1979 ගාල්ල අතුරු මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග කළ වික්ටර් අයිවන් හෙවත් ‘පොඩි අතුල’ මහතා වෙනුවෙන් නිකුත් කරන ලද නිල මැතිවරණ පත්‍රිකාවයි. මෙමගින් ඔහුගේ මුල්කාලීන දේශපාලන දිවිය, 1971 අප්‍රේල් කැරැල්ලේදී ඔහු ඉටුකළ සුවිශේෂී කාර්යභාරය සහ සිරගතව සිටියදී කළ ශාස්ත්‍රීය අධ්‍යයනයන් පිළිබඳ වැදගත් ඓතිහාසික තොරතුරු රැසක් ගෙනහැර දක්වයි.
ගත් කතුවරයෙකු හා දේශපාලන විචාරකයෙකු වූ වික්ටර් අයිවන් වඩාත්ම ප්‍රසිද්ධ පොඩි අතුල යන නමිනි.
කැරැල්ලේ දේශපාලන සිරකරුවකු වශයෙන් බන්ධනාගාර ගතව සිටි කාල සීමාව තුළ (සත් අවුරුද්දකට කිට්ටු) ඔහු සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න පිළිබඳව ගැඹුරින් කරුණු හැදෑරීය. සිරකරුවන් සඳහා වූ තහනම් නීති ද නොසළකා “ජයසේන අක්මීමන” හා “චන්ද්‍ර සිරි ගමගේ” ආරූඪ නම් වලින් “ඇත්ත” පත්‍රයටත් විශ්ව විද්‍යාල සගරාවලටත් ලිපි ලිවීය. ඔහු එහිදී ශ්‍රී ලංකාවේ අඳ ගොවිතැන් අලලා කරන ලද අධ්‍යයනයක් “අඳ ගොවිතැනේ අභියෝගය” නමින් පළකර තිබෙන අතර, එය එම ක්ෂේත්‍රය පිළිබදව මෙතෙක් කර තිබෙන හොදම අධ්‍යයනය වශයෙන් විචාරකයින් අතර පිළිගැනීමක් තිබේ. අප්‍රේල් කැරැල්ලේ ඉතිහාසය අලලා ’71 කැරැල්ල’ නමින් පළ කර තිබෙන පොතද ඔහු ලියා ඇත්තේ බන්ධනාගතව සිටිය දීය. ශ්‍රී ලංකාවේ වර්ගාන්තර ගැටළුව පිළිබඳව ඔහු ලියා ඇති ලිපි කිහිපය දිග පළලින් විශාල නොවුවත් එම ගැටළුවට ඒවායින් ලැබී ඇති ආලෝකය ඉමහත්ය.
ගාල්ලේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ පොඩි අතුල දේශපාලනයට පිවිසියේ 17 හැවිරිදි තරුණයෙකුව සිටියදීය. 1965 මැතිවරණයේදී සමගි පෙරමුණේ ප්‍රබල ආධාර කරුවෙකු වශයෙන් ක්‍රියා කොට පසුව ලංකා සමසමාජ පක්ෂයට එක් විය. පසුව 1969 යේදී එකල රහසිගත දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් කියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණට එක් විය. ඔහු එම ව්‍යාපාරයේ කොළඹ වෘත්තීය අංශයේ ලේකම්වරයා ද අවි ආයුධ අංශයේ දෙවැනියා ද විය.
ජනතා විමුක්ති පෙරමුණේ උන්නතිය වෙනුවෙන් පොඩි අතුල දැඩි කැප වීමකින් දිවි නොතකා ක්‍රියා කළ කෙනෙකු බව කැරැල්ල පිළිබඳ නඩු විභාගයේ විනිසුරු මඩුල්ල පවා පිළිගෙන තිබේ. එක් විනිසකරුවෙකු (ඒ. සී. අලස්) කැරුල්ල පිළිබඳ ලියන ලද පොතක ඔහු තුළ පැවති එම ගුණාංගය විස්තර කොට ඇත්තේ ”තම පරමාර්ථ පාවා දෙනවාට වඩා වෙඩි කා මිය යාමට සුදානම් වූ පොඩි අතුල වැනි තරුණයන්….. ශ්‍රී ලංකාවේ නැගී එන ගැමි තරුණ පරපුරේ දිදුලන නිදසුන්” වශයෙනි. කැරැල්ලේ මහ නඩුව පිළිබඳව ප්‍රසිද්ධ කොට තිබෙන නඩු තීන දුවේ එය ලියන ලද විනිසුරු මඩුල්ල පොඩි අතුල විස්තර කොට ඇත්තේ මහ නඩුවේ සැකකරුවන් අතර සිටි “දිප්තිමත්ම චරිතය” ලෙසයි.
