වික්‍රමතුංග විසින් නිර්මාණය කළ අසත්‍ය කතාවක් වන බවය.
ඒ ගැන මව්බිම වෙනුවෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන ජනමාධ්‍යවේදියා ඒ ගැන ප්‍රශ්න කර තිබෙන ආකාරය සේ ම ඔහු ඊට පිළිතුරු දී තිබෙන ආකාරයද ඊටත් වඩා එය වාර්තා කර තිබෙන ආකාරයද රසවත්ය. උපුටාගත් කොටසක් මෙසේය. ඔබගේ චරිතයට හානි වන ආකාරයෙන් දියවන්නාවේ සිද්ධියක් ගැන එකල පුවත්පත් වල පළවුණා? ඔව්. ඒක පළ කළෙත් වික්ටර් අයිවනුයි, ලසන්ත වික්රමතුංගයි. ඒක කරලා ඉවර වෙලා මට කිව්වා මහා දරුණු චෝදනාවක්. පරීක්ෂණයක්. මොකද්ද ඒ සිද්ධිය? නෑ ඒක වුණේ මම මේ රෑ අටට විතර කවුද කාන්තාවක් එක්ක දියවන්නාව අයිනේ හිටියයි කියලා. ඒක වරදක්ද? ඒක යහපත් දෙයක් (සිනාසෙයි) කාන්තාවක් හිටියොත් මාත් එක්ක. (සිනාසෙයි) නැති එකයි ප්රනේ. වික්ටර් අයිවන් පස්සෙ දානව නිර්වස්ත්‍රව හිටියා කියලා. නිර්වස්ත්‍රව මිනිස්සු රෑ අටට දියවන්නාව ගාව ඉන්නේ නැහැ. මනස් ගාතයක්.
ඔහු කියන අන්දමට ඔහු පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටියේ අප ඒ ගැන කරන ලද වාර්තාකරණයෙන් පසුවය. ඇත්ත වශයෙන්ම අප ඒ ගැන සොයා බලන තැනකට ගියේද ඒ ගැන වන අපේ වාර්තාකරණයක් පළවූයේද ඔහු පොලිස්පතිට කරන ලද පැමිණිල්ල සියලුම ජනමාධ්‍යවල පළවීමෙන් පසුවය.
දියවන්නා ඔය රංගනය සිදුවී තිබුණේ 2004 ජූලි 6 වැනිදා රාත්‍රියේය. ජූලි 7 වැනිදා හිමිදිරිය වන විට දියවන්නා ඔය සිද්ධිය කටකතාවක ස්වරූපයෙන් සියලු ජනමාධ්‍ය වලට අසන්නට ලැබී තිබුණි. එම කටකතාවෙන් අසන්නට ලැබුණු කතාව මෙසේය. පෙරදින රාත්රියේදී දියවන්නා ඔය මාර්ගයේ පාළු තැනක නවතා තිබූ මෝටර් රථයක් පොලිසිය විසින් පරීක්ෂා කිරීමේදී අඩ නිරුවතින් සිටින ජෝඩුවක් ඔවුන්ට අසු වී වැඩිදුර කරුණු පරීක්ෂා කිරීමෙදී අඩනිරුවතින් සිටි පිරිමියා අගවිනිසුරු සරත් නන්ද සිල්වා බව පොලිසියට හෙළි වී තිබේ.
මෙම සිද්ධිය සිදු වූ දිනට පසුදිනම විද්‍යුත් ජනමාධ්‍ය පළ කළ වාර්තාවක් මෙම කටකතාවට අලුත් නිල වටිනාකමක් ලබාදීමට හේතු වී තිබුණි. විද්‍යුත් ජනමාධ්‍ය අගවිනිසුරුවරයා පොලිස්පතිවරයාට කරන ලද්දේය කියන පැමිණිල්ලත් ප්‍රසිද්ධ කළේය. එම ප්‍රවෘත්තියෙන් කියන ලද කතාව වූයේ අගවිනිසුරුවරයා වන තමා 6 වැනිදා රාත්‍රියේ නතර කර තිබූ වාහනයක සිටියදී පොලිස් සෝදිසියට ලක්වූ බව කියන කතාවක් ගැන පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් තමාගෙන් දුරකතනයෙන් කරුණු විමසූ බවත් මෙම කතාව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු කිහිපයකට සම්බන්ධ පිරිසක් තමා අපකීර්තියට පත්කිරීමේ අදහසින් අරඹා ඇති ව්‍යාපාරයක් බව ප්‍රකාශ කරමින් ඒ ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් සිදු කරන ලෙස අගවිනිසුරුවරයා ලිඛිත පැමිණිල්ලකින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවය.
මේ සිද්ධියේ ඇත්ත නැත්ත සොයා බලන තැනකට යායුතුයැ’යි කියන අදහස මා ඇතිකර ගත්තේ විද්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ අගවිනිසුරුවරයාගේ එම පැමිණිල්ල ප්‍රකාශ වීමෙන් පසුවය. අගවිනිසුරුවරයා එදා කරන ලද මෙම පැමිණිල්ලේදී මෙම කටකතාව නිර්මාණය කළ පුද්ගලයා මා බව ඍජු ලෙස හෝ අනියම් ලෙස සඳහන් කර නැත. ඒ වෙනුවට ඔහු කියා තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදියේ නඩු කිහිපයකට සම්බන්ධ පිරිසක් තමා අපකීර්තියට ලක්කිරීමේ අදහසින් එසේ කරන ලද බවය.
වැදගත්ම දේ මේ සිද්ධිය පළමුවෙන්ම එනම් සිද්ධිය වූ පසුදිනම ජනාධිපතිනියට දැන ගන්නට සලස්වන්නේ ජවි පෙරමුණේ විමල් වීරවංශ විසිනි. ඔහු සෘජු ලෙස ජනාධිපතිනියට කතා කරනවා වෙනුවට කතා කරන ලද්දේ ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩලයේ ප්රධානියාටය. අගවිනිසුරුවරයා පෙරදින රාත්‍රියේ දියවන්නා ඔය ප්‍රදේශයේදී පාළු තැනක නවතා තිබූ මෝටර් රථයක තවත් කාන්තාවක් සමග අඩු නිරුවතින් සිටියදී පොලිස් පරීක්ෂාවට ලක්ව තිබෙන බවත් මෙම සිද්ධිය පුවත්පත්වල පළවෙනු ඇති බවත් එය ආණ්ඩුව කෙරෙහි විශාල අපකීර්තියක් ඇති කිරීමට හේතු වන කතාවක් බවට පත්වනු ඇති බවත් ඔහු අගවිනිසුරුවරයාගේ හැසිරීමට දොස් තබමින් ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියාට පවසා තිබේ. කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා එය සත්‍ය සිදුවීමක් බව විමල් වීරවංශගෙන් තහවුරු කර ගැනීමෙන් පසු ඔහු ජනාධිපතිනිය හමුවී විමල් වීරවංශගෙන් ලැබුණු පුවත ඇයට සැල කළේය. ඒ කතාව අසා ඇය විස්මයට පත්වී අගවිනිසුරුවරයාගේ ජීවන රටාව ගැන දෝෂාරෝපණාත්මක ආකාරයකින් කතා කරන ලද බවද කියනු ලැබේ. සරත් නන්ද සිල්වාගේ සමීප සගයකුගෙන් දැනගන්න ලැබුණු ආකාරයට මෙම සිද්ධිය ජනමාධ්‍ය ආයතන වලට හෙළි කළ පුද්ගලයා ලෙස ඔහු (සරත් නන්ද සිල්වා) හඳුනාගෙන තිබුණේ මහින්ද රාජපක්ෂය.
මෙම සිද්ධියේ ඇත්ත නැත්ත සොයා බලන තැනකට මා යොමු වූයේ සරත් නන්ද සිල්වා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ල ජනමාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුවය. ඒ ගැන සොයා බලන ක්‍රියාවලියට සන්ඩේ ලීඩර් පුවත්පත්ද එකතු විය. මූලික විමර්ශන කටයුතු වැඩි හරියක් කරන ලද්දේ මාය. සරත් සිල්වා සමග සිටි කාන්තාවගෙන් ප්‍රශ්න කිරීම හා ඇය ඇගේ ජංගම දුරකතනයෙන් සිද්ධිය සිදුවන්නට පෙර හා පසු සරත් නන්ද සිල්වාට කතා කර තිබෙන වාර ගණන සොයා ගැනීම වැනි පසු විපරම් කටයුතු වලින් වැඩි හරියක් කරන ලද්දේ සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆ්රෙඩ්රිකා ජෑස්ය.
පොලිස් පරීක්ෂාව
පළමු වැදගත් සොයා ගැනීම වූයේ මිරිහාන පොලිස් අණදෙන තොරතුරු කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේන විතානගේ සිය දෛනික තොරතුරු සටහන් පොතේ ලියා තිබුණු සටහනේ පිටපතක් ලබා ගැනීමට සමත්වීමය.