පොඩි අතුල අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ 7 වන සැකකරුවාය. එම නඩුවේදී විජේවීරලා එක අන්තයකින් ද, ලොකු අතුල ලා තවත් අන්තයකින් ද ගමන් ගන්නා විට පොඩි අතුල වඩාත් යුක්ති සහගත මගක ගමන් ගත් බවක් පෙනේ. ලොකු අතුල ලා උසාවිය හමුවේ චෝදනා වලට වරද පිළිගෙන ආණ්ඩුවේ සාක්ෂිකරුවන් බවට පත් විය. විජේවීරලා චෝදනා වලට වරද පිළි නොගත්ත ද කැරැල්ලේ වගකීම් පහළ අනුගාමිකයින් මත පටවා ලිස්සා යාමට මාන බැලුවේය. පොඩි අතුල ලා චෝදන වලට වරද පිළිගත්තේ නැත. එහෙත් කැරැල්ලේ වගකීම් පිළිගනිමින් අසාධාරණත්වයට එරෙහිව කැරලි ගැසීමට තමන්ට ඇති යුක්ති සහගත අයිතිය ගැන කථා කළේය.
පොඩි අතුල ජනතා විමුක්ති පෙරමුණේ උන්නතිය වෙනුවෙන් දැඩි කැපවීමකින් යුතුව ක්‍රියා කළ අයෙකු වුවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය වැරදි බව තේරුම් ගත් වහාම ඉන් මිදී වෙන්වීමේ ශක්තියක් ද ඔහුට තිබුණේය. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එරෙහිව දැඩි දෘෂ්ඨිමය අරගලයක් ද බන්ධනාගාරය තුළ ගෙන ගියේය.
පොඩි අතුල අත්දකීම් වලින් පාඩම් ඉගෙන ගත් මාක්ස්වාදියෙකි. එහෙත් ඔහු සියළු න්‍යාය ධර්මයන්ට වඩා යුක්තිය සාධාරණත්වය හා මානව හිතවාදය අගය කොට සලකයි. තැන්පත් බව, නිහතමානී බව හා කරුණු ගැඹුරින් සළකා බැලිමේ නුවණ ඔහු තුළ තිබෙන විශිෂ්ඨ ලක්ෂණයෝය. ඔහු ළඟ මඩ හෝ අවලාද නැත. එහෙත් ඔහුගේ විවේචනය තියුණුය. ගැඹුරුය. ඔහු ළඟ තිබෙන මෙම විශිෂ්ඨ ආයුධ වලින් ධනපති ආණ්ඩුවට එරෙහිවත් අතිවාම වාදයෙන් තොරවත් මේ මැතිවරණයේ දී ගෙන යන අරගලය ශ්‍රී ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයට ලැබෙන මහත් ආශ්වාදයක් වනු ඇත.
වර්තමාන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අවුරුදු දෙකක් මුළුල්ලේ ගෙන ගොස් ඇති වැඩ පිළිවෙල නිසා සාමාන්‍ය මිනිසාගේ ප්‍රජා අයිතිවාසිකම් නැති වී යනවාත් සමගම ඔවුන් විසින් ඇතිකර තිබෙන ආර්ථික අවුල නිසා පොහොසතුන් ස්වල්ප දෙනෙක් අති පොහොසතුන් වන අතර සාමාන්‍ය ජනතාවට ඉසිලිය නොහැකි ප්‍රමාණයට බඩු මිල ඉහළ ගොස් ඇත. තරුණ තරුණියන්ගේ රැකී රක්ෂා ප්‍රශ්නය විසඳී නැතිවා පමණක් නොව අවුරුදු පතා දස දහස් ගණනින් රැකියා නැත්තවුන්ගේ හමුදාවට එකතු වන පාසැල් හැරයන්නන් නිසා එය වඩාත් උග්‍ර වී ඇත.
ආණ්ඩුවේ මේ වැඩ පිළිවෙලට සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා මෙම අතුරු මැතිවරණයේ දී වික්ටර් අයිවන්ට (පොඩි අතුලට) ඔබගේ ආධාරයත් ඡන්දයත් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
මෙයට, ලංකා සමසමාජ පක්ෂය.
457, යුනියන් පෙදෙස, කොළඹ 2.
1979. 11. 15
(ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීමට නොවේ)
කොළඹ යුනියන් පෙදෙසේ අංක 457 පදිංචි එච්. එස්. ජයසූරිය විසින් කෙළඹ ස්ටාර් මුද්‍රණාලයේ මුද්‍රණය කර බෙදා හරින ලදී.