එහි වූ සටහන මෙසේය. දිනය : 2004.07.06 පැය 21.25කි. පිටුව 262 ඡේදය 968. ” මා උ/ ප්‍ර.පො.ප. වීරසේන විතානගේ. පරිගණක අංශයෙහි රාජකාරි කටයුතු සඳහා ස්ථානයට ඒමට මම මගේ ජයවඩනගම පෞද්ගලික නිවසින් පිටත්ව දියවන්නා මාර්ගය ඔස්සේ නාගහමුල්ල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට යතුරු පැදියේ ගමන් කරමින් සිටි අවස්ථාවේදී දැඩි අන්ධකාරය පැවති මෙම දියවන්නා මාර්ගයේ පාපැදිවලින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් කළු වර්ණ මෝටර් රථයක් දැඩි අපහසුතාවකින් පරික්ෂා කරනු දුටු බැවින් මා එම මාර්ගයේ දකුණු පසට වන්නට එම රථය ඉදිරියෙන් මගේ යතුරු පැදිය නවතා එම පොලිස් නිලධාරීන්ට රථය පරීක්ෂා කිරීමට පහසුවන පරිදි මගේ යතුරු පැදියෙන් ඉදිරි ප්‍රධාන ලාම්පුව දල්වා තබමින් උපකාරී වූ අතර, එම රථයේ සිටි තරුණ කාන්තාවකගෙන් දැඩි අපහසුතාවකින් පොලිස් නිලධාරියකු හැඳුනුම්පත ලබාගත් අතර, එම රථයේ වම්පස අසුනේ සිටි මහලු වයස ඇති ටයි පටියක් පැළඳි පුද්ගලයා විසින් ඔහුගේ අනන්‍යතාව ඉදිරිපත් කිරීම සඳහා කිසිදු හැඳුනුම්පතක් ලබා නොදීම නිසා එම නිලධාරීන් දැඩි අපහසුතාවකට ලක්ව ප්‍රශ්න කිරීමේදී දැඩි කෝපයෙන් මෙම පුද්ගලයා විසින් තමන් සරත් නන්ද සිල්වා බව දැනුම්දීමෙන් පසුව රථය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීම නවතා නිදහස් කළ අතර, ඉහත පරීක්ෂා කිරීම සඳහා සහභාගි වූ නිලධාරීන් වන තලංගම පොලිස් ස්ථානයේ පො.කො. 32054 පුෂ්පකුමාර, පො.කො. 36010 විජේරත්න, උ.පො.කො. 25043 සේනාරත්න, උ.පො.කො. 25332 ලක්සිරි යන නිලධාරීන් සම්බන්ධ වූ අතර ඉහත සෝදිසි කළ අංක WPJA 8720 කාර් රථය අංක 25/07 හයිලෙවල් පාර කිරුළපන, කොළඹ 06 ලිපිනයෙහි පදිංචිකාරිය විසින් පදවන ලද අතර වම්පස අසුනේ සරත් නන්ද සිල්වා මහතා පමණක් රථයේ සිටි අතර මෙම රථය පැය 21.00 ට පමණ මගේ දර්ශනයට ඉහත නිලධාරීන් සමග දකින්නට ලැබුණි. ඉහත කරුණු සම්බන්ධයෙන් මා එම නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ සාක්කු සටහන් පොතේ අත්සන් කරන ලදි. මා එම ස්ථානයට ගිය යතුරු පැදි අංක GY 5179 ධාවන අංක 2442. අත්සන් කළේ උ/ප්‍රා පො ප වීරසේන.”
අපේ පරීක්ෂණය
මෙම සෝදිසි කිරීමේ සිද්ධියට ප්‍රධාන පොලිස් පරීක්ෂකයා සම්බන්ධ වී තිබෙන්නේ අහඹුවක් ලෙසය. කාන්තාව සමග රථයේ සිටි අනෙක් පුද්ගලයා අග්‍ර විනිශ්චයකාරවරයා බව හෙළිදරව් වීමත් සමග සෝදිසියට සම්බන්ධ වූ තලංගම පොලිසියේ පොලිස් නිලධාරීන්ට තරු පෙනෙන්නට ඇති බවට සැකයක් නැත. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් සිය සාක්කු සටහන් පොත් වලට ඔවුන් අත්සන් ලබා ගන්නට ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහාය. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දෛනික තොරතුරු පොතේ ඒ ගැන සටහන් තබන්නට ඇත්තේද ඔහුට තලංගම පොලිස් නිලධාරීන්ගේ සාක්කු සටහන් පොත්වල අත්සන් තබන්නට සිදු වීම නිසා විය හැකිය. සිද්ධිය පහසුවෙන් වසන් කළ නොහැකි දෙයක් බවට පත්වන්නේද මෙම සටහන් නිසාය. සිද්ධිය දුරදිග යන දෙයක් බවට පත් වන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දෛනික පොතේ තබන ලද සටහන පසුදින උදේ පොලිස් අණදෙන තොරතුරු කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා (ධර්මසිරි කරුණාරත්න) විසින් කියවා එය රටේ අගවිනිසුරුවරයාට සම්බන්ධ සිද්ධියක් වීම හේතු කොටගෙන ඔහු ඒ බව එම ආයතනයේ අධ්යක්ෂ ලක්ෂ්මන් කළු ආරච්චි වෙත දැනුම්දීමෙන් පසුව එම සිද්ධිය පිළිබඳව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් කට උත්තරයක් ලබාගන්නා ලෙස සහකාර පොලිස් අධිකාරි ධර්මසිරි කරුණාරත්න වෙත දැනුම්දීම නිසාය.
මෙම සහකාර පොලිස් අධිකාරිවරයා දැන් ඉන්නේ පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන විශ්‍රාම සුවයෙනි. මම ඔහු කීපවරක්ම හමුවී තිබේ. කට උත්තරයෙන් හෙළි වූ තොරතුරු ඔහු නොසඟවා මට කියා තිබේ. පොලිස් පරීක්ෂකවරයා සහකාර පොලිස් අධිකාරිවරයාට කියන ලද තොරතුරු අනුව අගවිනිසුරුවරයාගේ උඩ ඇඳුම් තිබී ඇතත් යට ඇඳුම් තිබී නැත. කාන්තාව ඉඳ ඇත්තේද ඊට සමාන තත්ත්වයකිනි. කතාවට සම්බන්ධ පුද්ගලයා අගවිනිසුරු වීම නිසා ඔහුට අගෞරවයක් ඇති නොවන ආකාරයට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියන ලද සමහර දේවල් ඉවත් කොට කට උත්තරය සකස් කරන්නට සිදු වූ බවද ඔහු කියා සිටියේය.
ලබාගන්නා ලද කට උත්තරයට සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සිය ප්‍රධානියාට (ලක්ෂ්මන් කළුආරච්චි) ඉදිරිපත් කරන ලදුව ඔහු එහි පිටපත් නියෝජ්‍ය පොලිසිපත් මහින්ද බාලසූරියට ලබා දුන්නේය. නියෝජ්‍ය පොලිස්පති එහි පිටපත් පොලිස්පති වෙත යවන ලදුව පොලිස්පතිවරයා ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිනිය වෙත යවන ලදි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ දෛනික තොරතුරු පොතට ඇතුළත් සටහනේ මෙම සිද්ධියට සම්බන්ධ පිරිමියා කව්ද’ යි හෙළිදරව් කොට තිබුණද ඊට සම්බන්ධ කාන්තාව හෙළිදරව් කර තිබුණේ නැත. පාවිච්චි කළ වාහනය ඇගේ වාහනය විය යුතු නිසා එම වාහනයේ අංකය ආශ්රයෙන් ඇය සොයා ගැනීමට උත්සාහ කළද ඒ අංකය යටතේ ලියාපදිංචි කොට තිබුණේ මෝටර් සයිකලයකි. එම සටහනේ එන ලිපිනය ඔස්සේ එම ප්‍රෙහේළිකාව විසඳා ගැනීමට උත්සාහ කළද එය ද සාර්ථක නොවීය. එහි ලිපිනය වශයෙන් සටහන් වී තිබුණේ අංක 25/07 හයිලෙවල් පාරේ කිරුළපන, කොළඹ 06 වශයෙනි. එවැනි අංකයකට එම පාරේ නිවසක් නොතිබුණි. එහෙත් වැඩිදුරටත් සටහන පරීක්ෂා කිරීමේදී ලිපිනයේ එන අංකයට ඇළ ඉර යොදා තිබෙන්නේ වැරදි තැනකට බව තේරුම් ගත හැකි විය. 15/07 යනුවෙන් අංකයක් තිබිය නොහැකිය. එය $150/7$ විය යුතු බව තේරුම්ගත් විට අදාළ නිවස සේ ම වාහනයේ ඔහු සමග සිටි කාන්තාව කව්ද යන්නද පහසුවෙන් සොයාගත හැකි විය. ඇගේ පසුබිම් විස්තර රසවත් වුවත් ඒ ගැන මේ අවස්ථාවේදී කිසිවක් කතා නොකරන්නේ ඉන් තවදුරටත් ඇයට විය හැකි අවමානය සලකාය.
සරත් නන්ද සිල්වා මව් බිමට කියා ඇති පරිදි මා කිසිදාක ඔහු දියවන්නාඔය අසල කාන්තාවක සමග නිර්වස්ත්‍රව සිටි බව කියා නැත. මා කියා ඇත්තේ ඔහු එහි නවතා තිබූ මෝටර් රථයක කාන්තාවක් සමග අඩනිර්වස්ත්රව සිටි අවස්ථාවකදී පොලිස් සෝදිසියට ලක්වූ බව පමණය. එහිදී නිර්වස්ත්‍රව තිබුණේ ඔහුගේ උඩුකය නොව යටිකයය. ඔහුගේ උඩුකය ටයි පටියක් පැළඳි කමිසයකින් යුතු වූ අතර යටිකය තිබුණේ කලිසම රහිතවය.
මේ සිද්ධිය නිසා මිරිහාන පොලිස් තොරතුරු අණදෙන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ (වීරසේන විතානගේ) උසස්වීම් අත්හිටුවන ලද අතර ඊට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. අද දක්වා ඒ මූලික අයිතිවාසිකම් පෙත්සමට සිදු වූ දෙයක් නැත. මේ වෙනුවෙන් එම පොලිස් නිලධාරියාට ගෙවන්නට සිදු වී තිබෙන වන්දිය දැවැන්තය. ඒ නිසා අද දක්වා ඔහු සිටින්නේ උසස්වීම් අහිමි කළ තත්ත්වයකය.
නිරීක්ෂණය
මෙම අවලස්සන සිද්ධිය ආශ්රයෙන් රටේ ආණ්ඩුක්රමය කුණු වී තිබෙන තරමද තේරුම් ගත හැකිය. රටේ ජනාධිපතිනිය මෙම සිද්ධිය ගැන හොඳින් දැන සිටියාය. එහෙත් ඇයට සිය අගවිනිසුරුවරයාගේ නීච හැසිරීම ඔහු එම තනතුරෙන් පහ කිරීමට තරම් බරපතළ හේතුවක් ලෙස නොපෙනුණේය. සිද්ධිය ජනාධිපතිනියට වාර්තා කිරීම සඳහා ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියාට වාර්තා කළ පළමු පුද්ගලයා විමල් වීරවංශය. සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණද දැන සිටි බව ඉන් පෙනී යයි. මෙම සිද්ධිය සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායක පාර්ලිමේන්තුවට යෝජනා කළේය. එහිදී මේ සිද්ධිය සොයා බැලීමේ වැදගත්කම ගැන ඉතා බලවත් ආකාරයකට කරුණු ඉදිරිපත් කළේ ජාතික හෙළ උරුමය පක්ෂයේ මන්ත්‍රී හිමිනමකි. එහෙත් ටික දිනකින් ඒ හිමිනමද තමන් කරන ලද කතාව ඉල්ලා අස්කර ගත්තේය. එම පක්ෂයේ හඬ පාලනය කිරීමේ බලයක් ඒ වනවිටත් අගවිනිසුරුවරයා හිමිකරගෙන සිටි බව ඉන් පෙනීයයි. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ බොහෝ දේ දැන සිටියේය. කාන්තාව වැඩ කළේ පාර්ලිමේන්තුවේය. ඇගේ භූමිකාව කතානායක දැන සිටියේය. පාර්ලිමේන්තුවටද එය විනෝදය පිණිස වන කරුණක් වූවා මිස බැරෑරුම් ලෙස සොයා බලා නිවැරදි කරගත යුතු බරපතළ වරදක් ලෙස නොසැලකීය. තමන්ගේ නායකයාගේ අවලස්සන භුමිකාව ශ්‍රේෂ්ඨාධිකරණයටද ප්‍රශ්නයක් වූ බවක් පෙනෙන්නට නැත. නීතිඥ සංගමයටද එය ප්‍රශ්නයක් නොවීය. රටේ දේශපාලන ක්රමයේ මුදුන් තැන්වල සිටින පුද්ගලයන් කුණුවී තිබෙන පරිමාව හා සමස්ත දේශපාලන ආයතන ක්‍රමය කුණු වී තිබෙන තරම ඉන් හොඳින් පෙන්නුම් කරන්නේයැ’යි කිව හැකිය.